+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි අන්‍ භාෂාවලින් කථාකරමු - යෝෂා මනූ
June 9, 2024 Sunday Sermon Notes


අපගේ පිපාසය සංසිඳුවන්නෙත්, අපගේ පෝෂණය වන්නෙත් දෙවියන්වහන්සේමය.

අපට තිබෙන්නේ අපව පෝෂණය කරන්නාවු, ශක්තිමත් කරන්නාවු දෙවියන්වහන්සේට ස්තූති කිරීමය.

ගැළවීම ලබා ගත් පසු, මූලික කරුණු අතර ශුද්ධාත්ම බලයෙන් බව්තීස්ම වී සිටීම පිළිබඳ අප ගිය සතියේ හැදෑරුවෙමු.

ශුද්ධාත්ම බලයෙන් යාච්ඤා කිරීම කොතරම් වැදගත්ද කියා අද අප බලමු.

ශුද්ධාත්ම භාෂාවෙන් යාච්ඤා කිරීම

අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීම මූලික කරුණකි.

ප‍්‍රථම සභාව ආරම්භයේදී දෙවියන්වහන්සේ ඔවුන්ට අණ කළේ ඉහළින් බලය ලැබෙන තුරු ඔවුන්ට කිසිවක් නොකරන ලෙසටයි. (ක‍්‍රියා 1:4)

ඔවුන් ශුද්ධාත්ම බලයෙන් පිරුණායින් පසු දිව්‍යමය භාෂාවෙන් කථා කරන්නට පටන් ගත්හ. (ක‍්‍රියා 2:4)

අප ගැළවීම ලබා ගන්නා දවසේම, ශුද්ධාත්මෙන්ද පූර්ණ විය හැකියි.

යෙසායා අනාගතවක්තෘ තුළින් දෙවියන්වහන්සේ කතා කර පැවසුවේ මතු පරම්පරාවක් අන් භාෂාවලින් කතා කරන්නට යන බවයි.

දෙවියන්වහන්සේ ඒ පොරොන්දු වූ දේ අද අපි උරුමකරගෙන සිටිමු.

‭යෙසායා 28:9-12
[9] ‍උන්වහන්සේ දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරි වැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද? [10] මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය. [11] එසේය, උන්වහන්සේ වියවුල් තොල්වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කථාකරනවා ඇත. [12] උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නිවාඩුව මේය, වෙහෙසවූ අයට නිවාඩු දෙන්න; නිෂ්කලංකයත් මේයයි කීසේක. එහෙත් ඔව්හු අසන්ට අකැමැතිවූහ.

අප ආත්මිකව අලුත ඉපදෙන විට, දෙවියන්වහන්සේ අපව ශුද්ධාත්ම බලයෙන් පුරවනු ලබන්නේය.

අපගේ ඇදහිල්ල ආරම්භ වූ මොහොත පටන් අපට ශුද්ධාත්මයෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමට පුළුවන.

ශුද්ධාත්මයෙන් කථා කිරීම යනු, දෙවියන්වහන්සේ සමඟ සමීප සංවාදයක් පවත්වාගෙන යාමය.

දෙවියන්වහන්සේව සෙව්ව අප ගැළවීම ලබා ගත් පසු, දිව්‍යමය තොල් වලින් ශුද්ධාත්ම භාෂාවෙන් කතා කරන කල, අපගේ අභ්‍යන්තරය තුළ පුදුමාකාර නිස්කලංකයක්, නිවාඩුවක් දැනෙනු ඇත.

දෙවියන්වහන්සේගෙන් සියල්ලක්ම අප ලබා ගන්නේ ඇදහිල්ලෙන් නැතහොත් විශ්වාස කිරීමෙන් පමණි.

නොඅදහන්නන්ටත් විශ්වාස නොකරන්නන්ටත් කිසිවක් නොලැබෙයි.

‭මාර්ක් 16:17
අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

අදහන්නන් අන් භාෂාවෙන් කතා කරන්නට යන බව යේසුස්වහන්සේ පැවසුවාය.

ක්‍රියා 2:4 ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

අන් භාෂාවලින් කතාකරන්නට පටන් ගත් පසු අප එය නොනවත්වා, නොකඩව කරගෙන යා යුතුය.

පේතෘස් වචනය ප‍්‍රකාශ කරමින් සිටින විට කොරනේලියස් සහ එහි සිටි සියල්ලෝම ශුද්ධාත්මයෙන් පිරුණෝය.

ක්‍රියා 10:46
මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්:

අන්‍ය ජාතීන්ටද අන් භාෂාවලින් කතා කිරීමේ දීමනාව ලැබූ බව දුටු යුදෙව්වරුන් පුදුමයට පත් වූවා.

අන්‍ය භාෂාවෙන් කතා කිරීමේදී අපි දෙවියන්වහන්සේගේ නාමය වර්ණනා කරනවා සේම, උන්වහන්සේ සමඟ සංවාදයේ යෙදී සිටින්නෙමු.

අපට වතුර බව්තීස්මය ලබාගන්නට පෙර හෝ පසුව වුවද, ශුද්ධාත්මයෙන් පිරී අන්‍ය භාෂාවෙන් කතා කළ හැකිය. එය සිදුවිය යුත්තේ වතුර බව්තිස්මයෙන් පෙරද පසුද කියා නියමයක් නොමැත.

‭ක්‍රියා 19:6
පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය.

අන් භාෂාවෙන් කතා කිරීමේ ප‍්‍රයෝජන:

‭1 කොරින්ති 14:2, 4
[2] මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත.
[4] අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය,
නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය.

අන් භාෂාවෙන් කතා කරන්නා මනුෂ්‍යන්ට නොව දෙවියන්වහන්සේ හා සමඟ කතා කරන්නේය.

අන් භාෂාවෙන් කතා කරන්නා, දෙවියන්වහන්සේ සමඟ රහස් කතා කරයි. එය කාටවත් නොතේරෙන්නේය.

අන් භාෂාවෙන් කතා කරන කල, ඔහු තමාවම වර්ධනය කර ගන්නේය.

යුද් 1:20
නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමිනි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,

අප අන්‍ය භාෂාවෙන් නොකඩව යාච්ඤා කළ යුතුය.

පාවුල්තුමා නොකඩව අන්‍ය භාෂාවෙන් යාච්ඤා කළේය.

1 කොරින්ති 14:14-15
14 මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත. 15 එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි.

අප සාමාන්‍යයෙන් කතා කරන කල, අපගේ මොළයේ ඉදිරිපස කොටස ක‍්‍රියා කරන්නේය. නුමුත් අප අන්‍ය භාෂාවෙන් කතා කරන කල, අපගේ ආත්මය කෙලින්ම මුඛය තුළින් දෙවියන්වහන්සේ හා සමඟ කථා කරයි. ඒ සංවාදයේදී මනසට කිසිදු ආකාරයෙන් සම්බන්ධකමක් නොමැත. අපට කතා කරන දේ තේරෙන්නේ නැත කියා පවසන්නේ ඒ නිසාය.

ඔබට නොතේරුනත් ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන කල, ඔබගේ ආත්මය දෙවියන්වහන්සේ හා සමඟ සම්බන්ධ වෙයි.

මෙය නිතරම කිරීමෙන් අපි අපිවම වර්ධනය කර ගන්නෙමු.

1තෙසෙලෝනික 5:17 පවසන්නේ, නොකඩව යාච්ඤාකරන්න;

අපි මනුෂ්‍යයන් එක්ක කතා නොකරන වේලාවන්හිදී අපට අන්‍ය භාෂාවෙන් කතා කළ හැක.

ඔබගේ මුඛය වැසී තිබුණත් ඔබගේ තොල් ස්වාමීන්වහන්සේට යාච්ඤා කරමිනුයි සිටින්නේ.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරමින් සිටින කල, දෙවියන්වහන්සේට යම් යම් තත්වයන් පෙන්වා දී ඒ වෙනුවෙන් යාච්ඤා කරන පිණිස මඟ පෙන්වීමට පුළුවන.

1 කොරින්ති 14:5
නුඹලා සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් නුඹලා ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය.

අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීම ඉතාම වැදගත්. එය අපට දෙවියන්වහන්සේ හා සමඟ තිබෙන සමීප සම්බන්ධකමයි. අපට නොතේරුණත් අප දෙවියන්වහන්සේගේ අධිස්වභාවික බලයත් සමඟ සම්බන්ධ වන්නේය.

රෝම 8:26
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

දුර්වලකම් යන්නෙන් අදහස් කරන්නේ අප නොදන්නා කාරණාවන් උදෙසා යුතු ලෙස අප යාච්ඤා කිරීමට නොදැන සිටීමයි.

ඒ දුර්වලකමේදී අපට උපකාර කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

උන්වහන්සේ අප වෙනුවෙන් මැදහත්කාරකම් කරනසේක.

රෝම 8:27
ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන කල දේව කැමැත්ත කුමක්දැයි දෙවියන්වහන්සේ ඔබට පෙන්වා දෙයි.

රෝම 8:28
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

නිතරම ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබ නිතරම සුදානමින් සිටින්නේය. ජීවනායක උල්පත් ඔබ තුළින් ගලා යයි.

දෙවියන්වහන්සේ ඔබට උගතුන්ගේ දිවක් දී ඇත. (යෙසාසා 50:4)

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරමින් දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩ නඟා සිටින කල, නොදැනුවත්වම කෙනෙකුට සැනසීමේ වචන ඔබගේ මුඛයෙන් ගලා එයි.

නිතර ඔබ මෙලෙස කිරීමෙන් ඔබගේ ජීවිතයේ විශාල වෙනසක් ඔබට අත් දැකිය හැකිය.

දෙවියන්වහන්සේගේ වචනයෙන් පූර්ණවූ ජීවිතයක් අපි ගත කරමු.


Watch the Sermon Video

Read 268 times