+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පරිණත වූ කිතුනු ජීවිතය - මනූ මැතානි
July 28, 2024 Sunday Sermon Notes

 

 
බයිබල් පද කියවීම ඉතා අලංකාරය. ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි.

මනුෂ්‍යය පුත‍්‍රයෙක් හැටියට යේසුස්වහන්සේ සියලු ගෞරවයත්, මහිමයත් දුන්නේ පියාණන්වහන්සේටය.

යේසුස්වහන්සේට තම පියාණන්වහන්සේ හා සමඟ තිබූ සබඳකම අපට බයිබල් පද වලින් දැකගත හැකිය.

අපටද ඒ සබඳකම උන්වහන්සේ හා සමඟ පවත්වාගෙන ජීවත්වීමෙන් කිසිදා තනිකමක් නොදැනෙනු ඇත.

දෙවිපියාණන්වහන්සේ ඔබ සමඟය, ඔබ තුළය, ඔබේ පක්ෂයෙහිය.

දෙවිපියාණන්වහන්සේ ඔබට බොහෝසේ ප‍්‍රේම කරන්නේය.

බයිබල් පද දිනපතා කියවමින්, ඒවා මෙනෙහිකරමින්, දෙවියන්වහන්සේ සමඟ සබඳතාවය ගොඩනඟා ගැනීමෙන් අපට මේ ආත්මික ගමන ගමන් කළ හැකිය.

යේසුස්වහන්සේ පිළිගත් පසු අප කිරෙන් පෝෂණය ලබාගෙන වචනය මෙනෙහි කිරීමෙන් දිනපතා වර්ධනය ලබා ගත යුතුය.

ආත්මික දැඩි ආහාර ගෙන අප ශක්තිමත් විය යුතුය.

බොහෝ කිතුනුවන්ට දේව හඬ, වැරදි ඉගැන්වීම් වටහා ගත නොහැක. එයට හේතුව ඔවුන් තවමත් කිරෙන් පෝෂණය වීමෙන් සිටී. ඔවුන් සිතනුයේ මස ඔවුන්ට ගැඹුරු වැඩියි කියාය.

හෙබ්‍රෙව් 5:13-14
[13] ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. [14] නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.

කිරෙන් පෝෂණය වන්නන්ට හරි වැරැද්ද තේරුම් ගත නොහැකිය. වර්ධනය වීමට අවශ්‍ය නම් ඔබ දැඩි ආහාර ගත යුතුය.

දෙවියන්වහන්සේගේ ජීවන වචන, ආත්මික දීමනා අන් අයටද ආශීර්වාදයක් වීමට ඔබගේ ජීවිතයෙන් ගංගාවක් මෙන් ගලා යා යුතුයි.

කිරෙන් පෝෂණය ලබා ගන්නට කැමති අය මාංසයෙන් හැසිරෙන අය හා සමඟ එකතුවීමට කැමතියි.

වර්ධනයවීමට ආශා ඇතිව, ඔබ වර්ධනයවූවන් සමඟ ඇසුරු කිරීමෙන් ඔබටද වර්ධනය විය හැකිය.

හිතෝපදේශ 13:20
[20] ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

ඥානවන්තයන් යනු දෙවියන්වහන්සේගේ වචනය අසමින්, පිළිපදිමින් එය ක‍්‍රියාවට දමමින් ඒ අනුව ගමන් කරන අයය.

ඔබ දැඩි ආහාර ගෙන ශක්තිමත්ව වර්ධනයවූ විට, ඔබට තවත් කෙනෙකුව ශක්තිමත් කළ හැකිය.

ඔබගේ පීඩා කාලයේදී යේසුස්වහන්සේගෙන් සැනසීම ලබාගත් ඔබට, තවත් කෙනෙකුගේ පීඩා කාලයේදී ඔහුට යේසුස්වහන්සේගේ සැනසීම ලබා දිය හැකිය.

දේව වචනයෙන් මිසක් වෙන කිසි විදියකින් මනුෂ්‍යයෙක් ධෛර්යමත් කිරීමට අපට නුපුළුවන.

වචනය කතා කරන කල, වචනය මනුෂ්‍යයාව ධෛර්යමත් කරයි, වචනය ඒ මනුෂ්‍යයාව ගොඩනඟයි. ඒ මනුෂ්‍යයා තුළ ඇති අධෛර්යමත්කම ඉවත් කරයි.

අධෛර්යමත්කම යක්ෂයාගේ ප‍්‍රධාන ආයුධයකි.

ඔබ යමෙක්ව ශක්තිමත් කිරීමට යන විට, ඔබ යා යුත්තේ ඇදහිල්ලේ පලිහත් ආත්මයාණන්වහන්සේගේ වචනය නැමැති කඩුවත් රැගෙනය. (එපීස 6:13-17)

හෙබ්‍රෙව් 3:12-13
[12] සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න. [13] නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.

එකිනෙකාව ශක්තිමත් කිරීම දෙවියන්වහන්සේ ඔබට දී ඇති වගකීමකි.

ඔබ කෙනෙකු ධෛර්යමත් කරන කල, ඔබත් ධෛර්යමත් වන්නේය.

අස්වැන්න ලැබෙනුයේ ඔබ වපුරන කලය.

අප දෙවියන්වහන්සේගේ ශුද්ධ මාළිගාවය. අප තුළ දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලය ඇත.

විඩාවූ අයට කතා කිරීමට දෙවියන්වහන්සේ අපට වචනයක් දී ඇත.

යෙසායා 50:4
[4] විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.

අත්දැකීමක් ඇති අයෙක් ලෙසින් ඔබගේ දිව පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේට පුළුවන.

ඔබගේ දිවෙන් පිටවෙන වචනයෙන් රෝග සුව කිරීමට පවා ඔබට පුළුවන.

දේව වචනය පවසන්නේ දිව ජීවන වෘක්ෂයක් කියාය.

හිතෝපදේශ 15:4
[4] ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය.

ඔබ මුඛය විවර කර කතා කරන්නට පටන් ගන්නා විට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබගේ දිවට වචන දෙනු ඇත.

උගතුන්ගේ දිවෙන් සිදුවන්නේ ඒ වේලාවට අවශ්‍ය වචනය ඔබගේ මුඛයෙන් පිටවීමය.

ඔබ තුළින් ක‍්‍රියා කරන්නේ දෙවියන්වහන්සේය.

ඉශ‍්‍රායෙල් සෙනඟට ශාප කිරීමට ගිය බොරු අනාගතවක්තෘ බාලාම්ට තරවටු කිරීමට දෙවියන්වහන්සේ කොටළුදෙනක් පාවිච්චි කළේය. (ගණන් කතාව 22:22-31)

හරි දේ කීමට දෙවියන්වහන්සේ ඔබව පාවිච්චි කරනු ඇත.

දෙවියන්වහන්සේගේ හඬට ඔබ කීකරුවී තව කෙනෙක් ධෛර්යමත් කල විට, ඔබට දෙවියන්වහන්සේගේ විපාක ලැබෙනු ඇත.

කීකරුකමේ දිවක් ඉතා වැදගත්.

කීකරුකම පූජාවට වඩා උතුම්ය. (1 සාමුවෙල් 15:22)

ඔබගේ දිව ස්වාමීන්වහන්සේ කැමති ලෙස පාවිච්චි කරන මෙන් අයැද සිටින්න.

අනවශ්‍ය දේ කතා නොකර හරි දේ පමණක් කතා කරන කල, එයින් දෙවියන්වහන්සේට මහිමය ලැබෙනු ඇත. එය පියාණන්වහන්සේට ප‍්‍රීතිය ගෙන දෙන්නාවු කාරණයකි. (හිතෝපදේශ 23:16)

දෙවියන්වහන්සේ ඔබට කතා කරනු ඇත.

යෙරෙමියා 1:5-6
[5] මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය. [6] එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කතාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි.

ඔබ ඉපදීමටත් පෙර දෙවියන්වහන්සේ ඔබ ගැන දන්නේය.

අවංක මනුෂ්‍යයෙක් වන්න. එවිට ඔබගේ කැඳවීම ඔබට තේරුම් ගත හැකිය.

ඔබ තවම කිරෙන් පෝෂණය වන්නාවු බාලයෙක්යැයි නොසිතන්න. දෙවියන්වහන්සේ ඔබට දැඩි ආහාර දෙනු ඇත.

යෙරෙමියා 1:7
[7] නුමුත් ස්වාමීන්වහන්සේ මට කතාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.

අප පැවසිය යුත්තේ ස්වාමීන්වහන්සේ පවසන දේය.

යෙරෙමියා 1:8
[8] ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.

ස්වාමීන්වහන්සේ ස්පර්ශ කරන්නේ ඔබගේ දිවය.

යෙරෙමියා 1:9
[9] එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කතාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.

දෙවියන්වහන්සේ සනාථ කරනු ලබන්නේ උන්වහන්සේගේ වචනය අප පවසන විටයි.

අද ප‍්‍රසිද්ධත්වයට හා මුදලට ප‍්‍රේමකරන්නාවු බොරු අනාගතවක්තෘන් උත්සාහ කරනුයේ ඔවුන්ගේ වචන සනාථ කර ගැනීමටය.

යෙරෙමියා 1:10
[10] බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.

බාලාම් බාලාක්ගේ මුදලට ආශාවී ඉශ‍්‍රයෙල්වරුන්ට ශාප කිරීමට ගිය බොරු ප්‍රොපේතවරයෙකි .(ගණන් කතාව 22:17)

2 පේතෘස් 2:15
[15] ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය;

බාලාම්ට තරවටු කිරීමට දෙවියන්වහන්සේ පාවිච්චි කළේ ගොළු කොටළුවෙක්ය. (ගණන් කතාව 22:22-35)

2 පේතෘස් 2:16
[16] නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටුකරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කතාකොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය.

බොරු ප්‍රොපේතවරයෙක්ගේ ක‍්‍රියාව වැලැක්වීමට කොටළුවෙක්ව කතා කරන්නට සැලැස්වූ දෙවියන්වහන්සේට ඊට වඩා උතුම් දේ කිරීමට ඔබව පාවිච්චි කළ හැකිය.

හිතෝපදේශ 23:15-16
[15] මාගේ පුත්‍රය, නුඹේ සිත ප්‍රඥාවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය. [16] එසේය, නුඹේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය.

ඔබ කිසිකෙනෙකුට භය නොවේ හරි දේවල් කතා කරන්න. එය දෙවියන්වහන්සේට ප‍්‍රීතියකි.

හෙබ්‍රෙව් 3:13
13] නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.

දිනපතා එකිනෙකාව ශක්තිමත් කරමු.

හෙබ්‍රෙව් 5:13
[13] ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.

බාලයෙක්මෙන් සිට පසුව දැඩි ආහාර ලැබෙන විට අප එයින් පෝෂණය විය යුතුය.

1 කොරින්ති 13:11
[11] මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කතාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.

බාලයෙකුව සිටින කල කිරි ආහාර වලින් පෝෂණය වීම හොඳ දෙයකි. නමුත් අවසානය ඊට වඩා වර්ධනයක් විය යුතුය.

දේශනාකාරයා 7:8
[8] යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.

බාලයෙක් මෙන් ආරම්භ කල ඔබගේ ගමන අවසාන කළ යුත්තේ වැඩිහිටියෙකුසේය. වැඩිවියට පත්වන කල, ඉවසීමේ ගුණාංගය ඔබගෙන් ඉස්මතුවේ.

1 කොරින්ති 13:11
[11] මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කතාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.

බාලයෙක්ව සිටියදී සිතන්නේ තමන් සියල්ල දන්නවා කියාය. උඩඟුකම බාලය තුළන් පවතී.

බොහෝ රජවරු පවා බාලයන්මෙන් ක‍්‍රියා කළ අවස්ථා ඇත. නමුත් අපි ඉවසීමෙන් දේව සමාදානයෙන් ක‍්‍රියා කරමු.

වැඩිවියට පත්වූ මනුෂ්‍යයා නිතර පවසන්නේ ‘මගේ මිදුම්කරු ජීවමනයි’ කියාය.

යෝබ් 19:25
[25] එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.

වැඩිවියට පත්වූ මනුෂ්‍යයා නිතර පවසයි: අපගේ මිදුම්කරු ප‍්‍රයෝජනවත් දේ උගන්වන බව.

යෙසායා 48:17
[17] නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

ඔබගේ මිදුම්කරු ඔබගේ ආශා ඉෂ්ටකිරීමට සිටී.

හිතෝපදේශ 11:23
[23] ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය; දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.

ත්‍යාගශීලි මනසක් ඇතිව ඔබ තවත් කෙනෙකුට ආශීර්වාදයක් වීමට දෙවියන්වහන්සේ ඔබට උගන්වනු ලබයි.

දෙවියන්වහන්සේ ඔබව දීමට යොමුකරවා ඊට වඩා දේ උන්වහන්සේ ඔබට දෙනු ඇත.

හිතෝපදේශ 11:24
[24] විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.

ඔබ දෙන කල ඔබ ආශීර්වාදලද්දෙක් වනු ඇත.

හිතෝපදේශ 11:25
[25] ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ප‍්‍රතිපත්ති අනුව දෙන විට, ඔබට වැඩිවීමක් වෙයි.

හෙබ්‍රෙව් 5:13
[13] ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.

ධර්මිෂ්ඨකමේ වචනයට අසමර්ථවීම භයානකය. ධර්මිෂ්ඨකමේ වචනයට අසමර්ථ කෙනා වැඩ කරන්නේ පෙනීමේ හැටියටය.

2 පේතෘස් 1:8-9
[8] මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. [9] නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.

වැඩිවියට පත්වූ කෙනෙකුගේ හොඳ ගතිගුණ ඇති තැනැත්තා වධවීමට ලක් නොවී ඵල දරයි.

එහෙත් එවැනි ගතිගුණ ඇති කෙනා දෙවියන්වහන්සේ ඒ ජීවිතයට කළාවූ දේවල් අමතක කොට ළඟ තිබෙන දේවල් පමණක් දකියි. ඔවුන් දුර තිබෙන දේට අන්ධව සිටියි.

අන්ධව සිටීම යනු මනසින් උඩඟුව, අහංකාරව සිටීමය.

දෙවියන්වහන්සේව හොඳාකාරව දන්නාවු කෙනා මාංසයෙන් ගමන් නොකර තාවකාලික දේ නොබලා දුර තිබෙන දේ කරා ගමන් කරයි.

හෙබ්‍රෙව් 5:14
[14] නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.

දැඩි ආහාර ගන්නාවු කෙනාට යහපත හා නපුර තෝරා ගැනීමට හැකියාව තිබේ. ඔහු ඉවසීමෙන් කටයුතු කරන යහපත් කෙනෙකි.

ළදරුවන් රැවටෙයි. ඔවුන්ට හරි වැරැද්ද නොතේරෙයි. ඔවුන් බොරු ඉගැන්වීම්වලට අසුවී මනස අවුල් කර ගනී.

අපගේ මිදුම්කරු ජීවමානය, උන්වහන්සේ අපට ප‍්‍රයෝජන දේ උගන්වයි.
Watch the Sermon Video

Read 112 times