+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබේ ඇදහිල්ල අතිශයින් වැඩි විය යුතුයි - මනූ මැතානි
August 25, 2024 Sunday Sermon Notes


 
ස්වාමීන්වහන්සේ තුළ සිටින සියලු දෙනාම නිතරම ප‍්‍රීතියෙන් සිටිනා සෙනඟකි

ප‍්‍රීතිය ඖෂධයකි. ප‍්‍රීතියෙන් සිටින විට යක්ෂයාට අපගෙන් කිසිවක් සොරාගත නොහැක.

යෙසායා 38:18-19
[18] මක්නිසාද ඔබට ප්‍රශංසාකරන්ට මිනී වළටවත් ඔබ වර්ණනාකරන්ට මරණයටවත් බැරිය. වළට බසින්නෝ ඔබගේ විශ්වාසකම ගැන බලා නොසිටින්නෝය. [19] ජීවත්ව සිටින්නා–ජීවත්ව සිටින්නාම–අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.

අපගේ මුඛයෙන් දෙවියන් වහන්සේට නොකඩවා ප‍්‍රශංසාව, ස්තුතිදීම, ගෞරවය පුදකිරීම පුරුද්දක් කර ගත යුතුය.

අපි ජීවමාන දෙවියන්වහන්සේට නමස්කාර කරන සෙනඟකි.

ස්වාමීන්වහන්සේ ප්‍රශංසා කරන්නට අපි තෝරා ගමු.

කිසිවෙකුට ඔබගේ මුඛය වසන්නට ඉඩ නොදෙන්න.

ප‍්‍රශංසා මධ්‍යයේ දෙවියන් වහන්සේ වැඩවාසය කරයි.

යේසුස්වහන්සේ යෙරුසලමට එනවිට ගෝල සමූහයා උන්වහන්සේට නමස්කාර කරමින් හෝසන්නා හෝසන්නා කියමින් ප‍්‍රශංසා කරන්නට පටන්ගත් විට ඵරිසිවරු ඹබගේ ගෝලයන්ට නිශ්ශබ්දවෙන්ට තරවටු කරන්නැයි යේසුස්වහන්සේට පැවසූ විට උන්වහන්සේ ඔවුන්ට පැවසුවේ ඔවුන් නිශ්ශබ්ද වුණොත් ගල් මොරගසන්නේයැයි කියාය. (ලූක් 19:37-40)

මේ පොළොවේ ජීවත්වන සෑම දවසකම දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කිරීමට උන්වහන්සේ ඔබට අවස්ථාව දී ඇත.

අපගේ ඇදහිල්ල ගොඩනඟා ගන්නට පුලුවන් වන්නේ දේව වචනය තුළින් පමණි.

ඇදහිල්ල වර්ධනය වන්නේ වචනය ඇසීමෙන්. අපි දේව වචනය තුළ පවතිමු.

අපගේ ආත්මික ගමන කිසිකෙනෙකුට වළක්වන්නට නොහැකියි. යක්ෂයාටවත් එය නවත්වන්නට බැරිය.

අපගේ ආත්මික ජීවිතය වර්ධනය කරගැනීම, අපගේ ඇදහිල්ල වර්ධනය කරගැනීම අපට ප‍්‍රයෝජනවත්ය.

2 තෙසලෝනික 1:3
[3] සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;

අපගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන පිණිස අපි තෝරා ගැනීමක් කළ යුතුයි.

මගේ ජයග්‍රහණය මා ලබා ගන්නේ දෙවියන්වහන්සේගේ ඇදහිල්ලෙන්, ලෝකයේ ක්‍රම වලින් නොවේ.

දුර්වලව සිටින විට අප මාංසයට බරවේ. නමුත් අප ඇදහිල්ලෙන් සිටින විට ආත්මිකව සටන් කරමින් ජයගනී.

ලෝකයේ දේ වලින් ජය ගත් නමුත් අපට ආත්මික දේවලට එයින් තෘප්තියක් ලැබෙන්නේ නැත.

ඔබ ඇදහිල්ලෙන් ජයගතහොත් “මම නොවේ ස්වාමිනී ඔබවහන්සේ මා තුළ වාසය කරන නිසයි මම ජයගත්තේ, ඔබවහන්සේගේ හැකියාවෙන්, ලේ බලයෙන් ඔබවහන්සේගේ වචනයේ පොරොන්දුවලින් මම ජයගත්තෙමි, සියලු ගෞරවය, මහිමය ඔබවහන්සේට” යි කියා අපට පැවසිය හැකිය.

සියලු ආත්මික ආශීර්වාද වලින් ස්වාමීන්වහන්සේ අපට ආශීර්වාද කර තිබෙනවා.

බලපෑම් පැමිණියත්, බාධක වලට අපි මුහුණ දුන් නමුත් භයාදුකමට ඔබව වෙලා ගන්නට ඉඩ නොදෙන්න.

යේසුස්වහන්සේ වතුර මත ගමන් කරනවා දුටු ගෝලයන් අවතාරයක්යැයි සිතා භයින් මොරගසන ලදි. උන්වහන්සේට වතුර මත ඇවිදින්නට හැකියි කියා ඔවුන් සිතුවේ නැත.

මතෙව් 14:24-26
[24] එහෙත් හුළඟ ඉඳීරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි සෙලවී මුහුද මැද තිබුණේය. [25] රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. [26] ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක, කැලඹී: ඒ අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය.

මේ ජීවිත ගමනේදී අපි යක්ෂයාට භයින් ජීවත් වෙන්නට අවශ්‍ය නැහැ. නමුත් අපි ඇදහිල්ලෙන් අතිශයින් ජය ගන්නට අවශ්‍යයයි.

ඔබ යාච්ඤා කරන විට භයින් යාච්ඤා නොකාර, ඇදහිල්ලේ යාච්ඤා කළ යුතුය.

ඔබගේ ජීවිත ගමනේදී ඇදහිල්ලෙන් වර්ධනයවී සිටියහොත්, බාධා පැමිණෙන කල ඒවාට නොසැලී සිටිය හැකිය.

අපගේ ඇදහිල්ල අභ්‍යන්තරයෙන් ක‍්‍රියාත්මක විය යුතුය.

ඇදහිල්ල යනු ජයගන්නාවු කාරණාවකි.

ස්වල්ප මොහොතකට පෙර පන්දාහකට කන්ට දෙනවා දුටු ගෝලයින්ට යේසුස්වහන්සේ මුහුද පිට ඇවිද එනවා විශ්වාස කරන්නට නොහැකිව භයවුණෝය.

මෝසෙස්ගේ කාලයේදී ඉශ‍්‍රායෙල් සෙනඟ සියල්ල හරියන විට දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරත් මොහොතකින් සියල්ල අමතක කරනු ලැබුවෝය.

ගීතාවලිය 106:7-11
[7] අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය. [8] එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක. [9] උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක. [10] ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක. [11] ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය.

ඉශ‍්‍රායෙල් සෙනඟ පසුපස හබා ආ මුළු සතුරු සේනාවම වතුරට යටවුණි.

ගීතාවලිය 106:12
[12] එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.

මහත් දේ සිදුවූ විට ඔවුන් දෙවියන්වහන්සේ විශ්වාස කර ප‍්‍රශංසා කරන ලදි.

මොහොතකින් ඔවුන්ගේ ඇදහිල්ල පහත් මට්ටමකට වැටුණි.

ගීතාවලිය 106:13
[13] ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.

දකිනා වේලාවේදී පමණක් නොව, නොදකිනා වේලාවේදී අපගේ ඇදහිල්ලේ මට්ටම උසස් ලෙස තිබිය යුතුයි.

ඔබගේ ජයග‍්‍රහණ වේලාවේදී යක්ෂයා සැළසුම් කර සිටින්නේ ඔබට නැවත වරක් පහර ගැසීමටය.

යක්ෂයා කෲරයි. ඔහු නැවත ඔබට පහර දීමට පැමිණෙයි එමනිසා අවදිව සිටින්න.

ඔබ සාක්ෂියක් අත් දුටු පසු නැවත පරණ ස්වභාවයට නොයන්න.

ඇදහිල්ල රොබෝ කෙනෙක් නොවේ. ඇදහිල්ලේ කර්තෘ, ආරම්භය හා අවසානය යේසුස්වහන්සේය.

ඇදහිල්ල ඇතිව හරි සම්බන්ධතාවයකින් ජීවත් වන්න.

අපගේ ඇදහිල්ල උතුම්වූ අනර්ඝවු ශුද්ධවූ ඇදහිල්ලයි.

ගීතාවලිය 106:14
[14] වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය.

දෙවියන්වහන්සේ අපව සුව කරන්නේ නැවත ගොස් පාපය කිරීමට නොව, දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ජීවත්වීමටය.

උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් ලෙස ජීවත්වීමටය.

කෙනෙකුගෙන් යක්ෂයෙක් දුරු වූ කල, එම යක්ෂ ආත්ම වියලි ස්ථාන සොයාගෙන යන්නෝය. නමුත් ඔවුන් නැවතත් හැරී ඒ කෙනා වෙතට නැවත පැමිණෙන විට එම ස්ථානය හිස්ව තිබෙන බව දුටු සැණින් ඔවුන් තවත් යක්ෂයන් සත් දෙනෙකුත් කැටුව ඒ කෙනා තුළට ඇතුල් වනු ඇත. .

මතෙව් 12:43-45
[43] අපිරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරුව ගිය කල්හි, ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ: [44] මම පිටත්ව ආ මාගේ ගෙට හැරීයමියි කියයි; ඔහු එහි පැමිණි කල, ඒ ගෙය හිස්ව, අතුගා, සරහා තිබෙන බව දකියි. [45] එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.

ඔහු යේසුස්වහන්සේ ස්වාමීන් බව කියමින්, උන්වහන්සේ ගැළවුම්කරු ලෙස පිළිගෙන ඇදහිල්ලෙන් වර්ධනය නොවු නිසා දැන් ඔහුගේ ප‍්‍රශ්නය අට ගුණයකින් වැඩිවී ඇත.

ඔබ යේසුස්වහන්සේ තුළ සාක්ෂිකාරයෙක් ලෙස ජීවත්වන්න. හිටපු සමාජයන් වෙන්වී වෙනස්වූ ජීවිතයක් ගත කරන්න. ශක්තිමත් ජීවිතයත් ගත කරන්න.

ඔබ ඇදහිල්ල නොමැතිව උඩඟු තත්වයෙන් සිටින්නේ නම් ඔබ සිටියාවු තත්වයටත් වඩා අන්ත තත්වයකට පත්වනු ඇත.

ගෙරසේනයේ ආවේශයෙන් නිදහස්වූ මනුෂ්‍යයාට යේසුස්වහන්සේ පැවසුවේ නිවසට ගොස් තමාට සිදුවූ දේ නිවැසියන්ට පවසන ලෙසයි.

ලූක් 8:35
[35] සිදුවූ දේ බලන පිණිස මනුෂ්‍යයෝ පිටත්ව ගොස් යේසුස්වහන්සේ වෙතට පැමිණ, යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා වස්ත්‍ර ඇඳ සිහි ඇතුව යේසුස්වහන්සේගේ පාමුල ඉඳගන ඉන්නවා දැක, භයවූවෝය.

කාලකන්නි ජීවිතයක් ගත කළ ඒ මනුෂ්‍යයාව යේසුස්වහන්සේ නිදහස් කළ පසු ඔහු වස්ත‍්‍ර ඇඳ වාඩිවී හොඳ මනසක් ඇතිව සිටින ලදි.

මිනිසුන් එයට භයවුනි. ඒ මනුෂ්‍යයාව එපා කරන ලදි.
සුවය ලැබූ මනුෂ්‍යයා යේසුස් වහන්සේගේ පාමුල වාඩිවී ඔහු යේසුස්වහන්සේට තම ජීවිතය භාරදීමට තීරණය කරන ලදි.

ලූක් 8:36
[36] එය දුටු අය යක්ෂයන් වැහී සිටි මනුෂ්‍යයා සුවකරනු ලැබූ හැටි ඔවුන්ට කීවෝය.

විශාල හාස්කමක් සිද්ධ වී කෙනෙකුගේ ජීවිතයක් වෙනස් වූවා. එහෙත් ඒ නුවර මනුෂ්‍යයන් යේසුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කරන ලද්දෝය.

ලූක් 8:37
[37] එවිට වටකර සිටි ගෙරසේනයන්ගේ රටේ මුළු සෙනඟ මහත් භයට පැමිණ, ඔවුන් කෙරෙන් අහක්ව යන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ ඔරුවකට නැගී හැරී ගියසේක.

ඔබගේ ජීවිතයේ හැරීම හැමෝම සමරන්නේ නැත.

ඔබගේ ගැළවීමට යක්ෂයා කෙහෙත්ම කැමති නැත.

ගැළවීම තුළින් අන්ධකාර ලෝකයේ ආලෝකයක් ඇතිවේ.

යක්ෂයාගේ බන්ධනයෙන් නිදහස්වී ඔබ නව මැවිල්ලක් ලෙස සිටී.

ලූක් 8:38-39
[38] යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින්ට උන්වහන්සේගෙන් ඉල්ලුවේය. නුමුත් උන්වහන්සේ ඔහු යවමින්: [39] නුඹේ ගෙදරට හැරී ගොස්, දෙවියන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශකරන්නැයි කීසේක. ඔහු ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධකෙළේය.

නිදහස ලැබූ මනුෂ්‍යයා තම නිවසට යන අතර සුභාරංචි වචනය පවසන ලදි.

ගැළවීම ලබා ගත් පසුව අපි යේසුස්වහන්සේගේ පාමුල සිටිමු.
උන්වහන්සේ දුන් ගැළවීමේ වස්ත‍්‍රය ගැන අපි සතුටු වෙමු. වචනය අසමින් දිනපතා අපගේ මනස අලුත් කර ගනිමු. පසුව ඔබට හොඳ සාක්ෂිකාරයෙක් විය හැකිය.

ඔබගේ ඇදහිල්ල සොරාගන්න, ඔබගේ භක්තිවන්ත ජීවිතය සුළුකරන්න සොරාට ඉඩ නොදෙන්න.

කිසිවක් හැඟෙන්නැති, දැනෙන්නැති වෙලාවේදී, මානසිකව පහතට වැටී සිටින මොහොතේ “මම අතීශයින් මගේ ඇදහිල්ල වර්ධනය කරමින් ඉහළ මට්ටමක සිටිමි” යි කියා පවසන්න.

ඔබට මහත් ඇදහිල්ලක් තිබේයැයි ඔබ සිතුවත් එය සැබෑ ලෙස නොමැතිනම් පරීක්ෂාවක් පැමිණෙන මොහොතේදී එය භයානකය.

ඉශ‍්‍රායෙල් සෙනඟ මාංසයේ පැත්තට බරවී අධික තෘෂ්ණාවට වැටුණෝය.

ගීතාවලිය 106:14
[14] වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය.

මහත් හාස්කම් දුටු ඔවුන්ට තිබිය යුත්තේ අධික ඇදහිල්ලක් බව අප සිතන්නට පුළුවන.

1 පේතෘස් 1:8-9
[8] නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, [9] නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.

යේසුස්වහන්සේව නොදැක්කත් උන්වහන්සේට ප‍්‍රේම කිරීම, අදහා ගැනීම, උන්වහන්සේ කෙරෙහී මහත් ප‍්‍රීතියකින් ප‍්‍රීතිවීම අගනා දෙයකි.

අපගේ ගැළවීමේ ප‍්‍රීතිය ඉතා වටිනා දෙයකි.

1 පේතෘස් 1:7
[7] එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.

අපගේ ඇදහිල්ල රනටත් වඩා අගනේය.

මතෙව් 14:26-29
[26] ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක, කැලඹී: ඒ අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය. [27] එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට: ධෛර්යවත් වෙන්න; මමය; භය නොවෙන්නැයි කීසේක. [28] පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනී, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කීවේය. [29] එන්නැයි උන්වහන්සේ කීසේක. එවිට පේතෘස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ වෙතට යන පිණිස වතුරු පිට පයින් ගියේය.

වතුර මත ඇවිදිමින් ඇදහිල්ලේ ගමනක් ගමන් කරමින් සිටි පේතෘස් එකවර කුණාටුව දෙසත්, තද සුුළඟ දෙසත් බලමින් එක වර ගිලෙන්නට පටන් ගතතේය.

මතෙව් 14:30
නුමුත් ඔහු හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා ගැළෙවුව මැනවයි මොරගැසුවේය.

ඔබගේ ඇදහිල්ල ඔබ යේසුස්වහන්සේ මත තබා ජීවත් වන්නේ නැති නම් ඔබ අනිවාර්යයෙන් ගිලෙනු ඇත.

ඔබගේ ඇදහිල්ල ඔබ අතීශයින් වර්ධනය කරගත යුතුය.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප සමඟය උන්වහන්සේ කවදාවත් කිසිසේත් අපව අතහැර දාලා යන්නේ නැත.
අප කාන්තාරයේ සිටියත්, කඳුවල සිටියත්, මිටියාවතේ සිටියත් දෙවියන්වහන්සේ අප සමඟය.

සිරියේ රජුගේ සේවකයෝ පැවසුවේ ඉශ‍්‍රායෙල් දෙවියන්වහන්සේ කඳුවල දෙවියෙක් බැවින් අපි මිටියාවතේදී ඔවුන්ට පහර දෙමු කියාය. (1රාජාවලිය 20:23)

එහෙත් දෙවියන්වහන්සේ මිටියාවතේ ඔවුන් පරාජය කළේය. (1 රාජාවලිය 20:28-29)

ඔබගේ සතුරන් කොතැනින් පැමිණියත් දෙවියන්වහන්සේට කම් නැත. ඔබ ජයග‍්‍රාහකයෙක්ය.

දෙවියන්වහන්සේට ඌෂ්ණ කාලය හෝ ශීත කාලය කියා වෙනසක් නැත. දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේමය.

අපගේ ජීවිතය උන්වහන්සේ ඉදිරියේ ගොඩ නඟා ගෙන අප ඉදිරියටම යමු.


Watch the Sermon Video

Read 118 times