+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මහත් ප්‍රීතියකින් ප්‍රීති වෙමු - යෝෂා මනූ
August 18, 2024 Sunday Sermon Notes

 

 

ස්වාමීන්වහන්සේ අපගේ සවිශක්තියයි, බලකොටුවයි, රක්ෂස්ථානයයි. අපට තිබෙන්නේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි.

අප ස්වාමීන්වහන්සේ කෙරෙහි රැඳී පවතන විට උන්වහන්සේ අපගේ සවිශක්තිය අලුත් කරනු ඇත. (යෙසායා 40:28-31)

යෙසායා 1 වැනි පරිච්ඡේදයේ සිට 39 වැනි පරිච්ඡේදය දක්වා දෙවියන්වවහන්සේ යෙසායා තුළින් ඉශ‍්‍රායෙල්වරුන්ට කථා කළාවූ දේ සඳහන්ව ඇති අතර එය පරණ ගිවිසුමට අදාලය.

යෙසායා 40 වැනි පරිච්ඡේදයේ සිට 66 වැනි පරිච්ඡේදය දක්වා නව ගිවිසුමට අදාල දේ සඳහන්ව ඇත. එහි යේසුස්වහන්සේගේ කස පහර (තුවාල) වලින් ලැබෙන්නට යන සුවය ගැන සඳහන් වන්නේය. දෙවියන්වහන්සේ යෙසායාට නව ගිවිසුම පිළිබඳ විශාල එළිදරව්වක් දුන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය නොමැතිව අද මනුෂ්‍යයන් විනාශ වෙමින් පවතී.

යෙසායා 40:26
නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.

ඉහළට ඇස් ඔසවා බලන්නයැයි පවසන්නේ අපගේ දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිංහාසනයේ වාඩිවී සිටින බැවිනි.

ගැළවීම ලැබූ උන්වහන්සේගේ දරුවන්වද ස්වාමීන්වහන්සේ ඔසවා යේසුස්වහන්සේගේ දකුණු පසින් හිඳුවා ඇත. (එපීස 2:6)

ඉර හඳ තාරකා, ඇතුළු මුලු ස්වභාවධර්මයම ඉබේ හටගත්තේ නැත. මේ සියල්ලෙහි මැවුම්කරුවෙක් ඇත. ඒ ජීවමාන දෙවියන්වහන්සේය. (උත්පත්ති 2:1; ගීතාවලිය 19:1-4, 95:4-6)

දෙවියන්වහන්සේ මවන ලද සියල්ලට නම් තබනු ලැබීය. (උත්පත්ති 2:19-20)

සියලු නාමයන්ටත් සියලු දේවල්වලටත් වඩා උසස්තම නාමය යේසුස් යන නාමයයි. (පිලිප්පි 2:9)

මුලු මැවිල්ලම යේසුස් යන නාමයට දණ නමනු ලබයි. (පිලිප්පි 2:10-11)

යෙසායා 40:27-28

27 මාගේ මාර්ගය ස්වාමීන්වහන්සේගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවියන්වහන්සේ වෙතින් පහවේය කියාත් එම්බා යාකොබ්, නුඹ කියන්නෙත් එම්බා ඉශ්‍රායෙල්, නුඹ කථාකරන්නෙත් මක්නිසාද?
28 පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.

දෙවියන්වහන්සේට ක්ලාන්තවීමක්වත්, වෙහෙසවීමක්වත් නැත. ඔබත් දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් ක්ලාන්ත නොවිය යුතුය. එබැවින් මට ක්ලාන්තයි, වෙහෙසයි කියා නොපවසන්න.

දෙවියන්වහන්සේ දිනෙන් දින අපගේ සවිය අලුත් කරනු ඇත.

යෙසායා 40:29
උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.

ක්ලාන්තවූ අයට ශක්තිය ලබා දෙන්නේ දෙවියන්වහන්සේය.

යෙසායා 40:30-31
30 තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. 31 නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

අද සමාජයේ තිබෙන්නාවූ තාක්ෂණික දේ වැරදි දේවලට පාවිච්චි කිරීමට ඇබ්බැහි වීමෙන් තරුණ මනස් වෙහෙසට පත්වී සිටියි.

දෙවියන්වහන්සේ නැතිව අපට කෙසේවත් ජීවත්විය නොහැක.

ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි පවතිමින් උන්වහන්සේගේ වචනය තුළ රැඳී සිටින කල ඔබ ඵල දරන්නට යනු ඇත. එමෙන්ම ඔබගේ ජීවිතයේ බොහෝ ඵල හටගනී.

අප දෙවියන්වහන්සේ තුළ රැඳී සිටියහොත් උන්වහන්සේ අපගේ සවිය අලුත් කරමින් අපව රාජාලීන් මෙන් උසස් ස්ථානවල තබනු ඇත.

රාජාලීන් උසස් ස්ථානවල වෙන්වූ ජීවිතයක් ගත කරයි. ඔබත් රාජාලියෙකුමෙන් උසස්වූ ජීවිතයක් ගත කරන්න.

පහත්ව පියාසර කරන්නන් හා සමඟ එකතු නොවී ඒ අයගේ ලෝකාකාර වෙහෙස මහන්සි ජීවිතයෙන් ඈත්ව කුණාටු වලදී නොසැලී ඉඳීරියට ගමන් කරන්න. දෙවියන්වහන්සේ රාජාලීන්ට මෙන් ඔබටද ඒ සවි ශක්තිය දෙනු ඇත.

ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි රැඳී පවතින බවත් ඔබගේ සවිශක්තිය දෙවියන්වහන්සේ බවත් පවසන්න.

දෙවියන්වහන්සේ අපගේ පියාණන්වහන්සේය. (1 යොහන් 1:1-4)

1 යොහන් 1:3-4
3 (ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය. 4මේ දේවල් ලියා එවන්නේ අපේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසය.

අපගේ සහභාගිකම හා පංගුකාරකම පියවූ දෙවියන්වහන්සේත්, පුත‍්‍රවූ යේසුස්වහන්සේ කෙරෙහිත් පවතීනම් උන්වහන්සේගේ ජීවනය අප තුළින් ගලා යනු ඇත.

අප දෙවියන්වහන්සේ කෙරෙහි රැඳී පවතිනවානම් අප විඩාවට හෝ වෙහෙසට පත්නොවී, ක්ලාන්ත නොවී අපගේ ප‍්‍රීතිය හා සවිශක්තිය අලුත් කර ගන්නේය.

දෙවියන්වහන්සේ අපට කියා නිමකළ නොහැකි ප‍්‍රීතියක් දී ඇත. එය සැබෑවූ ප‍්‍රීතියයි. උන්වහන්සේ එය දිනෙන් දින අලුත් කරනු ලබයි.

අපට අවශ්‍ය සැබෑ ප‍්‍රීතියයි. ලෞකික මනුෂ්‍යයා ළඟ බොහෝ විට ඇත්තේ සතුටයි.

සතුට හා ප‍්‍රීතිය අතර විශාල වෙනසක් ඇත. සතුට යනු යම් දෙයක් අපට ලැබුණු විට අප තුළ ඇති ජ්වලිතභාවයයි. යමක් ඔබෙත් උදුරා ගත හොත් එම සතුට පහවී යයි.

දෙවියන්වහන්සේ අපට දී ඇති ප‍්‍රීතිය අපගේ ආත්මය තුළ පවතී. එය ආත්මික ඵල වලින් එකකි. (ගලාති 5:22)

ප‍්‍රීතිය යනු අප තුළින් ගලා එන්නාවු දෙයකි. කුමන වාතාවරණයකට මුහුණ දුන්නත්, ඔබ යේසුස්වහන්සේ මෙන් සිටිය යුතුය. යේසුස්වහන්සේ කුණාටු මධ්‍යයෙත් “නුඹලාට සමාදානය වේවා” යි පැවසු සේක.

ඔබගේ ජීවිතයේ ඕනෑම කුණාටු තත්වයක් ඇතිවුවත්, ඔබ තුළ ප‍්‍රීතිය පැවතිය යුතුය. දෙවියන්වහන්සේ අප තුළය.

ලෝකයේ මනුෂ්‍යයාගේ සතුට පිම්බූ බැලුම් බෝලයක් මෙනි. යමෙක ඇණුනු සැනින් එය පුපුරා යයි.

දෙවියන්වහන්සේ තුළ ප‍්‍රීතිය කුමන තත්වයකින් වුවද පුපුරා නොයයි.

ඔබ දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් ජීවත්වන බව නිතර නිතර පවසන්න.

ප‍්‍රශ්න කරදර පීඩා තුළින් ගමන් කරනවායැයි කියූ සෙනඟට පේතෘස් තම යැවුම් පත‍්‍රයෙන් පිළිතුරු යවයි.

1 පේතෘස් 1:5-7
5 ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක. 6 ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය. 7 එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.

අනේකාකාර ප‍්‍රශ්න පැමිණෙන්නේ අපගේ ප‍්‍රීතිය නැති කිරීමටය. අනේකාකාර ප‍්‍රශ්න පීඩා ජයගත හැකි ප‍්‍රීතියක් අප තුළ ඇත. ප‍්‍රශ්නයක් පැමිණි විට අඬමින් දුක්වෙමින් අන් අය හා ඒ ගැන පවසමින් ශෝකවීම සාමාන්‍ය ස්වභාවයයි.

දේව රාජ්‍ය ප‍්‍රතිපත්ති ඊට හාත්පසින්ම වෙනස්ය.

අපට යමක් අවශ්‍ය නම් දෙවියන්වහන්සේ පවසන්නේ, පළමුව අප දිය යුතු බවයි. ඔබට ඵලදාවක් අවශ්‍ය නම්, ඔබ බීජ පැල කළ යුතුය. ඒ බීජය පොළොව යට මිය යන්නට අවශ්‍යය.

ඔබගේ ජීවිතයද ස්වාමීන්වහන්සේ හා සමඟ එක්කර තිබේනම් ඔබ නොව, ඔබගේ පරණ මමත්වය මිය යා යුතුය.

බීජය පොළොව යට තනිවී සිටියත් ටික කලෙකින් දෙවියන්වහන්සේ තුළින් පුදුමාකාර දෙයක් සිදුවේ. බීජය මිය ගොස් එයින් පැලයක් හට ගනී.

බීජ දෙන්නේ දෙවියන්වහන්සේය. උන්වහන්සේගේ වචනය කුණු නොවන්නාවූ බීජයයි. අප ඉපද සිටින්නේ එම වචනයෙන්ය.

පැමිණෙන ගිනිමය පීඩා, පරීක්ෂා, ප‍්‍රශ්න, කරදර, සෝදිසිකිරීම් වලින් ජය ගන්නා විට ඔබ රන්මෙන් අලංකාරව බැබළෙනු ඇත.

පරීක්ෂා පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් නොවේය. පරීක්ෂකයා යක්ෂයාය. (යාකොබ් 1:13)

පරීක්ෂාවන්ගෙන් ජය ගන්නා හට ක‍්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ගෞරවයත්, මහිමයත්, ප‍්‍රශංසාවත් ලබනු ඇත.

1 පේතෘස් 1:8
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,

ඔබ නුදුටුවත් ඔබගේ හදවත තුළ ඔබ සම්බන්ධවී සිටින තැනැන්වහන්සේ පිළිබඳ ඔබ ස්ථීරව දණී.

දැනගැන්ම ඉතා වටිනා දෙයකි. ඔබව වචනය තුළ ශක්තිමත්වීමට පොළඹවනු ලබන්නේ දැනගැන්මයි.

1 පේතෘස් 1:9
නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.

ඔබ තුළ තිබෙන්නේ මහත්වූ ප‍්‍රීතියකි. තේජසින් පූර්ණවූ ප‍්‍රීතියකි.

අප දෙවියන්වහන්සේ තුළ පවතින්නේ, උන්වහන්සේට සේවය කරන්නේ ඒ ප‍්‍රීතිය නිසාවෙනි.

ඔබ තුළ ඇත්තේ ප‍්‍රකාශ කළ නොහැකි ස්වර්ගීය මහත් ප‍්‍රීතියකි. කිසිවෙකුට ඒ ප‍්‍රීතිය උදුරා ගත නොහැකිය. පරාජය කළ නොහැකිය. යක්ෂයා පැමිණෙන්නේ ඔබගේ ප‍්‍රීතිය සොරකම් කිරීමටය. ඔබගේ ප‍්‍රීතිය සොරකම් කිරීමට යක්ෂයාට කිසිසේත් ඉඩ නොදෙන්න.


Watch the Sermon Video

Read 91 times