+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබීම- මනූ මැතානි
May 26, 2024 Sunday Sermon Notes

 

දේව වචනය ඉගෙන ගැනීමෙන් ඔබ දිනෙන් දින වර්ධනය වන්නේය. එයින් ඔබට කිසි අඩුවක් වන්නේ නැත.

තවද අපට දේව රාජ්‍යය ගැන තේරුම් ගෙන රාජ්‍යයේ කටයුතු වල නිතර යෙදී සිටීමටද හැකිවේ.

දෙවියන්වහන්සේ අපව කැඳවා තෝරා ගත්තා පමණක් නොව, උන්වහන්සේ අපට ඉටු කිරීමට කාරණාද බාරදී ඇත. එනම් මනුෂ්‍යයන්ට සුභාරංචිය ප‍්‍රකාශ කිරීමයි.

අන්තිම කාලයේ දෙවියන්වහන්සේ සොයන්නේ ශුද්ධාත්මයෙන් පිරී සිටින, සුභාරංචි වචනය දේශනා කරන ඇදහිල්ලේ මනුෂ්‍යයන්ය.

නිතරම ආත්මයෙන් පිරී සූදානම්ව සිටීමෙන් දෙවියන්වහන්සේගේ තානාපතීන් ලෙස ක‍්‍රියා කරමු.

අපි භයාදුකමෙන් දුරුවී ඇදහිල්ලෙන් ගමන් කරන්නාවු මනුෂ්‍යයන් ලෙස ජීවත් වෙමු.

ඔබ තුළ සම්පූර්ණ ප‍්‍රේමය ඇත්නම් ඔබ කිසිදා භියෙන් ජීවත්වන්නට යන්නේ නැත.

අන්තිම කාලයේ මනුෂ්‍ය පුත‍්‍රයා එන කල, උන්වහන්සේ සොයා එන්නේ ඇදහිල්ලය.

ශු. ලූක් 18:8
එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.

අන්තිම කාලයේ සිදුවෙන්නට යන්නාවු දේ ‭දානියෙල් 9:24-27 හි සඳහන්ව ඇත.

දානියෙල් 9:24-27
[24] වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ. [25] එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත. [26] සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ. [27] ඔහු සතියකට බොහෝ දෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය; පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.

යුදෙව්වරයෙකු මෙම පද කියෙව්වොත් අනිවාර්යයෙන්ම ගැළවීම ලබනු ඇත. මන්ද මෙහි සඳහන්ව ඇත්තේ යේසුස්වහන්සේගේ පූජාව ගැනයි.

යේසුස්වහන්සේ අවුරුදු 30දී ආලේපවී සේවය ආරම්භ කර, අවුරුදු තුනහමාරක කාලයක් උන්වහන්සේ මේ පොළොවේ සේවය කරනු ලැබුවේය.

පසුව උන්වහන්සේගේ ගෝලයන් අවුරුදු තුනහමාරක කාලයක් මෙම සේවය යුදෙවිවරුන් අතර ඉදිරියට ගෙනයන ලදි. නමුත් යුදෙව්වරුන් සුභාරංචිය එපා කල හෙයින්, ගෝලයන් විසිර ගොස් අන්‍ය ජාතීන්ට සුභාරංචිය ප‍්‍රකාශ කළෝය.

සමහර විට මනුෂ්‍යයන් ඔබගේ ජීවිතය වියවුල් තත්වයන්ට පත් කරන විට ඔබගේ ඇදහිල්ල හීනවීමට ඉඩ ඇත.

සමහරුන් මෙම බයිබල් පද අනාගතයේදී සිදුවෙන්නට යන්නාවු දේවල් යයි පවසති.

එහෙත් මෙහි සඳහන්වන අවුරුදු තුනහමාරක කාලය පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත්තේ යේසුස්වහන්සේගේ සේවා කාලය ගැනයි.

අන්තිම කාලයේදී ඔබට තේරුම් ගැනීමට අවශ්‍ය කරන්නේ ඇදහිල්ලයි.

ඇදහිල්ල ගැන අප කොතරම් දේ අසා සිටියත් ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කළ නොහැකිය. (හෙබ්‍රෙව් 11:6)

ඇදහිල්ල නොමැතිව ඔබගේ කඳු ඔබට පහකිරීමට නොහැකිය. (මාක් 11:23)

ඇදහිල්ල නොමැතිව ඔබට එකිනෙකා හා සමඟ ප‍්‍රේමෙන් ගමන් කළ නොහැකිය.

සමහර සභාවන් හැඟීම්බර දේ වලට මුල් ස්ථානය දී කටයුතු කරයි. ඔවුන් දුක් සහිත ගීකිතා ගායනා කරති, බලය හැඟෙන්නට දැනෙන්නට අවශ්‍ය බව කියති, එහෙත් ඔවුන් පෞද්ගලිකව ඵල නොදරයි. ඔවුන් සැබවින්ම ජීවත්වන්නේ අසරණවයි.

ඔබට දානියෙල් පොතේ පද රැගෙන මනුෂ්‍යයන්ට සුභාරංචිය ප‍්‍රකාශ කළ හැකිය.

දුෂ්ඨයා තමා වපුරන දේ කපා ගනී. එහෙත් අප ඒ අයටද සුභාරංචිය පැවසිය යුතුය.

අසන වචනයට වෙනස්වීමට ඒ මනුෂ්‍යයා තීරණය කළ යුතුයි.

ගැළවීම හැඟීමක් නොවේ. අල්තාරයට පැමිණ කඳුලු සැලීමක් නොවෙයි.

යේසුස්වහන්සේ කුරුසපත් වූයේ ඔවුන්ගේ පාපයෙන් මුදවන්නැයි කියා එකිනෙකා තේරුම් ගත් විට, ඔවුන්ගේ මුඛයෙන් උන්වහන්සේ ස්වාමීන් බවත්, තමාගේ ගැළවුම්කරු බවත් පෞද්ගලිකව ප‍්‍රකාශ කළ යුතුයි.

එසේම ඔවුන් මුළු හදවතින්ම උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටුනු බව අදහාගත් කල, ගැළවීම ලබා ගන්නෝය.

ඉන්පසු “මම පවිකාරයෙක්” යන සිතුවිල්ල වෙනස් කරගෙන දේව වචනය ඇසීමෙන් ඇදහිල්ලෙන් වර්ධනය වන්නට අවශ්‍යයි.

ඔබ වර්ධනය වූ කල ඔබගේ කථාව, ඔබගේ තීරණ හා ගමන් බිමන් වෙනස් විය යුතුයි. සමහරවිට මනුෂ්‍යයන් ඔබව විහිළුවට ලක් කරන්නට හැකියි.

ඔබ වෙනස් පුද්ගලයෙකු ලෙස හැසිරෙන්නේ දේවස්ථානය තුළ පමණක් නොව,

ඔබ යන එන සෑම තැන්හීමය. මන්ද ඔබ ජංගම දේවස්ථානයකි. දවස් 365 තුළම දෙවියන්වහන්සේගේ මහිමවත් කාරණා ගැන ඔබ කතා කළ යුතුයි.

අප තුළින් අන් අයට දෙවියන්වහන්සේගේ ජීවනය ගළා යයි.

යේසුස්වහන්සේ ඔබ තුළ වාසය කරනවානම් ඔබ දේවස්ථානයක් වෙන්නට අවශ්‍යයි.

ඔබ වෙනස්වූ පුද්ගලයෙක් බව විශ්වාස කරන්න.

ඔබ දවසේ පැය 24ම, සතිය පුරාම, ජීවිතය තිබෙන තුරාම දෙවියන්වහන්සේගේ මාළිඟාවක් ලෙස ජීවත්වන්න.

උන්වහන්සේගේ මාළිඟාවෙන් ඇදහිල්ල, ප‍්‍රේමය, සමාදානය, ප‍්‍රීතිය ගළා එන්නට අවශ්‍යයයි. දේව මාළිඟාව තුළ තිබිය යුතු ඵල මේවාය. දෙවියන්වහන්සේ අප තුළයි වාසය කරන්නේය.

සමහරුන් ගැළවීම ලැබුවත් ඔවුන් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම බව නොදැනව සිටී.

රෝම 10:3
[3] මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.

ඔබ ගැළවීම ලබා ගත් පසු තවත් පව්කරුවෙකු ලෙස සිටින්නේ නැත.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වී අපව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වෙන්ට සැලැස්වූ සේක.

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන දැන සිටිනවානම් අප කවදාවත් දෝෂාරෝපණයෙන් ජීවත්වන්නේ නැත.

දෝෂාරෝපණයෙන් ජීවත්වන කල අපගේ ඇදහිල්ල ක‍්‍රියාත්මක නොවෙයි.

2 කොරින්ති 5:21
[21] අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.

ඔබ සිතින්, වචනයෙන්, ක‍්‍රියාවෙන් පාපයක් කර ඇත්නම්, එය දෙවියන්වහන්සේ ඉදිරියේ කියා දී අත්හරින්න. එයින් නිදහස් වන්න.

1 යොහන් 3:20-21
[20] මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය. [21] ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

අපගේ සිතුවිලි වලට වඩා දෙවියන්වහන්සේ උතුම් බව අප දැන ගත යුතුය.

දොස් තැබීම ඔබගේ සිතින් ඉවත් කර ගන්න.

ඔබ වැරදි මාර්ගයක ගමන් කරන්නේ නම් නැවත හැරී නිවැරදි මාර්ගයේ ගමන් කරන්න.

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කුමක්දැයි කියා තේරුම් ගෙන උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් වෙන්න.

‭රෝම 10:3
[3] මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පිළිගෙන කීකරුවන්න.

යේසුස්වහන්සේ තැලී, පොඩිවී දුක්විඳිමින් අප උදෙසා වැගුරූ ලේ සිහිකරමින් අපි ගිවිසුම් භෝජනය පංගුකාරකම් කරමු.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි.

ඔබ උන්වහන්සේට අයිති බැවින් යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඔබව මුද්‍රාකර ඇත.

ඔබ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ පුත‍්‍රයෙක්ය.

1 යොහන් 3:5
[5] පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත.

යේසුස්වහන්සේ පැමිණියේ පාපය දුරුකරන පිණිසයි.

යේසුස්වහන්සේ පිළිගැනීමෙන් අප ශුද්ධවන්තයන් හා ධර්මිෂ්ඨයන් බවට පත්වී සිටිමු.

‭ගලාති 2:17
[17] නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා.

යේසුස්වහන්සේ පාපයේ නොව, ධර්මිෂ්ඨකමේ පූජාවක් කළේය.

පාපයේ කුලී නම් මරණයයි. රෝම 6:23

යේසුස්වහන්සේ අප වෙනුවෙන් මරණයට පත්වුණි. උන්වහන්සේ කුලිය සම්පූර්ණයෙන්ම ගෙවා නිමකරන ලදි.

අපගේ ධර්මිෂ්ඨ ක‍්‍රියා දෙවියන්වහන්සේ ඉදිරියේ කිලුටු වැරහැල්ලකි.

‭යෙසායා 64:6
[6] අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.

ධර්මිෂ්ඨකම අපට දෙවියන්වහන්සේගෙන් ලැබුණු දීමනාවකි. දෙවියන්වහන්සේ ඒ තුළින් අපව ශුද්ධවන්තයන් කොට ඇත.

දෙවියන්වහන්සේ කතා කළේ ශුද්ධවන්තයන්ට බව බයිබලය සඳහන් කරයි.

එළිදරව් 4 වන පරිච්ඡේදයෙන් පසුව සභාව ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ ශුද්ධවන්තයන් ගැනය. ශුද්ධවන්තයන් සිටින්නේ සභාවෙහිය.

විනාශයට යන්නාවු අයට ගැළවීමේ පණිවිඩය කියාදී අප ඒ අයව ගළවා ගමු.

යේසුස්වහන්සේගේ ආශාව මනුෂ්‍යයන් ගැළවීම ලබා අලුත් මනුෂ්‍යයන් වීමය.

ඔබ පව්කාරයෙක් බව නොපවසන්න. පාපය අඟවා දෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

ශු. යොහන් 16:7-8 [7] එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. [8] උන්වහන්සේ ආ කල, පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවාදෙනසේක.

විශාලම පාපය යේසුස්වහන්සේ කෙරෙහී අදහා නොගැනීමය.

‭ශු. යොහන් 16:9
[9] පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය;

ලෝකයා කර තිබෙන එකම පාපය යේසුස්වහන්සේව නොඅදහා ගැනීමයි. නැතහොත් යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමේ පාපයයි.

‭රෝම 3:23
[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

පාපයේ සිටි අපව මුදවා යේසුස්වහන්සේ නොමිලේ ධර්මිෂ්ඨ කොට ඇත.

රෝම 3:24
[24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.

ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේ අපට දුන් දීමනාවකි.

‭රෝම 5:17
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

දෙවියන්වහන්සේ ඔබව පාපයෙන් මුදවා ධර්මිෂ්ඨකර තිබියදීත් ඔබ “මම පව්කාරයෙක්” යැයි පැවසීම සාතන්ට දොරටු විවර කිරීමකි.

ඔබට පරණ දේවල් මතක් වෙන්නේ මනසට අලුත් දේ ඇතුල් නොකිරීම හේතුවෙනි.

නව ජීවනය, නව මැවිල්ල හා නව ගිවිසුමේ වචන ඔබ ගැන සඳහන් කර තිබෙන දේවල් ඔබගේ මනසට ඇතුල් කර ගන්න.

ඒ තුළින් ඔබට නිසැකවම ධර්මිෂ්ඨව ජීවත්වීමට පුළුවන්කම ඇත.

යේසුස්වහන්සේ තුළ පවතින්නා පව් නොකරයි.

‭1 යොහන් 3:6-7
[6] යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව්කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත. [7] මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුලාකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක්මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි.

යම් අය ඔබ පව්කරුවෙක් කියා කීවාට මුළා නොවන්න. ඔබගේ ධර්මිෂ්ඨකම පිහිටුවන්නේ හැඟීම්බරව පසුතැවිලිවීම මත නොවෙයි.

ඔබ ධර්මිෂ්ඨව සිටින්නේ යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් පාපය වූ නිසයි.

අපගේම ධර්මිෂ්ඨකම ස්ථීර කරන්නට උත්සාහ නොකර, අප උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත්ව, ධර්මිෂ්ඨ කළ බවට පිළිගමු.

යේසුස්වහන්සේ ධර්මිෂ්ඨව සිටින ආකාරයෙන්ම ඔබත් ධර්මිෂ්ඨ ක‍්‍රියා කරන්න.

‭රෝම 10:4
[4] මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.

ව්‍යවස්ථාවෙන් ධර්මිෂ්ඨ වන කෙනා තම ක‍්‍රියා මගින් ජීවත්වෙයි.

ඇදහිල්ලෙන් ලබා ගත් ධර්මිෂ්ඨකම හැඟීම්බරව ජීවත් වන්නේ නැත.

යේසුස්වහන්සේ ඔබ තුළ වාසය කරන බව අදහන්න.

‭රෝම 10:5
[5] මක්නිසාද ව්‍යවස්ථාවෙන් වූ ධර්මිෂ්ඨකම ගැන නම්: මේ දේ කරන තැනැත්තා එයින් ජීවත්වන්නේයයි මෝසෙස් ලියා තිබේ.

“මා ස්පර්ෂ කරන්න, මා තුළ යමක් කරන්න, මට දැනෙන්න සලස්වන්න, මා වෙත බැස එන්න” මෙවැනි යාච්ඤා කිරීම අවශ්‍ය නැත.

‭රෝම 10:6-7
[6] නුමුත් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම කථාකොට,–ක්‍රිස්තුස්වහන්සේව බස්සවාගන්න පිණිස–‘ස්වර්ගයට නගින්නේ කවුද කියාවත්,– [7] ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් ගෙනෙන පිණිස,–’පාතාලයට බසින්නේ කවුද කියාවත් නුඹේ සිතින් නොසිතන්නැයි කියන්නේය. තවත් කුමක් කියන්නේද?

සියල්ලට වඩා ඔබගේ ප‍්‍රකාශය වැදගත් වන්නේය.

රෝම 10:8-9
[8] වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය. [9] කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.

අප ජීවත් වන්නේ ඇදහිල්ලේ ප්‍රකාශයෙන්ය.

ඇදහිල්ලේ වාක්‍යය ප‍්‍රකාශ කිරීමෙන් ඔබට බොහෝ දේ අත් දැකිය හැකිය.

අන් භාෂාව මිහිරි භාෂාවකි. අත් පා සොලවමින් එය ව්‍යවහාර කිරීම යෝග්‍ය නොවේ. වැදගත් වන්නේ හැඟීම් නොව, ඇදහිල්ලේ වාක්‍යයයි.

සුවය, ප‍්‍රේමය, සමාදානය ප‍්‍රකාශ කරන්න. ප‍්‍රකාශ කිරීම ඉතා වැදගත්ය. හරි දේ ප‍්‍රකාශ කිරීම පුරුද්දක් කර ගමු.

ඔබ ඔබටම අනාගතවක්තෘ කෙනෙක් වන්න. ඔබගේ අනාගතය ගැන ඔබම කථා කරන්න.

ඔබගේ ආශීර්වාදය ඔබගේ මුඛයේ තබාගන්න. උන්වහන්සේගේ ආශීර්වාදය ඔබ වෙත තිබෙන්නේය.

මුළු ශරීරයම දමනය කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඔබට ඔබගේ කුඩා දිවෙන් පමණි.

ඔබගේ වචන වෙනස් කළහොත් ඔබගේ ජීවිතය වෙනස් වන්නේය.


Watch the Sermon Video

Read 347 times