+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ උතුම් ගැළවීම අගය කරන්න - මනූ මැතානි
September 8, 2024 Sunday Sermon Notes

 

 අපි ජයග‍්‍රාහි සෙනඟක් වන්නෙමු. ඔබ නිතරම ජය ගන්නාවු කෙනෙකි. පරාජිතව ජීවත්වීමට ඔබ තීරණය නොකරන්න. පරාජයක් ඇතිවූ පමණින් ඔබ පරාජිතයෙක් වන්නේ නැත. ඔබ වචනය තේරුම් ගෙන යක්ෂයාට වචනය සොරකම් කරන්නට ඉඩ නොදී ඉන්නාවු තත්වයෙන් වෙනස්වී ජය ගත යුතුය.

තේරුම් ගන්නවා යනු, දේව වචනය නැමැති බීජය ඔබගේ හදවත නැමැති පසට ඇතුල්වී එක්වූ විට ඵල දැරීමයි. එය ඔබගේ හදවත සමඟ එක්විය යුතුය. දේව වචනය අසන විට මට එය තේරෙන් නැහැ කියා නොපවසා, අප එය තවත් අධ්‍යයනය කරමු.

ගැළවීම තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ ජීවිතයේ කර තිබෙන්නාවු දේ පිළිබඳව අපි බලමු.

අප ගැළවීම ලබා නව මැවිල්ලක් වූ පසු අප සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් වනු ඇත.

දෙවියන්වහන්සේ අන්ධකාර බලවේගයෙන් අප මුදවා අපගේ ජීවිතයේ විශාල වෙනසත් ඇතිකරමින් දෙවියන්වහන්සේගේ පුත‍්‍රවූ යේසුස්වහන්සේගේ රාජ්‍යයට අප ගෙනවිත් ඇත.

ඔබගේ ජීවිතයේ සිදුවූ පරිවර්තනය අමතක නොකරන්න. එය නිතර නිතර සිහිකරමින් තේරුම් ගන්නා විට ගැළවීමේ ප‍්‍රීතිය, ශුද්ධත්වයේ අලංකාරභාවය අප තුළට පැමිණේ.

අප මේ පොළොවේ ජීවත්වන්නේ ස්වර්ගික පුරවැසියන් ලෙස ස්වර්ගික ජීවිතයක්ය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය අප තුළය. අප ධර්මිෂ්ඨය, අප තුළ සමාදානය හා පුදුමාකාර ප‍්‍රීතියක්ද ඇත. ඔබගේ මහත්වූ ගැළවීම නොසලකා නොහරින්න.

හෙබ්‍රෙව් 2:3
[3] පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?

යේසුස්වහන්සේ ඉගැන්වූ යාච්ඤා ප‍්‍රතිපත්ති වල උන්වහන්සේ පියාණන්වහන්සේව හැඳින්වූයේ “ස්වර්ගයේ වැඩ වසන මාගේ පියාණෙනි” කියාය.

ශු. මතෙව් 6:9
[9] එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න: ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.

පියාණන්වහන්සේගේ චරිත ගුණාංග වලට අප ගෞරව කළ යුතුය.
උන්වහන්සේ කරුණාවන්තවූ ප‍්‍රේමනීයවූ දෙවියන්වහන්සේය.

අප පියාණන්වහන්සේට ගෞරවය දෙන කල උන්වහන්සේගේ රාජ්‍යය අප තුළ පවතී.

ශු. මතෙව් 6:10
[10] ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.

පොළොවත් ස්වර්ගයත් අතර මහත් වෙනසක් පවතී. ස්වර්ගයේ හිඟකමක්, අපවිත‍්‍රකමක්, හෝ රෝගයක් නොමැත.

ඔබ ස්වර්ගීය පුරවැසියෙක් නම්, ස්වර්ගය ඔබගේ වාසස්ථානය බව විශ්වාස කරමින්, ස්වර්ගයේ තිබෙන දේ ඔබගේ ජීවිතයට අදාලකර විදහා පෙන්විය යුතුය.

දැන් අපට තිබෙන්නේ ස්වර්ගය සමඟ ගිවිසුමකි.

යෙසායා 28:15
[15] අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.

බොරුවේ පියා සමඟ සම්බන්ධ වෙමින්, බොරුව විශ්වාස කරමින් අප ජීවත්වූයේ බොරු දේවල් තුළය. මරණ භය අප තුළ තිබීමෙන් අප එය රක්ෂස්ථානය කරගෙන තිබුණි.

නමුත් මරණයෙන්, පාතාලයෙන්, බොරුවෙන්, වංචාවෙන් යන මේ සියල්ලෙන් දෙවියන්වහන්සේ අපව මුදවා ගත්සේක.

දැන් අපට තිබෙන්නේ ස්වර්ගයත් සත්‍ය වචනයත් පියාණන්වහන්සේත් සමඟ ගිවිසුමකි. අප ගිවිසුමේ දරුවෝය. අපි පැකිලීමේ සෙනඟක් නොවන්නෙමු.

අපි අපාය වෙනුවට ස්වර්ගයද, මරණය වෙනුවට ජීවනයද, බොරුව වෙනුවට සත්‍යයද පැළඳ සිටින්නාවු සෙනඟ වන්නෙමු. ස්වාමීන්වහන්සේ ඔබව අන්ධකාරයෙන් මුදවා ඇත.

කොලොස්සි 1:13
[13] පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

යක්ෂයා බලා සිටින්නේ අපෙන් සොරකම් කරන්ටත්, මරන්ටත්, විනාශකරන්ටත්ය. (යොහන් 10:10) අප ජීවත්ව සිටියේ ඒ මුළාවේ ක‍්‍රියාවෙහිය.

දැන් අප සිටින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ පුද්ගලයන් ලෙසයි.

යෙසායා 28:16
[16] ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.

පරීක්ෂාකරන ලද අත්තිවාරම නම් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. උන්වහන්සේ අපගේ සත්‍යතාවේ අත්තිවාරමය. අප උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන නිසා ලැජ්ජාවට පත්වන්නේ නැත.

ඔබ නව මැවිල්ලක් නිසා උන්වහන්සේගේ පොරොන්දුව ඔබ සම්පූර්ණයෙන් වෙනස්වන්නට යන බවයි.

ඔබගේ ගැළවීම තුළ තිබෙන ප‍්‍රීතිය ඔබ දිනපතා මෙනෙහි කරමින් ප‍්‍රීතිවන්න.

රෝම 10:11-12
[11] උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේ යයි ලියවිල්ල කියන්නේය. [12] මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.

අපගේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් වන්නේ උන්වහන්සේ පොහොසත්වූ දෙවියන්වහන්සේ නිසාය.

දෙවියන්වහන්සේට අපට සමාව දී, අනුකම්පා දැක්වීමට පුළුවන, අපගේ අවශ්‍යතාවයටත් වැඩියෙන් සපයාදීමටත් උන්වහන්සේ පොහොසත්ව ඇත.

අප නමස්කාර කරමින් අපගේ බලාපොරොත්තුවද, විශ්වාසයද, ඇදහිල්ලද තබා තිබෙන්නේ, සියල්ලෙන් පොහොසත්වූ දෙවියන්වහන්සේ කෙරෙහිය.

රෝම 10:13
[13] මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.

යේසුස් යන නාමයෙහි ඇති චරිතය නම් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත‍්‍රයාණෝය. උන්වහන්සේ මිනිස් සංහතිය වෙනුවෙන් බැටළුපැටවාණන් මෙන් පාප පූජාවක් වූයේය. උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිනැගිටුණු පසු සියලු නාමවලට වඩා උසස්වූ නාමයක් දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට දුන්සේක.

ඒ නාමය පාවිච්චි කිරීමට උන්වහන්සේ අපට ශක්තිය හා ශුද්ධාත්ම බලය දී ඇත. ඒ නාමයෙන් අපගේ යාච්ඤාවට පිළිතුරු ලැබෙන අතර, යක්ෂ ආත්ම දුරුවේ. යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කිරීමෙන් ඔබට ආශ්චර්යමත් දේ අත් දැකිය හැකිය.

අපට මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. අපව පාලනය කරමින් සිටි යක්ෂයා දැන් සිටින්නේ අපගේ පාද යටය.

අපගේ ජීවිතයේ සිදු වී ඇති වෙනස නිසා ගැළවීමේ ප‍්‍රීතිය අප දිනපතා අත්විඳිය යුතුය.

යේසුස්වහන්සේ පවසන දේ යුදෙව්වරුන්ට වටහා ගැනීමට අසීරු විය.

යේසුස්වහන්සේද: “මේ මාළිගාව කඩා දමා දවස් 3කින් ගොඩනගන්නෙමි” යයි කියු විට, යුදෙව්වරු සිතුවේ, යෙරුසලමේ දේව මාළිගාව ගැන කියාය. (යොහන් 2:19-20) නමුත් යේසුස්වහන්සේ එයින් අර්ථවත් කළේ උන්වහන්සේගේ ශරීරය ගැනයි.

ශු. යොහන් 8:51
[51] සැබවක් සැබවක් නුඹලාට කියමි–යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණය දකින්නේ නැතැයි කීසේක.

ඔබ යේසුස්වහන්සේව විශ්වාස කරන්නේ නම් ඔබ මරණයෙන් ජීවනයට පැමිණ ඇත.

ශු. යොහන් 5:24
[24] සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

ප්‍රමිතියෙන්ද ප්‍රමාණයෙන්ද එකලෙස තිබෙන ජීවිතයක් දෙවියන්වහන්සේ අපට දී තිබේ.

ශු. යොහන් 8:51-52
[51] සැබවක් සැබවක් නුඹලාට කියමි–යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණය දකින්නේ නැතැයි කීසේක. [52] යුදෙව්වරු උන්වහන්සේට කථාකොට: නුඹට යක්ෂයෙක් ආවේශවී සිටින බව දැන් අපි දනිමුව. ආබ්‍රහම්ද අනාගතවක්තෘහුද මළෝය; යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණයේ රස නොවිඳින්නේමයයි නුඹ කියයි.

යේසුස්වහන්සේගේ වචනය රක්ෂා කරන්නන් මරණ රසය නොවිඳින්නෝයැයි කී විට යුදෙව්වරු පැවසුවේ, උන්වහන්සේට යක්ෂයෙක් ආවේශ වී ඇත කියාය.

යේසුස්වහන්සේ ආබ‍්‍රහම්ටත් පෙර සිටි බව කියූ විට යුදෙව්වරු යේසුස්වහන්සේට ගසන්නට ගල් අතට ගත්හ. මනුෂ්‍යයන්ට යේසුස්වහන්සේ පැවසූ දේ වටහා ගැනීමට නොහැකිවුණි.
යේසුස්වහන්සේ ආරම්භයේ සිටම සිටිය සේක.

ශු. යොහන් 8:57-59
[57] එබැවින් යුදෙව්වරු: නුඹ තවම අවුරුදු පණහක් වයස නැතුව, ආබ්‍රහම් දුටුවෙහිදැයි උන්වහන්සේට කීවෝය. [58] යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි–ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක. [59] එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.

ඔබ තුළ ජීවනය ඇත. එම නිසා ජීවනයේ වචන කතා කරමින් මනුෂ්‍යයන්ගේ ජීවිත වලට බලපෑමක් ඇති කරමින් ඒ ජීවිත හැරවීමට ඔබට පුළුවන.

ශු. යොහන් 14:12
[12] සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ කළාටත් වැඩි සේවයක් අපට කළ හැකි බවය.

යේසුස්වහන්සේගේ සේවය තුළ මනුෂ්‍යයන් ගැළවීම ලැබුවේ නැත. ඔබ කරන සේවය තුළින් මනුෂ්‍යයන් ගැළවීමට පැමිණෙයි.

යේසුස්වහන්සේගේ සේවය තිබුණේ උන්වහන්සේ පියාණන්වහන්සේ වෙතට යාමට පෙරය.

යේසුස්වහන්සේගේ රෝගීන් සුවකර, යක්ෂයින් දුරුකර, මළවුන් ජීවත්කරන කරනු ලැබුවේය.

නමුත් ඔබගේ සේවයේ මනුෂ්‍යයන්ට ආත්මික ජීවිතයක් දිය හැකිය. ඔබ මනුෂ්‍යයන්ට යාච්ඤා කරන කල, ඔවුන්ට ශුද්ධාත්ම බලය ලැබෙනු ඇත.

මනුෂ්‍යයන්ට ආත්මික ජීවනය ලබා ගැනීමටත්, ශුද්ධාමයාණන්ගේ අන්‍ය භාෂාවෙන් කථා කිරීමටත් යේසුස්වහන්සේ එක් අයෙකුටවත් යාච්ඤා කළේ නැත.

මේ දේ සිදුවූයේ යේසුස්වහන්සේගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසුවය.

ශු. යොහන් 7:37-38
[37] මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. [38] මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.

අන් භාෂාවකින් කතා කරනවා යනු ජීවනදායක ගංගාවක් මෙන් ඔබ තුළින් ගලා යාමයි.

ශු. යොහන් 7:39
[39] උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.

යේසුස්වහන්සේ මේතාක් මහිමයට පත්ව සිටියේ නැත.

උන්වහන්සේ මහිමයට පත්වූයේ කුරුසියේ මරණයට පත්වී තුන්වෙනි දින මළවුන්ගෙන් නැගිටුනු පසුය. ඉන් දින 50කට පසු යෙරුසලමේ උඩුමහලේ සිටි 120 දෙනාට ශුද්ධාත්මය ලැබුණි. (ක‍්‍රියා 2:1-4)

ඉන්පසු එකවර 3000ක් ගැළවීම ලැබුවෝය. (ක‍්‍රියා 2:37-41)

පසුව පීඩා ඇතිවුවත් නැවත 5000ක් ගැළවීම ලැබුවෝය. (ක‍්‍රියා 4:4)

යේසුස්වහන්සේ ගලා යන ජීවනදායක ගංගාව ගැන පැවසුවත් කිසිවෙකුට යාච්ඤා කර ශුද්ධාත්මය ලබා දීමට උන්වහන්සේට නොහැකි වූයේය.

හේතුව වූයේ මනුෂ්‍යයන්ගේ පව්කාර ස්වභාවයයි. මනුෂ්‍යයන්ගේ පාපිෂ්ඨ ස්වභාවය නැතිවූයේ යේසුස්වහන්සේ කුරුසපත්වී මළවුන්ගෙන් නැගිටීමෙන් පසුවය. ආත්මික උපතක් මනුෂ්‍යයෙකුට ගෙනදීමේ සේවය යේසුස්වහන්සේ ලබා දුන්නේ ඔබටය.

2 කොරින්ති 5:18 සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප
සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.

සමඟිකිරීමේ සේවය යනු පව්කාර මනුෂ්‍යයෙකුට සුභාරංචිය පවසා දෙවියන්වහන්සේව හඳුන්වා දීමය. එම සේවය භාර දී තිබෙන්නේ ඔබටය.

2 කොරින්ති 5:19-20
[19] එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක. [20] එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හාසමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.

ලෝකයා ඉදිරියේ දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස ඔබ පෙනී සිටින්නේය. ඔබට තිබෙන්නේ සමඟි කිරීමේ වචනය ලෝකයාට දීමටය.

ඔබ ලෝකයාට පැවසිය යුත්තේ, යේසුස්වහන්සේ පාපය දරාගත් බවයි. ඔවුන්ට තිබෙන්නේ සමාව ලබා දෙන අන්ධකාර බලවේග වලින්ද මරණයෙන්ද නිදහස් වී ජීවනයට ඇතුල්වීමයි. ඉන්පසු යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය තැබීමයි.

ඔබ මෙම සමඟිකිරීමේ වචනය ලෝකයාට කියා දිය යුතුයි. ක‍්‍රිස්තුස්වහන්සේ ඔබව තානාපතියෙක් ලෙස පත්කර ඇත.

2 කොරින්ති 3:6
[6] තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

අපට ස්වාමීන්වහන්සේ හැකියාව, පුළුවන්කම දී තිබෙන්නේ නව ගිවිසුමේ සේවකයින් හැටියට සේවය කිරීමටයි.

ඔබ නව ගිවිසුමේ හැටියට ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවයේ යෙදී සිටින්න.

ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවය නම්, ජීවනයේ සේවයයි. එය මනුෂ්‍යයෙක්ව ප‍්‍රාණවත් කරයි. නව ජීවනයක් දෙයි, පාපයට කමාව පමණක් නොව, ඒ මනුෂ්‍යයාව නව මැවිල්ලක් බවට පත් කරයි.

ඔබගේ ගැළවීම තේරුම් ගත යුතුය. පාපයට කමාව ලබා ගත්තාට වඩා වැඩි දෙයක් දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයෙන් බලාපොරොත්තු වෙයි.

ඔබ අලුත් මනුෂ්‍යයෙක්ය. ශුද්ධාත්මෙන් පිරී සිටින්නෙක්ය. සමඟිකිරීමේ වචනය ඔබට භාර දී ඇත. ඔබ මරණයෙන් ජීවනයට ඇතුල් වූ නව මනුෂ්‍යයෙක්ය. වෙනස් වූ පුද්ගලයෙක්ය. ඔබ එය විශ්වාස කළ යුතුය.

ඔබගේ මනස වෙනස් කරගෙන, සිතේ ආකල්ප වෙනස් කරගතහොත් ඔබට අලුත් මනුෂ්‍යයෙකු ලෙස ජීවත්විය හැකිය. ඒ සඳහා ඔබ බයිබලය කියවමින්, යාච්ඤා කරමින්, දෙව වචනය ඇසිය යුතුය.

මනස අලුත් කිරීමෙන් ඔබගේ ජීවිතයේ වටිනාකම ඔබට දැනගත හැකිය.

රෝම 12:1-2
[1] එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. [2] නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

සිත අලුත්කර ගැනීමෙන් ඔබගේ ජීවිතයේ දේව කැමැත්ත අනුව ජීවත්විය හැකිය.

2 තිමෝති 1:9-10
[9] උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක. [10] මරණය නැතිකර ජීවනයත් අමරණභාවයත් ශුභාරංචිය කරණකොටගෙන එළිදරව්කළාවූ අපගේ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශවී තිබේ.

අප ගැළවීම ලැබුවේ අපගේ ක‍්‍රියාවල හොඳක් නිසා නොව, ලෝකය ආරම්භ වෙන්නටත්, අප ඉපදීමටත් පෙර සිට ස්වාමීන්වහන්සේ අප ගැන දන්නාසේක. උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ශුද්ධ කැඳවීමකටය. ඒ කැඳවීම තුළ අප පැවතිය යුතුය. අපගේ මුඛය, සිත, දෑස්, අසන්නාවූ දේ ගැන පවා ප‍්‍රවේසම් විය යුතුය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආලෝකය තුළින් අපට පිරිසිදු අවංකකම දී ඇත. ඔබගේ ගැළවීම නොසලකා නොහරින්න.


Watch the Sermon Video

Read 97 times