+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූලික කරුණු - ආත්මයාණන්ගෙන් පූර්ණවී සිටින්න - යෝෂා මනූ
May 26, 2024 Sunday Sermon Notes


යේසුස්වහන්සේ තම ජීවිතය අප වෙනුවෙන් පූජාකරමින් අප උදෙසා මහත් දේ කර ඇත.

අප සියල්ලන්ටම යේසුස්වහන්සේ කළාවු දේවල් පිළිබඳ සාක්ෂි ඇත.

දවස ගානේ දෙවියන්වහන්සේ අප උදෙසා යහපත් දේ කරයි. උන්වහන්සේ අපව ශක්තිමත් කරමින්, බලවත් කරමින්, අපට අනුග‍්‍රහය ලබා දෙමින්, උන්වහන්සේ අපගේ සියල්ලෙන් සියල්ලව සිටිනවා. උන්වහන්සේගේ ජීවනය අප තුළ ඇත.

අප බලමින් සිටින්නේ ගැළවීම ලබා ගත් පසු දැනගත යුතු මූලික කරුණු පිළිබඳවය.

ස්ථීර අඩිතාලමක් මත අපගේ අත්තිවාරම ශක්තිමත් කර ගැනීම ඉතාම වැදගත්ය.

යේසුස්වහන්සේගේ නැවත පැමිණීම දක්වා අප සාක්ෂි දරමින්, යාච්ඤාව අවශ්‍ය අයට යාච්ඤා කරමින් උන්වහන්සේගේ සේවයේ යෙදී සිටිමු.

ඔබගේ මාවත කරා දෙවියන්වහන්සේ ගෙනෙන්නාවූ අය සුළු නොකරන්න.

දෙවියන්වහන්සේ ඔවුන්ව ඔබ වෙත ගෙන එන්නේ ඔබගේ සාක්ෂිය, සුභාරංචි වචනය ඔවුන් හා සමඟ බෙදාගන්නටය. දෙවියන්වහන්සේ ඔබ තුළින් කරන්නාවු උන්වහන්සේගේ සැලැස්ම පැහැර නොහරින්න.

ඔබගේ වචනය අසන්නාගේ හිත දැඩිව තිබුණත් ඔවුන් දෙවියන්වහන්සේට භාරවූ කළ උන්වහන්සේ ඔවුන් වෙනස් කරනු ඇත.

ඔබ වපුරන බීජයට වෙන අයෙක් වතුර දැමුවත් වර්ධනය දෙන්නේ දෙවියන්වහන්සේය. (1කොරින්ති 3:6)

පසුගිය සතියේ අප ආත්මයෙන් ගෙනයනු ලැබීම ගැන බැලුවෙමු.

ලෝකාකාර මනුෂ්‍යයන් ඔබගේ හැසිරීමේ, කතාවේ, ක‍්‍රියාකාරකම් වල වෙනසක් දකින්නේද?

ඔබ දේව වචනය කියවන කල දෙවියන්වහන්සේ ඔබට බොහෝ දේ උගන්වනු ඇත. ඒ තුළින් ඔබගේ ජීවිතය වෙනස් කරනු ලබයි.

ඔබගේ ජීවිතයේ වෙනස්වීම දකින්නන් හට ඔබට සාක්ෂි දැරීමට අවස්ථාව උදාවේ.

දෙවියන්වහන්සේ ඇති කරන්නාවු වෙනස තුළින් ඔබගේ මුවට සිනහවක් ගෙනදේ.

ඔබගේ හැසිරීම කතාව ඉතාම වැදගත්ය.

අපගේ ජීවිතයේ ආත්මයෙන් ගමන් කිරීම, ආත්මයෙන් ගෙන යනු ලැබීම, ආත්මික දේට ඇලුම්වී සිටීම, ඇබ්බැහිවී සිටීම, ආත්මයෙන් අලුත් ආකාරයෙන් සේවය කිරීම, නමස්කාර කිරීම, ජීවත්වීම යන මේ සියල්ලම අපි දුටුවෙමු.

අද අප ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණවී සිටීම පිළිබඳ බලමු.

අප පළමුකොට මාංසයෙන් ජීවත්වුවත්, දැන් අප ජීවත්වන්නේ ආත්මයෙන්ය.

යේසුස්වහන්සේ සමාරියේ ස්ත‍්‍රිය හා කතා කළ අවස්ථාවේ උන්වහන්සේ ඇයට සුභාරංචිය ප‍්‍රකාශ කරන්නට කැමති විය. (යොහන් 4:10-14)

ඇය සිටියාවු තත්වය යේසුස්වහන්සේ දැන සිටින ලදි. උන්වහන්සේට අවශ්‍ය වුයේ ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කිරීමටය. (යොහන් 4:16-18)

යේසුස්වහන්සේ වතුර ටිකක් ඉල්ලමින් එම ස්ත‍්‍රිය හා සාකච්ඡාවට වැටුනි.

සමහර විට ඔබට කතා කරන්නට අවශ්‍යය දේ නොදනී. නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ දේව වචනයෙන් ඔබගේ මුඛය පුරවා, ඔබට උගතුන්ගේ දිවක් දී ඔබට කතා කිරීමට බලවත් වචන දෙනු ඇත. (යෙසායා 50:4)

ඔබට කල්පනා කිරීමට අවශ්‍ය නැත. ඔබ ආත්මයාණන්ගෙන් පූර්ණවී සිටින කල, නොදැනුවත්වම ඔබගේ මුඛයෙන් වචන ගලා එයි.

මේ ස්ත‍්‍රිය පැමිණියේ වතුර ගැනීමටය. නමුත් ජීවනදායක වතුර කෙරෙහි ඈ තුළ තිබූ පිපාසය යේසුස්වහන්සේ දුටුවේය. (යොහන් 4:15)

යේසුස්වහන්සේ එම ස්ත‍්‍රියගේ පිපාසය සංසිඳුවන විට මේ මෙසියස්වහන්සේ යැයි ඇයට එළිදරව්වක් ලැබුණි. ඇයට පැමිණි කාරණයත් අමතකව ඇය කළයද දමා ඇය අත්දුටු දේ පවසන්නට නුවරට ගියාය. (යොහන් 4:19-29)

ඇය මුලු නුවරටම සුභාරංචිය පතල කළේය. ඇය තුළින් එම නුවරෙහි සියල්ලන්ම නිදහස්කම අත් දුටුවෝය. (යොහන් 4:39)

ඔබගේ ජීවිතයේ ඔබ ආත්මයෙන් පිරී සිටින කල දෙවියන්වහන්සේ පුදුමාකාර දේ ඔබ තුළින් කරනු ඇත.

‭එපීස 5:18-20
[18] මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය; [19] නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, [20] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

ආත්මයෙන් පූර්ණවූ කළ ගීතිකා ගයමින්, නිදහස්වු මනසකින්, සුවපත්වූ ජීවිතයක් ඔබ ගත කරනු ඇත.

ආත්මික ගීතිකා වලින් අපට දෙවියන්වහන්සේව වර්ණනා කරමින් උන්වහන්සේට ගායනා කරන්නටද, අප එකිනෙකා ශක්තිමත් කරගනිමින් අප එකිනෙකාටද, ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ කව්රුන්දැයි කියාද ගායනා කළ හැකිය.

ශුද්ධාත්මයෙන් පූර්ණවීම ඉතා වැදගත්ය. මත්වූ කෙනෙකු මෙන් නිතරම ඔබට ගීතිකා මුමුණමින් සිටිය හැකිය.

ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන කළ ඔබගේ ජීවිතයේ අනෙකුත් දේවල් පුදුාකාර ලෙස විසඳෙනු ඇත.

යොහන් බව්තිස්ත මව්කුස පටන් ශුද්ධාත්මෙන් පූර්ණව සිටියේය.

ශු. ලූක් 1:15
[15] මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.

මව්කුස පටන් ශුද්ධාත්මෙන් පූර්ණව තබමින් දෙවියන්වහන්සේ යොහන් බව්තිස්තව යේසුස්වහන්සේගේ පෙරමඟ සෑදීමට සූදානම් කරන ලදි.

යොහන් බව්තිස්ත යොර්දාන් ගඟේ බව්තිස්මය කරද්දී මෙසියස්වහන්සේව හඳුනාගැනීමට ඔහු ශුද්ධාත්මෙන් පූර්ණව සිටියහ.

යේසුස්වහන්සේව දුටු පමණින් ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් ලෙසින් ඔහු පැවසීය (යොහන් 1:29)

එලෙසින් යේසුස්වහන්සේව හඳුනා ගැනීමට එළිදරව්ව පැමිණියේ ඔහු ආත්මයාණන්ගෙන් පූර්ණව සිටි නිසයි. (යොහන් 1:33)

මරියා එලිසබෙත් බලන්ට ගිය කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැනනැගී ඇය ශුදධාත්මෙන් පූර්ණ වූවාය.

ශු. ලූක් 1:41
[41] එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව,

ආත්මයෙන් පූර්ණවූ එලිසබෙත්ට මරියාව ශක්තිමත් කරන පිණිසත් වචන කතා කරන පිණිසත් ආත්මයාණන්වහන්සේගෙන් එළිදරව්ව ලැබුණි.

ඔබ මනුෂ්‍යයන්ට කතා කරන කල ඒ අය මොනම තත්වයක සිටියත් දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාවෙන් ඔබ ඔවුන්ට පිළිතුරු දෙනු ඇත.

සෙකරියස් දෙවියන්වහන්සේගේ වචනය අවිශ්වාස කල බැවින් ඔහු ගොලුබවට පත්වූවත්, යොහන් බව්තිස්තට නම තැබූ අවස්ථාවේදී ඔහුගේ මුඛය විවරවීමෙන් ඔහු ශුද්ධාත්මෙන් පූර්ණව අනාගත වාක්‍යය කියන ලදි. (ශු. ලූක් 1:64-67)

‭ශු. ලූක් 1:67
ඔහුගේ පියවූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව අනාගතවචන කියමින්:

මේ අය තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ වැඩවාසය නොකළත්, දෙවියන්වහන්සේ යම් යම් අවස්ථාවලදී ඔවුන්ව ශුද්ධාත්මයෙන් පුරවන ලද්දේය.

දාවිත් ගොලියත්ගෙන් ජයගත්තේ ඔහුගේ ශක්තියෙන් නොව, ඔහු තුළ ක‍්‍රියා කළාවූ දෙවියන්වහන්සේගේ ආත්මය කරණකොටගෙනය. (1 සාමුවෙල් 17:45-50)

යේසුස්වහන්සේ දින 40 ක් නිරාහාරව සිටිමින් යක්ෂයා ගෙන ආ පරීක්ෂා වලින් ජයගනු ලැබුවේ ශුද්ධාත්මයෙන් පූර්ණව සිටි නිසයි.

‭‭ශු. ලූක් 4:1
[1] යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ඇවිත්, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබමින්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක.

පේතෘස් පවා නිර්භීතව කතා කරනු ලැබුවේ ශුද්ධාත්මයෙන් පූර්ණව සිටි නිසයි.

‭ක්‍රියා 4:8
[8] එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, …..

ස්වාමීන්වහන්සේට සේවය කරන පිණිසද උන්වහන්සේ සොයන්නට කිව්වේ ආත්මයෙන්ද, ප‍්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන්ය.

ක්‍රියා 6:3
[3] එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න.

උපස්ථායකයන් ලෙස තෝරා ගත් අය ඇදහිල්ලෙන්ද, ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ අය වූවෝය.

ක්‍රියා 6:5
[5] ඒ කීම මුලු සමූහයාට ප්‍රියවිය. එවිට ඔව්හු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක් වන ස්තේපන්ද පිලිප්ද ප්‍රොකොරස්ද නිකනොර්ද තීමොන්ද පර්මෙනස්ද යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්ද තෝරාගෙන,

ස්තේපන් ශුද්ධාත්මයෙන් පූර්ණව කතා කරන ලද්දේය.

ක්‍රියා 7:55
[55] නුමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව, ස්වර්ගය දෙස බලා, දෙවියන්වහන්සේගේ මහිමයත් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ යේසුස්වහන්සේ නැගිට සිටිනවාත් දැක:

ඔබ ආත්මයෙන් පිරී සිටින විට දෙවියන්වහන්සේට උන්වහන්සේගේ එළිදරව්වෙන් යම් යම් දේවල් ඔබට පෙන්නුම් කරන්නට පුලුවන.

ඔබට ආත්මික ගී වලින්ද, වචනයෙන්ද දෙවියන්වහන්සේට නමස්කාර කරමින්, ශුද්ධාත්මයෙන් යාච්ඤා කිරීමෙන් ආත්මයෙන් පූර්ණවී සිටිය හැකියි.

ඔබට මාංසයෙන් විසඳන්නට බැරි ප‍්‍රශ්න, කරදර ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණවී සිටීමෙන් පහසුවෙන්ම ඒවා විසඳා ගන්නට බලය ලැබෙන්නේය.

ආත්මයෙන් පූර්ණවී සිටීමෙන් ඔබ කතා කරන වචන මනුෂ්‍යයන්ගේ සිත්වලට කා වදිනු ඇත.


Watch the Sermon Video

Read 156 times