+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව කැමැත්තට එකඟ වූ ශෝකයෙන් පසුතැවිලිවීම හටගනී - මනූ මැතානි
September 15, 2024 Sunday Sermon Notes

 

 නිතරම ප‍්‍රීතිවීම කිතුනුවාගේ ලාංඡනය හා සමානය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය නම් අප තුළ සිටින ශුද්ධාත්මයාණන් හා සමඟප‍්‍රීතිවීමය.

රෝම 14:17
[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

ඔබ ලබාගත් ගැළවීම තුළින් ඔබ පළමුකොට දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කොට ඇත. ඊළඟ දෙය නම් ඔබට යේසුස්වහන්සේ තුළින් සමාදානය ඇත. සාමයේ කුමරු ඔබ සමඟ වාසය කරයි. එමෙන්ම ශුද්ධාත්මයාණන් තුළ ප‍්‍රීතිය අප තුළ ඇත.

අපගේ ශෝකය යේසුස්වහන්සේ කුරුසියේ දරා ගත් හෙයින් අපට දැන් ඇත්තේ ප‍්‍රීතියයි.

අපට ශෝකවිය යුතු කාරණාද ඇත.

අප සභාවට පැමිණෙන්නේ ගීතිකා ගායනා කිරීමටත්, ප‍්‍රශංසා කිරීමටත්, දේව වචනය ඇසීමටත්, එමෙන්ම ස්ථීර ඉගැන්වීම් ගැන දැන ගැනීමටත්ය.

ඔබ ඉගෙන ගන්නාවු දේවල් යම් දිනෙක ඔබට අවශ්‍ය වනු ඇත.

යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ට දේශනා කළා සේම උන්වහන්සේ ගෝලයන්ටද උගන්වන ලදි.

ඉගැන්වීමේ සේවය ඉතා වැදගත්ය. එය නොමැති වුවහොත් අප නොමඟ යාමට පවා පුලුවන.

හරි ඉගැන්වීම් නොදැන සිටියහොත් වැරදි ඉගැන්වීමක් මගින් ඔබගේ ගැළවීමේ ප‍්‍රීතිය නැතිවී යාමටද පුලුවන.

2 කොරින්ති 7:10
[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

දේව කැමැත්තට එකඟ වන ශෝකය නම් අපෙන් සිදුවූ පාපයක්, වැරැද්දක් හදා ගැනීමෙන් ඒ ගැන දෙවියන්වහන්සේ ඉදිරියේ පවසා සමාව ලබා ගැනීමය.

පාපය යනු දෙවියන්වහන්සේට දුක් දීමක්ය. එය ඔබට දැනිය යුතුය.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන ලෙස බයිබලයේ පවසයි.

ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේට විරුද්ධව යමක් කරමින් ඒ ගැන සුළු කරමින් සිටින්නේ නම්, එය ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දීමකි.

එපීස 4:30
[30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

දෙවියන්වහන්සේ ඔබට යමක් කරන්න එපා යයි පවසන විට ඔබ එයට ඇහුම්කන් නොදෙන්නේ නම් එය උන්වහන්සේට දුක් දීමකි. කිහිප වරක්ම දෙවියන්වහන්සේ ඔබට එය පවසා, ඔබ කීකරු නොවුවහොත් පසුව උන්වහන්සේ ඒ ගැන කථා නොකරයි. එය උන්වහන්සේට දුක් දීමකි.

කිතුනුවාට පාපයට සමාව ගැනිම ලෙහෙසි යයි ලෝකයා පවසයි. නමුත් යේසුස්වහන්සේ එයට කිසිවෙකුට ගෙවිය නොහැකි විශාල මිලයක් ගෙවනු ලැබුවේය. අපට ගැළවීම තිබෙන්නේ ඒ නිසාය.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න. උන්වහන්සේ මිදීමේ දවස දක්වා ඔබව මුද්‍රා කර ඇත.

අපගේ වාසියට තිබෙන බයිබල් පද පමණක් උපයෝගී කර නොගන්න. මුලු ලියවිල්ලම තේරුම් ගත යුතුය.

දේව භය අපට තිබෙන්නට අවශ්‍යය. දේව භය තිබෙන අය නපුරෙන් පලා යයි.

ශුද්ධාත්මයාණන්ට දුක් නොදෙන්න. උන්වහන්සේ නිතරම අප සමඟ සිටී. අපගේ වෛද්‍යවරයාණෝය, අපට මඟ පෙන්වන තැනන්වහන්සේය. සත්‍යතාවේ ආත්මයාණෝය, දැනගැන්මේ ආත්මය ඔබ තුළ ක‍්‍රියාකරන්නේ උන්වහන්සේය.

දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ උන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් ගත කිරීමටය.

ශුද්ධකමේ අලංකාරභාවයෙන් ජීවත්වීම ඉතා අගනා දෙයකි.

ඔබ ගැළවීම ලැබූ දා පටන් ජීවිතයේ ඉතිරි කාලය දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ගත කරන්නට අදිටන් කර ගත යුතුය.

1 පේතෘස් 4:2
[2] දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

මනුෂ්‍යයා සතුටු කරමින් දෙවියන්වහන්සේට දුක් නොදෙන්න.

දෙවියන්වහන්සේ ඔබට යමක් කරන්නැයි පැවසුවහොත් එය කිරීමට ආරම්භ කරන්න. ඔබ එය ආරම්භ කළ විට අවසානයේ ඔබට යහපතක් වන්නේය.

දේශනාකාරයා 7:8
[8] යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.

ඔබට අවසානයක් දැකීමට නම් මේ තාක් නොකළත් අද පටන් එය ආරම්භ කිරීම අරඹන්න.

දෙවියන්වහන්සේ සමඟ ඔබගේ ජීවිත ගමන ගමන් කිරීමට තෝරාගන්න.

හිතෝපදේශ 28:13
තමාගේ වරද (කැරළිකාරකම) සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට ප‍්‍රමාද නොවන්න. ඔබගේ ජීවිතයේ හරි මඟට ඒම කල් නොදමන්න.

වරද සගවන්නා යනු මුරණ්ඩුකමේ සිටින්නාය. කැරළිකාරකමෙන් ඉවත් නොවන්නාය.

ඔබගේ මනස ආත්මික මනසක් වන තුරු ඔබට කිසිදා ආත්මික තීරණයක් ගන්නට නොහැකියි.

රෝම 8:6
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

මරණය යනු දුක, වේදනාව හා ජීවිතයට මුහුණ දීමට සිදුවන දේවල්ය.

ඔබගේ මනසේ රැඳී තිබෙන ලෞකික දේ සෝදා හැර ආත්මික ගීතිකා වලින් ඔබගේ මනස පුරවා ගන්න.

පරණ දේ සියල්ල පහකර අලුත් ගීතිකා ගායනා කරන්න.

ගීතාවලිය 33:3
[3] උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්;

එළිදරව්වක් ඇති ඔබගේ නව මනුෂ්‍යයාට සුදුසු නව මැවිල්ලේ ගීතිකා ගායනා කරන්න.

හිතෝපදේශ 28:13
තමාගේ වරද (කැරළිකාරකම) සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

කැරළිගැසීම් සඟවා නොගන්න. ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගනිමින්, ඒවා එපාකරමින් ස්වාමීන්වහන්සේගේ කරුණාව ලබා ගන්න.

1 පේතෘස් 1:13
[13] ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.

ඔබගේ හැසිරීමෙන් හා ප‍්‍රකාශනයන්ගෙන් ශුද්ධව සිටින්න.

1 පේතෘස් 1:15
[15] නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී (ප්‍රකාශයන්) ශුද්ධව සිටින්න.

අනවශ්‍ය වචන කථා නොකරන්න.

ඔබට තිබෙන්නේ සදාකාල ජීවනය පමණය. ඉන්නිසා අපි ශුද්ධව හැසිරෙමු. අපට මහත් විපාක ඇත. මේ පොළොවෙත්, පසුව ස්වර්ගයෙත් අපට විපාක ලැබෙන්නේය.

කැපවූ ජීවිතයක් ගත කළ අයට දෙවියන්වහන්සේ විපාක වෙන් කර ඇත.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේගේ ගෝලයෙක් වෙන්ට කැමතිනම් අපගේ කුරුසිය රැගෙන උන්වහන්සේ අනුව එන ලෙසය. (මතෙව් 16:24)

එපීස 5:6
[6] හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

නිශ්ප‍්‍රයෝජන වචන වලට ඔබව රැවටීමට ඉඩ නොදෙන්න.

පාපය දෙවියන්වහන්සේ ප‍්‍රතික්ෂේප කරන දෙයකි.

එපීස 5:7
[7] එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙන්න.

ඔබට බැහැ කියන තරමට කිසිකෙනෙකු සමඟ මිත්‍රකම් පවත්වා නොගන්න.

එය කොඩිවින, බන්ධන හා සමානය, ඒවා මාංසයේ ක‍්‍රියාවන්ය. එය මායාවක්ය.

ගලාති 5:19-20
[19] ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; [20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;

මායාව ආරම්භ වන්නේ මාංශයේ ක්‍රියාවක් තුළින්.

ඔබ අසුවී සිටින පුද්ගලයාට විරුද්ධ දෙයක් ඔබට කිරීමට නොහැකිනම් එය මායාවකි.

කොඩිවිනයක් යනු පාලනය කිරීමේ ආත්මයකි. කව්රුන් හෝ කෙනෙක් ඔබව පාලනය කරයි නම් එය ඔබට විරුද්ධව ඇති කොඩිවිනයකි.

මාංසයෙන් ආරම්භ වන්නාවු එවැනි ක‍්‍රියාවන් අවසන් වන්නේ යක්ෂ ආත්ම වල පාලනයට නතු වීමෙනි.

අකීකරුකමේ දරුවන් සමඟ කිසිදු පංගුකාරකමක් ඇති කර නොගන්න.

ඔව් කියන තැනට ඔව් කියා, නැත කියන තැනට නැත කියා පවසන්න. ඊට වඩා යමක් පැවසීමට නොයන්න.

ශු. මතෙව් 5:37
[37] නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.

ඔබගේ ජීවිතය පාලනය කිරීමට නපුරාට ඉඩ නොදෙන්න.

එපීස 5:8
[8] මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න.

නපුරු දේ ද්වේශකරන්න.

දේව වචනයෙන් වර්ධන වන්න. එයින් ඔබට බොහෝ එළිදරව් ලබා ගෙන ජීවත්වීමට පුළුවන. පසු කාලයට එය මහත් ආයෝජනයකි.

හිතෝපදේශ 8:13
[13] ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.

ඔබගේ හෘදය සාක්ෂියට විරුද්ධව ඔබ ක්‍රියා නොකරන්න.

ආත්මික දේ වලට අවනත වීමට හෘද සාක්ෂිය ගොඩනඟා ගනිමු.

සිතේ උඩඟුකමට රැවටී නොසිටින්න.

ඔබදියා 1:3-4
[3] පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ නුඹ නුඹේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය.

රැවටීමකට අසුවී සිටින්නා ගමන් කරන්නේ වැරදි මාවතකය.

ඔබගේ උඩඟුකම ගැන පසුතැවිලිවී දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ නිදහස් වන්න.

ඔබගේ නව මනුෂ්‍යයා කරුණාවන්තයි, ප‍්‍රේමණීයයි, ඉවසිලිවන්තයි, යටහත් පහත්ය. ඔබගේ නව මනුෂ්‍යයා ඉඩ දෙන්නේ දෙවියන්වහන්සේට පමණය. ඔහුට දෙවියන්වහන්සේ හා ගිවිසුමක් ඇත. ඔහු බලවන්තය. යක්ෂයන් දුරු කරන තරමට ශක්තිමත්ය.

ඔබගේ පරණ මනුෂ්‍යයා යක්ෂයා විසින් විකෘති කරන ලද මනසක් ඇති කෙනෙක්ය. ඔබ දෙවියන්වහන්සේ පිළිගත් පසු උන්වහන්සේගේ සමානත්වයට හා උන්වහන්සේගේ ස්වරූපයට ඔබව නැවත මවනු ලබයි.

එපීස 4:20-24
[20] නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත; [21] එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය. [22] [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා, [23] නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ, [24] සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

ඔබ පරණ මනුෂ්‍යයා පහකර අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්න.
පරණ දේ කථා නොකර ඔබගේ නව මනුෂ්‍යයා ගැන කථා කරන්න.

එපීස 4:25
[25] එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.

අලුත් මනුෂ්‍යයා මවා තිබෙන්නේ දෙවියන්වහන්සේගේ සමානත්වයටය. අපට ආදම්ටත් වඩා උතුම් ගිවිසුමක් ඇත.

මුල් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ මවන ලද්දේ උන්වහන්සේගේ ස්වරූපයටය (උත්පත්ති 1:26) නැවත උන්වහන්සේ ඔබව ගෙනත් තිබෙන්නේ එම ස්ථානයටය.

එමනිසා ඔබගේ සිත වෙනස් කරගනිමින් අලුත් මනුෂ්‍යයෙක් ලෙස ඔබ ජීවත්වන්න.

පරණ දේ පහව ගොස් සියල්ල අලුත්වී ඇත. (2කොරින්ති 5:17)

එපීස 5:9-13
[9] ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය. [10] ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න. [11] අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න; [12] මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය. [13] නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ.

ලෞකික ශෝකය මනුෂ්‍යයෙකුට මරණය උපදවයි. දෙවියන්වහන්සේට එකඟ වන ශෝකය පසුතැවීම ගෙන දෙයි.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදී දෙවියන්වහන්සේ ඉදිරියේ ස්ථීරව ගමන් කිරීමට අප අදිටන් කර ගනිමු.


Watch the Sermon Video

Read 105 times