+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ අදහා ගන්නා දේ අන් අය සමඟ බෙදා ගන්න - යෝෂා මනූ
June 23, 2024 Sunday Sermon Notes

 


අපව සුවකිරීමට, ජීවනය හා ධර්මිෂ්ඨකම ලබා දීමට යේසුස්වහන්සේ උන්වහන්සේගේ ශරීරය තැලෙන්ට, පොඩිවෙන්ට, කැඩෙන්ට ඉඩ දුන්සේක.

යේසුස්වහන්සේ තනි පුද්ගලයෙක් ලෙස මේ සියල්ල කරමින් යක්ෂයාගේ ක‍්‍රියා සියල්ලක් විනාශ කරනු ලැබුවේය.

යේසුස්වහන්සේ අප උදෙසා කළාවු යහපත් දේවල් හා, උන්වහන්සේගේ උතුම් පූජාව නිසාත් අපි උන්වහන්සේට ස්තූතිවන්ත වෙමු.

යේසුස්වහන්සේ කළාවු උතුම් පූජාව අපි කිසිදා අමතක නොකර, එය නිතරම සිහියේ තබා ගනිමු.

යේසුස්වහන්සේව පාවා දුන් රාත‍්‍රියේ උන්වහන්සේ ගෝලයන් සමඟ කතා කරන විට ගෝලයන් දුක්වූවෝය. (යොහන් 14:1)

”ඔබ අප අතහැර කොතැනට යන්නේදැයි අපි නොදනිමුවයැයි” ඔවුහු උන්වහන්සේට පැවසූහ. (යොහන් 14:5)

යොහන් 14-16 පරිච්ඡේදවල යේසුස්වහන්සේ ගෝලයන් හා සමඟ පැවසු අවසන් වදන්ද, යොහන් 17 පරිච්ඡේදය තුළ ස්වාමීන්වහන්සේගේ යාච්ඤාවද සඳහන්ව ඇත.

යේසුස්වහන්සේ පියාණන්වහන්සේ වෙතට යන බවත්, උන්වහන්සේ ගොස් නැවත පැමිණෙන බවත් ගෝලයන්ට පවසමින් ඔවුන්ව ශක්තිමත් කරන ලද්දේය. (යොහන් 14:2-4)

යේසුස්වහන්සේ මේ පොළොවෙන් ඉවත්ව ‍යන නමුත් නැවත පැමිණ, උන්වහන්සේගේ ආත්මයාණන් ඔවුන් වෙතට එවමින්, එම ආත්මයාණන් තුළින් ඔවුන්ට උන්වහන්සේ හා සමඟ සම්බන්ධව සිටින්නට පුලුවන් වන බවත් පැවසුවේය. (යොහන් 14:15-16:31)

එම සම්බන්ධකම කිසිවෙකුට තේරුම් කළ දිය නොහැකිය.

ජීවනයට සම්බන්ධවීමෙන් එහි අගය කිරීම සිදුවේ. එයින් යේසුස්වහන්සේත් අපත් එක්සත්ව සම්බන්ධකමක් ගොඩනැගේ.

අපගේ ජීවිතේ වටිනාම දේ යේසුස්වහන්සේව ඇඳිනගැනීමය. එය ඉතාම වැදගත්ය.

යේසුස්වහන්සේ ගැන අපට දැනගත හැකිවන්නේ උන්වහන්සේ හා සම්බන්ධ වීමෙනි.

දෙවියන්වහන්සේ යහපත්, විශ්වාසවන්ත, බොරු නොකියන, සත්‍යය කතා කරන, ජීවනය දෙන, ආලෝකය බබළවන්නාවු කෙනෙකුය.

ඔබ දේව වචනය සාමාන්‍ය පොතක් සේ නොකියවන්න.

එහි පොරොන්දු රාශියක් දී ඇත. දේව වචනයෙන් අපට උන්වහන්සේගේ හඬ ඇසෙන්නේය. ඒ වචන වලින් අපව දිනපතා ශක්තිමත් කරනු ලබයි.

සියල්ල ලැබෙනුයේ අදහා ගැනීමෙනි.

යේසුස්වහන්සේ නිකදේමුස්ට පැවසුවේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා ලෙසය.

යොහන් 3:16
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

මනුෂ්‍යයෙකු විනාශවීම දේව කැමැත්ත නොවේ.

මනුෂ්‍යයාට ජීවනය ලබා දීම, එම ජීවිතයට ඇතුල් කිරීම සහ ප‍්‍රශ්න කරදර පීඩා වලින් ඔවුන්ට මිදීම ලබා දීම දේව කැමැත්තය.

යේසුස්වහන්සේ මනුෂ්‍යයාකාරව මේ ලෝකයට පැමිණ, අප උදෙසා මිලය ගෙව්වේ අපට සදාකාල ජීවනය ලබා දෙන පිණිසය.

අද අප බුක්තිවිඳින්නේ ඒ මිලෙහි ප‍්‍රතිඵල බව කිසිදා අමතක නොකරන්න.

අපගේ කිතුනු ජීවිතයේ උඩඟු නොවී යටහත් පහත්ව සිටිමු.

උඩඟු සිතුවිලි පැමිණෙන කල යේසුස්වහන්සේගේ නාමයෙන් අඔඉ ඒවා පහ කරමු.

යටහත් පහත්ව ජීවත්වෙන මනුෂ්‍යයාව යේසුස්වහන්සේ ඔසවනු ඇත.

අප අදහාගන්නා දේ අන් අය සමඟ බෙදාගමු.

ඔබ අදහාගන්නා දේ තුළ වාසි ප‍්‍රයෝජන ඔබ පමණක් අත්පත් කර නොගෙන, අන් අය සමඟද ඒවා පැවසිය යුතුය.

ඔබට දෙවියන්වහන්සේ කළාවු අශීර්වාදයන් හා ඒ ආශීර්වාදයේ වචන ඔබ අන් අය හා සමඟ බෙදා ගැනීම අගනේය.

මළවුන්ගෙන් නැඟිටනු පසු යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ, ඔවුන්ට බලය ලැබෙන තුරු යෙරුසලමේ නැවතී සිටින ලෙසයි. (ක්‍රියා 1:8)

ගෝලයන් බලවත් වූයේ ශුද්ධාත්ම බලය ලැබුවායින් පසුවය.

අප තුළ ඇති ශුද්ධාත්ම බලය කරණකොටගෙන අපට ගොස් මනුෂ්‍යයන් සමඟ සුභාරංචි වචනය බෙදා දිය හැකිය.

ඔබ අවට සිටින මනුෂ්‍යයන් විසඳාගත නොහැකි විවිධාකාර තත්වයන් තුළ සිටිනවා විය හැකියි. එහෙත් ඔබ තුළම එයට විසඳුම ඇත.

ඔබ තුළ ඇති උන්වහන්සේගේ ජීවනය තුළින් ඔබගේ සාක්ෂිය හෝ වෙන කෙනෙකුගේ සාක්ෂියක් වුවද කම් නැත. ඔබ එය පවසන්න.

යේසුස්වහන්සේ සමාරියේ ස්ත‍්‍රිය සමඟ වචනය බෙදා ගන්නා ලදි.

ආත්මයේ දැන ගැන්ම තුළින් යේසුස්වහන්සේ ඒ ස්ත‍්‍රිය කොයි ආකාරදැයි දැන සිටින ලද්දේය. (යොහන් 4:17-18)

යේසුස්වහන්සේට සමාරිය මැදින් යාමට ආත්මයාණන්වහන්සේ තුළින් පෙළඹවීමක් විය. (යොහන් 4:4)

ඔබටද සමහර විට යම් අයෙකුට කතා කිරීමට ආත්මයාණන් වහන්සේගේ මඟපෙන්වා පෙළඹවීමි ඇති කළ හැකිය.

ආත්මයාණන්වහන්සේ තුළින් එන එම පෙළඹවීම් ඔබ අත පසු නොකරන්න. මන්ද සමහර විට එය ඒ පුද්ගලයාට ලැබෙන අවසන් අවස්ථාව විය හැකිය.

අපට යේසුස්වහන්සේ දෙන අවස්ථාවෙන් අප ප‍්‍රයෝජනය ගනිමු.

සමාරිතයන් තමා පහත්යැයි සිතමින් යුදෙව්වරුන්ගෙන් වෙන්ව ජීවත්වූ ජාතීන් වූහ.

ගෝලයන් කෑම ගෙනෙන්නට ගොස් සිටි අවස්තාවේ යේසුස්වහන්සේ හිඳගෙනවුන් ළිඳ ළඟට වතුර ගන්නට ආ සමාරියේ ස්ත‍්‍රිය හා යේසුස්වහන්සේ කතා කරන ලදි. (යොහන් 4:7-8)

යේසුස්වහන්සේ ස්ත‍්‍රියගෙන් වතුර ඉල්ලූවිට ඇය පැවසුවේ යුදෙව්වන් හා සමාරිතයන් අතර ගනු දෙනුවක් නොමැතිව තිබියදී වතුර ඉල්ලන්නේ මන්දැයි කියාය. (යොහන් 4:9)

යේසුස්වහන්සේ සමාජයේ තිබූ චාරිත‍්‍ර හා මතයන් බිඳ දමමින් ඇය හා කතා කරන්නට විය. (යොහන් 4:10)

යේසුස්වහන්සේ ස්ත‍්‍රියට පැවසුවේ, උන්වහන්සේ ළඟ ජීවනදායක වතුර ඇති බවයි.

යේසුස්වහන්සේගේ ප‍්‍රකාශය දෙස ස්ත‍්‍රිය බැලුවේ මාංසාකරවය. ඇය පැවසුවේ වතුර අදින්නට භාජනයක්වත් ඔබට නැත, ළිඳද ගැඹුරු බවයි. (යොහන් 4:11)

මෙහිදී යේසුස්වහන්සේට අවශ්‍ය වුයේ ඇය තුළ තිබූ ප‍්‍රශ්නය විසඳීමටය. මන්ද ඇය සිටි තත්වය හේතුකොටගෙන කිසිවෙකුගෙන්වත් ඇයට සුභාරංචිය නොපැමිණියා විය හැකිය. (යොහන් 4:16-18)

යේසුස්වහන්සේට අවශ්‍ය වුයේ ඇයගේ ජීවිතය වෙනස් කර, පරිවර්ථනයක් ඇති කිරීමටය.

ස්ත‍්‍රිය යේසුස්වහන්සේ පැවසූ දේ මඟ හැරීමට උන්වහන්සේගෙන් විවිධාකාර ප‍්‍රශ්න නගන්නට පටත් ගත්හ. නමුත් යේසුස්වහන්සේ ප‍්‍රඥාවන්තව ඇයට පිළිතුරු දුණි. (යොහන් 4:19-20)

ඔබ සුභාරංචි වචනය යම් අයෙකුට පවසන කල එම සුභාරංචියේ සාක්ෂි වචනය වෙනස් කිරීමට යක්ෂයා තැත් කරයි.

ස්ත‍්‍රිය සිතුවේ ඇය දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට නුසුදුසු අයෙක් කියාය. නමුත් යේසුස්වහන්සේ ඇයට සැබෑ නමස්කාරයේ අර්ථය කියා දෙන ලදි. (යොහන් 4:21-23)

යොහන් 4:24
දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

ඇය මෙසියස්වහන්සේ පැමිණෙන්නට තිබුණු බව දැන සිටින ලදි. (යොහන් 4:25)

කෑම රැගෙන ආ ගෝලයන් යේසුස්වහන්සේ ස්ත‍්‍රියක් සමඟ කතා කරමින් සිටිනවා දැක මවිතවුණි. (යොහන් 4:27)

යේසුස්වහන්සේ සමඟ කතා කළ පසු ස්ත‍්‍රියට තමා ආ කාරණයද අමතක වුණි. ඇය කළයද බිම තබා නුවරට යන ලදි.

‭ශු. යොහන් 4:28
[28] එකල ස්ත්‍රී තමාගේ කළය තබා නුවරට ගොස්:

ඇයගේ මනසට ඇතුල්වූයේ යේසුස්වහන්සේ ඇයගේ ජීවිත කථාවම පැවසූ බවත්, එහෙත් උන්වහන්සේ ඇයට දොස් නොපැවරූ හේතුවෙන් ඇය සිතුවේ මොහු මෙසියස්වහන්සේ විය හැකි බවත්ය. ඇය යේසුස්වහ්සේ කියු වචන විශ්වාස කර අදහා ගන්නා ලදි.

යේසුස්වහන්සේ පැවසු ජීවන වචන වලින් ඒ ස්ත‍්‍රිය නිදහස් කමක් ලැබුවාය. එම නිදහස්කම තුළින් ඇය ගොස් තමා අත් දුටු දේ ගැන එකෙනෙහිම අන් අය සමඟ බෙදා ගන්නා ලදි.

යොහන් 4:29
[29] මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය.

ඒ අතර යේසුස්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේට කෑමට කතා කලවිට, කෑමට වඩා උන්වහන්සේට ඉෂ්ට කිරීමට ඇති වැඩයෙහි ඇති වැදගත්කම උන්වහන්සේ ඔවුන්ට පහදා දෙන ලදි. (යොහන් 4:31-38)

ස්ත‍්‍රිය සාක්ෂිදුන් වචන නිසා පැමිණි ඒ නුවර බොහෝ දෙනෙක් යේසුස්වහන්සේව අදහා ගන්නා ලදි.

‭ශු. යොහන් 4:39
[39] මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂිදුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

සමාරිතයන්ගේ ඉල්ලීමට අනුව යේසුස්වහන්සේ ඒ නුවර දින 2ක් නැවතී සිටින ලදි. (ශු. යොහන් 4:40)

යේසුස්වහන්සේගේ වචනය ඇසු නුවර තවත් බොහෝ දෙනෙක්ද උන්වහන්සේව අදහා උන්වහන්සේ ගැළවුම්කාරයාණන් බව දැන ගන්නා ලදි.

ශු. යොහන් 4:41-42
[41] වෙනත් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ වචන නිසා අදහා, [42] ස්ත්‍රියට කථාකොට: අප දැන් අදහන්නේ නුඹේ කීම නිසා නොවේ. මක්නිසාද අපිම අසා, සැබෑවටම මුන්වහන්සේ ලෝකයාගේ ගැළවුම්කාරයාණන් බව දනිමුයයි කීවෝය.

ස්ත‍්‍රිය සැනෙකින් ගොස් සාක්ෂියේ වචනය ප‍්‍රකාශ කලායින් ඒ නුවර බොහෝ දෙනෙක්ට යේසුස්වහන්සේව අදහා ගැනීමට පුළුවන් වුණෝය.

ඔබද එම වගකීම ගත යුතුය. ඔබ තුළ ඇති ජීවනයේ වචන ඔබ නොදැන සිටියත්, ඒ තුළින් තවත් අය ජීවනය ලබා ගන්නවා ඇත.

යේසුස්වහන්සේ ඒ ස්ත‍්‍රියගේ ජීවිතය තුළ පරිවර්ථනයක් ඇති කරන ලදි. එකෙනෙහිම ඇය එය ක‍්‍රියාවට නංවන ලදි.

සුභාරංචි වචනය පැවසීමට උගත්කමක් අවශ්‍ය වන්නේ නැත. දෙවියන්වහන්සේ ඔබට උගතුන්ගේ දිවක් දී ඇත. (යෙසායා 50:4)

යේසුස්වහන්සේගේ වචන කථා කිරීමට ඔබ මුඛය විවර කරන කල, උන්වහන්සේ ඔබට වචන දෙනු ඇත.

අපි මිනිසුන් දෙස බලා භය නොවන්න. යේසුස්වහන්සේට ස්තූති කරමින් ජීවනයේ වචන කතා කරමු.

කානාහි වතුර මිදියුෂ කිරීම යේසුස්වහන්සේ කළාවු පළමු හාස්කමයි. එය දුටු බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලදි. ‭(ශු. යොහන් 2:11)

යේසුස්වහන්සේ නැවතත් ගලීලයේ කානා නුවරට පැමිණි කල, කපර්ණවුමෙහි රෝගීව පුත‍්‍රයෙක් ඇති රාජ සේවකයෙක් මරණාසන්නව සිටි තම පුත‍්‍රයා සුව කර දෙන මෙන් යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටින ලදි. (යොහන් 4:45-47)

තමාගේ පුත‍්‍රයා නැසීමට පළමුවෙන් එන්නැයි රාජ සේවකයා යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටිකල යේසුස්වහන්සේ ඔහුට පැවසුවේ “යන්න, නුඹේ පුත‍්‍රයා ජීවත්ව සිටී” කියාය. (යොහන් 4:49-50)

යේසුස්වහන්සේ රාජ සේවකයාගේ නිවසට ගියේ නැත. උන්වහන්සේ ඔහුට පැවසුවේ ජීවන වචන පමණි.

ඒ ඇමතියා යේසුස්වහන්සේ පැවසු ජීවන වචන අදහා විශ්වාස කරන ලදි. (ශු. යොහන් 4:-50)

ඔබ යම් අයට සුභාරංචි වචනය ප‍්‍රකාශ කල විට ඔවුන් එය විශ්වාස කළහොත් ඔවුන් මහත් දේ අත් දකිනු ඇත.

ඔහු යන අතරමගදීම ඔහුගේ පුත‍්‍රයා සුවවූ බව දැන ගන්නා ලදි. (ශු. යොහන් 4:-51)

ඇමතියා ඇසුවේ පුතා සුවවුයේ කුමන පැයේදීද කියාය. (ශු. යොහන් 4:-52)

තම පුත‍්‍රයා සුවවූයෙත්, යේසුස්වහන්සේ “නුඹේ පුත‍්‍රයා ජීවත්ව සිටී යයි පැවසුවේත් එකම වේලාවේ බව” සිහිකර ඇමතියාද ඔහුගේ නිවසේ සියල්ලෝද යේසුස්වහන්සේ කෙරෙහි අදහා ගන්නා ලදි.

‭‭ශු. යොහන් 4:53
[53] නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි යේසුස්වහන්සේ තමාට කී පැය එයමයයි පියා දැන, ඔහුද ඔහුගේ ගෙයි සියල්ලෝද අදහාගත්තෝය.

ඇමතියා යේසුස්වහන්සේගේ වචනය විශ්වාස කළා පමණක් නොව, ඔහුගේ නිවසේ අයටද සාක්ෂියේ සුභාරංචිය පවසා ඔවුන්ද යේසුස්වහන්සේ කෙරෙහි අදහා ගන්නා ලදි.

එක් අයෙකු ගැළවීම ලැබුවහොත් දෙවියන්වහන්සේ මුළු පවුලම ගළවනු ඇත.

පාවුල් සහ සීලස් සිරකරනු ලැබූවිට මහත් පොළෝකම්පාවකින් සිරගෙදර දොරවල් ඇරී සියල්ලන්ගේම බැඳුම් මිදුනු කල, සිරකාරයෝ පැන ගියෝයයි සිතා සිර ගෙදර මුළාදෑනියා සිය දිවි නසා ගැනීමට ගිය විට, පාවුල් හා සීලස් ඔහුට අණතුරක් කර නොගන්නා ලෙසත්, සියල්ලන්ම ඉන්නා බවත් පැවසීය. (ක‍්‍රියා 16:26-28)

එවිට ඔහු පාවුල් සහ සීලස්ගෙන් ඇසුවේ ගැළවෙන පිණිස කුමක් කරමුද කියාය. (ක‍්‍රියා 16:30)

ඔවුන් පැවසුවේ “යේසුස්වහන්සේව අදහා ගන්න” කියාය.

ඒ තුළින් ඔහු පමණක් නොව, ඔහු සමඟ තමාගේ ගෙයි වැසියන්ටද සුභාරංචිය පවසා ඔවුන්ද ගැළවීම ලබා ගත්හ.

ක්‍රියා 16:31
[31] ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබගේ සාක්ෂිය ඔබ දැරීමෙන් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේව දැන ගැනීමය.

මුලින්ම භය නොවී ඔබගේ නිවැසියන්ට සුභාරංචියේ පණිවිඩය පවසන්න.

ගැළවීම දෙන්නේ දෙවියන්වහන්සේය. සුභාරංචි වචනය දේශනා කිරීමට, අන් අයට සාක්ෂි දැරීමට උන්වහන්සේ ඔබව පාවිච්චි කරන කල නොභියව එය ප‍්‍රකාශ කරන්න.


Watch the Sermon Video

Read 238 times