+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රීතියේ පූර්ණත්වය - යෝෂා මනූ
August 25, 2024 Sunday Sermon Notes

අප දෙවියන්වහන්සේට කාල වේලාව දෙමින් දෙවියන්වහන්සේගේ දේවලට හදවත් යොමුකරමින් ජීවත්වන විට උන්වහන්සේ අපට කාලය වැඩි කරනු ඇත.

මට වෙලාව නැහැ, මම කාර්යබහුලයි නොකියා අපගේ කාලය අපි දෙවියන්වහන්සේ උදෙසා කැප කරමු.

ඔබගේ හදවත ප‍්‍රීතියෙන් පිරී තිබේනම් ඔබගේ මුහුණ පැහැපත්වේ.

ඔබ ඇඹුල් මුහුණකින් නොසිට නිතර සිනා මුසු මුහුණකින් සිටින්න. මන්ද ඔබගේ හදවතේ තිබෙන දේ මුහුණෙන් ප‍්‍රකාශවේ.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබට නිතරම මහත් ප‍්‍රීතියකින් ප‍්‍රීතිමත් වන්න කියාය.

ප‍්‍රීතිය ආත්මයාණන්වහන්සේගේ ඵලයකි. (ගලාති 5:22)

අප යේසුස්වහන්සේ තුළ පවතින විට උන්වන්සේගේ ඵල අප තුළ හටගනී.

යේසුස්වහන්සේ පැවසුවේ අප උන්වහන්සේ තුළද, උන්වහන්සේගේ වචනය අප තුළද පවතිනවානම් අප ඵල දරන බවයි. (යොහන් 15:5,7)

ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අප ජීවත්වන කල අපගේ ජීවිතයෙන් මේ ඵල නිතරම පවතී. (ගලාති 5:16)

ගලාති 5:22-23
22 නුමුත් ආත්මයාණන් වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23 විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය.

ඔබට ප‍්‍රශ්නයක්, කරදරයක් පැමිණෙන විට සාමාන්‍යයෙන් කරනුයේ ඇඬීම, දුක්වීම, ශෝකවීමය. නමුත් අප ආත්මයාණන්වහන්සේ තුළින් ප‍්‍රීතිමත් වෙමු.

ගලාති 5:24
තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය

ප‍්‍රීතියෙන් ජීවත්වීම ඔබගේ ශරීරයටද සුවයකි.

ප‍්‍රීතිය දෙවියන්වහන්සේගේ බලවේගයකි. ඔබ ප‍්‍රීතියෙන් ජීවත්වීමෙන් සතුරාගේ ක‍්‍රියා ඔබට විනාශ කළ හැකිය. යක්ෂයාගේ සිතුවිලි ඔබට බිඳහෙළා දමන්නට හැකි වන්නේය.

දෙවියන්වහන්සේ ඔබට ප‍්‍රීතියේ තෛලය දී ඇත.

කියා නිමකළ නොහැකි සදාකාලික ප‍්‍රීතියක් දෙවියන්වහන්සේ අපට දී ඇත. අපට ඇත්තේ සැබෑ ප‍්‍රීතියකි.

පිටතින් කුණාටු, ප‍්‍රශ්න, විරෝධතා පැමිණියත් ඒ කුමන මධ්‍යයේ වුවද ඔබ ප‍්‍රීතියෙන් ජීවත්වීම දෙවියන්වහන්සේගේ ආශ්චර්යයකි.

සැබෑ ප‍්‍රීතියකින් ජීවත්වීම යනු මේ පොළොවේ ඔබ ස්වර්ගීය ජීවිතයක් ගත කිරීමය.

එක් ආත්මයක් මේ පොළොවේ ගැළවීම ලබන විට ස්වර්ගයේ ප‍්‍රීති ඝෝෂා නගමින් දේවදුතයන් මහත් ප‍්‍රමාණයක් දෙවියන් වහන්සේට මහිමය ගෙන එයි. (ලූක් 15:10)

මේ පොළොවේ අප සුභාරංචි පණිවිඩය ගෙන එමින් සාක්ෂි දරණ කල, දෙවියන්වහන්සේ අපගේ එම ක‍්‍රියාවට මහත් ලෙස ප‍්‍රීතිවනු ඇත.

අප ප‍්‍රීතිය ප‍්‍රකාශ කළ යුතුය. ප‍්‍රීතිය අප තුළින් උතුරා ගලා යා යුතුය.

සත්‍යතාවේ වචනය කථා කළ අනාගතවක්තෘන්ට රජවරුන් පීඩා කරමින් ඔවුන් කන්දුන්නේ බොරු අනාගතවක්තෘන්ගේ වචන වලටය.

යෙරෙමියා සත්‍යය කථාකළ හෙයින් ඔහුට බොහෝ පීඩා පැමිණෙන ලදි.

යෙරෙමියා 15:16
[16] ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

දෙවියන්වහන්සේගේ වචනය ජීවන ආහාරය. අප එම වචනය අනුභව කලවිට අපට මහත් ප‍්‍රීතියක් හා සතුටක් ගෙනදෙයි. දෙවියන්වහන්සේගේ බලය අප තුළින් ක‍්‍රියාත්මක වෙයි.

ඔබ දේව වචනය කියවන ඕනෑම මොහොතක ඔබගේ හදවත තුළ ප‍්‍රීතිය තිබිය යුතුය.

අප දේව අභිමුඛයේ සිටීනම් අප තුළ ප‍්‍රීතිය ඇත.

දේව වචනය සුළු නොකරන්න, ඒවා ලියාගෙන. බයිබලයේ සලකුණු කරගෙන. දේව පොරොන්දු මතක තියා ගෙන යාච්ඤා කරමු.

එවිට ප‍්‍රශ්න කරදරයක් ඒමට පෙර දෙවියන්වහන්සේ ඔබව සූදානම් කර එයට මුහුණ දී ජය ලබා ගැනීමට උපකාර කරයි.

යෙසායා අනාගතවක්තෘ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ඇති ප‍්‍රීතිය අද්දකින ලලද්දේය. දේවදූතයන් ශුද්ධයි ශුද්ධයි කියා දෙවියන්වහන්සේ වර්ණනා කරන හඬ ඔහුට ඇසෙන ලදි. (යෙසායා 6:1-3)

යෙසායා 61:1-2
1 ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන් වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද, 2 ස්වාමීන් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශ කරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,

යේසුස්වහන්සේ සිනගෝගයේදී මෙම බයිබල් කොටස කියවා එය ඉෂ්ට වූයේ යැයි පැවසීය. (ලූක් 4:18-20)

වහලුන්ට නිදහස ගෙන දීමට යේසුස්වහන්සේ මෙළොවට පැමිණිසේක.

යෙසායා 61:3
[3] සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.

සියොන් යනු දෙවියන්වහන්සේගේ අභිමුඛයයි.

දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සිටිය යුත්තේ ප‍්‍රීතියෙන්ය. එහි වැලපෙන්නාවූ සෙනඟට උන්වහන්සේ පවසන්නේ අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් දෙන බවයි.

දෙවියන්වහන්සේ පවසන්නේ, සියල්ලට වඩා උන්වහන්සේගේ ප‍්‍රීතිය පැලඳගන්න කියාය.

දෙවියන්වහන්සේ වචනයෙන් අප තෘප්තිමත් විය යුතුය.

ඔබට මනුෂ්‍යයන් සිනාසුනත්, ලැජ්ජාවට පත් කරත්, ඒ වෙනුවට දෙවියන්වහන්සේ ඔබට දෙගුණයක් දෙනු ඇත.

යෙසායා 61:7
[7] නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත්වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්තිවිඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය.

දෙවියන්වහන්සේ අපට සදාකාල ප‍්‍රීතිය දී ඇත. එය ප‍්‍රීතියේ පූර්ණත්වයයි.

මුල් සභාව ආරම්භ වූ කල ඔවුන් බොහෝ පීඩා වලට ලක් වූවා, එහෙත් ඔවුන් ප‍්‍රීතියෙන් ඒවාට මුහුණ දුන්නෝය.

පේතෘස් කොරා සුවපත් කළ පසු යුදෙව් නායකයන් ඔවුන්ට යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි නොකරන ලෙස අණ කරනු ලැබුවා. (ක‍්‍රියා 4:18)

නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ව කලින්ම ඒ ගැන පවසා සූදානම් කරන ලද්දේය.

ක්‍රියා 2:28 (25, 28, 31)
[28] ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක; ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් ප්‍රීතියෙන් පූර්ණකරනසේකැයි කීය.

ඔවුන් මෙම බයිබල් පාඨය උපුටා ගත්තේ ගීතාවලියෙන්ය.

ගීතාවලිය 16:11
[11] ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

ඔබවහන්සේ නිසා මම ජීවන මාර්ගය දනිමි, ඔබවහන්සේ ඉදිරියෙහි මම ප්‍රීතියේ පූර්ණත්වයේ රස විඳිමි. ඔබවහන්සේගේ දකුණු පැත්තේ මම සදහටම දිව්‍ය සැප සම්පත් අත්විඳිමි!

දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ප‍්‍රීතියේ පූර්ණකම ඇත. දෙවියන්වහන්සේගේ අභිමුඛය තිබෙන්නේ ඔබගේ ආත්මය තුළයි.

මෙම වචන කියවමින් ගෝලයන් ශක්තිමක් වූවා.

යේසුස්වහන්සේගේ නැවත නැඟිටීම ප‍්‍රකාශ කරන විට අපට අනිවාර්යයෙන්ම පීඩා පැමිණෙනු ඇත. මාංසයේ සිටින අය එය නොදනී.

ආත්මිකව ජීවත්වන ඔබ යේසුස්වහන්සේ ජීවමාන බව දනී.

අප නමස්කාර කරන දෙවියන්වහන්සේ ජීවමානව, ජීවත්ව සිටින දෙවිකෙනෙකි.

යේසුස්වහන්සේගේ වචනය තුළ අප නිතරම පැවතිය යුතුය.

යේසුස්වහනසේ සමඟ කිට්ටු සමීප සම්බන්ධකමක් අප තුළ තිබිය යුතුය.

යොහන් 15:10-11
[10] මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය. [11] මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.

නිතරම ඔබ තුළ ප‍්‍රීතිය තිබිය යුතුය. එය යක්ෂයාට උදුරා ගැනීමට ඉඩ නොදෙන්න.

අපගේ ප‍්‍රීතිය සම්පූර්ණවන පිණිස යේසුස්වහන්සේගෙන් ඉල්ලන්නාවූ දේ උන්වහන්සේ අපට දෙනු ඇත.

යොහන් 16:24
[24] මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.

යොහන් 16:22-23
[22] එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය. [23] ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.

ඔබ ප‍්‍රීතියෙන් සිටින්න. ඔබට නොලැබුණා කියා මුමුණමින්, දුක්වෙමින්, මැවිසිලි නොකියන්න.

ඔබගේ පිළිතුරු ඔබට ලැබෙනු ඇත.

ප‍්‍රශංසාවෙන්, නමස්කාරයෙන් අප නිතරම දෙවියන්වහන්සේට ගෞරව දෙමු.


Watch the Sermon Video

Read 104 times