+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අදහා ගන්නාවූ සෑම දෙනාටම සදාකාල ජීවනය ලැබෙන්නේය- යෝෂා මනූ
July 21, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේගේ වචනය තුළ උන්වහන්සේගේ හඬ ඇත. ඒ සත්‍යතාවේ වචනය අප දැනගැනීම වැදගත්ය.

බයිබලය ජීවමාන වචනයයි, ඔබ එය කියවන කල, ඒවා එම පිටුවලින් එළියට විත් ඔබගේ හදවතට කතා කරයි. එහෙයින් අප මේ වචනය තුළ පැවතිය යුතුය.

දේව වචනය දෙමුහත් කඩුවක් හා සමානය (හෙබ්‍රෙව් 4:12). එයින් ඔබට ශක්තිමත් වී පිහිට ලබාගත හැකිය. දෙවියන්වහන්සේගේ සැලැස්ම දැනගැනීමෙන් ඔබගේ ආධිපත්‍යය ක‍්‍රියාත්මක කරන්නට පුළුවන. දේව වචනය කතා කරමින් සතුරා බිඳ හෙළා දමන්නට බලයද ලැබී තිබේ.

අදහන්නාවු සියලු දෙනාටම සදාකාල ජීවනය ලැබෙන්නේය.

සදාකාල ජීවනය යනු, කෙදිනක හෝ අප මියගිය පසු ස්වර්ග රාජ්‍යයේ ගෙවන ජීවිතය පමණක් නොවේ. අප යේසුස්වහන්සේව පිළිගත් දවසේම සදාකාල ජීවනයට ඇතුල් වන්නේය.

සදාකාල දෙවියන්වහන්සේ අප තුළ සිටින හෙයින් අපට එම සදාකාල ජීවනය ලැබී ඇත. අපට ඒ දෙය හිමිවන්නේ අදහාගැනීමෙනි.

යොහන් 3:14-16 පද තුළ ඇති එළිදරව්ව මගින් ඔබට සදාකාල ජීවනය පිළිබඳව දැන ගත හැකිය.

සදාකාල ජීවනයට ඇතුල්වීමෙන් ඔබ නව උපතක් ලබා, දේව දරුවෙකු බවට පත්වන්නේය, එමෙන්ම ඔබගේ නම ජීවන පොතේ ලියනු ලබයි.

යොහන් 3:14-16
14 මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද 15 උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. ‍ 16 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

දේව කැමැත්ත නම්, ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්විට සදාකාල ජීවනය ලබාගන්නේය.

පරණ ගිවිසුම තුළ ඉශ‍්‍රායෙල් සෙනඟ කාන්තාරයේ ගමන් කරන අතර ඔවුන් සැමවිටම කොඳුරනු ලැබුවෝය. ඔවුන් දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කතා කල විට ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට ගිනි සර්පයන් එවා උන් සෙනඟ දෂ්ට කරන ලදි. (ගණන් කතාව 21:5-6)

සෙනඟ ගිනි සර්පයන්ගෙන් ඔවුන්ව ගලවා දෙන ලෙස මෝසෙස්ගෙන් ඉල්ලා සිටි කල, දෙවියන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ පිත්තල සර්පයෙක් සාදා කුඹ ගසක එල්ලා ඒ දෙස බලන අය ජීවත්වන්නට යන බවයි. (ගණන් කතාව 21:8-9)

සර්පයා මෙලොවට ගෙනා පාපය යේසුස්වහන්සේ කුරුසියේ ඔසවනු ලැබීය. කුරුසිය දෙසට නෙත් යොමුකල විට අපි දකින්නේ යේසුස්වහන්සේ අපගේ පාපය, ශාපය රෝගය උසුලාගත් බවයි.

යක්ෂයාගේ සියලු ක‍්‍රියා යේසුස්වහන්සේ අප වෙනුවෙන් ඔසවාගත්සේක.

පාපය අපව දෙවියන්වහන්සේගෙන් ඈත් කරන අතර, ලෙඩ රෝග අපගේ ජීවිත විනාශ කරයි. යේසුස්වහන්සේ දෙස බලන කල අපගේ ජීවිතයේ ඇති විශ සහිත හැම දෙයක්ම ඉවත්ව අප සම්පූර්ණ සුවයෙන් ජීවනයෙන් ජීවත්වනු ඇත.

යේසුස්වහන්සේ දෙස බලන කල, අපට සදාකාල ජීවනය හිමිවේ. නිකං කුරුසිය දෙස බලා සිටීමෙන් නොව, මෙම සදාකාල ජීවනය ලැබෙනුයේ අදහාගන්නාටය.

ඔබගේ හදවතින් විශ්වාස කර, යේසුස්වහන්සේට ඔබ තුළට වඩින ලෙසත් උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බව විශ්වාස කරන බවත් ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කළ යුතුය.

යුදෙව්වරුන් යේසුස්වහන්සේගේ වැරදි සොයමින් උන්වහන්සේව විවේචනය කළ නමුත්, එතුමා ඔවුන්ට කතා කළේ ජීවන වචනය.

යොහන් 6:26
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි- නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටි කා තෘප්තියට පැමිණි නිසාය.

යේසුස්වහන්සේ සෙනඟට පැවසුවේ, ඔවුන් උන්වහන්සේ පසුපස එන්නේ කෑමෙන් තෘප්තියට පැමිණුනු නිසා කියාය.

යොහන් 6:27
නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.

යේසුස්වහන්සේ ඔවුන්ට පවසන්නේ සදාකාල ජීවනය පිණිස ක‍්‍රියාකරන ලෙසයි.

යේසුස්වහන්සේ පවසන්නේ, සදාකාල ජීවනයේ කෑම උන්වහන්සේගේ වචනයයි.

උන්වහන්සේගේ වචනයට අප කාලය දෙමින් එය මෙහෙහි කළ යුතුය. මන්ද අපව ජීවත් කරන්නේ මේ වචනයයි.

ඔබ තනිව වචනය සමඟ කාලය ගත කිරීම අත්‍යවශ්‍ය දෙයකි.

වචනය සමඟ ඔබ තනිව කාලය ගත කරන කල, යේසුස්වහන්සේ ඔබට කතා කරනු ඇත. එවිට ඔබ ශක්තිමත් වන්නේය.

දේව වචනය තුළ ජීවනය ඇත. එම වචනය තුළ පවතින විට ලෝකයෙන් නොලැබෙන දේ වචනයෙන් ලැබෙනු ඇත.

වචනය තුළ පවතින කෙනා තුළ සමාදානයද පුදුමාකාර ප‍්‍රීතියක්ද ක‍්‍රියා කරනු ඇත.

ඔබ මේ වචනය තුළ පැවතීමෙන් ඔබට දෙවියන්වහන්සේගේ අභිප‍්‍රායද, කැමැත්තද ඉටු කළ හැකිය. මන්ද මේ වචනය තුළ පැවතීමෙන් ඔබ දේව කැමැත්ත දැනගන්නවා ඇත.

දේව වචනය ඔබව දිනපතා ශක්තිමත් කරමින් ධෛර්යමත් කර, පෝෂණය ලබා දෙන්නේය. මේ වචනය ඔබ තුළ ප‍්‍රීතිය උපදවයි. සාක්ෂි දැරීමට හැකි වචන ඔබ තුළ තිබෙන්නේය.

යේසුස්වහන්සේ පැවසූ වදන් මනුෂ්‍යයා තේරුම් ගත්තේ නැත. එහෙයින් අපි කුමක් කරමුදැයි ඔවුහු උන්වහන්සේගෙන් ඇසුවේය.

යොහන් 6:28
එබැවින් ඔව්හු කතාකොට: දෙවියන්වහන්සේගේ වැඩ ඉෂ්ටකරන පිණිස අප විසින් කුමක් කටයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

මෙහි වැඩය ලෙස යේසුස්වහන්සේ පැවසුවේ, දෙවියන්වහන්සේ එව් තැනැත්තා කෙරෙහි අදහාගැනීමය.

යොහන් 6:29
යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහාගැන්මයයි කීසේක.

වචනය තුළ ඔබ කාලය ගත කරන කල, ඔබ තුළ ඇදහිල්ල, විශ්වාසය ඇතිවේ.

යොහන් 6:30
එබැවින් ඔව්හු: එසේවී නම් අප විසින් දැක ඔබ විශ්වාසකරන පිණිස ලකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේක්ද? ඔබ මොන වැඩක් කරනසේක්ද?

යුදෙව් සෙනඟට අවශ්‍යවූයේ ලකුණු පමණය. ඔවුන්ට වචනය කියවා ඒ තුළ පැවතීමට කැමති වූයේ නැත.

අදටත් යුදෙව් සෙනඟට යෙසායා 53, දානියෙල් පොතේ සමහර පරිච්ඡේද කියවීමට ඔවුන්ගේ ගුරුවරුන් තහනම් කොට ඇත. එය කියවීම පාපයක් කොට හඟවා ඔවුන්ගේ සෙනඟ භය කරමින් බන්ධනයේ තබා සිටී.

නමුත් යෙසායා 53 ඔවුන් කියෙව්වානම් ඔවුන් මෙසියස්වහන්සේව දැන හඳුනා ගන්නවා ඇත. ඔවුන් අදටත් මෙසියස්වහන්සේ එන තුරු බලා සිටිති. මෙසියස්වහන්සේ පැමිණි බව ඔවුන් අදහන්නේ නැත.

යොහන් 6:31-32
31 ඔවුන්ට කන පිණිස ස්වර්ගයෙන් කෑම දුන්නේයයි ලියා තිබෙන ලෙස අපේ පියවරු වනයේදී මන්නා කෑවෝයයි උන්වහන්සේට කීවෝය. 32
එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි-ස්වර්ගයෙන්වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑවූ කෑම මාගේ පියාණන්වහන්සේ නුඹලාට දෙනසේක.

සෙනඟ පැවසුවේ, ඔවුන්ගේ පියවරුන්ට මෝසෙස් මන්නා දුන් බවයි. නමුත් ඔවුන්ට කෑම සැපවූයේ මෝසෙස් නොව, ස්වර්ගීය දෙවියන්වහන්සේ බව යේසුස්වහන්සේ පැවසීය.

ඉශ‍්‍රායෙල් සෙනඟ මිසරයෙන් පැමිණියත් ඔවුන්ගේ හදවත් තිබුණේ මිසරය කෙරෙහිය. ඔවුන්ට ප‍්‍රශ්නයක් කරදරයක් පැමිණෙන කල, ඔවුන්ගේ ප‍්‍රකාශය වූයේ ‘අප මිසරයේ මැරුණානම් හොඳයි’ කියාය. (ගණන් කතාව 14:2-3)

ඉශ‍්‍රායෙල් සෙනඟ මෝසෙස් මෙන් දෙවියන්වහන්සේ හා සමඟ කාලය ගත නොකරන ලදි. ඔවුන් නිතරම මෝසෙස් දෙස බලා සිටියහ. ඔවුන් මෝසෙස්ට පැවසුවේ, දෙවියන්වහන්සේ පවසන දේ ඔබ අසා ඔවුන්ට කියන ලෙසය. (නික්මයාම 20:19)

නව ගිවිසුම තුළ පවසන්නේ අප නායකයන් දෙස බලා සිටීම අවශ්‍ය නොවන බවයි.

ස්වාමීන්වහන්සේ අපගේ එඬේරාය. අප උන්වහන්සේගේ බැටළුවන්ය. (යොහන් 10: 14)

එඬේරා තම බැටළුවන්ට මඟ පෙන්වයි (යොහන් 10:4)

එඬේරා තම බැටළුවන්ව සරු බිම් කරා ගෙනයයි. (ගීතාවලිය 23:2)

නමුත් එඬේරා කිසිදා තම බැටළුවන්ට කෑම කවන්නේ නැත.

ඔබගේ නායකයන් වන එඬේරුන්, ඔවුන් කිසිදා ඔබට කවන්නේ නැත. දේව වචනය තුළින් ඔවුන් ලබා දෙන්නේ බීජ පමණි. ඒ බීජ ඔබ රැගෙන ඔබගේ හදවත තුළට වැපිරිය යුතුය.

ගණන් කතාව 14:11
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කතාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකළාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද?

ඉශ‍්‍රායෙල් සෙනඟ ඉදිරියේ ස්වාමීන්වහන්සේ කොපමණ ලකුණු, පුදුම දේ කළ නමුත් ඔවුන් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත. ඔවුන් නිතර බලා සිටියේ මෝසෙස්ගෙන් යැපෙන්නටය.

දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ, අප උන්වහන්සේ කෙරෙහි අදහා ගත යුතු බවයි.

උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා කිසිදා විනිශ්චයට පැමිණෙන්නේ නැත.

යොහන් 3:18
උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.

ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ලබා ගන්නවාද එය ලැබෙන්නේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙනුත්, අදහාගැනීමෙනුත් පමණය.

ගීතාවලිය 106:24
ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.

පොරොන්දු දේශය සෝදිසිකිරීමට ගිය අය දේශයේ යහපත්භාවය හා සාරවත්භාවය හෙළා දකිමින් වැරදි පුවත් පතල කරවිය. (ගණන් කතාව 13: 29-29, 31-33)

සත්‍යතාවේ වචනය, දෙවියන්වහන්සේ දෙන්නාවු යහපත් දේවල් කිසිදා හෙළා නොදකින්න. ඔබගේ ඇදහිල්ල වර්ධනය වන කල ක‍්‍රම ක‍්‍රමයෙන් ඒ දේවල් ලැබෙනු ඇත.

මෝසෙස් නිතර දෙවියන්වහන්සේගේ හඬ අසමින් සෙනඟට කතා කලත්, සෙනඟ වතුර ඉල්ලමින් දොස්නඟමින්, මැවිසිලි කියමින් කොඳුරන්නට පටන් ගත්හ. මෝසෙස් දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන් නොදී සෙනඟගේ කැරළිකාරකමට කෝපව දෙවියන්වහන්සේ කතා කරන්නටයැයි කියු පර්වතයට ඔහු දෙවරක් ගසා ඔහුටද පොරොන්දු දේශයට යාමට තිබු අවස්ථාවද අහිමි කර ගන්නා ලදි. (ගණන් කතාව 20:3-12)

දෙවියන්වහන්සේගේ දේවල් අසන්නට ඔබ සූදානමින් සිටිය යුතුය.

දෙවියන්වහන්සේගේ වචනය අදහා නොගැනීම භයානකය.

යොහාන් 12:37
උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නුමුත් ඔව්හු උන්වහන්සේ කෙරෙහි අදහා නොගත්තෝය.

කොපමණ ලකුණු දුටුවත් එදා යුදෙව්වරු යේසුස්වහන්සේව විශ්වාස කළේවත් උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තේවත් නැත.

ඔවුන් යේසුස්වහනසේ දෙස බැලුවේ වඩුවාගේ පුත‍්‍රයා ලෙසය. (මාර්ක් 6:2-4, ලූක් 4:22-24, යොහන් 6:42) ඔවුන් නිතර යේසුස්වහන්සේව විවේචනය කළා මිස, අදහා නොගන්නා ලදි.

යොහාන් 6:33
මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක.

යේසුස්වහනසේ පැවසුවේ, උන්වහන්සේ ගිවිසුමේ රොටිය කියාය.

යේසුස්වහන්සේ සාමාන්‍ය කෑමක් බීමක් ගැන කතා කළේ නැත. උන්වහන්සේ ප්‍රකාශ කළේ තමා විසින් සාදන්නට යන ගිවිසුම ගැනය. (යොහාන් 6:51)

උන්වහන්සේ කුරුසපත්වී තමාගේ මාංසය තැළී පොඩිවී, උන්වහන්සේගේ ශරීරයෙන් ගලනා ලෙයින් උන්වහන්සේ නව ගිවිසුමක් සාදන්නට යන බව කීවේය.

එහෙත් මනුෂ්‍යයන් එය තේරුම් නොගන්නා ලදි.

යොහාන් 6:35-36
35 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය. 36 නුමුත් නුඹලා මා දැකත් අදහන්නේ නැතැයි මම නුඹලාට කීමි.

ඔවුන් යේසුස්වහන්සේව දුටු නමුත් උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තේ නැත.

යොහාන් 6:40
40 මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත්‍රයාණන් බලා, ඔහු කෙරෙහි අදහන්නාවූ සැමදෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමියි කීසේක

පුත‍්‍රයාණන් කෙරෙහි අදහාගන්නවා යනු දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාස කිරීමය.

යොහාන් 6:47
සැබවක් සැබවක් නුඹලාට කියමි-අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය.

ඔබ යේසුස්වහන්සේගේ හාස්කම් දකිමින් සාක්ෂි අසමින් තවමත් විශ්වාස නොකරන්නෙක් ලෙස සිටීනම්, එසේ නොවන්න.

අදහා ගැනීම, විශ්වාස කිරීම අපගේ මුලු ජීවිත කාලය පුරාවටම කරන දෙයකි එය නතර නොකරන්න.


Watch the Sermon Video

Read 127 times