+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

වචනය තේරුම් ගැනීමෙන් වැලපීම ප්‍රීතියට හරවාගන්න - යෝෂා මනූ
September 8, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ කෙරෙහී ප‍්‍රීතිවීම අපගේ ශක්තියයි. දෙවියන්වහන්සේට අපගේ ශෝකය ප‍්‍රීතියට හැරවිය හැකිය.

ඔබ බයෙන් කනස්සල්ලෙන් සිටින විට දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඒ භය ප‍්‍රීතියකට හැරවීමය.

ප‍්‍රීතිය ඔබගේ ජීවිතයේ ජීවන රටාවක් කර ගැනීමට ඔබ තීරණය කර ගත යුතුය. ඔබ තුළ ඇති තෝරා ගැනීමේ ආධිපත්‍යයෙන් ඔබ එය තෝරා ගත යුතුය.

ඔබ දුකෙන් සිටිමින් අන් අයවත් දුකට පත් නොකර, ප‍්‍රීතියෙන් සිටිමින් ඔබට අන් අයවද ශක්තිමත් කල හැකිය.

නෙහෙමියා 8:10
මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.

සමහර විට ප‍්‍රීතිවීමට ඔබගේ මනස එකඟ නොවෙනු ඇත. එහෙත් ප‍්‍රීතිය යනු ආත්මික ඵලයකි. ඔබ එය තෝරාගත යුතුය.

ඔබගේ ප‍්‍රීතිය යක්ෂයාගේ මුහුණට පහරක් ගසනවා හා සමානය.

දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය ඔබගේ හදවතින් සොරකම් කිරීමට කිසිවෙකුට නොහැකිය.

ඔබට අද ප‍්‍රීතිය නොමැතිනම් ”ස්වාමීනි මාගේ මේ ශෝකය ප‍්‍රීතියකට හරවන්න ස්වාමිනී. ස්තූතියි ස්වාමීනි මම ඔබවහන්සේව අදහාගනිමින් ඔබවහන්සේ කියූ වචනය විශ්වාස කරනවා ස්වාමිනී” කියා පවසන්න.

යෙරෙමියා 31:12
[12] ඔව්හු ඇවිත් සියොන්හි (දේව අභිමුඛයේ) උස් ස්ථානය පිට ගී කියන්නෝය, ඔව්හු ධාන්‍යද මුද්‍රික යුසද තෙල්ද බැටළුපැටවුන්ද ගවවස්සන්ද නිසා ස්වාමීන්වහන්සේගේ යහපත්කම කරා එක්ව ගලාගන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද (ප්‍රාණය) ජල සම්පන්න උයනක් මෙන් වන්නේය; ඔව්හු තවත් කිසිසේත් මලානික නොවන්නෝය.

සියොන් යනු දේව අභිමුඛයයි. දෙවියන්වහන්සේගේ සෙනඟ රැස්වන ස්ථානයයි.

දෙවියන්වහන්සේගේ සෙනඟ දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රශංසා ගී ගයයි.

යක්ෂයා සිතුවිලි එවන්නේ අපගේ මනසටය. බයාදුකම, අවිශ්වාසකම, සැකය, වැනි දේ අතුල්වන්නේ ඔබගේ මනසටය. ඒවා ඔබගේ මනසට එවන්නේ ඔබව වියවුල් කර පහතට හෙලීමටය.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබගේ මනස සශ‍්‍රිකවූ ගසක් මෙන් ඵල දරන්නට යන බවය. (ගීතාවලිය 1:3)

ප‍්‍රීතිය මළානික භාවයට විරුද්ධය. දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයෙන් මළානික භාවය ඉවත් කර ඇත.

යෙරෙමියා 31:13-14
[13] එවිට කන්‍යාවද (සභාව) තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂ වන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි (ප්‍රීතියෙන් පූර්ණ කරන්නෙමි).
[14] පූජකයන්ගේ ආත්ම (ප්‍රාණය) තරකමෙන් පූර්ණ (තෘප්තිමත්භාවයෙන්, නැවුම්භාවයෙන්) කරන්නෙමි, මාගේ සෙනඟද මාගේ යහපත්කමින් තෘප්තියට පැමිණෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.‍‍‍

කන්‍යාව යනු සභාවයි. අප උන්වහන්සේගේ මනාළියයි.

දෙවියන්වහන්සේ පවසන්නේ වැලපීමෙන් ඉවත්ව ප‍්‍රීතිවන ලෙසයි.

ඔබගේ ප‍්‍රානය දෙවියන්වහන්සේගේ වචනයෙන් පූර්ණවූවිට, ඔබ ගතකරන්නේ තෘප්තිමත් ජීවිතයක්ය.

ගීතාවලිය 30:11
[11] ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක (හැරවූසේක); ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.

පෙරළූසේක (හැරවූසේක) යනු පෙනුම වෙනස් කිරීම, සිටින ආකාරය වෙනස් කිරීම

දෙවියන්වහන්සේ අපට දී ඇති ගැළවීමේ වස්ත‍්‍රය පැළද අප ප‍්‍රීතිවෙමු.

ඔබගේ ජීවිතයේ අයහපත යහපතයට හැරවිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි.

ඔබගේ ජීවිතය ඔබට වෙනස්කර ගැනීමට අවශ්‍ය නම් ඔබගේ කනගාටුභාවය ඉවත් කර ගත යුතුය.

යුදෙව් ජනතාව සහමුලින්ම විනාශකර දැමීමට රජුගෙන් අණක් නිකුත්ව තිබූ අවස්ථාවක ඇයගේ මාමා සමඟ එක්වූ එස්තර් දින 3ක නිරාහාර කාලයකට පසු තම ජානතාව වෙනුවෙන් රජු හමුවීමට තීරණය කරන ලදි. (එස්තර් 4:16)

රජ ජයකොන්තය දිගු කෙරුවොත් මිස කිසිවෙකුට රජු ළඟට යෑමට අවසර නැත. (එස්තර් 4:1)

එස්තර් නිර්භීතව රජු ඉදිරියට යාමට තීරණය කරන ලදි. නිරාහාර යාච්ඤාවෙන් පසු ඇය ඇදහිල්ලෙන් පියවර ගෙන රජු ඉදිරියට යන ලදි. දෙවියන්වහන්සේගේ කරුණාවෙන් රජ ඇය වෙත ජයකොන්තය දිගුකරන ලදි. (එස්තර් 5:2)

එස්තර්ගේ එම නිර්භීත ඇදහිල්ලේ පියවර තුළින් යුදෙව් ජනතාව විනාශකිරීමට තිබූ එම අණ වෙනස් කිරීමට පුළුවන් වුණි. (එස්තර් 8:3-14)

යක්ෂයාට අවශ්‍ය වූයේ යුදෙව් පරම්පරාව සහමුලින්ම නැති කර දැමීමටය. නමුත් තම මමා සමඟ එක්වූ එස්තර්ට දෙවියන්වහන්සේගේ කරුණාවෙන් එය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකිවුණි.

යුදෙව්වරුන්ගේ ශෝකය ප‍්‍රීතියක් වෙන්ට හැරවූ ඒ දවස ඔවුන්ට ප‍්‍රීතිවෙන්නාවූ මහත් මංගල්‍ය දිනයක් ලෙස නම් කරන ලදි.

එස්තර් 9:21-22
[21] අදාර් මාසයේ දහහතරවෙනිදාත් පහළොස්වෙනිදාත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වුණ දවස් කොටද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත් ඔවුන්ගේ වැලපීම සන්තෝෂ දවසකටත් හැරුණු මාසය කොටද අවුරුදු පතා පවත්වමින්, [22] ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.

දෙවියන්වහන්සේ ඔවුන්ගේ ශෝකය, මරණ දණ්ඩනය වෙනස් කරන ලදි.

දෙවියන්වහන්සේ අපට පවසන්නේ නිතරම ප‍්‍රීතිමත් හදවතකින් ප‍්‍රීතිවන ලෙසය.

අර්තක්ෂස්තා රජුගේ සේවකයෙක්ව සිටි නෙහෙමියාට යෙරුසලම් පවුර ගොඩනැංවීමට මහත් පිපාසයක් ඇතිවුණි. (නෙහෙමියා 2:5)

එය ගොඩනැගු පසු ඔහු එස්රා පූජකයා හා එක්ව සෙනඟ රැස්වූ ස්ථානයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොත කියවන ලදි.

නෙහෙමියා 8:1-18
[1] හත්වෙනි මාසය පැමිණි කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය. මුළු සෙනඟද එක්කෙනෙකු මෙන් වතුරදොරටුව ඉදිරිපිට තිබුණු එළිමහනෙහි රැස්වූහ. එවිට, ස්වාමීන්වහන්සේ විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත ගෙනෙන්ට ලියන්නා වන එස්රාට කීවෝය.

එස්රාද පූජකයෙක්ද ලියන්නෙකුද වූයේය

ඔවුන් කියවන්නට ගෙනාවේ මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතයි. එනම් දේව වචනයයි.

[2] පූජකයාවූ එස්රාද හත්වෙනි මාසයේ පළමුවෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපොත ගෙනවුත්,

[3] වතුර දොරටුව ඉස්සරහපිට තිබුණු එළිමහන් ඉඩම ඉදිරිපිට සිට, පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම්ගන්ට පුළුවන් තැනැත්තන්ද ඉදිරියේදී පහන් වේලාවේ (අලුයම) පටන් ඉර මුදුන් (දහවල්) වේලාව දක්වා ඒ පොත කියෙවුවේය; මුළු සෙනඟද ව්‍යවස්ථාපොත ඇහුම්කන් දුන්නෝය.

ඔවුන් දේව වචනය ඇසීමට අළුයම් වේලේ සිට දහවල දක්වාම කාලය ගත කරන ලදි.

නෙබුකද්නේෂර් රජ යෙරුසලම දේව මාළිඟාව විනාශකොට සෙනඟව වහල් භාවයට ගෙන ගිය හෙයින් ව්‍යවස්ථා පොත ඔවුන්ට කියවන්නට ලැබී තිබුනේ නැත. (2 රාජාවලිය 25:1-21)

[5] මුළු සෙනඟට ඉහළින් සිටි එස්රා මුළු සෙනඟගේ ඇස් හමුවෙහි පොත දිගඇරියේය; ඔහු ඒක දිගඅරින විට මුළු සෙනඟ නැගිට්ටෝය.

දේව වචනය කියවීම දෙවියන්වහන්සේට ගෞරව ගෙන දෙන්නකි.

[6] එස්රා උතුම් දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකෙළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා, මුහුණින් බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.

සෙනඟ මුළු හදින් එසේම වේවායි කියමින් දෙවියන්වහන්සේට නමස්කාර කරන ලදි.

[7] තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.

පූජකවරු සෙනඟට වචනය තේරුම් කර දෙන ලදි.

[8] මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය, මිනිස්සුද කියෙවු දේ තේරුම්ගත්තෝය.

දේව වචනයේ අර්ථ දැනගැනීම ඉතා වැදගත්ය.

අපට එළිදරව් පැමිණෙන්නේ දේව වචනය තේරුම් ගැනීමෙනි.

දේව වචනය අප බෙදා ගත යුතුය. යක්ෂයාට කථාකරන්නේ මොනවාද? යුදෙව් සෙනඟට කියා ඇත්තේ මොනවාද? සභාවට පවසන්නේ මොනවාද? කියා.

පරණ ගිවිසුමත්, නව ගිවිසුමත් අතර විශාල වෙනසක් ඇත. පරණ ගිවිසුමේ සමහර දේ අදට වලංගු නැත.

පරණ ගිවිසුම තුළ එළුවන් බැටළුවන්ගේ ලේ වලින් ඔවුන්ගේ පාපය වසා දමන ලදි.

නව ගිවිසුම තුළ යේසුස්වහන්සේගේ ගේ වලින් අපගේ පාපය ආවරණය විය. අපි ධර්මිෂ්ඨ සෙනඟත්ය.

පරණ ගිවිසුමේ අය තුළ ශුද්ධාත්මය වාසය නොකරන ලදි. යම් ක‍්‍රියාවක් කරන පිණිස ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණියත්, එය නිමවු පසු නැවත යන ලදි.

නව ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළට පැමිණෙන ලදි. ( ක්‍රියා 2 පරිච්ඡෙදය) උන්වහන්සේ අප තුළ වාසය කරමින් අපට මඟ පෙන්වයි.

ශුද්ධාත්මයානන්වහන්සේ යේසුස්වහන්සේගේ වචන අපට මකත්කර දෙනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සැනසිලිකරුතුමන්ය.

පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන්ට වඩා අලුත් ගිවිසුමේ අපට ගිවිසුමක් ඇත.

පරණ ගිවිසුම තුළ යේසුස්වහන්සේගේ නාමය තිබුනේ නැත. නව ගිවිසුම තුළ අපට යේසුස්වහන්සේගේ නාමය දී ඇත. ඒ නාමය උසස්ම නාමයයි.( ක්‍රියා 4:12)

මනුෂ්‍යයන් ගැළවෙන්නේ යේසුස් යන නාමයෙනි.

යේසුස්වහන්සේ මනුෂ්‍යයාට වචනය තේරුම් ගන්නයැයි පැවසීය.

ශු. මතෙව් 15:10
[10] එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා අසා තේරුම්ගන්න.

දේව වචනය ඇසුවාට මදිය. එය අසා තේරුම් ගත යුතුය. මන්ද යේසුස්වහන්සේ පැවසුවේ මනුෂ්‍යයා අපවිත‍්‍රවන්නේ කටින් පිටවෙන දෙයින් කියාය. ( මතෙව් 15:11)

අප කන බොන දේට වඩා අපගේ කටින් පිටවන වචන වැදගත්ය. අප කන බොන දේට වඩා අපගේ කටින් පිටවන වචන වැදගත්ය.

ශු. මතෙව් 15:17
[17] කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද?

යේසුස්වහන්සේ පැවසුවේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය කියාය. (මතෙව් 4:4)

වපුරන්නාගේ උපමාවෙන් යේසුස්වහන්සේ වචනය අසන්නා ගැන පහදා දෙන ලදි.

ශු. මතෙව් 13:19
[19] යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

වචනය අසා තේරුම් නොගන්නා කල අප තුළ වර්ධනයක් ඇති නොවේ. මන්ද යක්ෂයා එය ඔබගේ සිතින් සොරකම් කරයි.

ශු. මතෙව් 13:23
[23] සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.

අප ඵල දරන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙනි. ඔබ දෙවියන්වහන්සේගේ වචනය තේරුම් ගැනීමට කාලය දෙන්න, මේ පොළොවේ පැමිණෙන්ට යන දේ වලින් ජය ගැනීමට ඔබට හැකිවන්නේ එළිදරව් වචනය තුළිනි.


Watch the Sermon Video

Read 92 times