+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නපුරු ක්‍රියා වලින් පසුතැවිලි වීම
මෙම වසරේ අනියම් විවාහ සබඳතා නිරාවරණය වනු ඇත - මනූ මැතානි

August 11, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ අපගේ වැරදි වලට සමාව දෙන බව අප විශ්වාස කළ යුතුය.

අප දෙවියන්වහන්සේගෙන් සමාව අයැද සිටිය යුතුය.

ඔබ තුළ වැරදි ඇසුරු තිබේ නම් එයින් ඉවත්වන්න.

වැරදි තිබෙන අය එයින් මිදී දෙවියන්වහන්සේගෙන් සමාව ලබා නොගතහොත් එම වැරදි කවදාහෝ එළිදරව් වනු ඇත.

මලාකී 2:15
[15] ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.

කිතුනු විවාහයක සාක්ෂිකරු දෙවියන්වහන්සේය. එබැවින් පුරුෂයා හා භාර්යාව අතර ද්‍රෝහිකමක් ඇතුව අල්තාරය වෙතට පැමිණ සිදුකරන්නාවු කන්නලව්වකට දෙවියන්වහන්සේ පිළිතුරු නොදෙන සේක.

මලාකී 2:16
[16] මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.

දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවී ද්‍රෝහිකම් නොකර, උන්වහන්සේ සමඟ සහභාගිකමත් ගොඩනඟා ගැනීම වැදගත් වන්නේය.

ඔබගේ විවාහයේ සාක්ෂිකරුව සිටින දෙවියන්වහන්සේගේ උපදෙස් ලබාගෙන විවාහ ජීවිතය ගොඩනඟා ගන්න.

ලෝකයේ බොහෝ අයුතුකම් ඇත.

ඔබ විවාහවූ පුද්ගලයාහට ද්‍රෝහිකම් කර අවසානයේදී දික්කසාදයට පැමිණෙයි. නමුත් දික්කසාදය දෙවියන්වහන්සේ ද්වේෂ කරන දෙයකි.

දික්කසාද වෙන්නට අවසන් තීරණය නොගෙන අප දෙවියන්වහන්ගෙන් හා අදාල පුද්ගලයාගෙන් සමාව අයදිමු. එමඟින් ඔබගේ ජීවිතය ගොඩනඟා ගැනීමට පුළුවන්කම ලැබෙයි.

මතෙව් 24:9-10
[9] එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය. [10] එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.

ලෝකයේ තිබෙන අධර්මිෂ්ඨකම හේතුකොටගෙන අද දින අපගේ සහෝදරයන් පවා පාවා දෙන තත්වයට පත්ව තිබේ.

සභාවට පවා එම වෛරය රැගෙන එයි. අප එම වෛරයෙන් ඉවත්විය යුතුය.

මතෙව් 24:11
[11] නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය.

වැඩි වශයෙන් බොරු අනාගතවක්තෘවරු බිහිවෙමින් ඔවුන් බොහෝ දෙනෙක්ව මුළාකරයි.

අප අවංකව, පිරිසිදුව වචනයෙන් පිරී සිටිය යුතුය. යාච්ඤාවෙන්, ඉවසීමෙන්, අවංකව, ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව ජීවත්විය යුතුය.

දෙවියන්වහන්සේට විරුද්දව ද්‍රෝහිකම් නොකර සිටිමු.

ඔබගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි. ඔබගේ ශරීරය වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම්, වැරදි පුද්ගලයෙකු හා සම්බන්ධවී සිටී නම්, ඔබ කටයුතු කරන්නේ දෙවියන්වහන්සේගේ මාළිගාවට විරුද්ධවය.

දෙවියන්වහන්සේ ඔබව මිලදී ගත් බවද, ඔබ දෙවියන්වහන්සේ සමඟ එක ආත්මයක්ව සිටින බවද විශ්වාස කළ යුතුය.

ලෝකයේ හඳුන්වාදෙන දේවල් වලට යොමුවීම පාපය නොවන බවත් එය මාංශයේ තිබෙන දුර්වලකමක් බවත් ඔවුන් හඳුන්වති. නමුත් එය දුර්වලකමත් නොව තෘෂ්ණාවය.

1 කොරින්ති 6:15
[15] නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.

අපගේ ශරීරයේ අවයවයන් ක‍්‍රිස්තුස්වහන්සේගේය.

ඔබගේ ශරීරයේ අවයවයන් වේශ්‍යාකමට භාර දෙන්නේ නම් එය දෙවියන්වහන්සේ ප‍්‍රකිත්ෂේප කරන්නාවු දෙයකි.

දෙවියන්වහන්සේට අගෞරව වන දේ අප ප‍්‍රතික්ෂේප කළ යුතුය.

ඔබ ශරීරයට විරුද්ධ දේ කරන කල, ඔබ ඒ දේ කරනුයේ ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයට විරුද්ධවය.

1 කොරින්ති 6:16
[16] නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක.

මනුෂ්‍යයන්ට වෛශ්‍යකමේ යෙදෙන්නට දෙවියන්වහන්සේ කවදාවත් අනුමත කර නොමැත.

1 කොරින්ති 6:17
[17] නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

පාපිෂ්ඨ දේ ඇසීම, බැලීම, කිරීම සියල්ලම අප ප‍්‍රතික්ශේප කළ යුතුය. අප ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයයි.

“විවාහකයෙකුගේ විශ්වාසය” ඔබගේ ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර තිබිය යුතුය.

අවිවාහකයෙකු වුවත් ඔබගේ ශරීරය ක‍්‍රිස්තුස්වහන්සේට අයත් බව දැන ගන්න.

1 කොරින්ති 6:18-20
[18] වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න. මනුෂ්‍යයා කරන්නාවූ සියලු පව් ශරීරයෙන් පිටතය; නුමුත් වේශ්‍යාකම්කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව්කරන්නේය.

ඔබගේ අවයවයන් යේසුස්වහන්සේගේ ශරීරයයි. ඔබගේ දෑස් වැරදි දේ බැලීමෙන් වළක්වා ගන්න. කෙනෙකු වෛශ්‍යකම් කිරීමෙන් සිටින්නේ නම් ඔහු තමාගේම ශරීරයටම විරුද්ධව කරන්නාවු පාපයකි.

එනම් ඔහු පව් කරන්නේ ක‍්‍රිස්තුස්වහන්සේට විරුද්ධවයි.

1 කොරින්ති 6:19
[19] නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?

ඔබ වැරැද්දක් කිරීමට පෙර සිතන්න, ඔබගේ ශරීරය දෙවියන්වහන්සේ මාළිගාව නොවේද කියා?

1 කොරින්ති 6:20
[20] නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

අපගේ ශරීරය අපට අයිති නැත. එය දෙවියන්වහන්සේ මිලදී ගෙන ඇත. එය දෙවියන්වහන්සේගේ මාළිගාවයි. ඔබට නිදහස ඇත. ඔබ පාපයක් කිරීමට පෙර ඒ ගැන සිතා බලන්න.

සමහරුන් ඔවුන් වැඩිහිටියන් බවත් පාපයට නොවැටෙන බවත් කියයි. එහෙත් පාපය ඉඳීරියේ සිටින විට ඔවුන් පාපයට වැටීයයි.

හිතෝපදේශ 6:27-29
[27] මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද? [28] යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද? [29] තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ (දඬුවම් නොලැබ) නොසිටින්නේය.

ඔබට අයිති නැති කෙනෙකු සමඟ ඔබ ළංවී සිටී නම් දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ අවංක මනුෂ්‍යයෙක් නොවන බවයි.

යමෙකු මෙම පාපයට යෙදී සිටීනම් හෝ වැටීමට ආසන්නව සිටින්නේ නම් ඒ පුද්ගලයාව ඉන් ගළවා ගැනීම ඉතා අගනා දෙයකි.

මතෙව් 24:10 එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.

ඔබ සැබෑ අවංක මනුෂ්‍යයෙක් නම්, ඔබ සත්‍යය කථා කරනු ඇත.

කෙනෙකු වැරදි දෙයකට වැටෙන්නේ නම් ඔබට එම පුද්ගලයා ඉන් ගළවා ගත හැකිය. ඔබ එවැනි පුද්ගලයෙකුට උපකාර නොකරන්නේ නම් ඔබ අවංක පුද්ගයෙකු නොවේය.

ප‍්‍රේමයෙන් ඇත්ත කථා කරන කල, අප බොහෝ ජීවිත වලට ආශීර්වාදයක් වනු ඇත.

ලෝකයා අපට වෛර කරනවාය යන කාරණය මත ජීවත්වෙමින් අපද පැකිළීමට පත්ව සිටී නම් අප එම වෛරය සභාවට ගෙනවිත් සභාවටද අප වෛර කරන්නෙකු වනු ඇත.

මතෙව් 24:11
නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය.

බොරු අනාගතවක්තෘන්ගේ ඉගැන්වීම්වලට ඔබ අසුනොවී සිටින්න. එවැනි අයට කීමට ඇති කියා ඔවන්ගේ මුළාව අනුව නොගොස් එවැනි පුද්ගයන්ගෙන් ඈත්ව සිටිය යුතුය.

මතෙව් 24:12
[12] අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය.

අධර්මිෂ්ඨකම්, අයුතුකම්, පාප බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය දියවී යන්නේය. මේවා මනුෂ්‍යයන්ගේ සිත්වලද, ක‍්‍රියාවලද තිබිය හැකිය.

ඔබ තුළ දෙවියන්වහන්සේට තිබෙන ප‍්‍රේමයත්, සහෝදරයන් අතර තිබෙන උණුසුම් ප‍්‍රේමයත් නැති වී, හීනවන්නේය. දියවී යන්නේය.

කුමන තත්වයකට පත්ව සිටියත් ඔබගේ සහෝදරයන්ව ඉන් බේරාගැනීම මහත් දෙයකි.

ඔබගේ ප‍්‍රේමය හීනවී තිබේනම් ඔබට තවත් කෙනෙකුට උපදෙසක්දීම අපහසු දෙයකි. නමුත් ඔබගේ හදවතේ ප‍්‍රේමයේ අනුකම්පාව තිබේ නම් ඔබ හරි දේ යමෙකුට කියා දීමට පටන් ගනී.

යාකොබ් 5:19-20
[19] මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑකමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවාගන්නේ නම්, [20] පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.

ඔබට සැබෑකමෙන් මුළාව ගිය කෙනෙකුව නැවත හරවා ගන්නට පුලුවන් වූවා නම් ඔබට ප්‍රේමය නිසා පව් රාශියක් වසා දමයි. ප‍්‍රේමය අපගේ හදවත්වල අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

1 පේතෘස් 4:8
[8] ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.

දෙවියන්වහන්සේ ප‍්‍රේමයයි. ඔබ ප්‍රේමයෙන් පිරී සිටින බැවින් අන් අයගේ වැරදි වසා දමන්නට තැත් කරන්නේය.

ඔබ ආත්මයෙන්ද වචනයෙන්ද පිරී සිටීනම් තව කෙනෙක් ගළවන්නට ඔබට වගකීමක් ඇත. ඔබ යන තැන්වලදී හමුවන පුද්ගලයන් හා ප‍්‍රේමයෙන් ඇත්ත කථා කරමින් ඔවුන්ව වැරදි දේ වලින් මුදවා ගැනීම ආශීර්වාදයකි.

මනුෂ්‍යයාව වචනයෙන් අන්ධකාරයෙන් ආලෝකයට ගෙනඒම ආශීර්වාදයකි.

ඔබ සත්‍යය දැනගෙන පළමුකොට ඔබ නිදහස්වී පසුව තව කෙනෙකු නිදහස් කළ යුතුය.

යොහන් 8:32
නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

ඔබ ලෝකයේ තිබෙන දේවලට රැවටී පටලැවී සිටී නම් ඔබත් සිටින්නේ යම් බැඳීමකය. ඔබ නිදහස් වුවහොත් අවංක මනුෂ්‍යයෙක් වී තව කෙනෙකුට උපකාරක් විය හැකිය.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඉඳීරියේ ඔබ විවෘතව සිටින කෙනෙකි. උන්වහන්සේ ඔබට යමක් කරන්නැයි කී විට එය කිරීමට ඔබ සූදානම්ව සිටිය යුතුය.

ඔබ යමෙකු හා කථාවට යෑමෙන් එය ඔබගේ චරිතය පරීක්ෂාවට ලක්කරන්නේ නම් ඔබ එය ජීවිතයට ගින්නක් කර නොගෙන එයින් ඈත්විය යුතුය. නපුරා බලා සිටින්නේ ඔබව විනාශයට, ලැජ්ජාවට පත් කිරීමටයි.

ඔබ ගොඩනගාගත් සම්බන්ධයෙන් විනාශ වෙන්නටත්, පරීක්ෂාවට පත් වෙන්නටත් හැකිය. ඒ තුළින් නොයෙක් දේ ඔබගේ ජීවිතයට ගෙන ඒමට යක්ෂයාට පුළුවන.

හිතෝපදේශ 4:10
[10] මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.

අවංකව දේව දරුවෙකු ලෙස මේ පොළොවේ ජීවත්වන්න. ඔබගේ වැරදි ක‍්‍රියාවක දැකීමෙන් සභාවේ කෙනෙක් පැකිලීමට පත්විය හැකිය. ඕනෑකමින් වචනය අසන්න. ඔබ අකාලයේ මිය යන්නට අවශ්‍ය නැත. දෙවියන්වහන්සේගේ සෙබලෙක් ලෙස උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දිය යුතුය.

ලෝකයේ දේවල් සමඟ ජීවිතය පටලවා නොගන්න.

මෙය සුවයේ පදයකි. බොහෝ අවුරුදු ගණනක් ලෙඩ රෝග නොමැතිව ජීවත්වෙමින් ඔබගේ දූ දරුවන්ටත් යහපත් දේ උගන්වමින් ඔවුන් යේසුස්වහන්සේ තුළ ශක්තිමත් කළ හැක.

කුමන සභාවක අයෙකු වුවද ඔබට ශක්තිමත් කළ හැකිය.
යේසුස්වහන්සේ අදහන්නෙක්, ගැළවීම ලැබූ කෙනක් හා සමඟ අපට එකමුතුව සිටිය හැකිය. ඔවුන්ට අවවාද දීමටත් ඔවුන්ගෙන් අවවාද ලබා ගැනීමටත් වුවද පුළුවන.

හිතෝපදේශ 4:11
[11] ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි.

ඉගැනීම අපට නිම කළ නොහැකිය. දිනපතා අවශ්‍ය ප‍්‍රඥාව, දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න.

හිතෝපදේශ 4:12
[12] නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දුවන කල නුඹ නොපැකිලෙන්නෙහිය.

ඔබ සත්‍යත් ඉගෙන ගැනීමට කැමති හෙයින් ඔබ පැකිලීමට පත්වන්නේ නැත.

උඩඟුකම විනාශයේ මාර්ගයකි. යටහතුන්ට දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය ඇත.

හිතෝපදේශ 4:13-15
[13] ගුරුකම තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගන්න; මක්නිසාද එය නුඹේ ජීවනයය. [14] දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනීසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න. [15] එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.

ඉගැන්වීම් අත්නෑර තදින් අල්ලා ගත යුතුය. ඒවා ආරක්ෂා කර තබා ගැනීම ප‍්‍රයෝජනවත්ය. නුසුදුසු මාර්ගවලින් හැරී යන්න.

යම් ආශ‍්‍රයක් නුසුදුසුයැයි දෙවියන්වහන්සේ පෙන්වන්නේ නම්, එයට ඇහුම්කන්දී එයින් ඉවත් වන්න. නැතිනම් එයින් ඔබට විශාල හානියක් සිදුවිය හැකිය.

ඔබ නොහැරේ නම් එය විශාල ප‍්‍රශ්නයක් විය හැකිය. එය නැවත සාදා ගැනීමට අපහසුවේ. දෙයක් කුඩාවට තිබියදීම ඉන් ඉවත්වන්න.

පවුලේ ප‍්‍රශ්න තිබේයැයි කියා අයුතු සබඳතා ඇතිකර නොගන්න. ප‍්‍රශ්න වලට විසඳුම ලැබීමට නම් දේව භයක් ඇතිව ජීවත්විය යුතුය.

ප‍්‍රශ්න වලට විසඳුම කියා ඔබ අයුතුකමට පැටලුනහොත් දුෂ්ට, නපුරු ආත්ම ඔබගේ මනසට එම වැරැද්දේ යෙදීමට ඔබට අනුබල දෙයි.

ඔබ වැරදි මාර්ග තොරාගතහොත් ඔබ පව් කරනුයේ දෙවියන්වහන්සේට විරුද්ධවය.

ප‍්‍රශ්න වලට වැරදි විසඳුම් නොසොයා, හරි විසඳුම් සෙවිය යුතුය. වැරදි මාවත් වලින් ඉවත්විය යුතුය. ඔබගේ අවංකකම නැති කර නොගන්න.

ගලාති 5:7-9
[7] නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද? [8] ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය. [9] මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය.

දේව භය සුළුකරමින්, සත්‍යයට විරුද්ධව ඔබගේ අවංකකම නැති කිරීමට බලපාන පුද්ගලයන්ගෙන් ඉවත්වන්න.

දෙවියන්වහන්සේ කිසිදා ඔබව පාපයට පොළඹවන්නේ නැත.

කුඩා දේවල් වලින් විශාල ප්‍රශ්න ඇති විය හැකියි. කුඩා සම්බන්ධතා වලින් ඔබගේ අභ්‍යන්තරය විශාල ලෙස විනාශවිය හැකිය. පිටස්තරින් හරියයි පෙනෙන දේ විනාශයක් විය හැකිය. ඔබ තුළ තිබෙන භ්‍යන්තර ප‍්‍රීතිය හා සමාදානය නැතිකර නොගන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේයට දුක් දෙමින් ක‍්‍රියාකරනවා නම් ඔබ පව් කරන්නේ දෙවියන්වහන්සේට විරුද්ධවය.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න. උන්වහන්සේ මිදීම සවස දක්වා ඔබව මුද්‍රා කර ඇත. උන්වහන්සේ ඔබ සමඟය. උන්වහන්සේ ඔබව කිසිදා අතහැර නොයයි. තාවකාලික සැනසුමට වඩා අභ්‍යන්තර ප‍්‍රීතිය, සමාදානය රැකගත යුතුය. අභ්‍යන්තර ප‍්‍රීතිය නැතිවීම, ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දීම භයානකය.

හිතෝපදේශ 4:15-16
[15] එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න. [16] මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.

ඔබව පැකිලීමට පත්වන තුරු නපුරා නිදා නොගෙන බලා ඉඳීයි. ඔබ වැටෙන තුරු නපුරාගේ නින්ද පහවී තිබෙන්නේය.

දෙවියන්වහන්සේ සියල්ල දන්නා දෙවියන්වහන්සේය. ඔබ අසුවී සිටින කෙනා කිතුනුවෙකු වෙන්නට පුළුවන. නමුත් ඔහු දැන් දෙවියන්වහන්සේගෙන් ඈත්වී මුරණ්ඩුකම තුළ සිටින කෙනෙක් වෙන්නට පුළුවන. ඔබට තිබෙන්නේ ඒ සම්බන්ධයන් තුළින් ඈත්වීමටය. ඔබ අවංකව කෙලින් කථා කර, කියන්නට තිබෙන දේ ප‍්‍රේමෙන් ඇත්ත කථාකර, ඔබ නිදහස් වන්න.

ඔබගේ ජීවිතය විනාශවීමට කිසිසේත්ම ඉඩ නොදෙන්න. සියල්ල ආරම්භ වෙන්නේ මාංසයෙන්ය. එය අවසන් වන්නේ විනාශයෙන්ය.

ගලාති 5:18
[18] නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය.

ව්‍යවස්ථාව යටතේ සිටින්නාට තිබෙන්නේ කුඩා අදහස්ය. ආත්මයෙන් ගමන් කරන්නාවු කෙනාට ශුද්ධාත්මයාණන්වහන්සේ කථා කරන කල හදවතට ගින්නක් දැනේවී.

ගලාති 5:19-21
[19] ඉඳීන් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; [20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;

මායාව මාංසයේ ක‍්‍රියාවකි. මායාව යනු කෙනෙකු හා සම්බන්ධවූ විට එම කෙනා මඟින් අපව පාලනය කිරීමය. ඔබ හා විවාහ නොවූ කෙනෙකුගේ බැල්මෙන්, හඬින්, වචනයෙන්, ඇස් වලින් ඔබ පාලනය වන්නේද, එය මායාවකි.

යෙසබෙල් නම් කාන්තාව නිසා මහත් සෙනඟක් විනාශ වුනි. යෙසබෙල් පළමුකොට සැබෑව කථා කළාවූ අය මරා දමන ලදි. (1රාජාවලිය 18:4)

ඇයට බාල් ප්‍රොපේතවරුන් කණ්ඩායමක් සිටින ලදි. (1රාජාවලිය 18:19)

ඇය ආහබ් රජතුමාගේ භාර්යාවයි (1රාජාවලිය 17:31)

ඇය කපටි කමින් මුළු රාජ්‍යම පාළනය කරණ ලදි. (1රාජාවලිය 21:7-14)

බොරු අනාගතවක්තෘන් 850ක් එකවර මරා දැමු (1 රාජාවලිය 18:40) බලවත් අනාගතවක්තෘවරයෙකු ලෙස සිටිය එලියා පවා ඇයගේ කථාවට භයවුනි. (1 රාජාවලිය 19:1-10)

නමුත් දෙවියන්වහන්සේ එලියාව ශක්තිමත් කරන ලදි.

යක්ෂ ආත්ම මගින් අනාගතවක්තෘ වන එලියා පවා පීඩනයට පත්කරන්නාවු බලවත් වචන ඇය තුළ තිබුණි. (1 රාජාවලිය 19:1)

මායාව මාංසයෙන් ආරම්භ වන්නාවු භයානක ක‍්‍රියාවකි. අප මාංසයට ඉඩ නොදී අපගේ ජීවිත ගමන ස්වාමීන්වහන්සේ හා සමඟ ගමන් කරමු.

මායාව කොඩිවින, මන්තර ගුරුකම් යන දේවල් ක්‍රියා තුළින් දකින්නට හැකිය.

රෝම 13:14
[14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැලඳගන්න.

යේසුස්වහන්සේ තමන්ගේ ජීවිතය අන්තිම දක්වා ක‍්‍රියාවෙන්, වචනයෙන් සියල්ලෙන්ම අවංකව සිටින ලදි. අපද යේසුස්වහන්සේ මෙන් හැසිරෙමු.

ගලාති 3:27
[27] මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැලඳගත්තෝය.

ක‍්‍රිස්තුස්වහන්සේ පැලඳ ගැනීමෙන් ඔබට හැකියාව, බලය, ශක්තිය සියල්ල ලැබේ.

භයානකව, විශාලව පෙනෙන පරීක්ෂා පැමිණියත් සෑම වෙලේම යේසුස්වහන්සේගේ ශක්තිය පැලඳ උන්වහන්සේ ජයගත් ලෙසම උන්වහන්සේ තුළින් ජය ගනිමු.

වැරදි සැඟවිය හැකියයි සිතුවත් දේව වචනය පවසන්නේ පාපයේ ක‍්‍රියාවම ඔබව පෙන්නුම් කරදෙන බවයි.

අප යේසුස්වහන්සේ දෙස බලමින් උන්වහන්සේ පැලඳ ගෙන ලෝකයේ දේ පසෙක ලා අයුතුකම්වලින් මිදී දේව භයෙන්, අවංකව, පාපයට ද්වේෂ කරමින්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීම අනුව, මාංසයට ඉඩ නොදී ජීවත්වෙමු.


Watch the Sermon Video

Read 97 times