+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යක්ෂයන්ට කිතුනුවන් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය - මනූ මැතානි
June 2, 2024 Sunday Sermon Notes

 

අපි සියලු දෙනා යේසුස්වහන්සේ පිළිගත් පසු ශුද්ධාත්මයෙන් පිරී සිටින්නට අවශ්‍යයි.

ශුද්ධාත්මයෙන් පිරී සිටින මනුෂ්‍යයෙක් කවදාවත් රැවටෙන්නේ නැත.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට යම් යම් දේවල් එළිදරව් කරමින් පෙන්වා දෙනසේක.

අදහන්නාගේ ලකුණු යේසුස්වහන්සේ පැහැදිලිව පෙන්වා දී තිබේ.

ශු. මාර්ක් 16:17
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

යේසුස්වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු කිරීම උන්වහන්සේ පසුපස එන්නන්ගේ ලකුණක්ය;.

ඔබව පාලනය කිරීමට යක්ෂයාට ඉඩ නොදෙන්න. බොහෝ වෙලාවට යක්ෂ ආත්ම වලින් මනුෂ්‍යයාට අසනීප ඇතිවිය හැකියි.

යක්ෂයා විසින් පීඩා කළ අයව උන්වහන්සේ සුව කිරීමෙන්, යේසුස්වහන්සේ එය පෙන්වා දී තිබේ.

ක්‍රියා 10:38
[38] දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.

යේසුස්වහන්සේගේ ඉගැන්වීම් අසමින් සිටි කුදු ස්ත‍්‍රියව යේසුස්වහන්සේ විසින් නිදහස් කරන ලද්දේය. (ලූක් 13:10-13)

යුදෙව් නායකයන් ඇයගේ සුවවීම විවේචනය කරන ලදි. (ලූක් 13:14)

මෙම ස්ත‍්‍රියව සාතන් විසින් අවුරුදු 18 ක කාලයක් බැඳ දමා සිටි බව යේසුස්වහන්සේ පවසයි.

ලූක් 13:16
[16] එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.

රෝගවලට සාතන්ගේ බලපෑම් එන්නට පුළුවන.

යක්ෂයා විසින් අවුරුදු 18ක කාලයක් මේ කාන්තාව බැඳ දමා තිබුණා.

සමහර විට ඔබ දීර්ඝ කාලීන රෝගයකින් පෙලෙනවා විය හැක. සමහර විට එය යක්ෂයාගේ බලපෑමක් විය හැකිය.

ඔබ අදහන කෙනෙක් නම් යක්ෂයන් දුරු කරන්න පුරුදුවෙන්න.

යම් සහෝදරයන් හා එක්ව එකමුතුව ඔබට යක්ෂයන් දුරු කළ හැක. එහෙත් පෞද්ගලිකව ඔබට තනියම වුවද යක්ෂයින් දුරු කිරීමට භිය නොවන්න. මන්ද ඔබට යක්ෂයන් දුරු කිරීමේ හැකියාව ඇත.

යේසුස්වහන්සේ අපට යක්ෂයන් දුරු කිරීමේ බලය දී ඇත. ඔබගේ පමණක් නොව, අන් අයගේ ජීවිත වලට ඔබට එය කළ හැකිය.

තව කෙනෙකුගේ යක්ෂයෙකු දුරු කිරීමට පෙර ඒ කෙනාට සුභාරංචි වචනය පවසා ඔහුව යේසුස්වහන්සේ තුළ ශක්තිමත් කළ යුතුය. එසේ නොමැති වුවහොත් එම යක්ෂ ආත්මය නික්ම ගොස් තව ආත්ම 7ක් රැගෙන විත් එම පුද්ගලයා තුළ වාසය කරයි. (මතෙව් 12:43-45)

යමෙක් යේසුස්වහන්සේ පිළිගත් කල ඔහු සම්පූර්ණකමට පැමිණ සිටී. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහුගේ හදවතට පැමිණ සිටින නිසා යක්ෂයාට ඒ කෙනාගේ ආත්මය තුළට ඇතුල් වෙන්නට නොහැකියි.

ඔබ යේසුස්වහන්සේ පිළිගත්විට යක්ෂයාට ඔබගේ පිටස්තර ශරීරයටත්, මනසටත් බලපෑම් එල්ල කළ හැකියි. එහෙත් ඔබගේ අභ්‍යන්තර ආත්මයට ඇතුල්විය නොහැකයි.

යක්ෂයා ඔබට නපුරු සිතුවිලි සේම සාදාරණයි කියා සිතන්නාවු සිතුවිලිද ගෙනෙන්නට පුළුවන. නමුත් ඔබ ඒවා ප‍්‍රතික්ෂේප කළ යුතුයි.

ඔබ මාංසයට ඉඩ දුන්නොත්, එනම්, බොරු කීමට, අසාධාරන ලෙස කෝප වන්නෙක් වීමට, ඔබ යක්ෂ ආත්ම වලට ඒ ස්ථානය පුරවන්නට ඉඩක් සලසා දෙන්නේය.

1 යොහන් 5:18
දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

අපි දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින්නේ නම් අප පව් කරන්නේ නැත. නමුත් අපි අපගේ ප්‍රාණය (මනස) සහ ශරීරය අප විසින්ම ආරක්ෂා කර ගත යුතුයි.

යක්ෂයා ඔබගේ පසුගිය කාරණාවන් මතක් කර දෙමින් ඔබ තුළ ශෝකය ඉපදවීමට පුළුවන. එවිට ඔබ සියල්ලෙන් ඈත්ව තනිවීමට උත්සහා දරයි. එවැනි ශෝකය මරණය උපදවයි.

‭2 කොරින්ති 7:10
මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

යක්ෂයා ලෝකයේ දෙවියා නිසා, ලෞකික ශෝකයට ඔබ ඉඩ දුනහොත් ඌට ඔබව බඳවා තබන්නට පුළුවන. යක්ෂයා මනුෂ්‍යයාට වධ දෙමින් තබා ගනියි.

ආදම් අකීකරු වූ සැනින් මැරුණේ නැත. ඔහුට ශාරීරිකව මැරෙන්නට අවුරුදු නමසිය තිහක් ගියත් ඔහු ගත කළේ මලානික ජීවිතයකි. ඔහුගේ පළවෙනි දරුවන් දෙදෙනා අතර මිනී මැරුමක් සිදුවුණි.

සමහර කිතුනුවන් පසුබටව දෙවියන්වහන්සේගෙන් ඈත්ව සිටින්නේ ඒ නිසාය.

ඔවුන් සිතන්නේ දෙවියන්වහන්සේ සියල්ලට ඉඩ හරිනවා කියාය. එලෙස ඉඩ හැරීමට දෙවියන්වහන්සේ සතුරෙක් නොව, උන්වහන්සේ අපගේ මිතුරෙකි.

දෙවියන්වහන්සේ ඔබට නිදහස් කැමැත්තක් මෙන්ම ප‍්‍රඥාවද දී ඇත. ඔබ එය නිසි ලෙස පාවිච්චි කරන්න.

යක්ෂයාට එකවරම ඔබව පාලනය කළ නොහැක. එය කළ හැක්කේ ඔබ ඉඩ දුනහොත් පමණි.

කෝපවීම භයානකයි. කෝපවුවත් පව් නොකරන්නැයි කියා ඇත.

එපීස 4:26
[26] කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.

බොහෝ දික්කසාදවීම් ඇතිවන්නේ ඔවුන්ගේ ප‍්‍රශ්න ඒ දවස ඇතුලත ඔවුන් කතා කර විසඳා නොගන්නා නිසාය. දවසින් දවස කල් යවන විට සතුරා දෙදෙනාගේ සිත් වලට නොගැළපීම් ඇතිවන සිතුවිලි ඇති කරයි. දිවිනසා ගන්නා තරමට අවුල් සිතුවිලි ඇති කරයි.

යක්ෂයා යේසුස්වහන්සේට පැවසුවේ, “ඔබ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා නම් මේ කන්දෙන් පහතට පනින්න දෙවියන්වහන්සේගේ දූතයන් ඔබ ආරක්ෂා කරයි” කියාය. (මතෙව් 4:6)

යේසුස්වහන්සේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන ලද්දේය. (මතෙව් 4:7)

අපගේ ආරක්ෂාවට දේව දූතයින් පත් කර ඇත. එහෙත් අපගේ මෝඩකමට උන්වහන්සේ ආරක්ෂා නොකරනු ඇත.

අප යක්ෂයාට ඉඩ නොදී සිටිය යුතුය. ඉඩදීම කෝපයෙන් ආරම්භ විය හැකියි. පසුව සමාව නොදීමේ ආත්මයක්ද හට ගන්නට පුළුවන.

කාලය ගත වීමට පෙර ඔබ ඉක්මනින් සමාව ඉල්ලා ගන්න. දුර්වල තැන් හදා ගන්න. එය දිගටම ගෙනයාමට ඉඩ නොදෙන්න.

එම යක්ෂ ආත්ම බැඳ දමා, යාච්ඤාවෙන් එම බලපෑම් ඉවත් කරන්න. ඒ සඳහා ඔබට අයිතිය ඇත.

කිතුනුවෙකු යක්ෂයාට ඉඩ දුන්නොත් ඌට ඔබේ ජීවිතය පාලනය කරන්නට හැකියි. ඔබ එයට ඉඩ නොදෙන්න. යක්ෂයාට විරුද්ධව සිටින්න. සුළු දෙයක් විශාල කර නොගන්න.

එපීස 4:28
[28] සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.

උන්වහන්සේ අපගේ මෝඩකමේ ක්‍රියාවන් වලට ආරක්ෂා කරන්නේ නැත. ඉක්මනින්ම දේවල් විසඳා ගත යුතුය.

යක්ෂ ආත්මවලට ඔබ විරුද්ධ විය යුතුයි. යක්ෂයා මනුෂ්‍යයන්ගේ මනසට යම් යම් සිතුවිලි ගෙනැවිත් ඒ අයව විනාශ කරන්නට තැත් කළ හැකියි.

හිතෝපදේශ 16:28
[28] ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.

ඔබගේ කනට කොඳුරන කෙනා, ඔබට හිතේෂි අයව ඔබෙන් වෙන්කරයි. ඔබ එක්ව කළාවු යහපත් දේ නතර කරයි. සමහර විට ඒ තුළින් ඥානවන්ත මිතුරෙකු ඔබට අහිමි විය හැකිය.

‭හිතෝපදේශ 13:20
[20] ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්ත වන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

දේව වචනය අසන්නාවු අය හා අසා පිළිපදින්නාවු අය අතර විශාල වෙනසක් තිබේ.

ඥානවන්තයන් වචනය අසා කීකරුවන්නන්ය. එවැනි අය හා මිත‍්‍රකම් ඇතිකර ගැනීම යහපත්ය.

වචනය හොඳින් දැන සිටියත් එය පිළිනොපදින්නන් හා ඔබ ගමන් කළහොත් ඔවුන්ගේ විනාශය ඔබ තුළද ඇති විය හැකියි.

සතුරාට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

ඔබ තුළ වාසය කරන තැනැන්වහන්සේ සියල්ල දන්නාසේක.

ඔබ තුළ වාසය කරන තැනැන්වහන්සේ තුළින් ඔබට තිබෙන ආලේපයෙන් ඔබ සියල්ල දනී.

1 යොහන් 2:20
[20] නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.

ඔබට දැනගන්ට අවශ්‍ය දේ දෙවියන්වහන්සේ ඔබට පෙන්වා දෙයි.

කෙනෙක් පැමිණ දෙයක් පැවසු සැනින් එය විශ්වාස නොකරන්න.

බොරුවේ පියා නිතරම කතා කරන්නේ බොරුවමයි.

සත්‍යතාවයේ ආත්මය නිතරම අපව ගොඩනඟයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ සත්‍යතාවේ ආත්මයයි. උන්වහන්සේ ඔබට යමක් පැවසුවා නම්, ඒ දේ ඔබ කරන්න.

ඔබ තුළ වාසය කරන ශුද්ධාමයාණන්ගේ ආලේපය ඔබ ලබා තිබෙන බැවින් ඔබ සියල්ල දැන සිටී.

යෙරෙමියා 23:23-24
[23] මම ළඟ සිටින දෙවිකෙනෙක් මෙන්ම දුර සිටින දෙවිකෙනෙක් නොවෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. [24] මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ සිටින්නේ ඔබ තුළයි. උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නොහැක. උන්වහන්සේ සෑම තැන්හීම වැඩවසන තැනැන්වහන්සේය.

‭යෙරෙමියා 23:25-26
[25] ස්වප්නයක් දුටිමි, ස්වප්නයක් දුටිමියි කියා මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියන ප්‍රොපේතවරුන් කියන දේ ඇසීමි. [26] බොරුවට අනාගතවාක්‍ය කියන්නාවූ, තමුන්ගේ සිත්වල වංචාව අනාගතවාක්‍ය කොට කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ සිතේ මෙය කොපමණ කල් පවතින්නේද?

දෙවියන්වහන්සේගේ නාමයෙන් බොරු අනාගතවාක්‍ය කියන අය සිටී. ඒ සියල්ල දැනගැනීමට ඔබට ආලේපයක් දී තිබේ.

බොරු අනාගතවක්තෘගේ බොරුව කවදා හෝ එළිවෙයි.

යෙරෙමියා 23:27
[27] මේ සෙනඟගේ පියවරුන් බාල් නිසා මාගේ නාමය මතකනැතිකළාක්මෙන්, තමුන් විසින් එකිනෙකාට කියාදෙන තමුන්ගේ ස්වප්න කරණකොටගෙන මාගේ සෙනඟ ලවාම මාගේ නාමය මතකනැතිකරවන්ට ඔව්හු සිතින් අභිප්‍රායකරති.

දෙවියන්වහන්සේගේ නාමය අමතක වන තරමට ඔවුන් බොරු අනාගතවාක්‍ය කියති.

රැවටී සිටින මනුෂ්‍යයන් කතා කරන්නේ දෙවියන්වහන්සේගේ නාමය නොව, අනාගතවාක්‍යය කියන්නා ගැනය.

ඇදහිලිවන්තයන් ලෙස අප අවදි විය යුතුයි.

ශුද්ධාත්මයාණනවහන්සේ ඔබට දී තිබෙන ආනුභාවයෙන් ඔබ සියල්ල දනී.

අප එය දැන ගැනීමට උත්සහ නොකරමින්, අපගේ මාංසයෙන් අපට හැඟෙන දේ පිළිගන්නවා නම්, අපද එම රැවටිලිකාරයන්ට රැවටෙනු අත.

යේසුස්වහන්සේගේ නාමය බලවත්ම නාමයයි. ඒ නාමයට අපි ගෞරවය දෙමු.

අප වෙනුවෙන් කුරුසපත්වූයේ බොරු අනාගතවක්තෘවරයා නොව, යේසුස්වහන්සේය. දුක්විඳ තුවාල දරාගත්තේ, කටු ඔටුන්නක් ගෙන මානසිකව වේදනාව දරා ගත්තේ යේසුස්වහන්සේය.

තමාගේ අත් පා වලට ඇණ ගැසීමට ඉඩ දුන්නේ යේසුස්වහන්සේය. ඔබ උන්වහන්සේගේ නාමය ඔසවන්න. එවිට එම නාමය ඔබගේ ජීවිතය තුළ බොහෝ දේ කරයි.

ඒ නාමයෙන් යක්ෂ ආත්ම දුරු කළ හැකිය. ඒ නාමය වැදගත්ය. ඒ නාමය ඔබට අමතක වුවහොත්, නැතහොත් ඔබ වෙනත් නාම පසුපස යන්නේ නම් ඔබට යක්ෂයාට යටත් වීමට සිදුවේ.

පේතෘස් ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් අනනියස් හා සප්පිරාට කතා කරන ලදි.

ක්‍රියා 5:3
නුමුත් පේතෘස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?

සාතන් අනනියස්නියෙස්ගේ හදවත බොරුවෙන් පුරවා ශුද්ධාත්මයාණන්වහන්සේට පවා විරුද්ධව සිටින්නට ඔහුව රවට්ටන්නට පෙළඹවීමක් කළා.

ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කිරීමට අපට පුළුවන. නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ සියල්ල දන්නාසේක. උන්වහන්සේට බොරු කිරීම මෝඩ ක‍්‍රියාවකි.

අප ශුද්ධාත්මයාණන්වහන්සේට විවෘත වෙමු. උන්වහන්සේ අපගේ සියල්ලෙන් සියල්ලයි. උන්වහන්සේ නොමැතිව අපට කිසිවක් කළ නොහැක.

ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කරන තරමට යක්ෂයාට මනුෂ්‍යයාගේ සිත පිරවිය හැකිය.

ඔබ කිතුනු භක්තිකයෙකු වුවත් ඔබගේ සිත යොමු කරන්නාවු දේ වලින් යක්ෂයාට ඔබගේ සිත පිරවිය හැකිය.

ඔබ ආත්මයෙන් පිරී සිටින මනුෂ්‍යයෙක් ලෙස යමෙකුට බොරුවක් කීවොත් ඔබ බොරු කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේටයි.

අනනියස් බොරුව කීවේ පේතෘස්ටයි. නමුත් පේතෘස් පැවසුවේ ඔබ බොරු කීවේ ශුද්ධාත්මයාණන්වහන්සේට කියාය.

බොරුකීම සම්පූර්ණයෙන්ම අත්හැර දමා ප‍්‍රේමයෙන් අප ඇත්ත කතා කරමු.

බොරුව බොහෝ කල් ගෙන යා නොහැක.

අප රැවටෙන්නේ මාංසය නිසාය.

අප ජීවත්වන ලෝකයේ නපුරු ආත්ම” කව්රු ගිලගනිම්දෝ” කියා සැරිසරමින් සිටින්නේය. (1පේතෘස් 5:8)

සතුරා සොයමින් සිටින්නේ කවරෙකු හෝ උපයෝගි කර ගනිමින් බොරුවෙන් සභාව වියවුල් කිරීමටය.

සතුරාට ඉඩ නොදී, ඔබ අවංකව ශුද්ධාත්මයාණන්වහන්සේට කීකරුව ගමන් කරන්න.

දේශකයන් වුවද වංකකමින් මනුෂ්‍යයන් රවටනවා විය හැක. නමුත් ඇදහිලිවන්තයා එය සත්‍යයක්දැයි විමසා බැලිය යුතුය.

වර්ධනය වීම එක දෙයක් වූවත් බොරුව කාලයක් තිස්සේ ගෙනයාම භයානක දෙයකි.

වරදක්වූ කල එයට දෙවියන්වහන්සේගෙන්ද, එම පුද්ගලයාගෙන්ද සමාව ගෙන අපට ජීවත්වීමට පුළුවන. නමුත් ඔබ ශුද්ධාත්මයෙන් පිරී සිටින නිසා යක්ෂයාට ඔබගේ ජීවිතේ බලපෑම් ඇති කිරීමට නොහැකියයි නොසිතන්න.
අපගේ නිදහස නැතිවන ලෙස අපව බඳවා තැබීමට යක්ෂයාට පුළුවන.

සමහර කිතුනු භක්තිකයන්ගේ මනස්වල කාලයක් තිස්සේ බලකොටු තිබෙන්නට පුළුවන. ඒවා කඩා නොදැමුවහොත් ඔවුන්ට ක‍්‍රිස්තුස්වහන්සේ තුළ වර්ධනය විය නොහැක.

දේව වචනය අසමින් අප දිනපතා බලකොටු කඩා දමමු.

ගලාති 5:1
[1] ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.

ක‍්‍රිස්තුස්වහන්සේ ඔබව නිදහස් කළේ නිදහසේ ගමන් කිරීමටත් ස්ථීරව සිටීමටත්ය.

අනුග‍්‍රහය තුළින් ගැළවීම ලබාගත් ඔබ සිටින්නේ ව්‍යවස්ථාව යටතේ නොවෙයි. යමෙක් ඔබට ව්‍යවස්ථා කාරණා පිළිපදින්නැයි කියන්නේ නම්, ඊටත් වඩා වගකීමක් ඔබගේ ජීවිතයේ ඇත.

අප දෙවියන්වහන්සේගේ මාළිඟාවයි. එය තුළ විශාල වගකීමක් ඇත. කෝප නොවී, සිතින් කාම මිථ්‍යාචාරකම් නොකරමින්, සිටිය යුතුය.

කොපවීම මිනිමැරීම හා සමානය, අසභ්‍ය දේ බැලීම සිතින් කාම මිථ්‍යාචාරය කිරීමකි.

පරණ ගිවිසුමේ සියල්ල සිදුවූයේ ක‍්‍රියාවෙනි. එහෙත් නව ගිවිසුම තුළ සියල්ල සිදුවන්නේ සිතින්ය.

නව ගිවිසුම ආකාරයට ඔබගේ ජීවිත ගමන ගෙන යන්න.

යක්ෂයාට ඉඩ නොදෙන්න.

කායින් කෝපයෙන් සිටි නිසා නපුරාට ඔහු තුළින් ක‍්‍රියා කරන්නට පුළුවන් වුණි.

කෝප වීමෙන් කායින්ගේ මුහුණ පවා වෙනස් වුණේය. දෙවියන්වහන්සේ කායින්ට ”ඔබේ මුහුණ වෙනස්වී තිබෙන්නේ, පාපය ඔබේ දොර ළඟමයි සිටින්නේ” කියා අවවාද කළත් ඔහු එය පිළිනොගන්නා ලදි. (උත්පත්ති 4:6)

සමහර මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ අවවාද නොසලකා හරිමින් යක්ෂ ආත්ම වලට මුළාවී ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කරමින් ගමන් කරති.

සත්‍යතාවේ වචනයට විරුද්ධව ගමන් කරන්නාවු පුද්ගලයාගේ මාර්ගයෙන් ඈත් වෙන්න.

සත්‍යතාවේ වචනය තුළ ගමන් කරන්නාවු ඔබට, යමෙක් මෙසේ බලපෑම් ඇති කරන්න උත්සහ කරන්නේ නම්, “මෙය විශේෂ එළිදරව්වක්” කියමින් ඔබව එයට යටත් කරන්නට හදන්නේ නම්, එම පුද්ගලයා තුළ ක‍්‍රියා කරන්නේ පාලනය කිරීමේ ආත්මයකි.

පාලනය කිරීමේ ආත්මය භයානක ආත්මයකි.

ඔබගේ ජීවිතය තුළ දීර්ඝ කාලීනව අසනීපයක්, රෝගයක්, වේදනාවක් තිබේ නම් එය සාතන්ගේ ග‍්‍රහණයක් විය හැක. ඔබ යේසුස්වහන්සේගේ නාමයෙන් එම යක්ෂ ආත්ම බිඳ හෙළා දමන්න.


Watch the Sermon Video

Read 230 times