+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

තරුණයෙනි! ගැළවීම ලබා ක්‍රිස්තුස්වහන්සේ අනුව යන්න- මනූ මැතානි
May 19, 2024 Sunday Sermon Notes

 

ඔබගේ ජීවිතයේ හොඳ ආරම්භයක් මෙන්ම හොඳ අවසානයක්ද තිබිය යුතුය.

ගීතාවලිය 119:9
තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

තරුණ තරුණියන් දෙවියන්වහන්සේගේ වචනයෙන් වර්ධනය විය යුතුය.

දානියෙල්, ෂද්‍රක්, මේෂක්, අබෙද්-නෙගෝ, දාවිත්, සාමුවෙල් මේ අය තරුණ වයසේ පටන් දෙවියන්වහන්සේ තුළ හරි තීරණ ගත් අයය.

දෙමාපියන් තම දරුවන්ව ලෝකයේ දේවල් දකින්නට කියා ලෝකයට ඔවුන්ව නිදහස් කිරීම නුසුදුසුය.

යේසුස්වහන්සේ පවා තම තරුණ ජීවිතය සුළු නොකළේය. උන්වහන්සේ තරුණ වයසේ පටන්ම දෙවියන්වහන්සේ සමඟ තම ගමන යාමට තෝරා ගන්නා ලද්දේය.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරන ලද්දේය. (ලූක් 2:49, 52)

දෙමාපියන් මුල සිටම තම දරුවන්ව වචනයට ළං නොකිරීමෙන් තරුණ වයසේදී ඔවුන් ලෝකය වෙත හිතුවක්කාරකමෙන් නිරායාසයෙන් ඇදී යයි.

තරුණ වයසේ ගන්නාවු වැරදි තීරණ ඔවුන්ගේ ජීවිත කාලයටම බලපායි.

ඔබ දරුවන් භාර දෙන්නාවු ඔවුන්ගේ උපදේශකයන් ගැනද සෝදිසියෙන් සිටීම ඉතා වැදගත්ය.

මන්ද ඔවුන්ගේ ජීවිතවල කෝපය, නපුරු ආත්ම වැනි දේ ක‍්‍රියාත්මක වන්නේ නම් ඒවා ඔබගේ දරුවන්ගේ ජීවිත වලටද බලපෑමට පුළුවන. දෙමාපියන් නොසලකා හරින හිතුවක්කාර චරිත බවට ඔවුන් පත්විය හැකිය.

දරුවන්ට හරි මාර්ගය ඉගැන්නුවහොත් කවදාවත් ඔවුන් නොමඟ යන්නේ නැත.

‭හිතෝපදේශ 22:6
[6] දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

දරුවෙකු සුදුසු මාර්ගයේ ගෙන ගියහොත් නිසි වයසේත් ඔවුන් දෙමාපියන් ඉගැන්වූ දේ දැනගන්නේය.

දරුවෙකු සුදුසු මාර්ගයෙහි දෙමාපියන් ගෙන යන කල, ඒ අයගේ තරුණ වයසේදී ඉගෙන ගත් යහපත් දේවල් තුළ පවතිමින් එයින් ඔවුන් අහකව යන්නේ නැත.

ලෝකයාට ඔබගේ දරුවන් භාර නොදෙන්න.

තරුණ වයසේදී ගන්න තීරණ ඉතා වැදගත්. ඒ අය හරි දේවල් තෝරා ගැනීමෙන් ජීවනය භුක්ති විඳින්නට ගන්නෝය.
ඔබ දරුවන්ගේ ජීවිත ගැන වගබලා ගත යුතු සේම ඔවුන්ට බයිබලයද ඉගැන්විය යුතුය.

යොෂියා රජ කුඩා වයසේදීම දෙවියන්වහන්සේව සොයන්නට යෙදිනි.

‭2 ලේකම් 34:3
[3] ඔහුගේ රජකම්කිරීමේ අටවෙනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම, තමාගේ පියවූ දාවිත්ගේ දෙවියන්වහන්සේ සොයන්ට පටන්ගෙන, දොළොස්වෙනි අවුරුද්දේදී උස්තැන්ද අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද පහකර, යූදා සහ යෙරුසලම පිරිසිදුකරන්ට පටන්ගත්තේය.

තරුණ වයස ඉතා වැදගත්ය. ඔබගේ තරුණ වයසේ දරුවන්ව යක්ෂයාට බාර නොදෙන්න. ඔවුන්ට හොඳ දේ කියාදෙන්න. බයිබලය තුළින් දේව වචනයෙන් ඔවුන්ව ගොඩ නඟන්න.

යොෂියා රජ කුඩා වයසේදීම දෙවියන්වහන්සේව සෙව්ව හෙයින් ඔහු යහපත් රජෙක් ලෙස තම පාලන කටයුතු කරන ලදි.

ස්වාමීන්වහන්සේ දාවිත් නිසා සාලමොන්ට ප‍්‍රේමකළ සේක.                 (2 සාමුවෙල් 12:24-25)

සාලමොන් රජවූ පසු ස්වාමීන්වහන්සේ ඔහුට අවශ්‍ය කුමක්දැයි ඇසූවිට ඔහු ඉල්ලා සිටියේ ප‍්‍රඥාවයි. ස්වාමීන්වහන්සේ එයට ප‍්‍රසන්නවූ සේක. (1රාජාවලිය 3:4-14)

සාලමොන් තුළින් ඔහුගේ ප‍්‍රඥාව පුදුමාකාරව ක‍්‍රියාත්මක වූයේය.

යේසුස්වහන්සේ පවා සාලමොන්ගේ ප‍්‍රඥාව ගැන උතුම් කොට සැලකුවේය. (ලූක් 11:31)

සාලමොන් තෘෂ්ණාවෙන් නොයෙක් වැරදි දේවල් තුළ යෙදී සිටි නමුත්, දෙවියන්වහන්සේ සාලමොන්ට දුන් ඒ දීමනාව නැවත කිසිදා ගත්තේ නැත.

මනුෂ්‍යයෙකුගේ යෞවන වයසේ පටන් අවසානය දක්වාම සිදුවන දේ පිළිබඳ දේශනාකාරයා 11:9-12:8 දක්වා සඳහන්ව ඇත.

දේශනාකාරයා 11:9
[9] තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.

මෙම බයිබල් පදය අප නව ගිවිසුම තුළින් තේරුම් ගත්විට නොයෙකුත් දේට අබ්බැහිවී සිටි තරුණයෙක් නව ගිවිසුම තුළින් යේසුස්වහන්සේ පිළිගත්ව්ට ඔහුට නව ජීවනයක් ලැබෙයි. ඔහුට දෙවියන්වහන්සේ නව ආරම්භයක් දෙයි.

අද තරුණ තරුණියන් බොහෝ සේ නොමඟ යති. ලෝකයේ තිබෙන දේ ඔවුන් උතුම් කොට සලකයි. ඇසට පෙනෙන හැම දේ කරයි. ඔවුන්ගේ තෘෂ්ණා සම්පූර්ණ කර ගනී. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ මේ සියල්ලට දෙවියන්වහන්සේට ගණන් දිය යුතු බවයි. දෙවියන්වහන්සේ ඒ සියල්ල විනිශ්චය කරයි.

කිතුනුවන් වූ අපටත් මෙය හොඳ අවවාදයකි. අප විනිශ්චයෙන් නිදහස්ව සිටින්නේ “අපට ඕනෑම දෙයක් කළ හැකියි” කියන අදහසින් අප ජීවත් නොවිය යුතුය.

නව ගිවිසුමේද අපට බොහෝ දෙයින් වැළකී සිටින්නට පවසයි. අපට බොහෝ දේ වලින් ප‍්‍රවේසම් වන්නටත්, බොහෝ දේ වලින් ඈත්වන්නටත්, යක්ෂයාට විරුද්ධවන ලෙසටත්, දෙවියන්වහන්සේට යටත් වන ලෙසටත්, ජීවිතේ අහංකාරකමින් නිදහස් වන ලෙසටත් පවසයි.

තරුණ තරුණියන්ට අවශ්‍ය දෙවියන්වහන්සේගේ වචනයයි. දෙවියන්වහන්සේගේ වචනයට ඔවුන් මුල් තැන නොදෙන්නේ නම් අප ඔවුන්ට කොයි දේ දුන්නත් කිසි ඵලක් නැත.

දෙවියන්වහන්සේගේ වචනය සුළු කරමින් තරුණ කාලයේදී කරන දේ වලින් පසුව බොහෝ වේදනා වලට මුහුණ දීමට සිදුවේ.

දේශනාකාරයා 11:10
[10] එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.

තරුණ ශක්තිය මත විශ්වාසය තබා ජීවත්වීම නිශ්ඵලකමකි.

නූතන සභාවන් පවා අද ශුද්ධකම ගැන කතා නොකර ලෝකයේ ක‍්‍රම සහ විධි අනුව ක‍්‍රියා කරයි.

තරුණ තරුණියන්ට අවශ්‍ය වන්නේ වචනය ඉගැන්වීමයි.

යේසුස්වහන්සේගේ ගෝලයින් පවා සිටියේ යෞවන වයසේය. නමුත් ඔවුන් යේසුස්වහන්සේව අනුගමනය කර වචනයට කීකරු වන ලදි.

සුභාරංචි වචනය පතල කිරීමට සිටි යේසුස්වහන්සේගේ ගෝලයන් දොළොස්දෙනා සමඟ උන්වහන්සේ නිතරම කාලය ගත කරන ලද්දේය. උන්වහන්සේ ඔවුන්ව වචනයෙන් ශක්තිමත් කරමින් ධෛර්යමත් කළේය. ඔවුන්ට බොහෝ දේ ඉගැන්වූයේය.

ඔබගේ කුරුසිය රැගෙන මා පසුපස නේන තැනැත්තාට මාගේ ගෝලයන් වෙන්ට නොහැකි බව උන්වහන්සේ ඔවුන්ට පැවසූසේක. (ලුක් 9:23)

යේසුස්වහන්සේ පැවසුවේ, ඔවුන්ගේ ආශා කුරුසපත් කරමින් උන්වහන්සේ පසුපස පැමිණෙන ලෙසටයි. එයින් ඔවුන්ට ජීවනය බුක්තිවිඳිය හැකි බවත්ය. (මතෙව් 10:38-39)

අද තරුණ අය ඔවුන්ගේ දුෂ්ඨ අදහස් හා සිතිවිලි වලට අන් අයවද යොමුකර ගැනීමට ප‍්‍රයත්න දරයි.

අප ඔවුන්ව පුරුදු පුහුණු කළ යුත්තේ ඔවුන් තුළින් අන් අයට ජීවනය ගලා යන්නටය.

අද යක්ෂ ආත්ම මනුෂ්‍ය ජීවිත නාස්ති කරමින් විනාශ කරයි. ඔවුන්ට වෙනත් දේ වල වටිනාකම් පෙන්වයි. ඔබ තරුණ තරුණියන් භාර දෙන්නන් ගැනද සැලකිලිමත් වන්න.

ශෝකය යන්නෙන් අදහස් කරන්නේ, මුරණ්ඩුකම, කෝපය.

මුරණ්ඩුකම, කෝපය සහ මාංශයේ නපුරුකම් අපි අහක් කරමු.

දේශනාකාරයා 12:1
[1] තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.

නපුරු දවස් එනතුරු බලා නොසිට දැන් පටන් ඔබගේ මැවුම්කරු සිහිකරන්න. එවිට ඔබට නපුරු දවස් වළක්වා ගත හැකිය. අනවශ්‍ය දේ වලින් මිදීමට පුළුවන.

දේව වචනය තුළින් දෙන්නාවු අවවාද පිළිගමු.

යෞවන වයසේ සිදුවු දේ ගැන ඔබ දුක්වන්නේ නම්, නව ගිවිසුමට අනුව ස්වාමීන්වහන්සේට ඔබව අලුත් කළ හැකිය උන්වහන්සේට ඔබව නැවත පිහිටුවන්නට පුළුවන. ඔබගේ ශරීරයේ අවයවයන් අලුත් බවට පරිවර්ථනය කිරීමට උන්වහන්සේට පුළුවන.

පෞද්ගලිකව අප එකිනෙකා වචනය තුළ වර්ධනය වෙමු.

ඔබගේ ආත්මය යා යුතු තැන තීරණය කරන්නේ දෙවියන්වහන්සේය.

දේශනාකාරයා 12:7
[7] දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.

මනුෂ්‍යයාගේ තරුණ ජීවිතය කෙමන් කෙමෙන් දුර්වල වී මහළුභාවයට පත්වේ. ඔහුගේ ශක්තිය හීනවී යයි.

අපි ස්ථීර අත්තිවාරම මත අපගේ ජීවත ගොඩනඟමු.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ මරණය තුළින් ඔබට සුවයෙන් ජීවත්වීමට පුළුවන්කමක් ඇත. යේසුස්වහන්සේගේ තුළින් ඔබට සියල්ල කළ හැක.

අපගේ ජීවිත ගමනේදී අපට යේසුස්වහන්සේගේ උපකාරය ඇත.

අපගේ මාංසයේ තෘෂ්ණා ඉවත් කර, අන්‍යයන් කරන්නාවු සියල්ල අප නොකර, යේසුස්වහන්සේව අනුගමනය කරමු.

යේසුස්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවමු.

යෞවන වයසේ කරන කියන දේ ගැන අවංක වෙමු.

දෙවියන්වහන්සේ සමඟ සහභාගිකම් පවත්වාගෙන යන ඇදහිල්ලේ මනුෂ්‍යයන් ලෙස උන්වහන්සේගේ නිසැකභාවය විශ්වාස කරමින් ගොඩනැගෙමු.

දේවදූතයන් පවා සුභාරංචිය ප‍්‍රකාශ කරන්නට යන කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇත.

විනිශ්චය දවසේදී ලෝකයේ සියල්ල පහව යන අතර දෙවියන්වහන්සේගේ පර්වතය පිට සිටින්නාවු අය සිටගන්නට යනු ඇත.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ පර්වතය මත සිටිනවානම් කිසිසේත්ම ඔබගේ අත්තිවාරම සෙලවිය නොහැකි බවයි.

යේසුස්වහන්සේ සමඟ මේ ගමන ගමන් කරන්නාවු අප ආශීර්වාදාත්මක සෙනඟක් වන්නෙමු.

අප තුළින් සුභාරංචිය දැන ගැනීමට තව බොහෝ පිරිසක් ඇත.

දෙවියන්වහන්සේගේ සමඟි කිරීමෙ වචනය උන්වහන්සේ අපට භාර දී ඇත. උන්වහන්සේගේ තානාපතිවරු ලෙස උන්වහන්සේ අපව පත්කර ඇත.

‭එපීස 4:17
[17] එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.

අප වෙනස් පුද්ගලයන් හෙයින් අන්‍යජාතීන් හැසිරෙන ලෙසින්, කතා කරනලෙසින් අප නොකළ යුතුය.

ඒ අයව බඳවා තිබෙන්නේ අඳුරු බලවේගයන්ය.

‭එපීස 4:18
[18] ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.

මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ මනස් අන්ධකර තිබේ.

2 කොරින්ති 4:4
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

යේසුස්වහන්සේ පිළිගෙන ඔවුන් නිදහස් වන තුරු, ඔවුන් තවමත් ජීවත්වන්නේ අඳුරේය. ඔවුන්ගේ සිත් දැඩිවී තිබෙන්නේය.

අපි යේසුස්වහන්සේව පිළිගෙන උන්වහන්සේගේ ජීවනයේ පංගුකාරයන් ලෙස සිටින්නෙමු, එහෙත් ඔවුන් ජීවනයට විදේශීව සිටී.

මෙහි “ජීවනය” යනු සදාකාල ජීවනයයි.

දෙවියන්වහන්සේගේ ඝනයේ ජීවනයයි ඔබ තුළ තිබෙන්නේ (යොහන් 10:10)

දෙවියන්වහන්සේගේ දිව්‍යමය ජීවනය ඔබ තුළයි.

එපීස 4:19 ‬
[19] ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.

දෙවියන්වහන්සේට විරුද්ධව සීමාවක් නොමැති අයුතුකම් කරමිනුයි ඔවුන් සිටින්නේ. කවදා හෝ ඔවුන්ට ඒවට ගණන් දීමක් දෙන්නට සිදුවෙයි.

නමුත් යේසුස්වහන්සේව පිළිගතහොත්, ඔවුන්ට සහනය ලැබෙයි.

යේසුස්වහන්සේගේ කුරුසියේ පණිවිඩය අප මනුෂ්‍යයන්ට කියා දිය යුතුයි. දේශකයෙක් නොමැතිනම් මනුෂ්‍යයාට එය දැනගත නොහැකිය.

යේසුස්වහන්සේව අදහන්නන් ලැජ්ජාවට පත්වන්නේ නැත.

රෝම 10:11-12
[11] උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය. [12] මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.

යේසුස්වහන්සේගේ වචනය පිළිගත් අයට උන්වහන්සේ සදාකාල ජීවනය දෙන ලදි.

යේසුස්වහන්සේ පළමුකොට පැමිණුනේ තමුන්ගේම සෙනඟටයි.

යොහන් 1:10-11
10 උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත. 11 උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.

යේසුස්වහන්සේගේ ලෝකයේ මැවුම්කරුන් කියා ලෝකයා හඳුනාගත්තේ නැත.

යේසුස්වහන්සේගේම සෙනඟ යුදෙව්වරු උන්වහන්සේව පිළිගත්තේ නැත.

බයිබලයේ උත්පත්ති පොතේ සිට මලාකි පොත දක්වා සෑම පොතකම යේසුස්වහන්සේගේ ඊම ගැන සඳහන්ව ඇත.

යේසුස්වහන්සේ කොටළුවෙකු පිට එන බව පවසා ඇත. (සෙකරියා 9:9)

නමුත් ඒ යුදෙව් නායකයන් පිළිනොගන්නා ලදි. විශේෂයෙන් නායකයන් පිළිනොගත්හ.

කව්රුන් හෝ යේසුස්වහන්සේව පිළිගත්තේද, උන්වහන්සේ ඔවුන්ට උන්වහන්සේගේ දරුවන් වෙන්ට බලය දෙන ලදි.

යොහන් 1:12
[12] නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

නව උපත තුළින් යේසුස්වහන්සේ අපගේ පරණ ස්වභාවය වෙනස් කරමින් උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයෙන් අපව තමන්ගේම පුත‍්‍රයෙක් බවට පත්කර ඇත.

යේසුස්වහන්සේ පොහොසත්ව සිටින්නේ සියලුදෙනා වෙනුවෙනි. ඕන කෙනෙකුට යේසුස්වහන්සේව විශ්වාස කරමින් ගැළවීම ලබා ගත හැකියි.

රෝම 10:13
[13] මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.

යේසුස්වහන්සේට හඬ නඟන කවරෙකුට වූවත් ගැළවීම, සහනය, මිදීම, සුවය හිමිවේ.

‭රෝම 10:14
[14] එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?

මනුෂ්‍යයන් හරි දේ අදහන්නට අවශ්‍යයි. ඒ සඳහා සුභාරංචි වචනය පවසමින් අප සාක්ෂි දැරිය යුතුයි. ඔබගේ ජීවිතයට සිදුවූ දේ ඔබට මනුෂ්‍යයන්ට පැවසිය හැකිය.

යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් මැරුණු බවත් ඔබගේ පාපයෙන් ඔබව මුදවා ඇති බවත් ඔබට පැවසිය හැකිය.

ඔබගේ පාපය උන්වහන්සේ උසුලා, ඔබව අන්ධකාරයෙන් මුදවා උන්වහන්සේගේ විශ්මපත් ආලෝකයට ඔබව ගෙනවිත් ඇත.

යේසුස්වහන්සේව ස්වාමීන් ලෙස පිළිගත් දවසේ අපට ගැළවීම පමණක් නොව, අපගේ අශුද්ධකම ඉවත්කර අපව ශුද්ධකමට පමුණුවන ලද්දේය.

ලේ වැගිරීමක් නොමැතිව ක්ෂමාකිරීමක් නොමැත. යේසුස්වහන්සේ අප වෙනුවෙන් ලේ වගුරුවන ලද්දේය.

රෝම 10:9
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.

අප ගැළවීම ලබන්නේ යේසුස්වහන්සේ ස්වාමීන් බව අපගේ මුඛයෙන් පවසා එය විශ්වාස කිරීමෙනි.

මිදීම තුළින් ස්වාමීන්වහන්සේ අපව සම්පූර්ණකමට ගෙනාවේය.

යක්ෂ පීඩන බන්ධන වලින් ඔබව මුදවා ඔබට සදාකාල ජීවනය දී ඇත.

ඔබව නව මැවිල්ලක් කර ඇත. (2 කොරින්ති 5:17)

රෝම 10:15
[15] (සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.

සුභාරංචි සේවයට ඔබ හවුල්කාරයෙක් වන කල ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ කවුළු විවර කර ඔබට ආශීර්වාද කරනු ඇත.

ඔබ වපුරන බීජ වලට ඔබට අස්වැන්නක් ලැබෙයි.

මේ ලෝකයේ ආර්ථිකය කොයි ප‍්‍රකාරයට තිබුණද උන්වහන්සේගේ තේජසේ සම්පතේ ප‍්‍රකාරයට ඔබගේ අවශ්‍යතාවයටත් වඩා උන්වහන්සේ ඔබට සපයා දෙනු ඇත.

සුභාරංචි වචනය ප‍්‍රකාශ කරන්නන්ගේ පාද අලංකාරය.
ඔබ සුභාරංචියට හවුල් වී සිටී නම් ඔබටත් එම විපාක ඇත.

‭රෝම 10:16-17
[16] නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි. [17] මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

ඔබ කියන්නාවු වචනය මනුෂ්‍යයා පිළිනොගතහොත් ඔබගේ සේවය නොකඩවා කරගෙන යන්න.

මනුෂ්‍යයෙක් ගැළවීම ලබන්නේ ඇදහිල්ලෙනි. ඇදහිල්ල පැමිණෙන්නේ වචනය පැවසුවොත් පමණි.

එපීස 2:8
[8] මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.

ගැළවීම දීමනාවකි. එය ලබා ගැනීමට සුභාරංචිය පැවසිය යුතුය.

ලෝකයේ මනුෂ්‍යයන් අද අසීමිතව ගිජු ලෙසින් පාපයේ වෙළී සිටී.

‭එපීස 4:19
[19] ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.

පාපයේ වෙළී සිටින අයව ගළවා ගැනීමට අප සුභාරංචි වචනය පැවසිය යුතුය.

එපීස 4:20-24
[20] නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත; [21] එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය. [22] [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා, [23] නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ, [24] සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නවා යනු, පරණ වස්ත‍්‍රයක් ඉවත් කර අලුත් වස්ත‍්‍රයක් ඇඳගන්නවා හා සමානය.

එමෙන්ම අපගේ මනසද අලුත් කර ගත යුතුය.

අලුත් මනුෂ්‍යයා ප‍්‍රකාශ වීමට ඔබගේ මනස සහ මුඛය වැදගත්ය.

දෙවියන්වහන්සේ ඔබව මවා තිබෙන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් හා ශුද්ධකමිනුත්ය. එසේම උන්වහන්සේගේ සමානත්වයටයත්, ස්වරූපයටත්ය.

අප තරුණ තරුණියන්ට අනුකම්පා කරමු. ඒ අය සිටින අමුතු ලෝකයෙන් හා ඒ අය මමත්වයෙන් සිතන ආකාරයෙන්ද, ඔවුන්ගේ ශක්තිය මත තබා ඇති විශ්වාසයෙන්ද ඔවුන්ව මුදවා ගැනීමට ඒ අයට දේව වචනය තුළින් හරි දේ පෙන්වා දෙමු.


Watch the Sermon Video

Read 210 times