+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ යහපත් ක්‍රියාවන් අමතක කරන්නට දෙවිඳුන් අධර්මිෂ්ඨ නැත - මනූ මැතානි
October 06, 2024 Sunday Sermon Notes

 

 දෙවියන්වහන්සේ ඔබට කාරණාවක් භාරදී ඇතිනම් දෙවියන්වහන්සේට කීකරුවී ගමන් කරමින් ඔබට භාරදුන් දේ ඉටුකරන්න.

ඔබට හැකියාවක් නැහැ, තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ කියා එවැනි දේවල් කියමින් නිදහසට කරුණු නොදෙන්න.

කවුරුන් පිළිගත්තත් නොගත්තත් ඔබ දෙවියන්වහන්සේට කරන්නාවු දෙයට ඔබට උන්වහන්සේගෙන් විපාක ලැබෙනු ඇත.

ඔබ කරනා වැඩෙහි මූලික දේ දෙවියන්වහන්සේට කීකරුවීමය.

ඔබ දෙවියන්වහන්සේට කරන්නාවු කිසිදු කාරණාවක් උන්වහන්සේට අමතක වන්නේ නැත.

දෙවියන්වහන්සේට ඔබ යමක් කරන විට එයින් ඔබට කිසිදා ඇති ප‍්‍රයෝජනය ගැන නොසිතන්න.

යේසුස්වහන්සේ පැවසුවේ, යමෙක් උන්වහන්සේගේ නාමයෙන් කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් බොන්ට දුන්නත් ඔහුට විපාක ලැබෙන බවය.

අප කුඩා දෙයක් කළත් එයට දෙවියන්වහන්සේගෙන් විපාක ලැබෙන්නේය.

හෙබ්‍රෙව් 6:10
[10] මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැති කරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.

ඔබ දෙවියන්වහන්සේට කළාවූ දේ පමණක් නොව කරමින්ද සිටින්න. ඒවා උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතෙහි ලියනු ලබයි.

මලාකී 3:16
[16] එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.

අපට දේව භයක් තිබිය යුතුය. ඔබ කිතුනු සම්බන්ධතා ගොඩනඟා ගත යුත්තේ දේව භය තිබෙන්නන් සමඟය.

දේව භයින් යුක්ත මනුෂ්‍යයන් කරන්නාවු කතාවන්ට දෙවියන්වහන්සේ කන්දී අසා සිටී. ඒ ඔවුන්ට යමක් කිරීමටය.

අපට ස්වර්ගයෙත්, පොළොවෙත් ද්විත්ව පුරවැසිභාවයක් ඇත.

ස්වාමීන්වහන්සේගේ ආත්මික තලයේ තිබෙන්නේ සදහටම පවතින දේවල්ය.

දෙවියන්වහන්සේගේ දේවල් ගැන ඔබ කිසිවිටකවත් පහත් කොට කථා නොකරන්න.

දේව භයින් සිටින්නා දෙවියන්වහන්සේට උසස්තම ගෞරවය දෙන්නාවු,දේව වචනය උසස්කොට පිළිගන්නාවූ කෙනෙකි.

මලාකී 3:17-18
[17] ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මමද මනුෂ්‍යයෙක් තමාට සේවයකරන තමාගේ පුත්‍රයාට කරුණාකරන්නාක්මෙන් ඔවුන්ට කරුණාකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. [18] එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන් වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.

දෙවියන්වහන්සේ අපට කන් දෙන්නේ විපාක ලබා දීමටය.

1 කොරින්ති 3:5-6
[5] ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය. [6] මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.

වර්ධනය දෙන දෙවියන්වහන්සේට අපි සියලු ගෞරවය මහිමය දෙමු.

ඔබ වපුරන්නාවූ වචනය සුළු කොට නොසිතන්න.
ඔබ නොසිතන ලෙසින් විශාල වශයෙන් මනුෂ්‍යයන් ගැළවීම ලබනු ඇත.

එක් අයෙක්වත් විනාශයට අපායට යනවාට දෙවියන්වහන්සේ කැමති නැත.

1 කොරින්ති 3:7-8
[7] එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත. [8] හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.

ඔබ කරන දේ හරියාකාරව කළ යුතුය. යමෙකුට යේසුස්වහන්සේ ගැන කියා දෙන්නේ නම් ඔබ එය පැහැදිලිව කියා දිය යුතුය.

ශුභාරංචි වචනය පතල කරන්නට අපට වගකීමක් දී තිබේ. එමෙන්ම ඒ සඳහා අපට විපාකයක්ද ඇත.

ඔබගේ කිතුනු ජීවිතය නොසලකා හරිමින් ඔබ එයින් අහක්ව යන්නේ නම් එයටද විපාක ලැබෙනු ඇත.

1 තිමෝති 5:24
සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය.

පාවුල්ද මෙය පෙන්වා දෙන ලදි.

2 තිමෝති 4:10
[10] මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.

ඔබගේ විශ්වාසවන්තකම ගැන මනුෂ්‍යයාට පෙන්වන්න.

3 යොහන් 1:5-9
[5] ප්‍රේමවන්තය, නුඹ සහෝදරයන් හා ආගන්තුකයන්ව සිටින්නන්ට කරන යමක් ඇද්ද, නුඹ එයින් විශ්වාස ක්‍රියාවක් කරන්නෙහිය; [6] ඔව්හු නුඹේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂිදුන්නෝය. දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹ ඔවුන්ගේ ගමනට උපකාරකිරීම යහපත්ය. [7] කෙසේදයත්, ඔවුන් අන්‍යජාතීන්ගෙන් කිසිත් නොගෙන, උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය. [8] අප සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳුවූවන් ප්‍රීතියෙන් පිළිගත යුතුය.

මෙම සභාව පිහිටුවේ යොහන්ය. දියොත්‍රෙපස් ඔවුන්ව පිළිගත්තේ නැත. ඔහුට අවශ්‍ය වූයේ උසස්කමක්ය.

3 යොහන් 1:9-10
[9] මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප්‍රධානකමට කැමති දියොත්‍රෙපස් අප පිළිගන්නේ නැත. [10] ඉන්නිසා මම ආවොත් ඔහු අපට විරුද්ධව දුෂ්ට වචන දොඩමින් කරන ක්‍රියාවන් සිහිකරවන්නෙමි. ඔහු එයිනුත් තෘප්තියට නොපැමිණ සහෝදරයන් පිළි නොගෙන, පිළිගන්ට කැමතිවූවන් වලක්වා. සභාවෙන් ඔවුන් පහකරන්නේය.

අප අතරද ප‍්‍රශ්න ඇති කරන මනුෂ්‍යයන් සිටිය හැක. දෙවියන්වහන්සේ අපට පවසන්නේ ඉවසීමෙන්, ප‍්‍රේමයෙන්, සත්‍යතාවේ වචනයෙන් ගමන් කරමින්, ඔබගේ විශ්වාසවන්තකම පෙන්නුම් කර දෙන ලෙසය.

මන්ද ඔබ කරන ක‍්‍රියාවන් දෙවියන්වහන්සේ අමතක නොකරනු ඇත.

මනුෂ්‍යයන් නොමඟ යවන්නාවු දෙවියන්වහන්සේගෙන් ඈත්ව මාංසයෙන් ක‍්‍රියා කරන්නන් ඇත.

1 පේතෘස් 5:1-3
[1] ඉතින් වැඩිමහල්ලේක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි. [2] නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින් (පෝෂණය කරමින්), බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, [3] නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.

සේවය කරන්නාවු අය සභාව වින්දනයට පත් නොකර, පාලනය නොකර, සභාව පෝෂණය කරමින් ආදර්ශයකින්, කැමැත්තෙන් තම සේවය කළ යුතුය.

සෙනඟ අතරේ හොඳ බැඳීමක් ඇති නිරෝගී සභාවක් තිබිය යුතුය.
ස්වාමීන්වහන්සේ අපට පෙන්වන්නාවු හරි තැනකට පැමිණ අප වපුරන කල, අපට විපාක හිමිවේ.

පිටස්තරයෙන් අපට පෙනෙනා දේ නොව, අප අභ්‍යන්තරයෙන් පෝෂණය වන්නාවු, සහෝදර ප‍්‍රේමයෙන් ගමන් කරන්නාවු නිරෝගී සභාවක් තුළ අප පෝෂණය ලබා ගනිමින් ශක්තිමත් විය යුතුය.

ද්වීතීය කථාව 26:2
[2] නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නුඹේ දේශයෙන් රැස්කරගන්නාවූ භූමියේ සියලු ඵලවලින් ප්‍රථම ඒවායෙන් ස්වල්පයක් රැගෙන පෙට්ටියක දමාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයට යන්න.

ඔබ සතුටු සිතින් නොමැතිව කවුරුත් බලකරන නිසාවෙන් කිසිවක් නොදෙන්න.

ද්වීතීය කථාව 26:14
[14] මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි.

මුදලින් පමණක් නොව, ඔබගේ යාච්ඤාවෙන්, ශ‍්‍රමයෙන්, එකිනෙකා ධෛර්‍යමත් කිරීමෙන් ඔබගේ වැඩයේ යෙදෙන්න. එය ඔබගේ ජීවිතයේ කරන්නාවු වැපිරීමකි.

දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා එකමුතුව කැමැත්තෙන් අපට ඇති කොටස ඉටු කරමු.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට අභ්‍යන්තරයෙන් දී ඇති සමාදානය අනුව ක‍්‍රියා කරන්න.

ද්වීතීය කථාව 26:15
[15] ඔබගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටද ඔබ අපේ පියවරුන්ට දිවුළ ලෙස අපට දුන්නාවූ කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන භූමියටද ආශීර්වාදකළ මැනවයි කියන්න.

ඔබ යේසුස්වහන්සේව පිළිගත් දවසේම උන්වහන්සේ ඔබව කිරි හා පැණියෙන් උතුරා යන දේශයට ගෙනවිත් ඇත.

ඒ දේශයේ දේ ඔබ භුක්තිවිදින්නේ වැරදි ලෙසකින් ක‍්‍රියා කරමින් නොව හරි දේට සම්බන්ධ වෙමිනි.

එමනිසා ඔබට පැවසිය හැකියි ‘ස්වාමිනි ඔබගේ ශුද්ධ වාසස්ථානයේ සිට බලමින් මට ආශීර්වාද කරන්න’ කියා.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදය දෙස බලින් මේ දිවීම දුවන්නට උන්වහන්සේගේ ශක්තිය ඔබට තිබෙන බවත්, උන්වහන්සේ ඔබට හැකියාව පුළුවන්කම දී ඇති බවත් ඔබගේ මුළු හදවතින්ම ඔබ දෙවියන්වහන්සේට ගෞරවය ගෙන දෙමින් ජීවත්වන බවටත් අදිටත් කර ගන්න.

ක්‍රියා 20:26
[26] එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි.

පාවුල් පවසන්නේ ඔහු කිසිවෙකුගෙන් බලහත්කාරකමෙන් කිසිවක් නොගත් බවත්, ඔහු සියල්ලන්ගේ ලෙයින් නිදොස්ව සිටින බවත්ය.

ක්‍රියා 20:27
[27] මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.

පාවුල් පවසන්නේ ඔහු දෙවියන්වහන්සේගේ මුළු ලියවිල්ලම කියා දුන් බවය.

සමහර දේශකයින් ලියවිල්ලේ කොටසක් පමණක් ගෙන තමාගේ වාසිය උදෙසා ක‍්‍රියා කරයි.

ඔබ ශක්තිමත්ව සිටියහොත් බොරු ගුරුවරයෙකුට ඔබ රැවටෙන්නේ නැත.

ක්‍රියා 20:28
[28] දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.

දෙවියන්වහන්සේගේ රැළ උන්වහන්සේගේ ලෙයින් උන්වහන්සේ මිලදී ගෙන තිබෙන්නේ.

ගැළවීම ලබාගත් සියල්ලන්ම උන්වහන්සේගේ අනර්ඝ ලෙයින් ගැළවීම ලබා තිබෙන්නේ.

සභාවේ තිබෙන වටිනාම දේ යේසුස්වහන්සේගේ ලෙයින් උන්වහන්සේ අපව මිලදී ගැනීමය.

ඔබ අසන දේවල් ගැන ඔබම ප‍්‍රවේසම් විය යුතුය.

ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පත් කර ඇති නායකයා මුළු සභාවටම පෝෂණය දෙන කෙනෙකි.

සභාව වර්ධනය වන්නේ උන්වහන්සේගේ වචනයේ පෝෂණය තුළිණි.

ඔබගේ මනසේ අති වියවුල්තාවයන්ට, පෙහෙළිකාවන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ දේව වචනය තුළින් විසඳුම් ලබා දෙයි.

ක්‍රියා 20:29
[29] මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි;

රැළ දුර්වල වූ කල, යක්ෂයා රැළ වෙත වෘකයන් එවනු ලබයි.

ක්‍රියා 20:30
[30] නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.

කාරණා පෙරළන මනුෂ්‍යයන් සමඟ කථාවට නොයන්න.

දෙවියන්වහන්සේගෙන් නොවන සිතුවිලි, යෝජනා පසුතැවිලි වී ඔබගේ සිත තුළින් ඉවත් කර ගන්න.

ක්‍රියා 20:31
[31] එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න.

අපි අනුග‍්‍රහයේ වචනය තුළින් අවවාද අනුශාසනා ගෙන, ස්වාමීන්වහන්සේගේ වචනයෙන් ගොඩනැඟී, ශුද්ධවන්තයන් ලෙසින් උරුමයක් ලබාගෙන ජීවත්වෙමු.

ක්‍රියා 20:32
[32] දැන් දෙවියන්වහන්සේටද, නුඹලා ඉදිකරන්ටත් පිරිසිදුකරනලද සියල්ලන් අතරෙහි නුඹලාට උරුමයක් දෙන්ටත් හැකිවූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා භාරදෙමි.

ඔබගේ වටිනා ජීවිතය සුළු නොකරන්න. ඔබට ලැබී ඇති වැඩෙහි යෙදී සිටින්න.

2 තිමෝති 4:2 
[2] වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.

දෙවියන්වහන්සේගේ වචනය තුළ තරවටු, අවවාද, අනුශාසනා යන සියල්ලම තිබේ.

2 තිමෝති 4:3-4
[3] මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,
[4] සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.

කාලවල් වෙනස්වුවත්, මනුෂ්‍යයන් වෙනස්වුවත් දෙවියන්වහන්සේගේ වචනය සදහටම එකාකාරය.

මිනිසුන්ගේ වර්ණනා ලැබෙන්නාවු වචන දේශනා කර ඵලක් නොමැත. මනුෂ්‍යය වර්ණනා වලින් ජීවත්වීමට නොයන්න. පැවසිය යුත්තේ දෙවියන්වහන්සේගේ වචනයයි.

1 තිමෝති 5:24
[24] සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය.

ඔබ කරන්නාවු යහපත් ක‍්‍රියවන්ට ඔබට පොළොවෙත් විපාක තිබේ, ස්වර්ගයෙත් විපාක තිබේ.

ඔබගේ උණුසුම් ප‍්‍රේමය දෙවියන්වහන්සේට ලබා දෙන්න.

1 තිමෝති 5:25
[25] එසේම පැහැදිලිව ප්‍රකාශවන්නාවූ යහපත් ක්‍රියාද ඇත; එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.

කව්රුත් දෙස බලා ඔබගේ වැඩය අත් නොහරින්න. මන්ද ඔබ කරන්නාවු දෙයට ඔබට විපාක ලැබෙයි.

1 කොරින්ති 3:8-9
[8] හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය. [9] මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.

අත්තිවාරම ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේය. යේසුස්වහන්සේ යනු දෙවියන්වහන්සේගේ වචනයයි.

1 කොරින්ති 3:10-11
[10] මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා. [11] මක්නිසාද දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

අපගේ ආත්මික ජීවිතය අප ගොඩනඟා ගත යුත්තේ රන්, රිදී හා අනර්ඝ ගල් වලිනි. ඒවා ආත්මික කාරණාය.

ලී, තෘණ, පිදුරු යනු මාංසික දේවල්ය.

1 කොරින්ති 3:12-15
[12] නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්, [13] එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය. [14] ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය. [15] යම් කෙනෙකුගේ කර්මාන්තය දැවීයන්නේ නම්, ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය; එහෙත් ගිනි මැදින් ගැළවුණාක්මෙන්ය.

මාංසික ලෙස ජීවත්වන්නන්ගේ සියල්ල නැතිවී යන්නේය. ඔවුන්ට ඉතිරිවන්නේ ගැළවීම පමණි.

අප තෝරා ගත යුත්තේ ආත්මිකවූ පවතින දේවල්. ඒවාට විපාක හිමිවේ.

යේසුස්වහන්සේ සමාරියේ ස්ත‍්‍රිය හා සමඟ කථාකරමින් සිටින තැනට පැමිණි ගෝලයන් උන්වහන්සේගෙන් කෑම කන ලෙස ඉල්ලා සිටියත්, යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේගේ කෑමනම් පියාණන්වහන්සේගේ වැඩය ඉෂ්ට කිරීම බවය.

ශු. යොහන් 4:34-38
[34] යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය. [35] තව සාරමසක් ගිය කල ගොයම් කපන කාලය පැමිණෙන්නේයයි නුඹලා කියනවා නොවේද? මම නුඹලාට කියමි–නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම් දැනටම කැපීමට පැහී තිබෙන බව බලන්න. [36] වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිස, කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතුකරගන්නේය. [37] මක්නිසාද: එක්කෙනෙක් වපුරන්නේය, වෙන කෙනෙක් කපන්නේය යන කීම මෙයින් සැබෑවේ. [38] නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යයෝ වැඩකළෝය, නුඹලා ඔවුන්ගේ වැඩට පැමින්නෝයයි කීසේක.

දෙවියන්වහන්සේ උදෙසා අප එකිනෙක්කෙනා කරන්නාවු කාරණා ඉතාමත් වටින්නේය.

දෙවියන්වහන්සේ පවසන දේ කරමින් ජීවත්වන්න.


Watch the Sermon Video

Read 119 times