+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ දෙමාපියන්ට ගෞරව කරමින් උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය ලබන්න - මනූ මැතානි
July 21, 2024 Sunday Sermon Notes

 

 ඇදහිලිවන්තයින් වන අපි නිතරම විශ්වාස කරන සෙනඟක් වන්නෙමු.

පෙනෙන දේ, දකින දේ කෙරෙහි නොව, අප නිතරම විශ්වාසය තබන්නේ දෙවියන්වහන්සේ කෙරෙහිය.

ඔබ දෙවියන්වහන්සේව අදහන්නේ නම් දිනපතා ඔබගේ සුවය, ශක්තිය, හුස්ම සියල්ලක්ම උන්වහන්සේගෙන් ලැබෙන බව විශ්වාස කළ යුතුය.

දෙවියන්වහන්සේගේ දේ සුළු නොකරන්න. කුඩා දෙයක් පවා ඔබට ලැබෙන්නේ දෙවියන්වහන්සේගෙනි.

සෑම දෙයට නිතරම ස්තූති වන්ත හදවතකින් උන්වහන්සේට ස්තූති කරන්න.

නොකඩවා ස්තූති දීම දෙවියන්වහන්සේට අප දෙන්නාවූ පූජාවකි.

හෙබ්‍රෙව් 13:15
[15] එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

අභියෝග පැමිණෙන කල එයින් ජයගන්නට දුන්නාවු කරුණාව ගැන ස්තූතිවන්ත වන්න.

එපීස 5:19-20
[19] නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කතාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, [20] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

යේසුස්වහන්සේගේ නාමය තුළින් අපට සිදුවන සෑම දෙයටම පියාණන්වහන්සේට ස්තූති කරන්න.

යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබට ලෙඩදුක්, විනාශය ඇති නොවේ.

ගීතාවලිය 34:1
[1] සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.

සෑම කල්හිම, නිතරම ස්වාමීන්වහන්සේට ප‍්‍රශංසා කිරීමෙන් යක්ෂයාගේ ගිනි හෙලි නිමන්ට ඔබට පුළුවන්කම ලැබෙයි.

අයහපත් දේ නොසිතා සෑම යහපත් දෙයකටම ස්තූති කරමු.

ස්තූති දීමට ඔබගේ මුඛය පාවිච්චි කරමින් සිටින විට අනවශ්‍ය දේට කාලය යොමුකිරීමට ඔබට වෙලාවක් නොමැත.

නිතරම ස්වාමීන්වහන්සේට ස්තූති කිරීමට පුරුද්දක් කර ගත් විට, ඔබගේ ජීවිතයේ සම්පූර්ණ හැරීමක් සිදුවේ.

ගීතාවලිය 30:9
[9] මා වළට බසින කල මාගේ ලෙයින් ඇති ප්‍රයෝජනය කිම්ද? ධූලි ඔබට ප්‍රශංසාකරන්නේද? ඔබගේ සත්‍යතාව ප්‍රකාශකරන්නේද?

අපිට ජීවනය තිබෙන තුරු, අපි ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරමු. ගෞරවය පුද කරමු. නමස්කාර කරමු.

එවිට ඔබට කුමක් සිදුවී ඇතිද කියා යක්ෂයාට වටහා ගැනීමටත් නොහැකිවෙයි.

ඔබගේ ප‍්‍රශ්න, වේදනා ගැන ඔබ යක්ෂයාව දැනුවත් කරන්නේ ඔබගේම මුඛයෙනුයි.

යක්ෂයාට ගෞරවය පුද නොකර, නිතර දෙවියන්වහන්සේට ගෞරවය පුදමු. ස්තූතිවන්ත වෙමු.

ගීතාවලිය 100:1-2
[1] පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්. [2] ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්.

දෙවියන්වහන්සේට ප‍්‍රීතියෙන් නමස්කාර කරමු.

ගීතාවලිය 100:3-5
[3] ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය. [4] ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්. [5] මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.

ඔබ සිටින පරම්පරාවේ ඔබ දෙවියන්වහන්සේට සේවය කරන කල ඊළඟ පරම්පරාවට විය යුතු දෙය ස්වාමීන්වහන්සේ දන්නාසේක.

දාවිත් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස තම පරම්පරාවට සේවය කළ අතර, ඔබගේ පරම්පරාවට ඔබ සේවය කළ යුතුය.

ඔබගේ සේවය ඔබ තුළින් අන් අයටද ගලා යයි.

‭ක්‍රියා 13:36
[36] කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.

ඔබගේ සේවය ඔබගේ ජීවිතය තුළින් අන් අයටද ආශීර්වාදයක් වෙයි.

විශ්වාස හදවතකින් ස්තූතිවන්ත වෙමින් යන ඔබගේ ගමනට බාධා පැමිණුනා කියා අතර මඟ අත් නොහරින්න.

දෙවියන්වහන්සේ ඔබට මඟ පෙන්වන තැනන්වහන්සේය.

ගීතාවලිය 23:1-2
[1] ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය. [2] උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක.

අප යා යුතු තැන හෝ සිටිය යුතු තැන ස්වාමීන්වහන්සේ අපට මඟ පෙන්වා දෙන්නේය.

දෙවියන්වහන්සේ ඔබව තබා තිබෙන සභාව තුළ පෝෂණය වන්න.

‭ක්‍රියා 20:28
[28] දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.

සභාවේ සෙනඟ පෝෂණය වන්නේ කුමන දේවලින්ද කියාත්, සභාවේ පෝෂණය සඳහා කළ යුත්තේ කුමක්ද කියාත් නායකයින්ට වගකීමක් තිබේ.

යේසුස්වහන්සේගේ තමාගේ රුධිරයෙන් සභාව මිලදී ගෙන ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් නායකයන් පත්කර ඇත.

සභාව අයිති දෙවියන්වහන්සේටය.

සභානායකයන් ආදර්ශයක් වෙමින් තම රැළ ගැන ප‍්‍රවේසම් විය යුතුය.

‭ක්‍රියා 20:29
[29] මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි;

සෑම සභාවකම බැටළු වෙසින් සිටිනා වෘකයන් සිටී. මනුෂ්‍යයන්ව නොමඟ ගෙනයාමට යක්ෂයා ඔවුන්ව පාවිච්චි කරනු ඇත.

සභාව තුළ ඔබගේ වගකීම තේරුම් ගෙන ක‍්‍රියා කළ යුතුය.

ඔබ සභාවට පැමිණිය යුත්තේ ඔබගේ පෝෂණය උදෙසාත්, අන් අයව වර්ධනය කිරීම සඳහාත්ය.

ක්‍රියා 20:30
[30] නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කතාකරනවා ඇත.

කාරණා පෙරළන්නාවු මනුෂ්‍යයන්ද සභාව තුළ සිටී.

සභාව යනු දෙවියන්වහන්සේගේ සත්‍යය තිබෙන ස්ථානයයි.

1 තිමෝති 3:15
[15] මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.

ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව කනුව සහ අත්තිවාරමත්ය.

අප සත්‍යතාවේ වචනය අන් අයට ඉගැන්විය යුතුය. ඒ තුළින් එක් එක්කෙනාව ධෛර්යමත් කළ යුතුය.

ඇදහිල්ලේ වාක්‍යයෙන් වචනයේ පෝෂණය අන් අයට ලබා දීම ඉතා වැදගත් වේ.

1 තිමෝති 4:6
[6] නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහිකරවන්නෙහි නම්, ඇදහිල්ලේද මේ දක්වා නුඹ අනුව ගිය යහපත් ගුරුකමේද වචනවලින් නුඹ පෝෂ්‍යවී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නෙහිය.

යහපත් වචන, යහපත් හැසිරීම්, පවුල්වල තිබිය යුතු එකමුතුකම, සමාදානය, දරුවන් දෙමාපියන් අතර ඇති සම්බන්ධතාවය ගැන ගුරුකම් දිය යුතුය.

දරුවන්ට කුඩා වයසේ පටන් තමුන්ගේ දෙමාපියන්ට ගරු කිරීමටත් සැලකීමටත් ඉගැන්විය යුතුය. දරුවන්ට දෙමාපියන් වෙන්වන දේවල් ගැන නොපවසන්න.

දෙමාපියන් නොසලකා හරින්නන් නොහැදිලිකාරයන් හා සමාන වන්නෝය.

‭1 තිමෝති 5:8
[8] යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.

මව්පියන්ට, සහෝදරයන්ට ගරුකරන්ට අප දරුවන්ට කුඩා කල සිට පුහුණු කළ යුතුය.

සභාව ආරම්භ වන්නේ නිවස තුළය.

‭ශු. මතෙව් 15:3
[3] උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද?

සමහර දරුවන් ඔවුන් දෙමාපියන්ට වඩා ආත්මික යැයිද, සියල්ල දන්නවා යැයිද සිතමින් දෙමාපියන් නොසලකා හරියි. ඔවුන් ක‍්‍රියාකරන ආකාරය වැරදිය.

දෙමාපියන් වශයෙන් කුඩා වයසේ පටන් දරුවන්ට තමුන්ගේ දෙමාපියන්හට සැලකීමට ඉගැන්විය යුතුය. එසේ නොකිරීමෙන් ඒ දරුවන්ගේ ජීවිත වලට දෙමාපියන් අසාධාරණයක් සිදුකරයි.

තම දෙමාපියන්ගෙන් හොඳ උපදෙස් ගත හැකි බවට දරුවන් තුළ දෙමාපියන් කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟිය යුතුයි.

ශු. මතෙව් 15:4
[4] නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක.

දරුවන් දෙමාපියන්ට ගරුකල යුතු බව ව්‍යවස්ථාවේ පවා දැඩිව සඳහන් කර ඇත.

දරුවන් කුඩා අවදියේ ඒ අය තුළ දේව භයක් ඇති කරවා ඔවුන්ට ඉගැන්වුයේ නැතිනම් ඔවුන් වැඩිවියට පත්වූවත් කවදාවත් හැදෙන්නේ නැත.

දරුවන් මව් පියන්ට ගරු නොකිරීම ඔවුන්ගේ ජීවිත අකාලයේ මියයාමට වුවද බලපෑ හැකිය.

ශු. මතෙව් 15:5-6
[5] එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කතාකොට–මාගෙන් ඔබට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය. [6] මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය.

දෙමාපියන්ට දිය යුතු දේ දෙවියන්වහන්සේට දෙනවායැයි කීම යුතු නැත.

දරුවන්ව කුඩා කල සිට දේවස්ථානයේ දේ වලට යොමු කරවා ඔවුන්ට හරි ඉගැන්වීම් දිය යුතුය.

සමහර දරුවන් දෙමාපියන්ට ගරු නොකර, ඔවුන්ගේ දේවල් නාස්තිකර ගනිමින් පසුව දෙමාපියන්ගෙන්ද අවශ්‍යතා ඉල්ලති.

අකීකරු පුත‍්‍රයා තමා සතු සියල්ල නාස්ති කර, නැති කරගන්නා ලදි. (ලූක් 15:13)

ශු. මතෙව් 15:7-9
[7] වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කතාකොට: [8] මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. [9] මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.

අපගේ නමස්කාරය තිබිය යුත්තේ වචන සමඟය. දෙවියන්වහන්සේ අපගේ නමස්කාරය පිළිගන්නේ වචනයට කීකරුවීමත් සමඟය.

වචනයට කීකරු නොවී අප යාච්ඤාවක්, ප‍්‍රශංසාවක් කළාට ඵලක් නැත.

ඔබ ආත්මිකයැයි කියමින් දෙවියන්වහන්සේගේ වචනය සුළුකරන්නේ නම් එයින් ඵලක් නැත.

1 තිමෝති 5:7-8
[7] ඔවුන් නිදොස්ව සිටින පිණිස මේ දේත් ආඥා කරන්න.
[8] යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.

ඔබගෙන් පවුලේ අයට විය යුතු යුතුකම් පසුව කල් නොදමන්න.

ඔබ දරුවන්ට කුඩා වයසේ පටන් දෙමාපියන්ට කීකරුවීම උගන්වන කල, ඔවුන් වැඩිවියට පත්වුන විට දෙමාපියන්ට ගරුකරන්නට පටන් ගනී.

ඔබගේ යාළු මිත‍්‍රයන්ට, දුරකතානයෙන් දෙන්නාවු කාලයට වඩා දෙමාපියන් සමඟ කතා බස් කිරීමට කාලය වෙන්කරවා ගැනීම වටී.

එපීස 6:1-3
[1] දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. [2] නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, [3] නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.

දෙමාපියන්ට කීකරුවීමට, යටත්වීමට තෝරා ගන්නාවු අය දීර්ඝ කාලයක් ජීවත්වේ.

දරුවන් අකීකරු වන්නේ ඔවුන්ට කුඩා කල සිට හරි ප‍්‍රතිපත්ති උගන්වා නැති නිසාය.

ප‍්‍රඥාව නොමැතිව වස්තුවෙන් කිසි ප‍්‍රයෝජනයක් නොමැත.

‭හිතෝපදේශ 1:30-33
[30] ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය. [31] එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය. [32] මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය. [33] නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.

ප‍්‍රඥාව විශ්වාස නොකරන්නාවූ අඥානයන්ට සඵලත්වය ඔවුන්ට විනාශයක් ගෙනදේ.

මව පියාගෙන් උපදෙස් ලබාගැනීමේ විශ්වාසය දරුවන් තුළ කුඩා වයසේ පටන්ම ඇති කළ යුතුය.

‭එපීස 6:2-3
[2] නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, [3] නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.

පියාටත් මවටත් ගෞරව කිරීමෙන් ඔබට දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙනු ඇත.

දෙමාපියන් කිසිවක් නොදන්නවා යැයි කියමින් ඒ අයව අගෞරවයට පත් නොකරන්න. ඒ අයව සුළු නොකරන්න.

ඔබ දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති කඩ නොකරන්න. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබට ආශීර්වාදය ලබා දෙන්නටය.

තීතස් 1:9
[9] තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.

ප‍්‍රඥාවන්තව, දේව භයක් ඇතිව හොඳ ගුරුකම් ලබා ගැනීමට වචනය තදින් අල්ලා ගත යුතුය.

‭තීතස් 1:10-11
[10] මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කතාකාරයෝවූ, රැවටිලිකාරවූ බොහෝදෙනෙක් සිටිති, ප්‍රධානකොට එසේව සිටින්නේ චර්මඡේදිතයෝය. [11] ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.

මුරණ්ඩු අභක්තිකයන් අප අතර ඇත. ඔවුන්ගෙන් ගැළවීමට ඔබ තුළ හරි පෝෂණයක්, හොඳ වර්ධනයක් තිබිය යුතුය.

‭1 පේතෘස් 2:1-3
[1] එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා, [2] ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, [3] ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.

ගැළවීම ලබාගත් පසු ඔබ අමිශ‍්‍රවූ කිරි නැමති වචනයෙන් වර්ධනය විය යුතුය.

වචනය ඉගෙන ගැනීමට ඔබ යම් කිසි ස්ථානයක පැළවී වර්ධනය විය යුතුය. මුල් වලින් ඉදිරී ඔබ තැනින් තැනට යන්නට පෙර, වචනය සමඟ සන්සන්දනය කර මෙය දෙවියන්වහන්සේගේ වචනයක්ද, මනුෂ්‍යයන්ගේ වචනයක් කියා විමසා බැලිය යුතුවේ.

එසේ නොමැතිව ඔබ තැනින් තැනට යාමෙන් මුල් ගැලවී ඔබට ඵල දැරීමට නොහැකිවේ.

ගීතාවලිය 92:13-15
[13] ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය. [14] ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, [15] ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.

ඔබ යම් තැනක තැන්පත්ව සිටියහොත් ඔබගේ යාච්ඤා, මෙනෙහිකිරීම්, සහභාගිකම් මේ සියල්ලෙහි ඵල දැරිය හැකිය.

ඵල දරන ගසකට මනුෂ්‍යයෙක් ළංවූ විට එයින් ගැනීමට ප‍්‍රයෝජනවත් ඵල ඇත.

ඔබ යම් තැනක තැම්පත්ව සිටීද ඔබගේ යාච්ඤා ජීවිතය, බයිබලය කියවීම, දේශනා ඇසීම, සහභාගිකම්, එකමුතුකම, වගකීම කැපවීම තුළ ඔබගේ කොටස ඔබ නිසියාකාරව කරගෙන යාමෙන් ඔබ ඵල දරන මනුෂ්‍යයෙක් බවට පත්වේ.

ඵල දරන මනුෂ්‍යයා ප‍්‍රඥාවන්තය. ඔහු නිශ්ඵල වචන නොව, වටිනා වචන කතා කරයි.

අපි ඵල දරන්නන් ලෙස ජීවත්වෙමු.

තීතස් 1:10-11
[10] මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කතාකාරයෝවූ, රැවටිලිකාරවූ බොහෝදෙනෙක් සිටිති, ප්‍රධානකොට එසේව සිටින්නේ චර්මඡේදිතයෝය. [11] ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.

නිෂ්ඵල වචන කියමින්, රැවටිලිකාරව පවුල් පෙරලන්නන් ලෙස සිටින්නන්ගේ මුඛවල් සත්‍ය වචනයෙන් වසා නිශ්චල කරමු.

ස්වාමීන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් හරි පෝෂණය ලබාගෙන හොඳ ගුරුකම් වලින් ඉගෙන ගෙන, අපගේ ජීවිතය ආරක්ෂා කර අන් අයටද ආදර්ශයක් වෙමු.


Watch the Sermon Video

Read 202 times