+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව වචනය පවත්වා ඒවා පිළිපදින්න - මනූ මැතානි
June 16, 2024 Sunday Sermon Notes

අත්‍යවශ්‍ය ඉගැන්වීම් අප ඉගෙන ගෙන තිබීම අපට ප‍්‍රයෝජනවත්ය.

බොහෝ ඉගැන්වීම් අපට අසන්නට ලැබුණත්, අප මුල සිට සත්‍යය දැන සිටියහොත් එම සත්‍ය වචනය අපව ආරක්ෂා කරයි.

ඒ තුළින් වැරදි ඉගැන්වීම් අහක දමා ස්ථීර වචනයෙන් ශක්තිමත් වීමට ඔබට පුළුවන.

දෙවියන්වහන්සේගේ වචනය තුළින් දිනපතා ස්ථීරව සිටීමට තෝරාගමු.

අප හරි ඉගැන්වීම් තුළ සිටින විට වැරදි ඉගැන්වීම් එන කල, අපට එයින් වැළකී සිටීමට පුළුවන.

මෙය එලිෂාගේ ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ට සිදුවූ දෙයකි.

‭2 රාජාවලිය 4:38-41
[38] එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය. [39] එක්කෙනෙක් පලා එකතුකරන්ට කෙතට ගොස් වල් වැළක් සම්බවී එයින් වල් කැකිරි කඩා තමාගේ ඔඩොක්කුව පුරවාගෙන ඇවිත් ඒවා කෑලිකොට කපා කෑම සැළියේ දැමීය. මක්නිසාද ඔව්හු ඒ මොනවාදැයි දැන නොගත්තෝය. [40] තවද ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස වත්කර දුන්නේය. නුමුත් ඔව්හු ඒ කෑම කන අතර මොරගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, සැළියේ මරණය තිබේයයි කීවෝය. [41] ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.

සමහර මනුෂ්‍යයන් තුළින් අසන වැරදි ඉගැන්වීම් යක්ෂයාගෙන් පමිණෙන්ට පුලුවන්.

ඔබ මාධ්‍යයෙන් අසන දේවල් කෙරෙහි, ඔබගේ සිතට අතුල් කරගන්නා දේවල් ගැන ප්‍රවේසම් වන්නට අවශ්‍යයි.

සමහර විට ඔබ සියල්ල දන්නවායැයි සිතයි. එහෙත් වල් පැළෑටි මෙන් යක්ෂාකාර, මාංසාකාර මනුෂ්‍යයන්ගෙන් ඔබ එකතු කරගත් විවිධාකාර වැරදි ඉගැන්වීම් වලින් ඔබට යහපතක් වන්නේ නැත. ඒවා අපගේ ආත්මික ජීවිතයට මරණය ගෙන දෙන විෂබීජය.

සැළියෙහි වස මරණය තිබෙන බව ඔවුහු එළිෂාට කී විට ඔහු පැවසුවේ, පිටි ටිකක් ගෙන සැළියට දමන්න කියාය.

මෙහි පිටි යනු දේව වචනයයි.

ඒ වල් පැළෑටි වල තිබූ විෂ ඉවත්කිරීමට පුළුවන් වූයේ ඔවුහු ආපසු දේව වචනයට හැරී ගිය විටයි.

දෙවියන්වහන්සේගේ වචනයෙන් නිතරම සෑදී සිටීමේ වැදගත්කම අප මුල සිටම දැන සිටිය යුතුය.

ශුද්ධාත්මයෙන් පූර්ණවී නිතර යාච්ඤාවෙන් සිටිමින් වචනය තුළ ආත්මිකව ගමන් කිරීමෙන් අනවශ්‍ය විෂබීජ ඔබගේ ආත්මයට එකතු නොවේ. එයින් ඔබගේ ආත්මික ජීවිතය කඩා වැටීමකට ලක්වන්නේ නැත.

මාංසයෙන් ජීවත්වන මනුෂ්‍යයෙක් ඔහු ආත්මිකව වැටී සිටින බවක්වත් නොදනී.

අප අසන දේ, දකින දේ හා සිතට ඇතුල්කරන දේ ගැන ප‍්‍රවේසම් විය යුතුය.

හිතෝපදේශ 4:23
[23] සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ඔබ මාංසයේ පැත්තට බර වුවහොත් එම මංසයේ පැත්තෙන් ඇතුලත් වී ඇති දේ ඔබව නොමඟ යවමින් ආත්මික දේ පවා ප‍්‍රතික්ෂේප කරන තත්වයට ඔබ පත්වීමට පුළුවන.

සියල්ලට වඩා ඔබගේ සිත ආරක්ෂා කරගත යුතුය. ඔබගේ මුඛයෙන් පිටතට පැමිණෙන්නේ, ඔබ මෙනෙහි කරමින් ඔබගේ සිතට ඇතුළත් කරන දෙයයි.

ජීවනය නිකුත්වනුයේ ඔබ අසන දේ අනුවය.

ඔබ මරණයේ දේ අසමින් විෂබීජ ඉගැන්වීම් ඔබගේ සිතට දමා ගන්නේ නම් ඔබගේ සිතට ඇතුල්වනුයේ මරණයයි.

මාංසයේ දේට ඇල්ම ඇති කරගන්නා නොදැනුවත්වම ඇල් මැරුණුභාවයට පත්වේ.

එසේ වීමට ඉඩ නොදී, දේව වචනය ඔබගේ ජීවිතයට වත්කරගෙන එය ඔබගේ ජීවිතයට අදාල කරගෙන ඒ විෂබීජ නසාලමු.

මාංසයෙන් ගමන් කරන්නාට ආත්මික දේ ගැන පිපාසයක් ඇති නොවෙයි. ඔහුට එම වෙනසවත් සොයා ගැනීමට අපහසුව සිටියි.

‭හෙබ්‍රෙව් 5:14
[14] නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.

හරි වැරදි දේ වැරදි දෙයින් විමසා දැනගන්ට පුලුවන් වන්නේ ආත්මිකව වර්ධනය වූ කෙනෙකුට පමණි.

ඔබ සතිපතා සභාවට පැමිණියාට මදිය. සභාවට පැමිණ වචනය අසා එය ප‍්‍රවේසම්ව තබා ගත යුතුය.

‭ශු. යොහන් 14:21
[21] යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

දෙවියන්වහන්සේට ප‍්‍රේම කරන්නේ, දෙවියන්වහන්සේගේ වචනය අසමින් එය රක්ෂා කරන්නාය.

රක්ෂා කරනවා යනු, ඔබ තුළ ඇති වචනය යක්ෂයාට සොරකම් කිරීමට ඉඩ නොදීමය.

යක්ෂයා පැමිණෙන්නේ සොරකම් කිරීමටය. (යොහන් 10:10)

යක්ෂයාට අවශ්‍ය ඔබ මාංසාකාරයෙන් ජීවත්වීමය.

යක්ෂයාට පළමුකොට පැමිණෙන්නේ ඔබ තුළ ඇති වචනය සොරකම් කරන්නටය. ඉන්පසු විවිධාකර පීඩා ගෙන එයි.

ශු. මතෙව් 13:18-19
[18] එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. [19] යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

වචනය අසා තේරුම්ගන්නවා යනු, සාමාන්‍ය බීජයක් පසට ඇතුල්වී එය ඵලදරන තරමට පසත් සමඟ එක්වීමක් හා සමානය. එනම් වචනයත් සමඟ ඔබගේ හදවත එක්සත්වී තිබීමය.

වචනය තේරුම් නොගතහොත් වචනය සමඟ එක්සත්වීමක් ඇති නොවෙයි.

හෙබ්‍රෙව් 4:2
[2] මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.

ඇසූ වචනය ඵල දරන්නේ ඒ බීජය මතය. බීජය පස සමඟ එක්සත් නොවුනහොත් ඵල දැරීමක් සිදුනොවෙයි.

වචනය සමඟ ඵල දරන තරමට ඔබ එක්සත් නොවුනහොත්, ඔබ තුළ සුවය, සඵලත්වය ඇති නොවෙයි.

වචනය මාංසය හරහා ඔබගේ හදවතට ඇතුල්ව ආත්මය හා එක්විය යුතුය. වචනය තේරුම් ගත් බවට ඇදහිල්ලෙන් අප එක්සත්වී එම වචනය ක‍්‍රියාවට නැංවිය යුතුය.

දෙවියන්වහන්සේ අපට හා සමානවම ඉශ‍්‍රායෙල් සෙනඟටත් කතා කළ නමුත් ඔවුන් එය ඇදහිල්ලෙන් විශ්වාස නොකරළ හෙයින් ඔවුන්ට එය ප‍්‍රයෝජනයක් නොවීය.

වචනය ඔබගේ ජීවිතයට මෙන්ම ඔබ තුළින් අන් අයගේ ජීවිත වලටද ප‍්‍රයෝජනයක් විය යුතුය.

ඔබ වචනයට එකසත්වී ගමන් කරන කල ඔබට ශුද්ධාත්මයාණන් වහන්සේගේ උපකාරය ලැබෙයි.

ඔබට ක‍්‍රියාවෙන් ආශීර්වාදය හිමිවේ.

යාකොබ් 1:25
[25] නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.

ඔබව සම්පූර්ණයෙන්ම නිදහස් කරන ආකාරයට දෑස් ඇර, හොඳාකාරව වචනයට නැමී එය මෙනෙහි කරමින්, අමතක නොවන අසන්නෙක් නොවී, කිට්ටු සම්බන්ධතාවයකින් වචනයට යොමුවන්න.

ආශීර්වාදය තිබෙන්නේ, වචනය ක‍්‍රියාවට නංවන, ඒ තුළ දිගටම පවතින කෙනෙක් තුළයි.

වචනය අසන්නෙක් පමණක් නම් ඔහු තමාවම රවටා ගනී. එමනිසා
වචනය අසන්නෙක් පමණක් නොවී එය පිළිපදින්නෙක් වන්න. ‭(යාකොබ් 1:22)

වචනයට තවත් පද අදාල කරමින් එය මෙනෙහි කරන කල ඔබ සත්‍යය දැනගන්නේය.

එම සත්‍යය ඔබව නිදහස් කර, සුව කර, සඵල කර, දියුණු කරයි.

සත්‍යය තුළ පැවතීම කැපවීමකි.

දේව කැමැත්ත මෙයයි.

ඔබගේ අත්දැකීම් පහත් කොට දේව වචනයට මුල් තැන දෙන්න.

ඔබ වචනය තුළ ගැඹුරට යා යුතුයි.

යේසුස්වහන්සේ මුලින්ම පේතෘස්ගෙන් බෝට්ටුව ඉල්ලා සිටියේ වචනය ඉගැන්වීමටය. (ලුක් 5:3)

පසුව යේසුස්වහන්සේ පැවසුවේ බෝට්ටුව ගැඹුරට ගෙන ගොස් දැල් හෙලන්න කියාය. (ලුක් 5:4)

පේතෘස් පැවසුවේ, ඔවුන් මුළු රාත‍්‍රියේම මසුන් ඇල්ලුවත් කිසිවක් නොලැබ වෙහෙසව සිටියත් වචනයට කීකරුව දැල හෙලන බවයි. (ලුක් 5:5)

යේසුස්වහන්සේගේ ගෝලයන් ධනවත් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ව සිටියත්, ඔවුන් සියල්ල අතහැර උන්වහන්සේ පසුපස යන ලදි. (ලුක් 5:11)

සදාකාල ජීවනය උරුමකර ගන්නා පිණිස කුමක් කළ යුතුදැයි ඇසූ පුද්ගලයාට යේසුස්වහන්සේ පැවසුවේ, සියලු ආඥා රක්ෂා කරන ලෙසයි. ඔහු යෞවන කල සිට ඒවා රක්ෂා කළෙමියි පැවසුවිට උන්වහන්සේ කීවේ, ඔහු සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට බෙදා දෙන ලෙසත් එවිට ස්වර්ගයේ ඔහුට වස්තුව ලැබෙන බවත්ය. බොහෝ ධනවත්ව සිටි ඔහු ඒ කීමට දුක්වී හැරී යන ලදි. (ලුක් 18:1-24)

පේතෘස් පැවසුවේ, අප සන්තක සියල්ල අතහැර ඔබවහන්සේ වෙත ආ බවයි (ලුක් 18:1-28)

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේගේ රාජ්‍යය උදෙසා යමක් අතහැරියහොත් ඊට වැඩියෙන් එය ලබන්න යන බවයි. (ලුක් 18:29-30)

යේසුස්වහන්සේ උදෙසා ඔබට යමක් අහිමිවූවා කියා, දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා ඔබ යමක් කලායැයි කියා දුක් නොවන්න.

දේව වචනය නැවත නැවත කියවන්න. ඔබ සියල්ල දන්නේයැයි කියා අහංකාර නොවන්න.

වචනය තුළ පවතින කෙනෙකු හට ගැඹුරු එළිදරව්වීම් ඇත.

යේසුස්වහන්සේ පේතෘස්ව ක‍්‍රමක් ක‍්‍රමයෙන් ගැඹුරට ගෙනෙන ලදි. දැල හෙලු විට පේතෘස් නොසිතු දෙයක් සිදුවූයේය. යේසුස්වහන්සේගේ වචනයට මසුන් රාශීයක් පේතෘස්ගේ දැලට අසුවුණි. වාසි ප‍්‍රයෝජනය ලැබුණේ පේතෘස්ටය.

යේසුස්වහන්සේගේ වචනයට මුල් ස්ථානය දී ජීවත්වීමෙන් යේසුස්වහන්සේගේ වචනයේ වාසි ප‍්‍රයෝජනය ලැබෙනුයේ ඔබටය.

වචනය තෝරගන්න. විශ්වාස කරන්න.

යෙසායා 48:17
[17] නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

යේසුස්වහන්සේ අපගේ මිදුම්කරුය, ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ අපට උගන්වන්නේ ප‍්‍රයෝජනය ගැනීමටය.

දෙවියන්වහන්සේගේ වචනයට එක්සත්වී සිටීම ජයග‍්‍රාහී ජීවිතයකි.

වචනය ක්‍රියාවට දමන්නේ දෙවියන්වහන්සේ කියන දේ පළමුකොට ප්‍රකාශ කිරීමෙනි.

2 කොරින්ති 4:13
[13] තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.

ඇදහිලිවන්තයන් දකින්නට පෙර විශ්වාස කරන්නේය.

ඔබ දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන විට, මෙනෙහිකරන කොට අදහන්නට පටන් ගනී. අදහන දේ ප‍්‍රකාශ කරයි.

ඔබගේ වාතාවරනය වෙනස් වන තුරු බලා නොසිට, විශ්වාස කරමින් අදහන දේ ප‍්‍රකාශ කරන්න.

2 රාජාවලිය 4:18-22
[18] ඒ ළමයා වැඩුණුකල එක් දවසක් ගොයම් කපන්නන් අතරේ සිටි තමාගේ පියා ළඟට ගියේය. [19] එවිට ඔහු: අනේ මගේ ඔළුව, මගේ ඔළුව යයි තමාගේ පියාට කීය. පියාද: ඔහුගේ මවු ළඟට ඔහු ගෙනියන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. [20] වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙනගියේය. ඔහු ඉරමුදුන් වේලාව දක්වා ඇගේ උකුළේ හිඳ මළේය. [21] එවිට ඈ නැගී ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර පියා පිටතට ගියාය. [22] තවද ඈ තමාගේ පුරුෂයාට අඬගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හණික ගොස් එන පිණිස වැඩකාරයෙකුත් කොටළු දෙනෙකුත් මට එවන්ටයයි කීවාය.

දරුවා මිය ගිය කාන්තාව ඒ පිළිබඳව තම පුරුෂයාටවත් නොකියා දෙවියන්වහන්සේගේ මනුෂයයා හමුවීමට යාමට තීරණය කළාය.

2 රාජාවලිය 4:23-24
[23] ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා, [24] කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.

දෙවියන්වහන්සේගේ මනුෂයයා හමුවීමට ගොස් ඔහු කැටුව විත් කෙසේ හෝ දරුවා ජීවත් කර ගැනීමට ඇය විශ්වාස කළා.

ඇය පැවසුවේ, “ෂාලොම්” යන වචනයයි. එනම්, තම දරුවාට කිසිවක් සිදුවී නොමැත, ඔහු සුවෙන් සනීපයෙන් සිටී කියාය.

ඔබට ප‍්‍රශ්න පැමිණෙන කල, ප‍්‍රශ්න ගැන කතා නොකරන්න. සතුරාට දොර නොහරින්න.

සතුරාට ඔබගේ දොරකොඩ සිටිමින් දොරට තට්ටු කරන්නට ඉඩ නොදී, ඔබ “ෂාලොම්” යන වචනය ප‍්‍රකාශ කරන්න.

නව ගිවිසුමට අනුව ඔබ පොළොවෙහි යමක් බඳිනවාද එය ස්වර්ගයේත් බඳිනු ලබන්නේය. පොළොවෙහි යමක් මුදනවාද ඒක ස්වර්ගයෙහිත් මුදනු ලබන්නෙහිය. (මතෙව් 16:19)

ඔබ විශ්වාස කරන දේ යේසුස්වහන්සේගේ නාමයෙන් ප‍්‍රකාශ කරන්න උන්වහන්සේ ඔබට බලයක් දී ඇත.

යක්ෂයින් සුරතල් නොකර, යේසුස්වහන්සේගේ නාමයෙන් යක්ෂයන්ට අණකරමින්, දුරු කළ යුතුයි.

ඔබ අදහන දේ, සිතට ඇතුල් කරන වචන, ඔබ තෝරගන්න.

ගීතාවලිය 127:5
[5] එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.

යක්ෂයින් සමඟ සුහදව කතා නොකර, දොරටුවෙන්ම සතුරාව දුරුකරමින් අණ කළ යුතුය.

දෙවියන්වහන්සේ කවදාවත් අපව රෝගයට, හිඟතාවයට පත් කරන්නේ නැත.

යේසුස්වහන්සේ යක්ෂයින් සමඟ කතාවට ගියේ නැත.

ගෙරසේනයන්ගේ රටේ යක්ෂ ආත්ම වැහී සිටි පුද්ගලයාගෙන් යේසුස්වහන්සේ නම ඇසුවා පමණි. (ලුක් 8:30)

ඔහු තුළ සිටි යක්ෂයින් ලෙගියොන් යැයි කියමින් පිළිතුරු දුන් විට උන්වහන්සේ ඒ යක්ෂ ආත්ම හා කතාවට නොගොස් ඔවුන්ට දුරුවී යාමට අණ කරන ලදි.

ඔබගේ ඇදහිල්ල ක‍්‍රියාවට නැංවීමට අවශ්‍ය නම්, ඔබගේ වචන ඉතා වැදගත්ය.

මිය ගිය දරුවාගේ මව ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කැටුව පැමිණි විට, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා දේව බලයෙන් දරුවා නැවත නැඟිටුවන ලදි. (‭2 රාජාවලිය 4:33-36)

බයිබලයේ පරණ ගිවිසුම තුළ හාස්කම් කළාවු දෙවියන්වහන්සේමයි අද නව ගිවිසුමෙත් අප අතර සිටිමින් බලවත් දේ කරන්නේ.

ඔබ කුමන තත්වයක සිටියත් ඔබ තුළ තිබෙන්නේ බලවත්වූ යේසුස්වහන්සේගේ නාමයයි.

යක්ෂයින් දුරු කිරීමට, රෝග සුවකිරීමට යේසුස්වහන්සේ උන්වහන්සේගේ නාමය අපට දී ඇත.

ඔබගේ ජීවිතය අසහන තත්වයට පත්කරන ඒ යක්ෂයින්ව ඔබ දුරු කරන්න. යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුවී යාමට අණකරමියි කියා පවසන්න.

පරණ ගිවිසුම තුළ යක්ෂයින් ගැන එතරම් කතා නොකලත්, නව ගිවිසුම තුළ යේසුස්වහන්සේ ගිය ගිය බොහෝ තැන්වල යක්ෂයින් ආවේෂවූ අය සිටියහ. නැතහොත් ආගමික නායකයන් උන්වහන්සේට විරුද්ධව නැගී සිටින ලදි.

ඔබ ලෝකයේ ආලෝකයවයි සිටින්නේ ඔබගේ වචන වලින් කතා කරන දේ වලින් ජීවිතය බැබළීමට ඉඩ දෙන්න.

Watch the Sermon Video

Read 205 times