+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අදහා ගන්නා දේ කතා කරන්න - යෝෂා මනූ
June 30, 2024 Sunday Sermon Notes


 
ඔබව බිඳ හෙලීමට යක්ෂයා පරාජිත සිතුවිලි ගෙනෙන කල, කඳු වැනි ප‍්‍රශ්න ඔබට ජයගත නොහැකියැයි හැඟෙන කල, “යේසුස්වහන්සේ තුළින් ඔබ ජය ගෙන හමාර බව” පවසන්න.

ඔබගේ සිත නිරන්තරයෙන් ප‍්‍රීතියෙන් මංගල්‍යයක්ව තබාගත යුතුය.

පැමිණෙන දුක, ශෝකය ස්වල්ප කාලයකටය.

ගැළවීම ලැබූ පසු කිතුනු ජීවිතයේ මූලික ඉගැන්වීම් අපට ඉතා වටින්නේය.

නිවසක අත්තිවාරමක්, ගසකට මුලක් කොපමණ වැදගත්ද, එයාකාරයෙන්ම කිතුනු ජීවිතයේ ස්ථාවරභාවයද ඉතා වැදගත්ය.

ධර්මිෂ්ඨකම යනු, නව මැවිල්ලක්ව සිටින ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ ඇති හරි සම්බන්ධකමය.

ධර්මිෂ්ඨව සිටි දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන්වූ යේසුස්වහන්සේ උන්වහන්සේගේ පූජාවෙන් අපව ධර්මිෂ්ඨ කර ඇත. අප ඒ ධර්මිෂ්ඨකම තුළ ඵල දැරිය යුතුය.

අප අදහා ගන්නා දේ කතා කළ යුතුය.

අප ඇදහිල්ලේ වචනය කතා නොකරන්නේ නම්, එය අපට නොලැබෙනු ඇත.

ඔබ වචනය කියවමින් මෙහෙහි කරන කල, දෙවියන්වහන්සේ කතා කරන වචනය ඔබ ඔබටම කතා කළ යුතුය. ඒ දවස පුරාම එය ඔබගේ මනස තුළ රැඳී තිබිය යුතුය.

එදා දවසට අවශ්‍යය “රේමා” වචනය එනම්, කථා කරන ලද ජීවමාන වචනය එයයි.

“රේමා” යනු දෙවියන්වහන්සේ ජීවමානව කතා කරන වචනයයි. ඒ වචනය තුළ ජීවනය ඇත.

1 පේත්‍රැස් 1:5
ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.

දෙවියන්වහන්සේ අපට ජීවන බලාපොරොත්තුවක් දී ඇත.

යේසුස්වහන්සේගේ මහත් දයාවෙන් උන්වහන්සේ අපට නව උත්පාදනයක් දුන්සේක.

1 පේත්‍රැස් 1:6
ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

අන්ධකාර බලවේගයෙන් නිදහස්ව දේව රාජ්‍යයට ඇතුල්ව සිටින ඔබට නිරන්තරයෙන් කරදර ප‍්‍රශ්න, පීඩා, පරීක්ෂා පැමිණිය හැකිය. නමුත් ඔබගේ ප‍්‍රකාශන නතර නොකරන්න.

ඔබ තුළ යේසුස්වහන්සේ රජකම් කරමින් වාසය කරන හෙයින් යක්ෂයාට ඔබගේ හදවතට ඇතුල්වීමට නොහැක. එහෙයින් ඔහු පිටත සිට ඔබට පීඩා පරීක්ෂා ගෙන එයි. ඔබ ඒවාට නොසැලී ඔබව මරණයෙන් ජීවනයට ගෙනාවාවු යේසුස්වහන්සේට ස්තූතිවන්ත වන්න.

ඔබගේ ගැළවීම තුළ ඔබ ප‍්‍රීතිවන්න. ඔබගේ හදවතේ ප‍්‍රීතිය, මනසේ සමාදානය යක්ෂයාට සොරකම් කරන්නට ඉඩ නොදෙන්න.

යේසුස්වහන්සේ ඔබගේ ජීවිතයේ කළාවු දේවල් ගැන, අන්ධකාරයෙන් ආලෝකයට ගෙනා ආකාරය ගැනත් ප‍්‍රකාශ කරන්න.

මා තුළ සිටින දෙවියන්වහන්සේ බලවත්, විශ්වාසවන්තයයි පවසන්න.
ඔබ තුළ වචනය පවතීනම් ඔබ ඉතා ප‍්‍රීතියෙන් සිටින්නට යනු ඇත.

1 පේත්‍රැස් 1:7
එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.

ඔබ තුළ ඇති වචනය උදුරාගෙන යාමට යක්ෂයා පැමිණෙයි. පරීක්ෂාවන්ට භය නොවන්න. ඔබට යේසුස්වහන්සේගේ ප‍්‍රකාශවීමේදී ගෞරයවයත්, මහිමයත් ලැබෙයි.

ඇදහිල්ලේ වචනය ඇසීමෙන් ඔබගේ ඇදහිල්ල වර්ධනයවේ.

1 පේත්‍රැස් 1:8-9
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව (ප්‍රරතිඵලය/අරමුණ) වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.

අප අදහාගත් දේ තුළ පැවතිය යුතුය.

දෙවියන්වහන්සේ අපට දී ඇති කරුණාවේ ගැළවීම තුළ අප නිතරම ප‍්‍රිතියෙන් සිටිමු.

දෙවියන්වහන්සේගේ එකම අරමුණ ඔබ ප‍්‍රිතියෙන් ජීවත්වීමයි.

යක්ෂයා පැමිණෙන්නේ සොරකම් කරන්ටත්, මරණ්ටත්ය. (යොහන් 10:10) එනම් ඔබගේ ප‍්‍රීතිය සොරා ගැනීමටය.

කරදර පරීක්ෂා පැමිණෙන කල අප පුරුදුව සිටින්නේ හඬන්නටත්, කනස්සලු වන්නටත්, අන් අය හා එය ප‍්‍රකාශකරමින් ලතවන්නටත්ය. එහෙත් දේව වචනයේ පවසන්නේ නිතරම ප‍්‍රීතිවන ලෙසයි.

අදහා ගන්නා දේ අපි කතා කරමු.

ඔබ අදහාගත් දේ, විශ්වාස කළ දේ ප‍්‍රකාශ කිරීම ඉතා වැදගත්ය.

‭2 කොරින්ති 4:13
[13] තවද: මම විශ්වාසකළෙමි, (අදහා ගත්තෙමි) ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, (අදහා ගත්තෙමු) එබැවින් කථාකරමුව.

විශ්වාසකරනවා යනු අදහාගැනීමය.

යේසුස්වහන්සේ පැවසු වදන් ඔබ කතා කළ යුතුයි, යේසුස්වහන්සේගේ තුවාල වලින් අපට සුවය ඇති බව පවසා ඇත. යේසුස්වහන්සේගේ තුවාල වලින් මා සුවයි කියා ඔබ පැවසිය යුතුය.

උන්වහන්සේ වෙනස් නොවන දෙවියන්වහන්සේ බව පවසා ඇත. “මගේ දෙවියන්වහන්සේ වෙනස් නොවන දෙවියන්වහන්සේ” බව ඔබ පැවසිය යුතුය.

දෙවියන්වහන්සේ අපගේ සැපයුම්කරුය, ජයග‍්‍රහණයේ දෙවියන්වහන්සේ බව පවසා ඇත. අප ඒ වදන් කතා කළ යුතුය.

ඔබ තුළ ඇදහිල්ලේ ආත්මයක් තිබිය යුතුය.

ඇදහිල්ල ආත්මික තලයේ ජීවත්වන්නාවු අපගේ මුදල් නෝට්ටු හා සමානය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ අප කථාකරන්නේ ඇදහිල්ලේ වචනය.

යක්ෂයා දෙවියන්වහන්සේගේ වචනය සොරකම් කරන්නට පැමිණෙන කල ඔබ ඇදහිල්ලේ වචන කතා කළ යුතුය.

ඔබ විශ්වාස කරන දේ, අදහන දේ පැවසිය යුතුය. (ගීතාවලිය 116:10)

‭හෙබ්‍රෙව් 11:6
[6] නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට (අදහාගන්නට) ඕනෑය.

අප දෙවියන්වහන්සේගෙන් යමක් බලාපොරොත්තුවන්නේ ඇදහිල්ලෙනි. ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කළ නොහැකිය.

දෙවියන්වහන්සේ ජීවනමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන බවත් අප අදහා ගත යුතුය.

දෙවියන්වහන්සේ සොයන්නාට යහපත් දේ වලින් විපාක ලැබේ.

මාර්ක් 11:23
[23] සැබවක් නුඹලාට කියමි–කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.

කඳු වැනි ප‍්‍රශ්න පැමිණෙන කල, ඒ ප‍්‍රශ්නය ගැන කතා කරමින්, එය එකිනෙකා හා සමඟ බෙදාගනිමින්, මෙහෙහි කරන කල, ප‍්‍රශ්නය තවත් විශාල කරනවා මිස එය පහව යන්නේ නැත. ඒ නිසා ඔබ ප‍්‍රශ්නයට කතා කළ යුතුයි.

එම ප‍්‍රශ්නය ඉදිරී පහවෙන්නැයි ඔබගේ මුඛයෙන් පැවසිය යුතුය.

යක්ෂයා ගෙන එන භය, නොහැදිලිකාරකම ඔබගේ මනසට එන්නට ඉඩ නොදිය යුතුය.

ඇදහිල්ල යනු, දැකීමට පෙර අප කතා කරන වචනය.

යම් දෙයක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබගේ ප‍්‍රකාශය ඉතා වැදගත්ය.

‭ශු. මාර්ක් 11:24
[24] එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.

ඔබගේ ප‍්‍රකාශය තදින් ඔබ අල්ලාගෙන ඔබ යමක් ඉල්ලුවේනම් එය ලැබුණායයි සිතා ප‍්‍රශංසා කළ යුතුය. ‭

ස්වාමීන්වහන්සේගේ දූතයා සෙකරියස් වෙත පැමිණ ඔහුට දරුවෙක් ලැබෙන්ට යන බවත් ඔහුට යොහන් යන නාමය තබන ලෙසත්, දරුවාගේ විස්තරත් පැවසූ විට සෙතරියස්ට එය විශ්වාස කිරීමට නොහැකිව මේක කුමකින් දැනගම්දෝ කියා ඇසීය. (‭‭ලූක් 1:1-18)

ස්වාමීන්වහන්සේගේ දූතයා සෙකරියස්ට පැවසුවේ, ඔහු ස්වාමීන්වහන්සේගේ වචනය විශ්වාස නොකොට අදහා නොගත් බැවින්, ඔහුට කතා කිරීමට නොහැකිව නිශ්ශබ්ද වෙන්ට යනවා කියාය.

මෙහිදී යක්ෂයා තැත් කළේ සෙකරියස් තුළට අවිශ්වාසය එවා යේසුස්වහන්සේගේ පැමිණීමට පෙර මඟ සාදන්නා ලෙස සිටි යොහන් බව්තිස්තගේ පැමිණීමත් නතර කර දේව සැලැස්මට එරෙහි වීමයි. නමුත් දෙවියන්වහන්සේ එයට ඉඩ නොදී උන්වහන්සේ සෙකරියස්ගේ මුඛය වසා දැමුවේය.

‭‭ලූක් 1:20
[20] බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස (අදහා නොගත්) නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, නුඹ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නේහියයි කීවේය.

මරියා වෙතටද පැමිණි ස්වාමීන්වහන්සේගේ දූතයා ඇය ගර්භිණිව පුත‍්‍රයෙකු වදන්න යනවායැයි පැවසූ විට, මරියා අවිවාහකව කන්‍යාවක්ව සිටිහෙයින් ඇය ඇසුවේ, එය වන්නේ කෙසේද කියාය. ඒ තුළ සැකයේ වචන නොතිබුණි. (‭ලූක් 1:26-34)

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආනුභාවයෙන් එය සිදුවන බව, දේවදූතයා ඇය ඇසු පැනයට පැහැදිලි කර පිළිතුරු දෙන ලදි. (‭ලූක් 1:35)

දේවදූතයා මරියාට එලිසබෙත් ගැන සුභ ආරංචියද පැවසීය. (‭ලූක් 1:36)

දෙවියන්වහන්සේගේ වචනයෙහි ඇති බලවත්කම දේවදූතයා ඇයට පැවසීය. (‭ලූක් 1:37)

මරියාද: “ඔබගේ වචනය ලෙස මට වේවා” කියා ස්වාමීන්වහන්සේගේ වචනය පිළිගන්නා ලදි. (‭ලූක් 1:38)

ඔවුන් දෙදෙනා අත තිබූ වෙනස මෙයයි: සෙකරියස් සැක කළ නිසා විශ්වාස නොකළේය (අදහා නොගත්තේය). මරියා ස්වාමීන්වහන්සේගේ වචනය එක සිතින් පිළිගෙන අදහා ගත්තේය.

‭ලූක් 1:45
[45] විශ්වාසකළ (අදහාගත්) තැනැත්තී ආශීර්වාදලද්දීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඈට කියනලද දේ සම්පූර්ණවන්නේයයි කීවාය.

දෙවියන්වහන්සේ යමක් ප‍්‍රකාශ කරන විට, එය ඔබට සිතාගත නොහැකි අසීරු දෙයක් නම් සැකයේ වචන ප‍්‍රකාශ නොකොට ඇදහිල්ලේ වාක්‍ය පමණක් කතා කරන්න.

දෙවියන්වහන්සේ කතා කරපු දේ පමණක් ඔබ කතා කරන්න.

අනිවාර්යයෙන්ම ඔබ අදහා ගන්නා දේ ඔබට ලැබෙනු ඇත.


Watch the Sermon Video

Read 217 times