+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශුද්ධාත්ම බලයෙන් බව්තිස්ම වී සිටීම - යෝෂා මනූ
June 2, 2024 Sunday Sermon Notes

 

ඔබ යේසුස්වහන්සේගේ පූජාවෙන් මිදීම ලැබ, බැටළුපැටවාණන්ගේ ලේ වලින් ජය ලැබූ කෙනෙකුය.

අප දෙවියන්වහන්සේගේ දරුවන්, උන්වහන්සේ වෙන් කළාවූ රාජකීය පූජකයන්. මේ පොළොවේ රජකම් කිරීමට අපට උන්වහන්සේගේ උරුමය දී ඇත.

දෙවියන්වහන්සේ අපව මේ පොළොවේ රජවරුන් හා පූජකයන් කොට පත්කර ඇත්තේ උන්වහන්සේගේ ස්වර්ගීය ජීවනය මේ පොළොවේ මනුෂ්‍යයන්ට පෙන්වීමටය.

ඔබ හොඳ සුවයෙන් ජීවත්වීම දේව කැමැත්තයි.

“මම ජයග්‍රාහකයෙකු ලෙස මේ පොළොවේ ජීවත්වෙනවා” යන එළිදරව්වක් ඔබ තුළ තිබිය යුතුයි.

සතුරා උගේ සෙනඟ මුද්‍රා කිරීමට යනු ඇත.

දෙවියන්වහන්සේ තමාගේ සෙනඟ වශයෙන් අපව දැනටමත් මුද්‍රා කොට ඇත. අපට තව මුද්‍රාවක් අවශ්‍ය නැත.

ඔබ යේසුස්වහන්සේව හදවතින් පිළිගෙන උන්වහන්සේ ස්වාමීන් ලෙස ප්‍රකාශ කර ඇත්නම්, ඉන් එහාට ඔබ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකමක් ගොඩනඟාගෙන ජීවත්විය යුතුය. එය දිනපතා අප උන්වහන්සේ හා සමඟ සම්බන්ධකම් පවත්වා ගෙන යන ජීවිතයක් ගත කළ යුතුය.

එපීස 1:14
අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.

උන්වහන්සේ ඔබව මිලයක් දී උරුමකරගෙන ඇත. කාටවත් නැවත ගෙවීමක් කර ඔබව මිල දී ගත නොහැක.

උන්වහන්සේ ඔබව ශුද්ධාත්මයෙන් පුරවා, මුද්‍රා කර යහපත් ජීවිතයක් ගත කරන්නට මාර්ගයක් විවර කර ඇත.

මුද්‍රා කරනු ලැබූ සෙනඟ වශයෙන් අප යේසුස්වහන්සේ හා සමඟ එක්ව ගමන් කළ යුතුයි.

උන්වහන්සේ තෘප්තිමත් වන දේ අප කළ යුතුය.

උන්වහන්සේගේ බැටළුවන් වශයෙන් අප උන්වහන්සේගේ හඬ අසමින් අපගේ කැමැත්ත නොව, උන්වහන්සේගේ කැමැත්ත කළ යුතුය.

එපීස 4:30
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

අප මේ ගත කරන ජීවිතයේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදිය යුතුය.

අප උන්වහන්සේට විරුද්ධ දේ කරමින් උන්වහන්සේට අකීකරු වන්නේ නම් එය උන්වහන්සේට දුක් දීමකි.

ශුද්ධාත්මයාණන්වහන්සේ නිතර අපට දේව වචනයෙන් දේශනා හා හමුවන පුද්ගලයන් තුළින් කතා කරනු ඇත.

අපි ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ මුද්‍රා කර ඇති වෙන්වූ සෙනඟ වෙමු.

ශුද්ධාත්මයෙන් පිරී සිටිනවා යනු කුමක්දැයි අපි බලමු.

අපි ගිය සතියේ බැලුවේ මරියා, එලිසබෙත්, සෙකරියා යොහන් බව්තීස්ත ශුද්ධාමයාණන්ගෙන් පූර්ණ වී සිටි නිසා ඒ අය යේසුස්වහන්සේගේ පළමු පැමිණීම හඳුනා ගනු ලැබුවා.

යොහන් බව්තිස්ත ස්වාමීන්වහන්සේ ඉදිරියේ උත්තමයෙක් වන බව ඔහුගේ උත්පත්තියට කලින්ම ස්වාමීන්වහන්සේගේ දූතයා පවසා තිබුණි.

‭ශු. ලූක් 1:15 මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.

යොහන් බව්තීස්ත මවු කුස පටන්ම ශුද්ධාත්මයෙන් පූර්ණව සිටියා.

යේසුස්වහන්සේගේ පළවෙනි ඊමට දෙවියන්වහන්සේ යොහන් බව්තිස්තව පාවිච්චි කරන ලදි.

එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව සිටියා. (ලූක් 1:41)

සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව අනාගතවචන කියමින් සිටියා: (ලූක් 1:67)

ඒ අය අද අප වාගේ අන්‍ය භාෂාවෙන් කතා කළේ නැහැ. මන්ද මේ වන තුරු යේසුස්වහන්සේ තවමත් අප වෙනුවෙන් පූජාවක් වීමෙන් ලේ වැගිරීමක් කළ තිබුණේ නැත.

යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබන්ට ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ගෙනයනු ලැබූසේක. (ලූක් 4:1)

යේසුස්වහන්සේ මේ පොළොවේ ජීවිතය ගත කළේ ශුද්ධාත්මයෙන් පූර්ණවයි.

උන්වහන්සේ එය අද අපටත් පවසන්නේ ශුද්ධාත්මයෙන් පිරී සිටින්න කියාය.

ඔබ ගැළවීම ලැබූ දවසේ සිටම ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වී සිටින්නේය.

ශුද්ධාත්මයාණන්වහන්සේ නොමැතිව අපට යේසුස්වහන්සේ ස්වාමීන් කියා ප්‍රකාශ කළ නොහැක. (1 කොරින්ති 12:3)

ශුද්ධාත්මෙන් පිරුණු පසු අන්‍ය භාෂාවෙන් කතා කිරීමට හැකියාව අප ලබා ගන්නේය.

බොහෝ අය අන්‍ය භාෂාවත්, අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමත් විශ්වාස නොකරයි. එහෙත් එය අපගේ මුද්‍රාවයි.

ඔබ ඔබගේ පෞද්ගලික ජීවිතයේ ‍අන්‍ය භාෂාවෙන් යාච්ඤා කළ යුතුයි.

සභාව ආරම්භ කළ යුතු ආකාරය යේසුස්වහන්සේ දැන සිටි අතර, ඒ සඳහා උන්වහන්සේට අවශ්‍යය වූයේ ශුද්ධාත්මයෙන් පිරුණාවු සෙනඟකි.

යේසුස්වහන්සේගේ උපතේ සිටම උන්වහන්සේ ශුද්ධාත්මයෙන් පිරී සිටින ලදි. උන්වහන්සේගේ සේවය තුළද බොහෝ හාස්කම් සිදුකළේ ශුද්ධාත්මයෙන් පිරී සිටි නිසාවෙනි.

ක්‍රියා 1:3 උන්වහන්සේ වධ වින්ද පසු සතළිස් දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශවූසේක. 4 උන්වහන්සේ ඔවුන් සමඟ රැස්ව ඔවුන්ට ආඥාකරමින්: යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න.

යේසුස්වහන්සේ පොරොන්දුවූ ශුද්ධාත්ම බලය ලැබෙන තුරු ඔවුන්ට යෙරුසලමෙහි නැවතී සිටින්න යැයි පැවසීය.

ක්‍රියා 1:5 මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක.

යේසුස්වහන්සේ බලය ගැන ප‍්‍රකාශ කළ විට, ගෝලයන් සිතුවේ උන්වහන්සේ ලෞකික රාජ්‍යයක් පිහිටුවන්නට යනවා කියාය.

ක්‍රියා 1:6 එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේ පිහිටුවන රාජ්‍යයේ කාලය දැන ගැනීම ඔවුන්ට අයිති නැති බවයි. එහෙත් ශුද්ධාත්මයාණන් පැමිණි කල, ඔවුන් බලය ලබා ගන්නේය.

ක්‍රියා 1:7-8
7 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.
8 නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

බලය ලබනුයේ දෙවියන්වහන්සේ හා සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩ නඟාගෙන මේ පොළොවේ රජකම් කරන්නටය.

මෙය සටනක් කරමින් රාජ්‍යයක් ගොඩනැඟීම නොව, උන්වහන්සේගේ වචනය මනුෂ්‍යයන්ට සුභාරංචිය ප‍්‍රකාශ කරන්නටය.

යේසුස්වහන්සේ පැවසුවේ, බලය ලබා ගත් පසු ඔවුන් ලොව පුරා සාක්ෂිකාරයන් වන බවයි.

යොහන් 20:19-21
19 සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.
20 උන්වහන්සේ මෙසේ කියා, තමන්ගේ අත්ද ඇළයද ඔවුන්ට දැක්වූසේක. එවිට ගෝලයෝ ස්වාමීන්වහන්සේ දැක සන්තෝෂවූහ. 21 යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා-පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක.

යේසුස්වහන්සේ පැමිණ සුභාරංචිය පැවසුවා සේම, උන්වහන්සේගේ ගෝලයන්වද උන්වහන්සේ ලෝකයා වෙතට යවන බව පැවසීය.

යොහන් 20:22 උන්වහන්සේ මෙසේ කියා, ඔවුන් දෙසට හුස්ම හෙළා: ශුද්ධාත්මයාණන් පිළිගන්න.

යේසුස්වහන්සේ ඔවුන්ට ශුද්ධාත්මය පිළිගන්නා ලෙස පැවසීය.

යොහන් 20:23 යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.

යේසුස්වහන්සේ පැමිණෙන්නාවු ශුද්ධාත්මය පිළිබඳ ගෝලයන්ට පැහැදිලි කරන ලදි.

ශුද්ධාත්මයාණන්වහන්සේ යනු දෙයක් නොවේය. එතුමා ශුද්ධවු දේවත්වයේ කෙනෙකුය. එනම් පියාණන්වහන්සේ, පුත‍්‍රයාණන් වහන්සේ හා ශුද්ධාත්මයාණන්වහන්සේය.

ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් අප ලබා ගන්නේ මුළු දේවත්වයේම බලයයි.

යොහන් 14:16
මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක.

ශුද්ධාත්මයාණන් දෙනු ලබන්නේ අප සමඟ සදාකල්ම සිටින පිණිසය.

යොහන් 14:17
ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

ලෝකයා ශුද්ධාත්මයාණන්වහන්සේව දකින්නේවත්, අඳුනන්නේවත් නැත. මනුෂ්‍යයන් ඔබව ප‍්‍රතික්ෂේප කරන්නේ ඒ නිසයි. බොහෝ විට ඔබ දිව්‍යමය බලයෙන් පිරී සිටින බව ඒ අය දන්නේ නැත.

නමුත් ඔබගේ වචන වලින්, ඔබ ක‍්‍රියා කරන ආකාරයෙන්, සාක්ෂි දරණ ආකාරයෙන් ඒ අය දකී.

එපමණක් නොව ඔබගේ ජීවන රටාවේ ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ ජීවමානව වැඩ සිටින බව ඒ අය දකින්නට අවශ්‍යයි.

මනුෂ්‍යයන් ශුද්ධාත්මයාණන්වහන්සේව නොදැක්ක නමුත්, ඔබ තුළ එම බලය බලවත්වමින් ක‍්‍රියා කරන බවට ඔබ දනී.

යොහන් 15:26 නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක. 27 පටන්ගැන්මේ සිට නුඹලා මා සමඟ සිටි බැවින් නුඹලාත් සාක්ෂිදෙන්නහුය.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ සිටිමින් අපව සනසමින් යේසුස්වහන්සේ කළාවූ දේවල්, කීවාවූ වචන අපට මතක්කර දෙනු ඇත.

යොහන් 16:1-2
1 නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි.
2 ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.

යේසුස්වහන්සේ ගෝලයන්ට ඔවුන් මුහුණ දෙන්ට වෙන්නාවු තත්වයන් කියා දෙමින් ඔවුන් ශක්තිමත් කළසේක.

යොහන් 16:3-7
3 ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත. 4 තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය.
5 නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත. 6 නුමුත් මා මේ දේවල් නුඹලාට කී බැවින් නුඹලාගේ සිත් දුකින් පිරී තිබේ. 7 එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.

සැනසිලිකරුවාණන්, සත්‍යතාවේ ආත්මයාණෝ බව යේසුස්වහන්සේ පැවසූසේක. ශුද්ධාත්මයාණන්වහන්සේගේ ගුණාංගද උන්වහන්සේ අපට පෙන්වා දී තිබේ.

යොහන් 16:8-12
8 උන්වහන්සේ ආ කල, පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවාදෙනසේක. 9 පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය; 10 ධර්මිෂ්ඨකම ගැනයයි කීවේ මාගේ පියාණන්වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය; 11 විනිශ්චය ගැනයයි කීවේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චයකරනු ලැබ සිටින නිසාය. 12 නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය.

යොහන් 16:13-15
13 එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන් වහන්සේ ආකල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.
14 උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේක.
15 පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගේය. එහෙයින්: උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේකැයි කීවෙමි.

සත්‍යතාවේ ආත්මය ඔබ තුළට පැමිණි කල උන්වහන්සේ ඔබව සියලුම සත්‍යය කරා මඟ පෙන්වනු ඇත.

සැබෑවේ ආත්මය ඔබ තුළ සිටින නිසා ඔබ සත්‍යයය දැන ගනු ඇත. ඒ සත්‍යය ඔබව නිදහස් කරයි. ඒ නිදහස්කම තුළ අපි ජීවත්වෙමු.

මේ අන්තිම කාලයේ අප බලවත් සෙනඟක් ලෙස ජීවත්වීමට නම් ශුද්ධාත්මෙන් පිරී සිටීම ඉතාම වැදගත්ය.


Watch the Sermon Video

Read 253 times