+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අදහන්නාට සියල්ල පුළුවන -

යෝෂා මනූ
July 14, 2024 Sunday Sermon Notes

 
දෙවියන්වහන්සේගේ වචනය අපගේ සුවයයි, ශක්තියයි, අපගේ සියල්ලයි. හමුවන සියල්ලන්ටම අපට එය පැවසිය හැකිය.

කාලයෙන් කාලයට වෙනස් නොවී, දේව වචනය තුළ නොකඩව පැවතීම ඉතා අගනේය.

දේව වචනය තුළ පැවතීම අපගේ ජීවිත රටාවක් කර ගත යුතුය.

සියල්ලටම වඩා ඔබගේ සිත ආරක්ෂා කර ගන්න. මන්ද යහපත සහ නපුර දෙකම නික්මෙන්නේ සිතෙන්ය.

හිතෝපදේශ 4:23
සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

දෙවියන්වහන්සේගේ වචන වලට ඇහුම්කන් දීම ඉතා වැදගත්ය.

හිතෝපදේශ 4:20-21
20 මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න. 21 ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න.

ඇහුම්කන් දීම යනු, යමක් ඇසූ සැනෙකින් එය අමතක කිරීම නොවේ. අප එය මෙහෙහි කරමින් අපගේ තොල් වලින් ප‍්‍රකාශ කළ යුතුය.

මේ වචන අපගේ සිතට (මනසට) ඇතුල් කර ගැනීමට අප තීරණය කරගනිමු.

අපගේ මනස වෙනස්වූ විට අපට සඵලවත්, සාර්ථක ජීවිතයක් ගත කිරීමට පුළුවන.

අපගේ මනස වෙනස්කරගෙන දෙවියන්වහන්සේ අපට දී ඇති ක‍්‍රිස්තුස්වහන්සේගේ මනස අප පැළඳ ගන්නා කල, අපට ජීවනය තුළ ගමන් කළ හැකිය.

කිතුනුවකු වූ පසු ඔහු සත්‍යතාවේ වචනය තුළ පැවතෙමින් දිනපතා වචනය තුළ පෝෂණය ලබා ගන්න.

ආරම්භයේ පටන් අවසානය දක්වා සියල්ලක්ම අප ලබා ගන්නේ අදහා ගැනීමෙන්ය.

රෝම 10:9-10
9 කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. 10 මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

අප සිතින් අදහාගනිමින්, යේසුස්වහන්සේ ස්වාමීන් කියා මුඛයෙන් ප‍්‍රකාශ කර, ලබා ගන්නාවු ගැළවීමට සියලු දේම අයිතිය.

දෙවියන්වහන්සේගේ වචනයේ පොරොන්දු අයිති වෙන්නේ අදහාගන්නාටය.

යේසුස්වහන්සේ පැවසූ වදන් ජීවනයේ වචනය, ඒවා අපගේ කුසගින්න නිවන්නාවු ජීවන රොටිය. පිපාසය සංසිදුවන්නාවු ජීවන වචනය. ( යොහන් 4:14, 6:35)

අදහන්නාට සියල්ල පුළුවන.

මාර්ක් 9:23
[23] යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට (අදහන්නාට) සියල්ල පුළුවනැයි කීසේක.

මාර්ක් 9:17 සිට….
යේසුස්වහන්සේ මෙම ප්‍රකාශය කළේ….
මේ ස්ථානයට යේසුස්වහන්සේ පැමිණෙන්නට කලින් උන්වහන්සේගේ ගෝලයන් වෙතට පියෙකු තමාගේ ගොළු කරවන ආත්මයක් වැහුනු පුත්‍රයෙක් සුව කරන පිණිස ගෙනාවේය. ඔහුගේ තත්වය කියා දුන් නමුත් ඒ ගෝලයන්ට සුව කරන්ට නොගැකි වුණි.

‭මාර්ක් 9:19
[19] උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක.

යේසුස්වහන්සේ සියල්ලන්ටම බලය දී ඇත.

ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීමෙනි. (රෝම 10:17)

වචනය අසමින් දිනපතා ඇදහිල්ල තුළ වර්ධනය වෙමු.

ගෝලයන්ට ඒ දරුවා සුවකළ හැකි බව යේසුස්වහන්සේ දැනවුන්නේය.

අපගේ දෑත්ද උන්වහන්සේ ආලේප කර ඇත. ඔබටද අත තබා ඕනෑම කෙනෙකුට සුවය ලබන පිණිස ජීවනයේ වචන කතා කළ හැකිය.

රෝගී දරුවාව යේසුස්වහන්සේ වෙතට ගෙනා කළ ඔහු රෝගයෙන් පීඩිතව සිටින ලදි. යේසුස්වහන්සේ දරුවාගේ පියාගෙන් රෝගය කොයි කාලයේ සිට තිබුණේදැයි ඇසීය. ‭(මාර්ක් 9:20-21)

දරුවාගේ පියා යේසුස්වහන්සේට උත්තර දෙමින් ළදරු කාලේ පටන්ම නොයෙක්වර එම ආත්මය දරුවා විනාශ කරන්ට තැනූ බවත් උන්වහන්සේට යමක් කිරීමට පුළුවන්නම් පිහිටවුව මැනවයි කීය. ‭(මාර්ක් 9:22)

යේසුස්වහන්සේ පැවසුවේ ඔබට පුළුවන්නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවනැයි කියාය. ‭(මාර්ක් 9:23)

අපගේ ජීවිතයේ ඇදහිල්ල ඉතා වැදගත්ය.

මාර්ක් 9:24
[24] එකෙණෙහිම දරුවාගේ පියා: මම විශ්වාසකරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි මොරගසා කීවේය. ඇදහිල්ල මදිකම, අදහා ගැනීමට නොහැකි වීම ගැන උපකාර කරන්න

යේසුස්වහන්සේ දරුවා තුළ සිටි අශුද්ධ ආත්මයට තරවටු කොට දරුවා සම්පූර්ණයෙන් සුව කරන ලදි.

යේසුස්වහන්සේ අපට යමක් කරන්න පුළුවන්යැයි පවසන විට ඒ දේ කිරීමට අප විශ්වාස කළ යුතුය.

ඇදහිල්ල ඇතිව අප යාච්ඤා කළ යුතුය.

මතෙව් 21:22
[22] ඇදහිල්ල ඇතුව (අදහා ගැනීමෙන්), යාච්ඤාවෙන් ඔබ ඉල්ලන කවරක් වුව ද ඔබට ලැබෙණු ඇතැ” යි පැවසූ සේක.

ඇදහිල්ල ඇතිව, විශ්වාසයක් ඇතිව අප යම් දෙයක් යාච්ඤාවෙන් ඉල්ලන්නේනම් එය වචනයට එකඟකම් අනිවාර්යයෙන්ම ඔබට ඒ දේ ලැබෙනු ඇත.

මරියා නිතර යේසුස්වහන්සේගේ පාද පාමුල වාඩිවී වචනය අසන ලදි. මාර්තා නිතර කලබල වූ තැනැත්තියෙකි. (ලූක් 10:38-42)

මාර්තා සහ මරියාගේ සහෝදරයා ලාසරුස් මියගොස් දින 4කට පසු යේසුස්වහන්සේ එම ස්ථානයට ගියවිට මුලින්ම හමුවූයේ මාර්තාය.
(යොහන් 11:17-20)

මාර්තා යේසුස්වහන්සේට පැවසුවේ ස්වාමිනි ඔබ මෙහි සිටි සේක්නම් මාගේ සහෝදරයා නොමැරෙයි. දැනුත් ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලන්නේ නම් ඒක ඔබට දෙන බව දනිමියි කියාය. (යොහන් 11:21-22)

දැනුදු යේසුස්වහන්සේට යමක් කළ හැකි බවද ඇය දැන සිටියාය.

අයගේ සහෝදරයා නැවත නැඟිටින බව යේසුස්වහන්සේ මාර්තාට පැවසීය. (යොහන් 11:23)

මේ අවස්ථාවේදී ඇයට යේසුස්වහන්සේගේ කීමට එකඟ වෙමින් ප‍්‍රශංසා කළ යුතුව තිබුණි.

නමුත් ඇය එය තේරුම් ගත්තේ වෙනත් ආකාරයටය. ඇය සිතුවේ විනිශ්චය දවසේ නැවත නැඟිටීම ගැනය. (යොහන් 11:24)

ඇයගේ මනසේ තිබුණේ අවිශ්වාස සිතුවිලිය. ඇය සිතුවේ ඇයගේ සහෝදරයා මියගොස් දින 4ක් ගත වී ඇති බවය.

‭මාර්තාට යේසුස්වහන්සේ කීවේ…….

යොහන් 11:25
[25] යේසුස්වහන්සේ: නැවත–නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.

යේසුස්වහන්සේ මේ වන තුරු කුරුසපත්වී සිටියේවත්, නැවත නැඟිට සිටියේවත් නැත. නමුත් උන්වහන්සේ ඇදහිල්ලේ වචන කතා කරන ලදි.

ඇදහිල්ලෙන් වචන කතා කළ අයගේ හොඳම උදාහරණය යේසුස්වහන්සේය.

යේසුස්වහන්සේ නිතරම පැවසුවේ ජීවනයේ වචනය.

යේසුස්වහන්සේ පැවසුවේ, මා කෙරෙහි අදහා ගන්නා මළ නමුත් ජීවත්වන්නේය කියාය.

යේසුස්වහන්සේව පිළිගෙන අදහාගත් බැවින් අපද නව ජීවනය ලැබිමුව.

යේසුස්වහන්සේ පවසන්නේ, අප අදහනවානම් අදහන්නාට සියල්ල කළ හැකි බවයි. එය විශ්වාස කරනවාදැයි යේසුස්වහන්සේ ඇගෙන් ඇසීය. (යොහන් 11:26)

ඇය පැවසුවේ ‘ඔබ ක‍්‍රිස්තුස්’ බව විශ්වාස කරමියි කියාය. (යොහන් 11:27)

මාර්තා ගොස් යේසුස්වහන්සේ පැමිණ සිටින බව පවසා මරියා කැඳවා එන ලදි. ඇය සොහොන්ගේ ළඟ අඬන්නට යනවායැයි සිතූ ඇය සනසමින් සිටි යුදෙව්වරුද ඇය පස්සේ ගියෝය. (යොහන් 11:31)

මරියා යේසුස්වහන්සේට පැවසුවේද ඔබ මෙහි සිටිසේක්නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි කියාය. (යොහන් 11:32)

යේසුස්වහන්සේ මරියාද ඈ සමඟ සිටියවුන්ද අඬනවා දැක ආත්මයෙන් සුසුම්ලමින් ඔහු කොහේ තැබුවාදැයි ඇසීය. (යොහන් 11:33-36)

එතැන සිටිය සමහරුන් යේසුස්වහන්සේ කළාවු ක‍්‍රියාවන් විවේචනය කරමින් මුන්වහන්සේට මොහු නොමැරී සිටින්නට බැරිවුණේ මන්දැයි කීවෝය. (යොහන් 11:37)

ඒ සෙනඟ තුළ කිසි ඇදහිල්ලක් නොතිබුණි. මළවුන්ගෙන් නැඟිටීමක් ඔවුන් කිසිදා දැක නොතිබුණි.

සොහොන්ගේ ළඟට පැමිණි යේසුස්වහන්සේ පැවසුවේ, ගල අහක් කරන ලෙසය. මාර්තා පවසන්නේ ඔහු මැරී දැන් දින 4ක් බැවින් ගඳ ඇතියි කියාය. (යොහන් 11:38-39)

යේසුස්වහන්සේ මාර්තාට පැවසුවේ, නුඹ විශ්වාස කරනවානම්, අදහා ගන්නවා නම් දෙවියන්වහන්සේගේ මහිමය දකින බවය.

යොහන් 11:40
[40] යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් (අදහා ගතහොත්) දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.

අපගේ ජීවිතයට දෙවියන්වහන්සේගේ මහිමය, හාස්කම අප විශ්වාස කරන දේ දකින්ට ඕනෑ නම්, අප අදහාගත යුතුය.

අප නොඇදහිලිකාරකමේ වචන කතා කරන්නේ නම්, කිසිවක් දකින්නේ නැත.

ගල අහක්කළ පසු, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේට ස්තූති කරමින් උන්වහන්සේ එසේ කීවේ, අවට සිටින අය විශ්වාස කරන පිණිසය කියා, ලාසරුස් පිටතට පැමිණෙන්නැයි අණ කළේය. එවිට ලාසරුස් සොහොන් ගෙයින් පිටතට පැමිණියේය. (යොහන් 11:41-44)

මෙයින් යේසුස්වහන්සේ අපට පවසන්නේ අප අදහා ගෙන යම් දෙයක් විශ්වාස කරනවානම් නැවත නැඟිටීමත්, ජීවනයත් උන්වහන්සේ බවය.

අප යේසුස්වහන්සේ කෙරෙහි අදහා ගත යුතුය. විශ්වාස කළ යුතුය.

යොහන් 11:45-46
[45] එබැවින් මරියා වෙතට ආවාවූ යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ කළ දෙය දැක උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

මාර්ක් 5:22 සිට….
යායිරස්ගේ සියණිය මරණාසන්නව සිටියාය. යායිරස් පැමිණ ඇයගේ දියණිය සුවකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලීය. යේසුස් වහන්සේ ඔහු සමඟ යන අතර මඟදී මහලේ රෝගී ස්ත‍්‍රියක් සුවය ලැබීය. යේසුස්වහන්සේ අය සමඟ කතා කරමින් ඇයගේ සාක්ෂිය අසන විටදී යම් කාලයක් ගතවුණි. (මාර්ක් 5:22-34)

ඒ කාලවේලාව ගතවූ නිසා ඔවුන් නිවසට යනින් ගමන් යායිරස්ගේ නිවසින් කෙනෙක් පණිවිඩයක් ගෙනැවිත් කීවේ, “ඔබේ දියණිය මිය ගියා;

‭මාර්ක් 5:35
නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට තවත් කුමට වෙහෙසකරන්නෙහිදැයි කීවෝය.

පැමිණියේ අසුභ ආරංචියක්ය.

සමහර විට ඔබ අධෛර්යට පත් කරන අසුභ ආරංචි පැමිණිය හැකිය.

මෙහිදී යේසුස්වහන්සේ යායිරස්ට එක වචනයක්වත් කතා කරන්නට ඉඩ නොදුන්නේය.

යේසුස්වහන්සේ යායිරස්ට පැවසු දේ.....

මාර්ක් 5:36 නුමුත් යේසුස්වහන්සේ ඒ කීම නොසලකා, සිනගෝගයේ මුලාදෑනියාට කතාකොට: භයනොවී ඇදහිල්ලෙන්ම (අදහා ගෙනම) සිටින්නැයි ඔහුට කීසේක.

යේසුස්වහන්සේ ඒ නිවසට ගොස් යායිරස්ගේ දියණිය මළවුන්ගෙන් නැඟිටුවන ලදි. (මාර්ක් 5:37-42)

යේසුස්වහන්සේ යායිරස්ට පැවසුවේ, භය නොවී ඇදහිල්ලෙන් ඉන්න කියාය.

ඔබ භයවන විට ඔබගේ ඇදහිල්ල ක‍්‍රියා විරහිත වේ.

භයට, සැකයට, නොඇදහිලිකාරකමේ වචන වලට ඔබගේ මනස පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

යායිරස් ළඟ සිටියා සේම යේසුස්වහන්සේ ඔබ සමඟද සිටී. උන්වහන්සේ ඔබගේ හදවතට කතා කරමින් කියන්නේ, භය නොවන්න, තැති නොගන්න, මම ඔබ සමඟ කියාය.

අපි ප්‍රශ්න වලට මුහුණ දෙන විට අදහා ගැනීම ඉතා වැදගත්.

ආබ‍්‍රහම් නිතර ප‍්‍රකාශ කළ දේ, විශ්වාස කළ දේ තදින් අල්ලා ගෙන සිටින ලදි.

ආබ‍්‍රහම්ට පුත‍්‍රයෙක් දෙන බවට දෙවියන්වහන්සේ පොරොන්දුවක් දෙන දුන්නේය. (උත්පත්ති 15:4)

ආබ‍්‍රහම් කිසිදින එය අවිශ්වාස කරමින් සැක කළේ නැත.

‭රෝම 4:17-18, 24
[17] (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ (අදහා ගත්තාවූ), මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.
[18] නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය (අදහා ගත්තේය).

[24] මක්නිසාද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ අපටත් එය ගණන්ගනු ලබන්නේය.

පුත‍්‍රයා ලැබෙන විට ආබ‍්‍රහම්ට වසය 100යි, සාරාට 90 යි. එය බලාපොරොත්තුවේ ඉඩ නැති තැනක් වුවත් ආබ‍්‍රහම් විශ්වාස කළේය.

පුත‍්‍රයා පූජා කරන්න කියු විටත් ඔහු දෙවියන්වහන්සේට මළවුන් පවා නැඟිටුවන්ට පුළුවන් බව විශ්වාස කළේය. (හෙබ්‍රෙව් 11:19)

‭ගලාති 3:6
[6] මෙසේ ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාසකළේය (අදහා ගත්තේය), එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබුවේය.

දෙවියන්වහන්සේ අපට පවසන්නේ අදහාගන්න විශ්වාස කරන්න කියාය.


Watch the Sermon Video

Read 175 times