+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න - යෝෂා මනූ
September 29, 2024 Sunday Sermon Notes


 
අපගේ දෙවියන්වහන්සේ ජීවමානය, බලවන්තය. උන්වහන්සේට කළ නොහැකි දෙයක් නොමැත. උන්වහන්සේව විශ්වාස කරන්නාගේ ජීවිතයට උන්වහන්සේ යහපත කරන්නේය.

අප ගීතිකා ගායනා කරමින් ප‍්‍රශංසා කළ යුත්තේ දෙවියන්වහන්සේ ඉදිරියෙහිය. එය කරන්න ඕන නිසාවත්, කාටවත් පේන්නවත් කළ යුතු දෙයක් නොවේය.

අප නිතරම සිටින්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ බව සිතේ තබා ගත යුතුය. දෙවියන්වහන්සේගේ අභිමුඛය තිබෙන්නේ අප තුළය. අපගේ ශරීරය උන්වහන්සේගේ මාළිගාවය. අප දෙවියන්වහන්සේගේ ඉදිරියේ ප‍්‍රීතිවෙමු.

ගීතාවලිය 68:3-4
[3] නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.

අපි දේව අභිමුඛයේ ප්‍රීති ප්‍රමෝද වෙමු.
අපි ප්‍රීතියෙන් කුල්මත්වී ගී ගයමු.
දෙවියන්වහන්සේට ගීතිකා ගයමු.

අසීරු තත්වයක සිටියත් අප දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රීතිමත් වෙමු. අප තුළ සිටින තැනැන්වහන්සේට අපගේ වාතාවරණය වෙනස් කළ හැකිය.

[4] දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්; යාඃ යනු උන්වහන්සේගේ නාමයවේ; උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වව්.

අපි දෙවියන්වහන්සේගේ ඉදිරියේ කැරලිකාරයෙක් නොවෙමු.
අප දෙවියන්වහන්සේගේ ඉදිරියේ යටහත් පහත්කමෙන් ජීවත්වෙමු.

ගීතාවලිය 68:5-5
5 ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක.
6 දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරලිකාරයෝ දාගිය තැනක වසති.

ධර්මිෂ්ඨකම අපගේ නිදහස්කමයි, ඒ නිසා ප්‍රීති වෙමු.

ඉශ‍්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශයට යෑමට පෙර දෙවියන්වහන්සේ රතු මුහුද දෙබෑ කළ සේක. (නික්මයාම 14:15-31)

දෙවියන්වහන්සේ හාස්කම් තුළින් උන්වහන්සේගේ ජීවමාන බව පෙන්වන ලදි.

යෝෂුවා සමඟ සෙනඟ ගමන් කරන අවස්ථාවේදී දෙවියන්වහන්සේ යොර්දාන් නදියද දෙබෑ කරන ලදි. (යෝෂුවා 4:5-18)

දෙවියන්වහන්සේ හාස්කම් කරන්නාවූ බලවත් තැනන්වහන්සේය.

ගීතාවලිය 35:27
[27] මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.

ඔබ යහපත් ජීවිතයක් ගත කිරීම දෙවියන්වහන්සේ ප්‍රිය කරන සේක.

ඔබගේ ජීවිතයේ උසස්වීම් සහ ආශීර්වාද ලබනවාටත්, සුවයෙන් හා ජයග‍්‍රාහි ජීවිතයක් ගත කරනවාටත්, සමාදානයෙන් සිටිනවාටත් දෙවියන්වහන්සේ කැමැතව සිටී, උන්වහන්සේ ඒ ගැන ප‍්‍රියකරන්නේය.

ඔබ ඒ ගැන සතුටු වෙමින් දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙමින් පවසන්න, ඔබ උන්වහන්සේ ඉදිරියේ ප‍්‍රීතිවන බව.

ගීතාවලිය 132:9
[9] ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨකමින් සැරසෙත්වා; ඔබගේ ශුද්ධවන්තයෝ ප්‍රීතිශබ්ද කෙරෙත්වා.

ගීතාවලිය 132:16
[16] එහි පූජකයන්ද ගැළවීමෙන් පළඳවන්නෙමි. එහි ශුද්ධවන්තයොත් ප්‍රීතියෙන් ඝෝෂාකරන්නෝය.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ රාජකීය පූජකයන් ලෙසය.

අප දෙවියන්වහන්සේට ගීතිකා ගායනා කරන්නේ උන්වහන්සේ අපව අන්ධකාරයෙන් විශ්මපත් ආලෝකයට ගෙනවිත්, අපව කැඳවා, උන්වහන්සේගේ තේජසේ මහිමයේ උත්කෘෂ්ඨතාවය දක්වන පිණිස උන්වහන්සේ අපව තෝරාගත් වංශයක් කරමින්, රාජකීය පූජකයන් කළ නිසාත්ය.

1 පේතෘස් 2:9
[9] නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

අප ධර්මිෂ්ඨකමේ වස්ත‍්‍රය පැළඳ ගන්නේ අපගේ වචන වලිනි. එනම් යේසුස්වහන්සේගේ නාමයට ගෞරවය, මහිමය, ස්තූතිය පුද කිරීමෙනි.

ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය පැළඳ සිටීමින්. හරි සම්බන්ධතාවයක් ඇති කරගෙන යහපත් ලෙසින් ජීවත් වන බැවින් ප්‍රීතියේ හඬ නගන්න.

යෙසායා 12:3
[3] එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළිංවලින් දිය ඇදගන්නහුය.

ගැළවීමේ ළිඳ තිබෙන්නේ ඔබ තුළය. ඔබ තුළ තිබෙන ප‍්‍රීතිය කිසිවෙකුට සොරකම් කළ නොහැකිය.

ගැළවීමේ ළිඳ යනු ඔබ ලබා ගත් ගැළවීම තුළ ඇති ප‍්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම යන හැම දෙයක්මය.

ඔබට විරුද්ධව යම් කෙනෙක් යම් දෙයක් කියන කල ඔබ තුළ ඇති ප‍්‍රීතිය, යහපත් වචන ඔබ තුළින් ඔබ ඇද ගත යුතුය.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ යහපත් දේවල් කරන පිණිසය.

යෙසායා 51:3
[3] මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.

නටබුන් තැන් සනසා, යනු: කඩා කප්පල් වී ඇති ස්ථාන, දිරාපත් වී ඇති තැන්, නැතිවී නාස්ති වී ඇත්නම්, විපත්ති නිසා විනාශ වී තිබෙන්නේ නම්, ගරා වැටුණු, අබලන් වුණු තැන් සනසන්නාවූ ස්වාමීන්.

අප වැටී සිටින විට අපව සනසන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

ඔබ වැටී සිටින විට අන්‍ය භාෂාවෙන් කථා කරමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ හා සම්බන්ධතාවය ගොඩනඟා ගනිමින් නැඟීසිටින්න.

යොහන් 14:16
මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක.

ඉල්ලන්නාවූ ඕනෑම කෙනෙකුට ශුද්ධාත්මයාණන් ලැබෙනු ඇත.
දැන් උන්වහන්සේ සිටින්නේ අප තුළය.

යොහන් 14:17
ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

ඔබ තුළ මුළු දේවත්වය වාසය කරන බව ලෝකයා නොදන්නා හෙයින් ලෝකයාගෙන් ඔබට කරදර පැමිණිය හැකිය. ඔබතුළ සිටින ශුද්ධාත්මයාණන් තුළින් ඔබට ඒ සියල්ලෙන් ජය ගත හැකිය.

යොහන් 14:26
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

යොහන් 15:26
නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.

යොහන් 16:07
එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.

ඒ සැනසිලිකාරයාණෝ අද අප තුළ සිටී. කඩා වැටුණු ස්ථාන නැවත සකසාලීමට උන්වහන්සේට පුළුවන.


Watch the Sermon Video

Read 90 times