+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සෑම දෙයක් අප ලබා ගන්නේ අදහා ගැනීමෙනි - යෝෂා මනූ
July 7, 2024 Sunday Sermon Notes


 
එම්මානුවෙල් යනු දෙවියන්වහන්සේ අප සමඟයි.

උන්වහන්සේ මනුෂ්‍යයා සමඟ වාසය කිරීමට මේ පොළොවට පැමිණිසේක.

අප උන්වහන්සේව අපගේ ස්වාමීන් ලෙස පිළිගත් විට උන්වහන්සේ අපගේ හදවත් තුළට පැමිණෙනු ඇත.

දෙවියන්වහන්සේ අපගේ හදවත තුළට උන්වහන්සේගේ රාජ්‍යය ගෙනැවිත් ඒ තුළ වැඩවාසය කරයි.

අපි දෙවියන්වහන්සේගේ දේව මාළිගාවයි. අපි උන්වහන්සේගේ වචනය වෙත යොමුවෙමින් උන්වහන්සේගේ මාළිගාව නිතරම ශුද්ධව පවිත‍්‍රව තබා ගනිමු.

අප එකිනෙකාගේ නාමය සඳහන් කරමින් දෙවියන්වහන්සේ අපව කැඳවා ගන්නා ලදි. එබැවින් අප උන්වහන්සේට විශ්වාසවන්ත සෙනඟක් ලෙස ජීවත්වෙමු.

ගැළවීම ලබා ගත්තවුන් නිතරම තම අත්තිවාරම සෝදිසිකර බැලිය යුතුය. මන්ද අත්තිවාරම සෙලවුනහොත් ඉතා භයානකය.

අත්තිවාරම ශක්තිමත් කරගැනීමට නම් අප දෙවියන්වහන්සේගේ වචනය වෙතට යමින් උන්වහන්සේගේ උපදෙස් මඟ පෙන්වීම් අනුව කටයුතු කළ යුතුය.

ඔබගේ ගැළවීමේ ප‍්‍රීතිය නැතිකර නොගන්න. ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීමෙනි. නැවත නැවත වාරයක් වචනය අසමින් අදහාගත් දේ ප‍්‍රකාශ කළ යුතුය. එවිට ඔබගේ ඇදහිල්ල වර්ධනය වේ.

සෑම දෙයක්ම ලැබෙණුයේ අදහා ගැනීමෙනි.

තීතස් යැවුම්පත‍්‍රය මගින් පාවුල්තුමා තීතස්ට බොහෝ අවවාද අනුශාසනාද, ගතයුතු තීරණද, කිතුනු පවුලක තිබිය යුතු ගුණාංග ගැනද මනා ලෙස සඳහන් කොට ඇත.

තීතස් 3:5-8
අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක. එසේය, උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස, උන්වහන්සේ අපගේ ගැළවුම්කාරයාණන්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මය අධිකලෙස අප පිට වැගිරෙවූසේක. මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්‍රයෝජනවත්වූ දේවල්ය.

අප ගැළවීම ලැබුවේ අපගේ යහපත් ක‍්‍රියාවන් නිසා නොව, යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසාවෙනි.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වී අප උදෙසා ධර්මිෂ්ඨකම ලබා දුනි. (2කොරින්ති 5:21)

නැවත ඉපදීම නැමැති සේදීමෙන් හා ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත් කිරීමෙන් දෙවියන්වහන්සේ අප ගැළවූසේක.

අපගේ ගැළවීම ගැන අප උඩඟු නොවිය යුතුය. පාරට්ටු නොකළ යුතුය. මන්ද එය ලැබුණේ යේසුස්වහන්සේ කරණකොටගෙනය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප මේ පොළොවේ උරුමක්කාරයන් ලෙස ජීවත්වීමය.

උන්වහන්සේ කළාවු සියල්ල අප උරුම කළ ගත යුතුය.

උන්වහන්සේ තුවාල ලැබුවේ අපගේ සුවය උදෙසාය.
උන්වහන්සේ කටු ඔටුනු ලැබුවේ අපගේ සමාදානය නිසාය.
උන්වහන්සේ කළ සියල්ලම කරනු ලැබුයේ අප මේ පොළොවේ ජයග‍්‍රාහිකව ජීවත්වීමටය.

ශුද්ධාත්මය අප තුළ අධික ලෙස වගුරා ඇති හෙයින් උන්වහන්සේ සමඟ ඇති සබඳතාවය තුළින් අපට මේ පොළොවේ ජයග‍්‍රාහිකව ජීවත්විය හැකිය.

අප ජීවනය අධික ලෙස ලබා ඇති ආකාරයටම ශුද්ධාත්මයද අධිකව ලැබී ඇත. (යොහන් 10:10)

අප යේසුස්වහන්සේ අදහාගත් සෙනඟක් ලෙස යහපත්කමේ ක‍්‍රියාවන් වල නිරත වෙමු.

යේසුස්වහන්සේ අදහා ගැනීමට පෙර අප කළාවු යහපත් ක‍්‍රියාවල කිසි වටිනානමක් නොමැත. නමුත් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් ධර්මිෂ්ඨවුණාවු අපගේ යහපත් ක‍්‍රියා වල දැන් වටිනාකමක් ඇත.

අප දෙවියන්වහන්සේගේ හඬ අසමින් උන්වහන්සේ පවසන්නාවු දේට අවනත වෙමින් ධර්මිෂ්ඨ ක‍්‍රියාවල යෙදී සිටිමු.

දෙවියන්වහන්සේ පවසන දේවල් අපගේ හදවත තුළ සහතික කර ගනිමු.

ඔබ අදහාගන්නාවු දේ ඔබගේ ජීවිතයට යහපත හා ප‍්‍රයෝජනය ගෙන දෙයි.

සෑම දෙයක්ම අප ලබා ගන්නේ අදහාගැනීමෙනි.

හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් (නොසෙල්වී නොසැලී) අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

අප යම් දෙයක් බලාපොරොත්තු වන විට එය ක‍්‍රියාත්මක වන්නේ ඇදහිල්ලෙනි. අප යම් දේවල් ප‍්‍රකාශ කළ යුත්තේ ඇදහිල්ලෙනි. ඒවා ඇදහිල්ලේ ප‍්‍රකාශන වේ.

අප ප‍්‍රකාශ කරන දේ ඒකාකාරි විය යුතුයි. අපගේ ප‍්‍රකාශය තදින් අල්ලා ගත යුතුය. මන්ද සැකය, භය, නොහැදිලිකාරකම හා නොයෙකුත් සිතුවිලි යක්ෂයා ගෙන එන්නේ ඔබ තුළ දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි සැකය ඇති කිරීමටය.

දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රකාශ කිරීම නතර නොකිරීමට ඔබ තීරණය කළ යුතුය.

දෙවියන්වහන්සේ පොරොන්දුවූ දේ අදහා ගෙන අත්පත් කර ගත යුතුය.

ආබ‍්‍රහම් ඇදහිල්ලේ චංචල නොවී, ස්ථීරවම ඇදහිල්ලේ ප‍්‍රකාශය කළ අයෙකි.

පොරොන්දුවේ දරුවා ලැබෙන විට ඔහුට අවුරුදු 100කි. ඒතාක් ඔහු ඇදහිල්ලෙන් බලා සිටින ලදි. (උත්පත්ති 15:4-6, 21:05)

පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාසවන්තය.

ඔබ තුළ ඇති වචනය සොරකම් කිරීමට යක්ෂයා පැමිණෙයි.

බීජ යනු දෙවියන්වහන්සේගේ වචනයයි.

ලූක් 8:12
මග අසල ඒවා නම් වචනය ඇසූ අයය; එකල ඔවුන් අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරාගන්නේය.

ඔබ තුළ බීජය පැළවුනු අවස්ථාව පටන් පොරොන්දුව ලැබෙන තුරු ඇදහිල්ලේ ප‍්‍රකාශය තදින් අල්ලා සිටිය යුතුය.

වචනයේ බීජය පැළවූ අවස්ථාවේ පටන් ඵල දරන තුරු වචනය තදින් අල්ලා ගන්න.

ගැළවීම යන වචනයට සුවය, සම්පූර්ණකම, සමාදානය, නිදහස, විපත්ති විනාශකාරි දේ වලින් ආරක්ෂාව යන මේ සියල්ලම අයිතිය.

සතුරාට අවශ්‍ය වන්නේ අප අදහා නොගැළවෙන පිණිසයි

නොගැළවෙන පිණිස යනු - සුවය නොලබන පිණිසය.
මිදීම, නිදහස, සම්පූර්ණකම නොලබන, රැකවරණය, විපත්ති වලින්, විනාශකාරී දේවල් වලින් ආරක්ෂාව නොලබන පිණිස යක්ෂයා ඔබ තුළ ඇති වචනය සොරකම් කරන්නේය.

වචනය නැවත, නැවත අසා, එය සටහන් කර ගනිමින් මතකයේ රඳවා ගැනීම වැදගත්ය. වචනයෙන් ඔබගේ ජීවිතයට එළිදරව්වක් ලබා ගන්න.

නිවසට ගොස් වචනය මෙනෙහි කිරීමෙන් කෙමෙන් කෙමෙන් වචනයේ මුල් හට ගනී.

ලූක් 8:13 ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නුමුත්, මුල්නැති බැවින්, කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටීයන්නෝය.

යක්ෂයාට අවශ්‍ය කරන්නේ ශක්තිමත් වෙන්නාවු තැනින් අපව වෙන් කිරීමටය. එවිට පරීක්ෂා කාලයේදී අප වැටී යන්නේය.

කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා ලෞකික කාරණා, සැප ජීවිකාව හේතුවෙන් වචනය අහක දමන්නන්ය. ඔවුන් තුළ සම්පුර්ණ ඵල දැරීමක් හට නොගන්නේය. (ලූක් 8:14)

සරුබිමෙහි වපුරනලද්දෝ නම් වචනය අසා අවංක සිතින් අදහාගන්නන්ය. ඔවුන් වචනය තදින් අල්ලා ගන්නෝය. (ලූක් 8:15)

ඔබ තදින් අල්ලා ගන්නාවු වචනය ප‍්‍රකාශ කළ යුතුය. වචනයට ඵල දරන්නට ඔබ කාලයක් ඉඩ දිය යුතුය.

යහපත් සත්‍යය දැන ගත්විට, අප නිදහස් වන හෙයින් යක්ෂයා සිත් අන්ධ කිරීමට තැත් දරයි. ඔබ යක්ෂයාට ඉඩ නොදීමට තීරණය කර ගත යුතුය.

‭2 කොරින්ති 4:4
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය. අදහා නොගන්නාවූ

අපි වචනය අදහා ගැනීමට තීරණය කර ගනිමු.

ආලේපලත් වචන තුළින් කතා කරන්නේ දෙවියන්වහන්සේය. මේවා ජීවනයේ වචනය.

1 තෙසලෝනික 2:13
[13] එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.

ආලේපලත් වචනය අප තුළ ක‍්‍රියා කිරීමට අප වචනය තුළ නොකඩව පැවතිය යුතුය.

ඔබ වචනය අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඔබ තුළ ඇති වචනය සොරකම් කිරීමට පැමිණෙයි.

යක්ෂයා දෙවියන්වහන්සේට භයින් සිටී. යක්ෂයාට කිසි ගැළවීමක් නොමැත.

යාකොබ් 2:19
ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාසකරන්නෙහිය; (අදහන්නේය) නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති.

දෙවියන්වහන්සේගේ එළිදරව්වේ ප‍්‍රඥාව, උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව යන මේ සියල්ල ශුද්ධවන්තයන් ලෙසට අපට උරුමයක් පිණිස දී ඇත. (‭එපීස 1:18)

අප අදහා නොගතහොත්, විශ්වාස නොකළහොත් අපට ඒවා නොලැබෙණු ඇත.

‭එපීස 1:19
[19] අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය.

දෙවියන්වහන්සේගේ වචනය තුළ අප පැවතී ඒ බලයේ මහත්කම අප දැන, ඒ සත්‍යය තුළ අප ජීවත්වුවහොත් අපගේ ආත්මික ඇස් උන්වහන්සේ පහදා දෙනු ඇත. අදහා ගැනීම ඉතා වැදගත්ය.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී ගෝලයන්ට ප‍්‍රකාශවු අවස්ථාවේ එතැන නොසිටි තෝමස්ට ගෝලයන් අප යේසුස්වහන්සේව දුටිමියි කීවිට, තෝමස් පැවසුවේ, යේසුස්වහන්සේගේ අණ සළකුණු දැක එයට ඔහුගේ අත තබා බැලුවොත් මිස, ඔහු විශ්වාස නොකරන බවයි.

යොහන් 20:25
[25] එහෙයින් අනික් ගෝලයෝ: අපි ස්වාමීන්වහන්සේ දුටිමුයයි ඔහුට කීවෝය. නුමුත් ඔහු ඔවුන්ට කථාකොට: උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, උන්වහන්සේගේ ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි කීවේය.
අදහා නොගන්නෙමි

තෝමස්ගේ ඇදහිල්ල නම්, “දුටුවොත් පමණි විශ්වාස කරන්නේ” යයි පැවසීමයි.

එය ඇදහිල්ල නොවේය. ඇදහිල්ල නම් නොදක්නා දේ ගැන ඔප්පුවයි. (හෙබ්‍රෙව් 11:1)

දවස් කිහිපයකට පසු නැවත ගෝලයන්ට ප‍්‍රකාශවු යේසුස්වහන්සේ තෝමස්ට තරවටු ප‍්‍රකාශයක් කරයි.

යොහන් 20:29
[29] නුඹ මා දුටු බැවින් විශ්වාසකෙළෙහිය (අදහා ගත්තෙහිය.) නුදුටු නුමුත් විශ්වාසකළාවූ (අදහාගත්තාවූ) අය ආශීර්වාදලද්දෝයයි යේසුස්වහන්සේ කීසේක.

ඇදහිල්ල නම්, නොදැක විශ්වාස කිරීමය.

ඔබ තෝමස්ගේ ඇදහිල්ලෙන් නොව, යේසුස්වහන්සේ ක‍්‍රියා කළ ඇදහිල්ල ක‍්‍රියාවට නංවන්න.

රෝම 4:3 ආබ‍්‍රහම්ගේ ඇදහිල්ල සඳහන්වේ.


Watch the Sermon Video

Read 212 times