+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපගේ ඇදහිල්ල විනාශ කිරීමට පරීක්ෂකයා පැමිණේ - මනූ මැතානි
June 9, 2024 Sunday Sermon Notes


අන් භාෂාවෙන් කතා කිරීම ඉතා වැදගත්ය. එය සුළු නොකරන්න. එයින් ඉවත්ව ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. එය අපට ලැබී ඇති දිව්‍යමය ප‍්‍රඥාවයි.

අපගේ මුළු ජීවිත කාලයටම ප‍්‍රඥාව ඉතා වැදගත්ය.

අපට දැනමුතුකම තිබුණත් අවස්ථානුකූලව පිළිතුරු දීමට ප‍්‍රඥාව අවශ්‍යයි.

අන් භාෂාවෙන් යාච්ඤා කිරීමෙන් ඔබට බොහෝ අනතුරු උපද්‍රව වලින් වැලකිය හැකිය.

අන්‍ය භාෂාව තුළින් සමහර විට අපෙන් තව කෙනෙකුට පණිවිඩයක් වුවද පැමිණිය හැකිය.

අන් භාෂාවෙන් කතා කිරීමේ හැකියාව ඉල්ලා, ඔබ යාච්ඤා කරන්න.

සතුරා අපගේ මනස උගේ වචන වලින් පුරවන්නට තැත් කරයි.

යේසුස්වහන්සේ පිළිගත් නිසා අපට සතුරු පීඩා, පරීක්ෂා නැත කියා පැවසිය නොහැකිය.

පරීක්ෂකයා පැමිණෙන්නේ පරීක්ෂා ගෙන එමින් ඔබව පරාජයට පත් කිරීමට කියා බයිබලයේ පවසයි.

‭1 තෙසලෝනික 3:1-2
[1] එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල, අතීනසෙහි තනියම අත්හරිනු ලැබීමට අපි සතුටුවී,
[2] මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිරකිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.

අපගේ ජීවිත ගමනේදී අප ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ලෙන් ස්ථීරව සිටිමු.

‭1 තෙසලෝනික 3:3
[3] මක්නිසාද අප දුක් විඳීමට නියමව තිබෙන බව නුඹලාම දනිහුය.

කිතුනු භක්තිකයන් වන අපට යම් පීඩා වලට මුහුණ දීමට සිදුවේ.

ප‍්‍රශ්න පැමිණෙන් නැතැයි පැවසීම දේව වචනය නොවෙයි.

ඔබ භක්තිවන්තව ජීවත්වීමට තීරණය කර ඇත්නම් ඔබට අනිවාර්යයෙන්ම බොහෝ පීඩා පැමිණෙන බව දේව වචනයට පවසයි.

‭2 තිමෝති 3:10-12
[10] නුමුත් නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද, [11] අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක. [12] එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.

ඔබ ආලෝකයේ ජීවත්වන්නෙක් නම්, ඔබගේ ඇදහිල්ලේ ගමනට අන්ධකාර බලවේග වල බාධා පැමිණිය හැකිය.

“මට කරදර එන්නැහැ” යැයි පැවසුවාට අපගේ ඇදහිල්ල ප‍්‍රකාශ නොවෙයි. ඇදහිල්ල ප‍්‍රකාශ වන්නේ, දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රකාශ කිරීමෙනි.

සතුරා ගෙන එන පීඩා, ප‍්‍රශ්න, බාධා වලින් ජය ගැනීමට දෙවියන්වහන්සේ අපට හැකියාව බලය, ශක්තිය දී ඇත.

පීඩා නැතැයි කියන මනුෂ්‍යයා තුළ ඇත්තේ බියගුලු ස්වභාවයකි. ඔහු දෙවියන්වහන්සේ තුළ ඉදිරියට නොයයි.

අන්ධකාර බලවේග, කරදර ප‍්‍රශ්න ඇති පාපිෂ්ඨ සමාජය වෙත දෙවියන්වහන්සේ ඔබව යවන්නේ ඔබ එතැනට විසඳුමක් වීමටය.

දෙවියන්වහන්සේ, ආලෝකයේ දරුවෙකුව අන්ධකාර බලවේග තිබෙන ස්ථානවලට යවන්නේ, එම ස්ථානයේ ක‍්‍රියාකරන එම බලවේග දුරු කිරීමටයි.

ඔබව පිළිනොගන්නා තැනට ඔබ යා යුතුය.

පාවුල්තුමා ගිය තැන්වල ඔහුව ප‍්‍රතික්ෂේප වුවත්, ඔහු එම ස්ථාන වලට යන ලදි.

ඔබව ප‍්‍රතික්ෂේප කරන්නාවු අය තුළින් ඔබට පීඩා ගෙනෙන්නේ යක්ෂයාය. ඔබ ප‍්‍රේමයෙන්, ඇදහිල්ලෙන්, ඉවසිලිවන්තව, යහපත් ගුරුකම් ඇතුව, ඉලක්කයක් කරා ගමන් කරන්නෙක්නම්, ඔබ කිසිදා පරාජිතයෙක් වන්නේ නැත.

ඔබ නිතර ජයග්‍රාහී කෙනෙකුය.

ඔබ ජයග‍්‍රහණයේ සිටින අවස්ථාවේදී, යක්ෂයා ඔබට පරාජය පෙන්නුම් කර, ඔබව පාගා දමන්නට උත්සහා කරත්, ඔබ අතීශයෙන් ජය ලද්දෙක් බව ප‍්‍රකාශ කරන්න.

ප‍්‍රශ්නයක් පැමිණි සැනකින් ඔබ පරාජිතයකු වන්නේ නැත. ඔබ ප‍්‍රශ්නය අභිබවා යා යුතුය.

අපි ප්‍රශ්න වර්ණනා නොකර, එයට විරුද්ධව සිට ගත යුතුයි.

ඔබගේ ප‍්‍රශ්නය කවුරුත් දැනගත යුතු නැත. එයට එරෙහිව සිටීමට ඔබට හැකියාව, බලය ඇත.

ප‍්‍රශ්නයක් පැමිණි විට ඔබ එයින් ජය ගත යුතුය.

භක්තිවන්තව ගමන් කරන්නාවු අප, ආලෝකයේ දරුවන්ය.

රෝම 13:11-12
[11] තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ. [12] රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.

අන්ධකාරය පහව ගොස් ඇති හෙයින්, ඔබ ආලෝකයේ දරුවෙකු මෙන් හැසිරෙන්න.

රෝම 13:13
[13] ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.

අන්ධකාර දේ වලට සම්බන්ධ නොවී, ඒවායින් වැළකී අවංකව හැසිරෙන්න.

‭රෝම 13:14
[14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැළඳගන්න.

තෘෂ්ණාව සම්පූර්ණ නොවන පිණිස යේසුස්වහන්සේ මෙන් ගමන් කරන්න.

යේසුස්වහන්සේ නපුරු මනුෂ්‍යයන් අතර සිටිමින් ඒ අය ගැළවීමට ගෙනෙන ලදි. (මතෙව් 9:10-13)

ඔබගේ පාපයෙන් ඔබට ගැළවීමට අවශ්‍ය නම්, ඔබගේ ධර්මිෂ්ඨකමින් ඔබ හැසිරෙන්න. ඔබගේ ධර්මිෂ්ඨකම මනුෂ්‍යයන් අතරට ගෙනයන්න. ඒ ධර්මිෂ්ඨකමේ බලයෙන් ඔබට තවත් කෙනෙක්ව ගැළවීමට, මුදවාලීමට පුළුවන් කමක් තිබේ.

ඔබගේ ශුද්ධ ගමනට බාධා කරන කෙනෙක් ඇත්නම්, ඒ කෙනාට හරි දේ කියා දෙමින් ඔබ ඒ කෙනාගෙන් ඈත් වන්න.

ඔබ නපුරු අයට සුභාරංචිය පැවසීමෙන් සමහර විට ඔවුන්ගේ ඒ නපුරු බැඳීම් වලින් ඔවුන්ට නිදහස් විය හැක.

ඔබ ශුද්ධව ගමන් කරන්නේ නම්, නපුරු මනුෂ්‍යයන්ගේ අශුද්ධ දේ ඔබට බලපාන්නේ නැත.

ඔබගේ ඇදහිල්ලේ පලිහ ඔසවා, ප‍්‍රේමයෙන් ගමන් කරමින්, ඉවසීමෙන් කටයුතු කරන ප‍්‍රඥාවන්ත කෙනෙක් නම් ඔබ භයවන්නට අවශය නැත.

‭2 කොරින්ති 6:4-6
[4] බොහෝ ඉවසීමෙන්ද පීඩා වලින්ද හිඟකම්වලින්ද විපත්ති වලින්ද, [5] පහරකෑම් වලින්ද හිරඅඩස්සිවීම් වලින්ද කෝලාහල වලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම් වලින්ද නිරාහාරව සිටීම්වලින්ද; [6] පිරිසිදුකමින්ද දැනගැන්මෙන්ද ඉවසිලිවන්තකමින්ද ගුණවත්කමින්ද ශුද්ධාත්මයෙන්ද අවංක ප්‍රේමයෙන්ද;

ඔබගේ ජීවිතේ හිරවූ තැන් තිබිය හැක. ඔබගේ ඇදහිල්ල ක‍්‍රියාත්මක වීමෙන් ජය ගත හැකිය.

පිරිසිදුකම, දැනගැන්ම, ඉවසිලිවන්තකම මේවා ඔබගේ ජීවිතයට දෙවියන්වහන්සේගේ යුධ ආයුධයි. ඔබට ජයගත හැකි වන්නේ මේවා තුළිනි.

සමහර තත්වයන්ගෙන් ඔබට ජය ගැනීමට බොහෝ ඉවසිලිවන්තව සිටීමට සිදුවේ.

‭1 පේතෘස් 3:13-14
[13] තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? [14] එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;

ඔබ අවංක, ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් නම් ඔබ ආශීර්වාද ලද්දෙක්ය.

ඔබට පීඩා කරන්නන් පිටුපස සිටින්නේ යක්ෂයාය. ඔබ ජය ගන්නවාට, සාක්ෂිකරුවෙකු ලෙස ජීවත්වෙනවාට ඔහු කැමති නැත. ඒ හෙයින් යක්ෂයා නොයෙක් පීඩා ඔබගේ ජීවිතයට ගෙන එයි. ඔබ ඒවාට භය නොවී අවංක කමින් හැසිරෙන්න.

ඔබ වැරදි කරමින් දුක් විඳින්නේ නම්, එයට දෙවියන්වහන්සේට දොස් නොපවරන්න.

1 පේතෘස් 2:19-20
[19] මක්නිසාද යමෙක් දෙවියන් වහන්සේ කෙරෙහිවූ හෘදය සාක්ෂිය නිසා අයුතුලෙස පීඩා විඳිමින් දුක් ඉවසන්නේ වී නම්, ඒක ප්‍රශංසනීය දෙයක්ය. [20] මක්නිසාද නුඹලා වරදකොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම්කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය.

ඔබගේ හදවතින් ඔබ ජීවත්වන්නේ දේව රාජ්‍යයේය. ඔබ නිතරම ප‍්‍රීතියෙන් ජීවත්වන්නේය.

අප මේ ලෝකයේ දේ වලට මුහුණ දුන්නත් අප අභ්‍යන්තර ප‍්‍රීතියෙන් සිටින්නේය.

අපගේ අභ්‍යන්තර මනුෂ්‍යයා දෙවියන්වහන්සේ තුළ ගැළවීම ලබා සඵලවත්ව දියුණුවෙන් සිටින්නේය.

දෙවියන්වහන්සේගේ ඇදහිල්ල කිසිදා මනුෂ්‍යයාගේ මෝඩකම හා තරඟයට නොයයි.

දෙවියන්වහන්සේගේ ඇදහිල්ල උන්වහන්සේගේ කැමැත්ත කරන්නා තුළ ප‍්‍රශංසනීය දෙයකි.

ආබ‍්‍රහම් බොහෝ දේ ගැන විශ්වාසවන්තව සිට ඔහු ඒ දේවල් ලබා ගත්තා.

මනුෂ්‍යයා ගැළවීම ලබන්නේ ඔබ සතු දෙයින් නොව සුභාරංචි වචනය තුළිණි.

ඔබ ඇදහිල්ලෙන් දෙයක් ලබා ගන්නවා මිසක කිසිවෙකුට ණයක්, බරක් නොවී කිසිවක් නොගන්න.

2 කොරින්ති 4:16
[16] එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.

බාහිර දේ මත විශ්වාසය තබමින් ක්ලාන්ත නොවන්න. අභ්‍යන්තරෙන් ඔබ දිනපතා ශක්තිමත්ව ඇදහිල්ල ගොඩනඟමින් සිටින්නෙකි.

දෙවියන්වහන්සේට යක්ෂයා සමඟ තරඟයක් නොමැත.

ඔබ අධර්මිෂ්ඨ මනුෂ්‍යයා සමඟ තරඟයට නොයන්න.

ඔබ සිටින්නේ ආලෝකයේය, ඔවුන් සිටින්නේ අන්ධකාරයේය; අන්ධකාරයේ ජීවත්වන මනුෂ්‍යයන් විනාශයේ ජීවත්වන අතර, ඔබ ජීවත්වන්නේ ජීවනයේය.

සියලු දේ දන්නාවු දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම හා ශුද්ධකම තුළින් ඔබගේ ජීවිතය ගෙනයයි.

‭2 කොරින්ති 4:17-18
[17] මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට, [18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

ලෞකික සැප සම්පත් වලට, අන් මනුෂ්‍යයන් හා තරඟයට නොයන්න.

ඔබ තුළ ප‍්‍රේමය තිබේනම් ප‍්‍රේමය සියල්ල දරා ගන්නේය.

දෙවියන්වහන්සේ අප හැමෝටම දීමනා දී ඇත. දෙවියන්වහන්සේට අප සියල්ලන්ම විශේෂය.

ප‍්‍රේමයෙන් ඉවසීමෙන් අප යන්නාවු මේ ගමන තුළ ලෝකයා සමඟ කිසිදු තරඟයක් අපට නොමැත.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, ධර්මිෂ්ඨකමත් සොයමින් ගමන් කරන කල, සියල්ලම අපට ලැබෙයි. (මතෙව් 6:33)

දෙවියන්වහන්සේගේ ආශීර්වාදයට උන්වහන්සේ දුක එකතු නොකරයි. සඵලත්වයේ ආශීර්වාදය තිබෙන්නේ ඔබ තුළයි.

‭2 කොරින්ති 4:17-18
[17] මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට, [18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

අප දියවී යන අය නොවේ, නිතරම බැබළෙන මනුෂ්‍යයන්ය. දෙවියන් වහන්සේගේ ගින්න තුළ සිටින්නාවු අයයි.

දෙවියන්වහන්සේ ඊයෙත් අදත් එකාකාරව සිටින්නා සේ ඔබත් ඊයෙත්, අදත්, හෙටත් එකාකාරව සිටිය යුතුය.

වසර ගණනක් ගෙව්නද ඔබ දෙවියන්වහන්සේ තුළ ශක්තිමත්ව සිටිය යුතුය.

බොහෝ අය ලෝකයට ආලය වී ඇදහිල්ලෙන් ඈත්ව යයි.

දේමස් පාවුල් හා සිටියත් කලකදි ඔහු අතහැර ලෝකයට යන ලදි.

‭2 තිමෝති 4:10
[10] මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.

ඔබ ළඟින් සිටි සමහර අය දැන් ලෝකෙට ප‍්‍රේම කරමින් දාලා යන්නට පුළුවන.

පෙනෙන දේ තාවකාලිකයි, නොපෙනෙන දේ සදාකාලිකව පවතිනවා.

නොපෙනෙන ප‍්‍රීතිය, ඉවසිලිවන්තකම, ප‍්‍රේමය සදාකාලිකවම පවතී.

ඔබගේ ආත්මික ජීවිතය සමඟ සෙල්ලමට නොයන්න.

නොයෙකුත් බලපෑම් ඔබගේ ජීවිතයට පැමිණියත්, දෙවියන්වහන්සේගේ වචනයට උතුම් ස්ථානය දී මේ ගමන ගමන් කළ යුතු බව ඔබ තේරුම් ගන්න.

ශු. මාර්ක් 4:6-7
[6] ඉර උදාවූකල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය. [7] අන් සමහරක් කටු අතරේ වැටුණේය, කටු වැවී ඒවා යටකළ බැවින් ඒවා ඵල නුදුන්නේය.

කටු අතර වැටීම යන්නෙන් අදහස් වන්නේ, දෙවියන්වහන්සේගේ වචනය, නොයෙකුත් සිතුවිලි අදහස් තුළ සිටින මනුෂ්‍යයන් අතරට ගිය නමුත්, ඒ අය වචනය අසා ඒ සමඟ සිටියේ කෙටි කලක් පමණයි.

‭ශු. මාර්ක් 4:18-19
[18] කටු අතරේ වපුරනලද අනික් අයවල් නම්, වචනය ඇසූ නුමුත්, [19] මේ ලෝකය සම්බන්ධ කරදරද වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද පැමිණීම කරණකොටගෙන වචනය යටකරනු ලැබ ඵල නොදෙන්නෝ වෙති.

ලෝකයේ මායාව, වස්තුවේ රැවටිලිකාරකම නිසා එය අත්මික වර්ධකයට ප‍්‍රශ්නයක් වුණි.

වචනය යටවුන විට, ගත කරන්නට වන්නේ ඵල නොදරන ජීවිතයකි.

පාවුල්තුමා පැවසුවේ, ඔහුට පැමිණි පීඩා නිසා කිසිවෙකුට නොසැලෙන ලෙසය.

ඔබ කාගේවත් ජීවිතයක් දෙස බලා කලනොකිරෙන්න.

1 තෙසලෝනික 3:4-5
[4] මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, නුඹලා සමඟ සිටියදී කලින් නුඹලාට කීවෙමුව; එලෙසම සිදුවුණු බව නුඹලා දන්නහුය. [5] මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.

යක්ෂයා ඔබගේ ජීවිතයට දේවල් ගෙන එන්නේ ඔබගේ ඇදහිල්ලට, ආත්මික ජීවිතයට පහර ගැසීමටය. ඔබව සොලවා, ඔබව දෙවියන්වහන්සේගෙන් ඈත් කිරීමටය.

ඔබගේ ඇදහිල්ලට කිසිවෙකුගේ ජීවිතයක් බාධා කර නොගෙන ඔබ ඇදහිල්ලෙන් ස්ථීරව සිටීමට තීරණය කර ගන්න.

1 තෙසලෝනික 3:6-13
[6] දැන් තිමෝතියස් නුඹලා වෙතින් අප ළඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත්කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල, [7] සහෝදරයෙනි, අපේ සියලු අමාරුවලදීත් පීඩාවලදීත් නුඹලාගේ ඇදහිල්ල නිසා නුඹලා සම්බන්ධව සැනසීම ලැබීමුව. [8] මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව. [9] මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සඳහා ප්‍රීතිවන සියලු ප්‍රීතිය නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද? [10] නුඹලාගේ මුහුණ දකින පිණිසද නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණකරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධිකලෙස යාච්ඤාකරමුව. [11] ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද නුඹලා වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා. [12] අප නුඹලාට ප්‍රේමකරන්නාක්මෙන්ම ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් නුඹලාගේ ප්‍රේමය වැඩිකර, එයින් නුඹලා පුරවා, [13] මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.

පාවුල් තිමෝතිව හොඳින් පුරුදු පුහුණු කර තිබුණේය. ඒ නිසා ඔහු තිමෝතිව මනුෂ්‍යයන්ව ශක්තිමත් කිරීමට යවන ලදි.

පාවුල්ට ඇදහිලිවතුන් ගැන සොයා බැලීමට උවමනා වුණි. ඔවුන් ඇදහිල්ලේ ස්ථීරව සිටිනවාද, ඇදහිල්ලෙන් නොමඟ ගොස් සිටිනවාද? කියා ඔහු සොයා බැලීය.

පරීක්ෂකයා පැමිණෙන්නේ අපව නොමඟ යැවීමටය. ඔහුට අවශ්‍ය ඔබව ඇදහිල්ලෙන් ඇද දැමීමටය.

ඔබ ඇදහිල්ල අත් නොහරින්න. ඔබගේ ඇදහිල්ලේ ගමන ස්ථීරව තබා ගන්න.

දෙවියන්වහන්සේගේ වචනය තුළ ස්ථීරව සිටින්න. වචනය මෙනෙහි කරන්න. ඔබට ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ලැබෙනු ඇත.

මනුෂ්‍යයා ඔබ දෙස බාහිරව බලයි. එහෙත් ඔබගේ ගමනේ ස්ථීරභාවය දන්නේ ඔබයි.

ඔබට යා යුතු ඇදහිල්ලේ දීර්ඝ ගමන කිසිවෙකුට වට්ටන්න ඉඩ නොදී ඇදහිල්ල සුළු කරන අයගෙන් ඈත්ව ඇදහිල්ල ස්ථීර කරන අය හා සම්බන්ධ වී ගමන් කරන්න.


Watch the Sermon Video

Read 218 times