+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රීතියෙන් සිටීම ජීවන රටාවක් කර ගන්න - යෝෂා මනූ
September 15, 2024 Sunday Sermon Notes

 

 ස්වාමීන්වහන්සේ විශාල දේවල් කරන්නාවූ දෙවියන්වහන්සේය.

ගීතාවලිය 119:89-90
ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ. 90 ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවූසේක, ඒක පවතී.

ස්වාමීන්වහන්සේගේ විශ්වාසවන්තකම මේ පොළොවේ සියලු දෙනාටම සියලු පරම්පරා දක්වාම පවතී

මගේ දෙවියන්වහන්සේ විශ්වාසවන්තයි කියා අප පැවසිය යුතුය.

අප විශ්වාස කරනු ලබන්නේ විශ්වාස දෙවිකෙනෙක්ය.

දෙවියන්වහන්සේ බොරු නොකියන සත්‍යය කථා කරන දෙවියන්වහන්සේය. මනුෂ්‍යයන් විශ්වාස නොවුවත් ආදම් පටන් සියලු පරම්පරා දක්වා දෙවියන්වහන්සේ සදාකාලයටම විශ්වාසවන්තය.

දෙවියන්වහන්සේ විශ්වාසවන්ත බව සාරා පැවසුවාය.

හෙබ්‍රෙව් 11:11
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.

දෙවියන්වහන්සේ බලවත් දේ කරන්නාවු දෙවිකෙනෙකි.

මරණීය දෙයකට ජීවනය දීමටත්, සම්පූර්ණයෙන්ම කඩාවැටුණු බිඳවැටුණු දෙයක් නැවත ගොඩනැංවීමටත් දෙවියන්වහන්සේට පුලුවන.

දේව කැමැත්ත අනුව යම් යම් දේ වෙනස් කිරීමට දෙවියන් වහන්සේට පුලුවන.

මැරුණාවූ ශරීර හා සමානව තිබූ ආබ‍්‍රහම් හා සාරාට ඔවුන්ගේ මහලු වයසේදී දෙවියන්වහන්සේ දරුවෙක් දෙනු ලැබුවේය. (උත්පත්ති 21:1-2)

ආබ‍්‍රහම්ගේ පුත් ඊසාක්ගේ භාර්යාවද දරුවන් නොලැබ අවුරුදු 20 වඳව සිටින ලදි. දෙවියන් වහන්සේ ඇයද දරුවන් දෙදෙනෙක් දෙන ලදි. (උත්පත්ති 25:19-26)

යාකොබ්ගේ භාර්යාවන්ගෙන් රාඛෙල් වඳව සිටිය නමුත් දෙවියන්වහන්සේ ඇයගේ කුසටද දරුවන් දුන්නේය. (උත්පත්ති 30:22-24)

නව ගිවිසුමේ සෙකරියස් හා එළිසබෙත් මහළුව, වයස්ගතව, දරුවන් නොමැතිව සිටිය නමුත් දෙවියන්වහන්සේගේ ආශීර්වාදයෙන් ඔවුන්ටද දරුවෙක් දුන්නේය.( ලූක් 1:57-66)

එම දරුවා පරණ ගිවිසුමේ අවසන් දිවැසිවරයාවූ අතර යේසුස්වහන්සේගේ පෙර මඟ සූදානම් කළාවූ යොහන් බවිතීස්තය.

ඔබ දෙවියන්වහන්සේ කෙරෙහී තබා ඇති විශ්වාසයෙන් හා ඇදහිල්ලෙන් කවදාවත් ඈත් නොවන්න.

සාරා නිසි වයස පසුවෙලාත් ඇයගේ මරුණු ගර්භාෂයට දෙවියන්වහන්සේ ආශීර්වාද කළේය.

දෙවියන්වහන්සේගේ දේ අප කවදාවත් සුළු නොකළ යුතුය.

දෙවියන්වහන්සේගේ ක‍්‍රියා වල සියලු මහිමය ලැබිය යුත්තේ දෙවියන්වහන්සේටමය. දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.

ප‍්‍රීතිය සම්බන්ධයෙන් බොහෝ දේ අප හදාරා ඇත. මහත් ප‍්‍රීතියකින් අප ප‍්‍රීතිවිය යුතුය. ප‍්‍රීතියේ පූර්ණත්වය, ස්වාමීන්වහන්සේ කෙරෙහී ප‍්‍රීතිවීම අපගේ ශක්තියයි. එමෙන්ම අප වචනය තේරුම් ගැනීමෙන් වැළපීම ප‍්‍රීතියට හරවා ගත හැකිය.

ඔබ ප‍්‍රීතිවන කල ශෝකය, වේදනාව හා දුක ප‍්‍රීතියට හැරවීමට දෙවියන්වහන්සේට පුළුවන් වන්නේය.

ප‍්‍රීතියෙන් ජීවත්වීම ජීවිතයේ රටාවක් කර ගත යුතුය. අපි නිතරම ප‍්‍රීතිවෙමු.

දෙවියන්වහන්සේගේ වචනය තුළ ජීවනය ඇති නිසා වචනය ඔබට ප‍්‍රීතිය ගෙන එයි. එමනිසා යක්ෂයා වචනය සොරාගැනීමට පැමිණෙයි.

ශු. මතෙව් 13:15
[15] මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.

වචනය ඇසුවත් එය තේරුම් නොගැනීමට යක්ෂයා මනස් අන්ධ කර ඇත.

මාංසාකාරයෙන් සිතූ යුදෙව්වරුන්ට යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ කියා පිළිගැනීමට නොහැකි වූවා. ඔවුන් යේසුස්වහන්සේ දෙස බැලුවේ වඩුවාගේ පුත‍්‍රයා ලෙසය.

ඔබගේ ජීවිතයේ මාංසාකාරයෙන් බලා තීරණ නොගන්න.

නෙහෙමියා 8:9-11
[9] තිර්ෂාතාවූ නෙහෙමියාද ලියන්නාවූ පූජක එස්රාද සෙනඟට ඉගැන්වූ ලෙවීවරුද මුළු සෙනඟට කථාකොට:
අද දවස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධය;
වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟට ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ සෑදු දවස නිතරම ශුද්ධයි කියාය.

සෙනඟ දේව වචනය ක‍්‍රියාවට දමා නොසිටි හෙයින් දේව වචනය කියවූ අවස්ථාවේ අසා සිටි සෙනඟ අඬන්ටත්, වැළපෙන්ටත් පටන් ගත්හ.

ඔවුන් අන් දෙවිවරුන්ට නමස්කාර කරමින්, මිශ‍්‍ර විවාහයන් කර ගෙන දෙවියන්වහන්සේට විරුද්ධව බොහෝ පව් කළාවූ සෙනඟක්ව සිටින ලදි.

ඔවුන්ගේ සිත් දොස්පැවරූ හෙයින් ඔවුන් හඬන්ටත්, වැළපෙන්ටත් පටන් ගත්හ.

අප එක් වරක් දෙවියන්වහන්සේට අපගේ පව් කියාදුන් පසු නැවත නැවත ඒ ගැන දුක් වෙන්නට, ශෝකවෙන්නට අවශ්‍ය වන්නේ නැත.

නෙහෙමියා ඔවුන්ට පවසන්නේ අඬන්නෙත්, වැළපෙන්නෙත් නැතිව ඔවුන්ට ප‍්‍රීතිවන ලෙසය.

[10] එවිට ඔහු [එස්රාද] ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද
අද දවස අපේ ස්වාමීන්වහන්සේ ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.

ඔවුන්ට පවසන්නේ ප‍්‍රීතියෙන් කා, බී එය අන් අය සමඟද බෙදා ගන්නා ලෙසය.

දේව අභිමුඛයේ තිබෙන්නේ නිතරම ප‍්‍රීතියයි.

[11] ලෙවීවරුද: අද දවස ශුද්ධ නිසා නිශ්ශබ්දවෙන්න; ශෝක නොවෙන්නැයි කියා මුළු සෙනඟ නිශ්චල කළෝය.

ප‍්‍රීතිවෙනවා යනු ඔබගේ ශරීරයට සුවය හා ශක්තිය ගෙන දෙන්නේය.

හඬාවැළපෙන විට, ශෝකවන විට ශරීරය රෝගී බවට පත්වෙයි.

දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ යහපත් දේ කරන්නාවු තැනන්වහන්සේය.

දෙවියන්වහන්සේ අපව සියලු බැඳීම් වලින් නිදහස් කර ඇත.

[යෙසායා 35:10]
[10] ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

දෙවියන්වහන්සේ ඔබගේ පාපයට සමාව දුන් පසු ඔබ ප‍්‍රීතියෙන් උන්වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙන්න.

යේසුස්වහන්සේගේ ලේ වලින් අපගේ පාපය මකා දමා ඇත.

ඔබගේ ජීවිතයේ යම් සිදුවීමකට ඔබ හඬා වැළපෙමින් සිටී නම් එය අහක දමන්න. එය සිදුවී අවසන්ය. ඔබට අතීතය වෙනස් කළ නොහැකි නමුත් අතීතයේ සිතුවිලි ප‍්‍රීතිය තුළින් අමතක කළ හැකිය. ඔබගේ අනාගතය තුළ සමාදානය ඇත.

[යෙසායා 51:11]
[11] ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

මිදීම යන වචනයෙහි අර්ථය යම් මිලයක් ගෙවා මුදවා ගැනීමයි.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ ලේ වලින් අපව මුදවා ගන්නා ලදි.
ඔබගේ ජීවිතයෙන් දුක ශෝකය ඉවත්කර ගන්න.

යේසුස්වහන්සේගේ සේවයේ අවසන් කාලයේ උන්වහන්සේ තමන්ගේ නික්මයාම ගැන පවසන විට ගෝලයන් දුක්වූවා.

යේසුස්වහන්සේ පැවසුවේ ඔවුන්ගේ ශෝකය ටික කාලයක් බවය.

ශු. යොහන් 16:22
[22] එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ පැමිණීමෙන් පසු පේතෘස් ඇතුළු යේසුස්වහන්සේගේ ගෝලයන් තුළින් අපට එය දැකිය හැකිය.

නෙහෙමියා 8:12
[12] එසේ මුළු සෙනඟ කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීතිවෙන්ටත් ගියෝය, මක්නිසාද තමුන්ට දන්වනලද වචන ඔව්හු තේරුම්ගත්තෝය.

සෙනඟ බොහෝ සේ ප‍්‍රීතිවන ලදි. එය මහත්වූ ප‍්‍රීතියකි.

දීමෙන් ඔබගේ ප‍්‍රීතිය උතුරා යයි.

වචනය තේරුම්ගත්විට ඔබ තුළ ප‍්‍රීතිය ඇතිවේ.

දේව කැමැත්ත දෙවියන්වහන්සේ තුළ බොහෝ සේ ප‍්‍රීතිවීමයි.

ගීතාවලිය 21:1
[1] ස්වාමිනි, රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය; ඔබගේ ගැළවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස [බොහෝසේ] ප්‍රීතිවන්නේද!

ඔබගේ ජීවිතය නිරයෙන් මුදා දෙවියන්වහන්සේ ඔබට ගැළවීමත් සදාකාල ජීවනයත් දී ඇත. උන්වහන්සේගේ දරුවන් ලෙස අප බොහෝ සේ ප‍්‍රීතිවෙමු.

ගීතාවලිය 71:23
[23] මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
ඔබගේ තොල් පාවිච්චි කරමින් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා ගී ගයන කල අශුද්ධ ආත්ම පහවී යයි.

යෙසායා 61:10
[10] මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.

යේසුස්වහන්සේ සභාවේ මනාලයාය. සභාව උන්වහන්සේගේ මනාලියයි. අප ගැළවීම ගැන මහත් සේ ප‍්‍රීතිවිය යුතුය.

අප මේ ගත කරන කාලය කෙටිය. අප සදාකාල් ගත කරන්නට යන්නේ ස්වාමීන්වහන්සේ සමඟය. අප අපගේ ගැළවීමේ වස්ත‍්‍රය පැළඳ ස්වාමීන්වහන්සේ තුළ ප‍්‍රීතිවිය යුතුය.

සෙනඟ පේතෘස්ට තම කරදර ප‍්‍රශ්න ගැන පැවසූ විට පේතෘස් ඔවුන්ට පිළිතුරු යවන ලදි.

1 පේතෘස් 1:6-7
[6] ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා [බොහෝසේ] ප්‍රීතිවන්නහුය. [7] එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.

පරීක්ෂා පීඩා තාවකාලිකය. ඒ සමඟම දුක ශෝකයද පැමිණෙයි. එවිට අපට කළ යුතුදේ නොතේරෙයි. එයින් අපගේ ඇස් අන්ධවේ. අප එම ප‍්‍රශ්නය ගැනම කථා කරනු ලබයි. යක්ෂයා භයාදුකමේ ආත්මයෙන් මනුෂ්‍යයාව වෙලා ඇත. නමුත් අප භය නොවී සිටීමට තීරණය කර ගනිමු.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නේ භයාදුකමේ ආත්මයක් නොව, බලයෙත්, ප‍්‍රේමයෙත් හික්මවීමෙත් මනසක්‍. (2 තිමෝති 1:7)

භය යනු වියවුල්කමය.

ඔබගේ ගැළවීම ගැන ප‍්‍රීතිවන්න. ප‍්‍රශ්නය වර්ණනා නොකරන්න.
ප‍්‍රීතිය ඉතා වැදගත්ය. ඔබ බොහෝ සේ ප‍්‍රීතිවන්න.


Watch the Sermon Video

Read 114 times