+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ දැන් අපගේ පියාණන්වහන්සේය - යෝෂා මනූ
August 11, 2024 Sunday Sermon Notes

 

යාච්ඤාව ඉතා වැදගත්ය. එයින් අපට බොහෝ දේ අත්දැකිය හැකියි.

දේව වචනයේ අපට නිතර පවසන්නේ මැදහත්කමේ යාච්ඤාවල යෙදී සිටින්න කියාය.

අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමේදී අපි ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ඇතිව දෙවියන්වහන්සේ සමඟ කතා කරමින් සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමු.

රෝම 8:26
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කියා නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

සමහරවිට අප හරියාකාරව යාච්ඤා කිරීමට නොදන්න නමුත් ආත්මයාණන්වහන්සේගේ උපකාරය ඇතිව යාච්ඤා කරනවිට අප යාච්ඤා කරන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තය.

අප යාච්ඤා කරන කල, අපගේ ජීවිතයේ වෙනස්කම් අත් දැකිය හැකිය.

1 කොරින්ති 14:2
මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත.

අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන කල අප කථා කරන්නේ දෙවියන්වහන්සේ සමඟය.

අන්‍ය භාෂාවෙන් පවසන දේ අපට නොතේරෙන නමුත් දෙවියන්වහන්සේට එය තේරෙන්නේය.

ආත්මය තුළ හැම මොහොතකම යාච්ඤා කිරීමෙන් අපගේ අතිශුද්ධ වූ ඇදහිල්ලේ අත්තිවාරම මත අපි නිතරම පියවරෙන් පියවර, දවසින් දවස අපවම ගොඩනගා ගත යුතුයි.

යූද් 1:20
නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමිනී, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,

ශුද්ධ ඇදහිල්ල මත අපව ගොඩනඟාගත් කල, මනුෂ්‍යයන් මොන දේ කීවත්, කරත් අපට එය නොදැනෙන සේ කෝප නොවී සිටිය හැකිය.

කවුරු මොනවා කීවත් අප ඇතුළතින් ශක්තිමත්ය. අප තුළ සිටින තැනැත්තේ ශක්තිමත්ය. (1 යොහන් 4:4)

පාවුල්තුමාද දන්නා භාෂාවෙන් මෙන්ම අන්‍ය භාෂාවෙන්ද යාච්ඤා කරන ලදි.

1 කොරින්ති 14:15
එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි.

මෙලෙස යාච්ඤා කිරීමෙන් පවුල්තුමා ශක්තිමත් වුණා සේම ඔහුගේ ලිපි මඟින් අපවද ශක්තිමත් කර ඇත.

රෝම 8:27
ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.

ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අප උදෙසා මැදහත්කාරකම් කරනු ඇත.

සමහර විට ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන කල, ඔබට තවත් කෙනෙකු උදෙසා මැදහත්කාරකමේ යාච්ඤාවක් කිරීමට මඟ පෙන්වනු ඇත.

සිත් විමසන තැනැන්වහන්සේ සියල්ල දන්නා සේක. තවත් කෙනෙකුගේ මැදහත්කාරකමේ යාච්ඤාවකින් යක්ෂයාගේ උගුල් වලින් හා මළපත් වලින් අපව ගළවනු ඇත.

රෝම 8:28
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

දෙවියන්වහන්සේට ඔබ ප‍්‍රේම කරනවානම්, දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරනු ඇත.

දේව අභිමුඛයේ සිටීමෙන් පුදුමාකාර සැනසිල්ලක්, සහනයක් ගෙන එයි.

දෙවියන්වහන්සේ ඉවසිල්ලේ හා සැනසිල්ලේ දෙවියන්වහන්සේය.
ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සැනසිලිකාරතුමන්ය.

නිතරම යාච්ඤා කිරීමෙන් අප තුළවූ ඇදහිල්ලේ අත්තිවාරම පියවරෙන් පියවර ගොඩනැගෙනු ඇත. (යූද් 1:20)

අප ආත්මයාණන්ගේ මග පෙන්වීම අනුව යාච්ඤා කළ යුතුයි.

අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන කල, ආත්මික ක්ෂේත්‍රය තුළ අප නොදන්නාවු දේ උන්වහන්සේ සකසමින් අප තුළ දෙවියන්වහන්සේගේ නිමවන්නාවු අලංකාර රූපය දකින්නට හැකි වනු ඇත.

ප‍්‍රඥාවන්ත දෙවියන්වහන්සේ සමඟ අප සම්බන්ධ වන විට, කියා නිමකල නොහැකි ප‍්‍රීතියක් අප තුළ උතුරා යයි.

ආත්මික තලයේ නැතහොත් ආත්මික ක්ෂේත්‍රයේ යාච්ඤා කිරීම වැදගත්.

ආත්මයාණන්ගේ උපකාරය ඇතුව අපි යාච්ඤා කරන විට අපට අපගේ ශක්තියෙන්, හැකියාවෙන්, බලයෙන්, ශ්‍රමයෙන්, උත්සාහයෙන්, බුද්ධියෙන්, මානසික මනසින් කරන්නට බැරි, අපහසු දේවල් දෙවියන්වහන්සේ විසින් අලංකාරව කරනු ලබයි.

එපීස 6:18
සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න.

දෙවියන්වහන්සේ පවසන්නේ නිතරම, නොකඩව, නොනවත්වා යාච්ඤා කරන ලෙසය.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමෙන් පුදුම බලයක් අත්දකිනු ඇත.

යේසුස්වහන්සේ මේ පොළොවේ සිටියදී තමාගේ පියාණන් කෙරෙහි මුළුමනින්ම යැපුණේය.

යේසුස්වහන්සේට තමාගේ පියාණන්වහන්සේ හා සමඟ තිබූ සම්බන්ධතාවය ගැන අපට බයිබල් පද වලින් දැකගත හැකියි.

යේසුස්වහන්සේට තම පියාණන් හා සමඟ තිබූ සම්බන්ධතාවය ගැන බයිබල් පද

දෙවියන්වහන්සේ දැන් අපගේ පියාණන්වහන්සේය.

මළවුන්ගෙන් නැඟිටි යේසුස්වහන්සේ මරියාට දර්ශනයවූ අවස්ථාවේ පැවසුවේ, මාගේ සහෝදරයන්ට ගොස් කියන්න කියාය.

උන්වහන්වහන්සේ අපට සහෝදරයන් යැයි පවසයි. අප දැන් උන්වහන්සේගේ පවුලේ සාමාජිකයන් වන්නෙමු.

එමෙන්ම යේසුස්වහන්සේ පැවසුවේ, මම මාගේ පියාණන් හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි කියාය.

යොහන් 20:17
යේසුස්වහන්සේ: මට අත නොගසන්න; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්- මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.

මෙහිදී දෙවියන්වහන්සේ අපගේද පියාණන්වහන්සේ බව පවසයි.

දෙවියන්වහන්සේ දැන් අපගේ පියාණන්ය.

අපට දෙවියන්වහන්සේ “අබ්බා පියාණන්” කියා හඬගැසීමට පුළුවන. උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ අප තුළ වගුරුවා ඇත.

පියාණන්වහන්සේ අප තුළ නිසාත්, අපව බලවත් කරන නිසාත් අපට දෙවියන්වහන්සේට ස්තූති කළ හැකිය.

නිතරම පියාණන් සමඟ සම්බන්ධකමක යෙදී සිටිමු.

මේ දක්වා පියාණන්වහන්සේ පිළිබඳ බයිබල් පද අප බැලුවේ යොහන් සුභාරංචියෙන් පමණි.

යොහන් සුභාරංචිය මෙන්ම 1-2-3 යොහන් යැවුම්පත‍්‍රද, එළිදරව් පොතද ලියනු ලැබුවේ යොහන්ය.

යේසුස්වහන්සේගේ ගෝලයන් අතරින් පේතෘස්, යාකොබ් හා යොහන් යේසුස්වහන්සේ සමඟ සමීපවම සිටි තිදෙනෙකි.

යේසුස්වහන්සේ අන්වෙසක්වූ අවස්ථාවේදීද සිටියේ මේ තිදෙනා පමණි. (මතෙව් 17:1-9) අන් අය නොදුටු යේසුස්වහන්සේගේ තේජස් ස්වභාවය මේ තිදෙනා දුටුවෝය.

යේසුස්වහන්සේත්, පියාණන්වහන්සේත් අතර ඇති සම්බන්ධකම ගැන යොහන්ට එළිදරව්වක් තිබුණි.

දෙවියන්වහන්සේ දැන් යේසුස්වහන්සේගේ පියාණන් පමණක් නොව අපගේ පියාණන් බව යොහන් පෙන්වා දෙයි.

දෙවියන්වහන්සේ අපගේ පියාණන් වීමට කොන්දේසි ඇත. අප ඒවා බලමු.

1 යොහන් 1:1-4
පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස් වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන,
2 නුඹලාත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටුවාවූ ඇසුවාවූ ඒ දේ නුඹලාටත් ප්‍රකාශකරමුව.
3 (ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, සැබවින්ම අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.
4 මේ දේවල් ලියා එවන්නේ අපේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසය.

ජීවනයේ වාක්‍යයාණෝව සිටින්නාවු යේසුස්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ගොඩනඟා ගත යුතුය.

උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිට ස්වර්ගයේ වැඩවාසය කරනවාසේම අපගේ හදවත තුළද වාසය කරයි.

පියාණන්වහන්සේ, පුත‍්‍රයාණන්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ වන මුළු දේවත්වයම දැන් වාසය කරන්නේ අප තුළයි.

සදාකාල ජීවනය යනු ස්ථානයක් නොවේ එතුමා පුද්ගලයෙකුය.

යොහන් 17:3
සදාකාල ජීවනය නම් මේය-එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේ සදාකාල ජීවනය බවය.

සදාකාල ජීවනය යනු යේසුස්වහන්සේ ඇඳිනගැනීමය.

අප ගැළවීම ලැබූ විට සදාකාල ජීවනයට ඇතුල්වේ.

අද දැන් සිටින්නේ සදාකාල ජීවනය තුළය.

පොළොවේ ජීවත්ව සිටින තුරු අප මේ ශරීර කූඩුව තුළ සිටියත්, සැබෑවූ පුද්ගලයා ඔබගේ ආත්මයයි.

මේ පිටස්තර වස්ත‍්‍රය අතහැර අප දෙවියන්වහන්සේගේ ස්වර්ගික අලුත් වස්ත‍්‍රය පැලඳ ගනු ඇත.

සදාකාල ජීවනය යනු, දිනපතා මොහොතක් මොහොතක් පාසා අප යේසුස්වහන්සේ සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගැනීමයි.

කිතුනුවකු වන්නේ යේසුස්වහන්සේව දැන හැඳිනගෙන උන්වහන්සේව ගැළවුම්කරු ලෙස පිළිගෙන උන්වහන්සේ සමඟ ජීවන සම්බන්ධතාවයක් ඇතිවීමෙනි.

මතෙව් 7:21
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනී, ස්වාමිනීයි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.

“ස්වාමීනි, ස්වාමීනි,” කියා පැවසීමෙන් ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට අවසර පත‍්‍රයක් ලැබෙන්නේ නැත.

මතෙව් 7:22-23
22 ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනී, ස්වාමිනී, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. 23 එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

යේසුස්වහන්සේගේ නාමයෙන් බලවත් ක‍්‍රියා කළෙමියි කීවත්, ඒ පුද්ගලයන් කුණු නොවන්නාවු බීජයෙන් නැවත ඉපදී නොමැති හෙයින් ඔවුන් යේසුස්වහන්සේව ඇඳින නොමැති හෙයින් යේසුස්වහන්සේ ඔවුන් නාඳුනන බව පවසයි.

ඔබ කුණු නොවෙන බීජයෙන් ඉපද සිටින්නේ නම් ඔබට දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකමක් ගොඩනඟා ගෙන ජීවත්වීම ඉතා වැදගත්ය.

සදාකාල ජීවිතය තුළ ඵල දරන ජීවිතයක් ගත කරන්නේ එලෙසින්ය.

1 යොහන් 1:4
මේ දේවල් ලියා එවන්නේ අපේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසය.

ඔබ ප‍්‍රීතිය සමාදානය නොමැතිව, නිතර අධෛර්යමත්කමෙන් ජීවත්වන්නේ නම්, ඔබ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන නොමැත.

දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකමක් තිබෙන්නාගේ ප‍්‍රීතිය සම්පූර්ණව තිබේ. ඕනෑම වේලාවක කවුරු මොනවා කීවත් ඔබ තුළ පවතින්නේ ප‍්‍රීතියයි.

ඔබ යම් තත්වයක් තුළින් යනවිට වැදගත් වන්නේ ඔබ එයට මුහුණ දෙන ආකාරයයි. ඔබ තුළ ප‍්‍රීතිය පවතීනම් ඔබ තුළින් පිටතට පැමිණෙන්නේත් එම ප‍්‍රීතියේ වචනයමයි.

අපගේ පංගුකාරකම යනු, අපගේ සබඳතාවය, කතාබහ, මිත‍්‍රත්වය පියාණන්වහන්සේත්, යේසුස්වහන්සේත් සමඟ තිබීමය.

1 යොහන් 1:7
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.

ඔබ ආලෝකයේ සිටිනවානම් ඔබ ආලෝකයට සුදුසු දේවල් කළ යුතුය.

අපට දෙවියන්වහන්සේගෙන් කිසි දෙයක් සැඟවිය නොහැකිය. (ගීතාවලිය 139:7-8)

කුරුසියෙන් පෙන්නුම් කරන්නේ දෙවියන්වහන්සේ සමඟත් එකිනෙකා සමඟත් ඇති සම්බන්ධතාවයය.

1 යොහන් 1:8-9
අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. 9 අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, 10 අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත.

ඔබ අතින් යම් වචනයකින් හෝ ක‍්‍රියාවකින් යම් පාපයක් සිදුවුවහොත් ඒ මොහොතේදීම එය දෙවියන්වහන්සේ ඉඳීරියේ කියාදී සමාව ඉල්ලා නැවත දෙවියන්වහන්සේ හා සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගත යුතුය.

අපව යේසුස්වහන්සේගේ ලේ වලින් සෝදා පවිත‍්‍රකිරීමට දෙවියන්වහන්සේ විශ්වාසවන්තව, ධර්මිෂ්ඨව සිටින සේක.


Watch the Sermon Video

Read 111 times