+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ගැළවීම යේසුස්ගේ නාමයෙන් පමණි - මනූ මැතානි
August 4, 2024 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේ අපගේ මැදහත්කාරයාණෝය. බොහෝ බයිබල් පද වලින් පියාණන්වහන්සේව අපට හඳුන්වා දී ඇත්තේ ඒ නිසාය.

යේසුස්වහන්සේ පොළොවට පැමිණියේ තමා ගැන කථා කිරීමට නොව, අපට පියාණන්වහන්සේව හඳුන්වා දෙමින් පියාණන්වහන්සේ වෙතට ගෙනයාමටය.

පියාණන්වහන්සේව හදුනාගත් කෙනෙක් කවදාවත් දෙවියන්වහන්සේගෙන් අහක්ව යන්නේ නැත. ඔහු නිතර උන්වහන්සේගේ හස්තයේ සිටියි. ශුද්ධාත්මයාණන්වහන්සේ අන්තිම දවස දක්වා ඔහුව ආරක්ෂා කරයි.

යේසුස්වහන්සේ නොමැතිව අපට දෙවියන්වහන්සේව දැනගැනීමටත්, උන්වහන්සේගේ ප‍්‍රේමය අත්දැකීමටත් නොහැකිය. අපට ගැළවීම ලැබී තිබෙන්නේ උන්වහන්සේ තුළින්ය.

අපගේ හොඳ ක‍්‍රියා දෙවියන්වහන්සේ ඉඳීරියේ කිලුටු වැරහැළි හා සමානය. (යෙසායා 64:6) එම නිසා අප යේසුස්වහන්සේගේ මාර්ගය තෝරා ගත යුතුය.

ක‍්‍රිස්තුස්වහන්සේ හදුනාගත් කළ උන්වහන්සේගෙන් අප ඉගෙන ගන්නේ පියාණන්වහන්සේගේ ගුණාංගය.

2 පේත්‍රැස් 3:18
එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.

අනුග‍්‍රහය තුළ වර්ධනය විය යුතුය. අපගේ අනුග‍්‍රහය දෙවියන්වහන්සේය.
අනුග‍්‍රහය අත් දැක්ය හැක්කේ යේසුස්වහන්සේව හදුනා ගැනීමෙනි.

අපට පියාණන්වහන්සේව හඳුන්වා දිය හැක්කේ යේසුස්වහන්සේට පමණි.

යේසුස්වහන්සේ නොමැතිව පියාණන්වහන්සෙ වෙත යා හැකි මාර්ග තිබේයැයි අද බොහෝ ඉගැන්වීම් තිබුණත් මාර්ගය, සත්‍යය ජීවනය යේසුස්වහන්සේ පමණි. උන්වහන්සේ කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත (යොහන් 14:6)

මුලු මිනීස් සංහතිය වෙනුවෙන් කුරුසපත්වී ජීවිතය පූජා කළේ යේසුස්වහන්සේය.

යේසුස්වහන්සේ මුලු ලෝකයටම ප‍්‍රේම කල සේක. ඕනෑම කෙනෙකුට යේසුස්වහන්සේව පිළිගත හැකිය.

රෝම 10:11
උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.

යේසුස්වහන්සේව ඔබ අදහන නිසා විනිශ්වය දවසේදී ඔබ ලැජ්ජාවට පත්වන්නේ නැත.

ඔබ යේසුස්වහන්සේව හදුනමියි කියන කළ අවසන් දවසේදි යේසුස්වහන්සේත් අපව හදුනන බව පවසයි.

මතෙව් 10:32
එබැවින් මනුෂ්‍යයන් ඉඳීරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉඳීරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි.

අප යේසුස්වහන්සේව පිළිගත් දවසේම අපගේ නාම ස්වර්ගයේ ජීවන පොතේ ලියා ඇත. (එළිදරව් 3:5)

මතෙව් 10:33
නුමුත් මනුෂ්‍යයන් ඉඳීරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉඳීරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.

ඔබ යේසුස්වහන්සේව අදහන්නේයැයි මනුෂ්‍යයන්ට කියන්නට ලැජ්ජා නොවන්න. ඔබගේ ජීවිතයෙන් යේසුස්වහන්සේගේ නාමය වර්ණනා කරන්න.

අපට ගැළවීම ඇත්තේ යේසුස්වහන්සේගේ නාමයෙන් පමණි.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

දේව මාළිගාව අසල සිඟමන් යදිමින් සිටි කොරාට පේතෘස් හා යොහන් පැනදුවේ රන් රිදී මට නැත නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන් නැඟිට ඇවිදින්න කියාය. (ක‍්‍රියා 3:6)

කොරා සුවපත්වූ පසු යුදෙව් නායකයන් ඔවුන්ට පවසන්නේ මේ නාමය තවත් ප‍්‍රකාශ නොකරන ලෙසය. (ක‍්‍රියා 4:17)

ගැළවීම්, මිදීම, යක්ෂ ආත්ම වලින් නිදහස ඇත්තේ යේසුස්වහන්සේගේ නාමයෙන් පමණි.

යේසුස්යන නාමය ක‍්‍රියා කරන්නේ, එහි වටිනාකම ඇත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ප‍්‍රකාශ කළොත් පමණි.

ගැළවීම ලබා නොසිටි අය යේසුස්වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නට ගොස් යක්ෂ ආත්ම ඒ මනුෂ්‍යයා තුළින් කථා කරමින් ඔවුන්ව පන්නා දමන ලදි. ඔවුන්ට තුවාල කරන ලදි.

ක්‍රියා 19:13-16
නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය. ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය. නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය.
[16]නපුරු ආත්මය වැහී සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැනනැගී දෙදෙනාම දමනයකොට, ඔවුන් පරදවාදැම්මේය, මෙසේ ඔව්හු නිර්වස්ත්‍රව, තුවාලවී, ඒ ගෙයින් පලා ගියෝය.

ඔවුන් පැවසුවේ පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කියාය. නමුත් ඔවුන් ගැළවීම ලබා නොතිබුණි. ශුද්ධාත්ම බලය ඔවුන් තුළ නොතිබුණි.

මනුෂ්‍යයන් ගැළවීම ලබලාද නැද්ද කියා යක්ෂයන් දන්නේය.

ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් යේසුස්වහන්සේගේ නාමය ප‍්‍රකාශ කළහොත් අනිවාර්යෙන්ම යක්ෂ ආත්ම දුරුවෙනු ඇත.

අන්තිම කාලයේ බොහෝ මනුෂ්‍යයන් පැමිණ “ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු කළෙමියි කීවත් ඒ අත්මය වෙනත් ආත්මයක්ය, යේසුස්වහන්සේගෙන් නොවේය.

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේ යක්ෂයන් දුරුකරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයෙන් බවයි.

මතෙව් 12:28
නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ.

ඔබ ගැළවීම ලබා ඇති අවංක පුද්ගලයෙක් නම් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින් ඔබට යක්ෂයන් දුරු කළ හැකිය.

යක්ෂයන් නැටවීම නොව, යක්ෂයන් දුරු කරමින් මනුෂ්‍යයන් ගැළවීමට ගෙන ඒමයි සැබෑ ක‍්‍රියාව.

යේසුස්වහන්සේගේ නාමය සූත‍්‍රයක් ලෙස පාවිච්චි කිරීමට ගියහොත් ඔබට සිදුවන්නේ තුවාල කර ගැනීමටය. (ක්‍රියා 19:16)

1 කොරින්ති 12:3
එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.

ශුද්ධාත්මයාණන්වහන්සේ නොමැතිව කිසිවෙකුට “යේසුස්වහන්සේ ස්වාමීන්” කියා කිව නොහැකිය.

ඔබ ඇදහිලිවන්තයෙක් ලෙස යේසුස්වහන්සේගේ නාමය කථා කරන කල ඒ නාමය ඔබගේ ජීවිතය තුළ ක‍්‍රියාත්මත වනු ඇත.

ඔබ යේසුස්වහන්සේගේ නාමය විශ්වාස කරමින් ශුද්ධ ජීවිතයක් ගත කළ යුතුය. ශුද්ධකම ඉතා වැදගත්ය. ශුද්ධකම නොමැතිව ස්වාමීන්වහන්සේ දකින්න ඔබට නොහැකිය. උන්වහන්සේගේ එළිදරව් ඔබට නොලැබෙනු ඇත.

හෙබ්‍රෙව් 12:14
[14] සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.

අප මනුෂ්‍යයන් අතර හොඳ දේවල් කරමින් ශුද්ධකමින් ජීවත් වන්නෙමු.
දෙවියන්වහන්සේ අපට ධර්මිෂ්ඨකමේ දීමනාව දී ඇත්තේ ශුද්ධකමින් හැසිරීමටය.

ශුද්ධකමින් ජීවත්වීමට ඔබ තුළ කැපවීමක්, භාරවීමක්, සීමාවක් තිබිය යුතුය.

හෙබ්‍රෙව් 12:15
[15] කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,

ඒසව් හා යාකොබ් දෙදෙනාගේම ජීවිතවල දුර්වලකම් තිබුණත්, යාකොබ්ට දෙවියන්වහන්සේ හමුවුනු විටදී ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් වුණේය. ඔහුගේ ජීවිතයේ හැරීමක් සිදු වූවා. නමුත් ඒසව් තම දුර්වලකම් කිසිදා සාදා ගත්තේ නැත.

අප දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් නොවැටෙන්නට බලාගනිමු.

කිසි අයුරකින් ඔබගේ ජීවිතය තුළ තිත්තකමේ මුලක් හට ගැනීමට ඉඩ නොදෙන්න. එය අයුතුකමකි.

පාපයක් අපට දැනෙන්නේ අප එය කර අවසන්වූ පසුවය. නමුත් අයුතුකමක් යනු සිතේ යමක් තබාගෙන සිටීමය. යමෙක් අපට කළාවූ ක‍්‍රියාවක් සිතේ තබාගෙන සමාව නොදී එය අමතක නොකර සිටීමය. අයුතුකමේ සිටීම අපගේ යාච්ඤාවට පවා බාධාවක් වේ.

ගීතාවලිය 66:18
[18] අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.

අප සියල්ල අත්හැරිය යුතුයි. අපට කිසිවෙක් විනිශ්චය කිරීමට අයිතියක් නොමැත. විනිශ්චය දෙවියන්වහන්සේගේ කාර්යයකි.

තිත්තකමේ මුලක් හට ගැනීමෙන් ඔබ පමණක් නොව, ඔබ අවට සිටින අයද අපවිත‍්‍ර වනු ඇත.

දෙවියන්වහන්සේ පිළිතුරු දෙන්නේ අපගේ ශුද්ධ ඇදහිල්ලටය.

හෙබ්‍රෙව් 12:15
[15] කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,

ඔබට යමක් කළ කෙනාට කමාව දී එයින් ඉවත්වන්න. ඔබගේ සිතෙන් තිත්තකමේ මුල ඉවත් කර ගන්න. එය ඔබගේ ගැළවීමට පවා බාධාවක් වීමට පුළුවන.

ඒසව් කෑම ටිකකට තම කුළුදුල්කමේ ආශීර්වාදය නැතිකර ගත්තා සේ තිත්තකමේ මුලකට ඔබගේ ගැළවීම නැතිවෙන්නට ඉඩ නොදෙන්න.

ඔබ කතා කරන දේ ඔබගේ පවුලේ අයටද බලපෑමක් විය හැකිය.

යේසුස්වහන්සේ කියූ පරිදි ඇදහිල්ල ඇතිව ඒ තිත්තකමේ ඇඹිල්ල ගසට මුල්වලින්ම ඉඳීරි යන්න කියා අණ කරමු.

ලූක් 17:6
ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉඳීරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත

ඇඹිල්ල ගස තිත්ත ගසකි. එහි බොහෝ ගැඹුරට මුල්හට ගනී. එයින් ගස වැඩි වැඩියෙන් වැඩෙයි.

අප මෙලෙස බොහෝ මුල් හට ගැනීමට ඉඩ නොදී එය මුල්වලින්ම උදුරා දැමිය යුතුය.

යෙසායා 37:31
යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළ ඵල දරනවා ඇත.

පහලට මුල් අදින්න ගත් විට එහි ඵල ඉහළට යයි.

එය දෙවියන්වහන්සේට ගෞරව දෙන ඵලද තිත්තකමේ ඵලද?

තිත්තකමේ මුල විශාල වීම ඔබගේ වර්ධනයට බාධාවකි. එය දෙවියන්වහන්සේගේ දේටත් වඩා විශාල වෙයි.

ඔබ යම් පුද්ගලයෙක් හෝ සිද්ධියක් නිසා දෝෂාරෝපණයට ලක් නොවන්න. මන්ද දෙවියන්වහන්සේ සියල්ල දන්නා සේක.

1 යොහන් 3:20
මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.
[21] ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉඳීරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

අපගේ සිතට වඩා දෙවියන්වහන්සේ උතුම්ය. අපගේ සිත දෝෂාරෝපණය කරන්නේ නම් අපට නිසැකකමක් නැත.

ප‍්‍රශ්නය වර්ණනා නොකරන්න. එයින් කිසිදා ඇදහිල්ල වර්ධනය නොවේ.

අපගේ නැතිදේ පිහිටුවීමට ස්වාමීන්වහන්සේට පුළුවන.

යෙරෙමියා 32:17
[17] අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.

ස්වාමීන්වහන්සේට කරන්නට බැරි කිසිවක් නොමැත.

යෙරෙමියා 32:27
[27] බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?

ස්වාමීන්වහන්සේට කරන්නට අමාරු කිසිවක් නොමැත. ඔබට තිබෙන්නේ ස්වාමීන්වහන්සේ විශ්වාස කිරීමය.

දෙවියන්වහන්සේගේ දේ සුළු නොකරමු. අප ප‍්‍රයෝජනවත් දේ යේසුස්වහන්සේගේ නාමය ගැන පමණක් කතා කරමු.

එපීස 4:29-30
[29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න. [30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

ඔබගේ සිතේ තිත්තකම තිබේනම් යහපත් දේ කතා කිරීමට අපහසුය.

නිශ්ප‍්‍රයෝජන වචන කථා නොකර, අප අසන්නන්ට වර්ධනයක් වන වචන කතා කරමු.

අපගේ වචන වලින් ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙමු.

එපීස 4:31-32
[31] සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.
[32] නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

මාංසයේ පැත්තට බරව තිබෙන අපගේ නපුරු සිතුවිලි, අදහස් අහක් කළ යුතුයි.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් අපට සමාව ලැබුණා සේ අපත් අන් අයට කමාව දිය යුතුය.

අපගේ සිතේ තිත්තකම තිබෙන තුරු දෙවියන්වහන්සේව අත්දැකිය නොහැක.

අප දෙවියන්වහන්සේ අනුව යන්නන් වෙමු.

එපීස 5:1-2
[1] එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න. [2] ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේට මිහිරි පූජාවක් වූයේය. දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ නිසා දුෂ්ට මනුෂ්‍යයන්ට සමාව දුන්නේය.

දෙවියන්වහන්සේ අනුව යන්නෝ නම් අපත් එකිනෙකාට සමාව දිය යුතුය.

අශුද්ධ දේ වලට අසුනොවී ශුද්ධකමින් ජීවත්වෙමු.

හග්ගයි 2:11-13
[11] සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට– [12] යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය. [13] එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය.

අපට කවදාවත් කෙනෙක්ව බලෙන් ශුද්ධකමට ගෙන ඒමට නොහැක.

අප ශුද්ධයි කියා අප ලඟින් සිටින කෙනා ශුද්ධවන්නේ නැත. එය ඔහු විසින් ඇති කර ගත යුතු දෙයකි.

එහෙත් අශුද්ධ දේවල් ඉතා ඉක්මනින් පැතිරී යයි. එය අවට සිටින්නන් කෙරෙහිද බලපාන්නේය.

වැරදි ආශ‍්‍රයන් තුළින් අපවිත‍්‍ර දේ ඉතා ඉක්මනින් පැතිරී යන්නේය.

ඔබගේ දරුවන් ආශ‍්‍රය කරන්නේ කවුරුන් සමඟද, වැඩි කාලයක් ගත කරන්නේ කුමකටද කියා සොයා බැලිය යුතුය.

රෝම 10:12
[12] මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.

දෙවියන්වහන්සේට යාච්ඤා කරන සියල්ලන්ට උන්වහන්සේ පොහොසත්ව සිටී.

උන්වහන්සේ අනුග‍්‍රහයෙන්, කරුණාවෙන්, සමාවදීමෙන්, හැම අතින්ම පොහොසත්ව සිටින සේක.

යේසුස්වහන්සේව අදහන්න, උන්වහන්සේ වෙතට එන්නට අපට අවශ්‍යය.

උන්වහන්සේ පැවසුවේ, වෙහෙස වන්නාවු බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙතට එන්න කියාය. (මතෙව් 11:28)

ඔබ නොපැමිණියහොත් කවදාවත් නිදහසක් නොලබනු ඇත.

උන්වහන්සේ වෙතට පැමිණෙන්න කියා, යේසුස්වහන්සේ සියලු දෙනාටම ආරධනා කරයි.

රෝම 10:13
[13] මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.

යේසුස්වහන්සේගේ නාමය විශ්වාස කරන සියලු දෙනාටම ගැළවීම ඇත.

අප මේ පොළොවේ යේසුස්වහන්සේගේ නාමය පවසමින් ජීවත්වන්නේ නම් උන්වහන්සේ අපේ නාමයත් දෙවිපියාණන්වහන්සේ ඉඳීරියේ ප‍්‍රකාශ කරනු ඇත.


Watch the Sermon Video

Read 81 times