+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද පවත්වන්න - යෝෂා මනූ
October 13, 2024 Sunday Sermon Notes


 
දෙවියන්වහන්සේ අපව නිදහස් කර ඇත. උන්වහන්සේ යහපත් බව අපට නිතර පැවසිය හැකිය. මන්ද බයිබලය එය පවසයි.

ගීතාවලිය 34:11-12
11 දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹට උගන්වන්නෙමි. 12 ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?

අප යහපතට ප‍්‍රියකරන්නේනම්, අපට යහපත් දවස් දැකීමට කැමතිනම් දෙවියන්වහන්සේ රහස අපට කියා දෙයි.

සමහරවිට එය තරවටුවක් හෝ හරිගැස්වීමක් විය හැකිය. අප එය නියමාකාරයෙන් බාරගතහොත් අපට එය ආශීර්වාදයක් වන්නේය.

අප නපුරෙන් ඉවත්විය යුතුය. නපුරු වචන කථා නොකළ යුතුය.

ගීතාවලිය 34:13-14
13 නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව. 14 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.

අපි නපුරු වචන කථා කිරීමට, නපුරාව වර්ණනා කිරීමට අපගේ දිව පාවිච්චි නොකිරීමට වගබලා ගනිමු.

නපුරා නම් යක්ෂයාය.

අප දුර්වලයි යන සිතුවිලි අපගේ මනසට දමමින් අපව දුර්වල කරන්නේ යක්ෂයාය.

යක්ෂයා මනසට ගෙනෙන සිතුවිලි අපගේ දිවෙන් ප‍්‍රකාශ නොකර සිටිමු.

මරණයත්, ජීවනයත් නික්මෙන්නේ අපගේ දිවෙන්ය. (හිතෝපදේශ 18:21)

දෙවියන්වහන්සේ අපගේ ජීවිත ගළවා, මුදවා, හරවා දෙන බැවින් එම හරි මාවතේ ගමන් කිරීමට අප තීරණය කළ යුතුය.

අප සමාදානය සොයා ඒ අනුව යා යුතුය.

සමාදානයේ කුමාරයාණෝ යේසුස්වහන්සේය. අපගේ හදවතට සමාදානය දිය හැකි වන්නේ උන්වහන්සේට පමණය.

අප ගැළවීම ලැබූ විට අපගේ හදවතට, මනසට සමාදානය හැඟෙන්නේය.

දේව සමාදානය කිසිවෙකුට සොරකම් කළ නොහැකිය.

දෙවියන්වහන්සේ යහපත් බව විශ්වාස කරමින් උන්වහන්සේගේ යහපත අපි ප‍්‍රකාශ කරමු.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සභාව සනසන සේක.

යෙසායා 51:3
[3] මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප ප‍්‍රීතියෙන්, සන්තෝෂයෙන්, ස්තුති දෙමින්, ගී කියමින් උන්වහන්සේට නමස්කාර කිරීමය.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ පරණ දේවල් ඉවත්කර ඔබව අලුත් කර, අලුත් දේවල් වලින්, යහපත් දේවල් වලින් ඔබගේ මුඛය පුරවන්නේය.

දෙවියන්වහන්සේට අපගේ ජීවිතේ වෙනසක් ඇති කරනසේක.

අප නිතරම කනගාටුවෙන්, ශෝකයෙන්, දුක්බරින්, කොඳුරමින්, මැවිසිලිනගිමින් ජීවත්වන්නේ නම්, අප වෙනස්වීමට තීරණය කර ගනිමු.

යේසුස්වහන්සේ තම කුරුසපත්වීම ගැන ප‍්‍රකාශ කළ සෑම අවස්ථාවකදීම උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටීම ගැනද පැවසු සේක.

යේසුස්වහන්සේ පොළොවට පැමිණියේ යම් ක‍්‍රියාවක් කරන පිණිසය.
උන්වහන්සේ එම ක‍්‍රියාව කරන්නාවූ අවසන් පැය කිහිපයට පැමිණි අවස්ථාවේ ඒ පැය කිහිපය තුළ උන්වහන්සේ තම ගෝලයන්ව ශක්තිමත් කරන ලදි. මන්ද ගෝලයන් දුකින් සිටින බව උන්වහන්සේ දැන සිටියේය.

ගෝලයන් සිතුවේ යේසුස්වහන්සේ ඔවුන්ව අතහැර ගිය විට ඔවුන්ට සිදුවන්නේ කුමක්ද කියාය.

යොහන් 16:20
සැබැවක් සැබැවක් නුඹලාට කියමි-නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. නුඹලා ශෝකවන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය.

යේසුස්වහන්සේගේ ඉකුත්වීම ගැන ගොලයන් ශෝකවුවත්, ඒ ගැන කිසිවක් නොදන්නාවු ලෝකයාට එය ප‍්‍රීතියක්වුණි.

නමුත් යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ඔවුන්ගේ ශෝකය ප‍්‍රීතියට හැරෙන බවය.

යේසුස්වහන්සේ අපගේ ජීවිතය හරවනවා පමණක් නොව, උන්වහන්සේට අපගේ ශෝකය ප‍්‍රීතියටත්, පරාජය ජයග‍්‍රහණයටත්, අසමාදානය සමාදානයටත් හැරවීමට පුළුවන.

ඔබගේ නිවස තුළ වියවුල ඇත්නම් ශාලොම් - සමාදානය වේවා කියා ඔබ ප‍්‍රකාශ කරන්න.

ඔබ පැමිණියේ ඔබගේ ජීවමාන දෙවියන්වහන්සේ වෙතටය. උන්වහන්සේ දේවල් හරවන තැනන්වහන්සේය.

දෙවියන්වහන්සේට කරන්න බැහැයි කියා කිසිවක් ke; .

ඔබ විශ්වාස නොකරන්නේ නම් විශ්වාස කරන හදවතක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න.

ඔබට ඇදහිල්ල නොමැතිනම් එය ඉල්ලන්න. දෙවියන්වහන්සේ ඔබට ඇදහිල්ල දෙනු ඇත.

අබ ඇටයක පමණ ඇදහිල්ලක් ඔබට තිබේනම් ඔබට කඳු පහකළ හැකිය. (ලූක් 17:6)

ඔබගේ දුක, ශෝකය දෙවියන්වහන්සේට බාරකර ප‍්‍රීතියෙන් ජීවත්වීමට තීරණය කරන්න.

පරීක්ෂා පීඩා පැමිණෙන කල සිනහව ඔබගෙන් නැතිවී යාමට පුළුවන. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ ඔබගේ ශෝකය ප‍්‍රීතියකට හරවන බවයි.

යොහන් 16:2
21 ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය.

දරුවෙක් බිහිවු පසු එම ස්ත්‍රිය ඇයට ලැබුණු දරුවා නිසා ඇගේ වේදනාව අමතක කර දමයි.

එලෙසින් ගෝලයන්ගේ ශෝකයද ප‍්‍රීතියට හැරෙන්න යන බව යේසුස්වහන්සේ පවසයි.

22 එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

යේසුස්වහන්සේ පැවසුවේ දැන් ශෝකව සිටින ගෝලයන්ට ඔවුන්ගේ ප‍්‍රීතිය ලැබුණු පසු එය කිසිවෙකුට සොරකම් කළ නොහැකි බවය.

පේතෘස් නිතර ඉක්මනින් කලබල වුණාවු ගෝලයෙකි.

ඔහු යේසුස්වහන්සේව නාඳුනමියි තුන් වතාවක් කියමින් උන්වහන්සේව ප‍්‍රතික්ෂේප කරන ලදි.

නමුත් ක‍්‍රියා පොතේ පේතෘස්ගේ ජීවිතය මුළුමනින්ම වෙනස්වූයේය.

1-2 පේතෘස් පොත් වල ලියා ඇති කරුණු අනුව අපට සම්පූර්ණ පරිවර්ථනයවූ පේතෘස්ගේ ජීවිතය දැකිය හැකියි.

ඔහුට යේසුස්වහන්සේගේ මහත් එළිදරව්වීම් ලැබුණි.

1 පේතෘස් 1:3-6
3 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ, 4 නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන, 5 ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක. 6 ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

දෙවියන්වහන්සේ පේතෘස් තුළින් පවසන්නේ අප පරීක්ෂා පීඩා තුළින් ගමන් කරන විට එය පවතින්නේ ස්වල්ප කාලයක් බවයි.

පේතෘස්ගේ ජීවිතයේ ඔහු දැන සිටියා පීඩා පරීක්ෂා අනිවාර්යයෙන් පැමිණියත් දෙවියන්වහන්සේ එයින් ලබා දෙන ගැළවීම, නිදහස්කම තුළින් ප‍්‍රීතිය පැමිණෙන බව.

1 පේතෘස් 1:7
එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.

ඔබට පරීක්ෂා, පීඩා පැමිණෙන කල යේසුස්වහන්සේ ඔබගේ ශක්තිමත් ස්ථානයව සිටී.

යක්ෂයා බලා සිටින්නේ ඔබගේ දුර්වලවූ ස්ථානය තුළ වට්ටන්නටය.

ඔබ දුර්වලව සිටින විට හෝ ඔබට පීඩා පරීක්ෂා පැමිණෙන කල, ඔබ දේව වචනයෙන් පිළිතුරු සොයන්න. ඔබගේ මාංසයට ඉඩ නොදෙන්න.

පරීක්ෂා කාලය තුළ ඔබගේ ජීවිතයේ ඇදහිල්ල හා ඉවසීම යන දෙකම වර්ධනයවේ.

පරීක්ෂා පීඩා කාලයේදී ඔබ ප‍්‍රීතිවෙන්න පටන්ගන්න. ඔබගේ ඇදහිල්ල හා ඉවසිලිවන්තකම වර්ධනය කර ගැනීමට තීරණය කරගන්න.
ඇදහිල්ල හා ඉවසිලිවන්තකම යන දෙකම අපට අවශ්‍යම ගුණාංග දෙයකි.

1 පේතෘස් 1:8
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,

අප යේසුස්වහන්සේව පිළිගත් මොහොතේ උන්වහන්සේව නොදුටුවත් අප ඇදහිල්ලෙන් උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලදි.

1 පේතෘස් 1:9
නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.

ඔබ යේසුස්වහන්සේව දැක නැත, ඔබගේ නම ජීවන පොතේ තිබෙනවා දැක නැත. නමුත් ඔබ ගැළවීම ලැබූවිට ඔබට සදාකාල ජීවනය ලැබෙන බවත්, ඔබගේ නම ජීවන පොතේ ලියවී තිබෙන බවත් දෙවියන්වහන්සේ පවසා ඇති බවට විශ්වාස කරන්නේය.

අපහට තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නට හැකිවේ.

පරණ ගිවිසුම තුළ හබක්කුක් හට මහත්වූ ප‍්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවුණි.

ඒ අවස්ථාවේදී හබක්කුක් කළාවූ දේ අප බලමු.

අප සෙවිය යුත්තේ ප‍්‍රශ්න වලට මුහුණ දී නැවත වරක් නැඟිටුනු අය ගැනය.

හබක්කුක් 3:16
1මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.

ඔහුට නිතර ඇසුණේ අසුභ ආරංචිය. එහෙත් ඔහු එය හරවන්නට තීරණය කළේ දෙවියන්වහන්සේගේ ශක්තියෙන් හා උපකාරයෙන්ය.

හබක්කුක් 3:17-18
17 මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; 18 මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි.

ඔහුට සමරන්නට කිසිවක් නොතිබුණත්, ඔහුගේ ඇස් ඉදිරිපිට පරාජය හා විනාශය තිබුණත්, ඔහුට සියල්ල නැතිවී ගියත් ඔහු ස්වාමීන්වහන්සේ කෙරෙහි ප‍්‍රීතිවන්නට ඔහු තීරණය කරන ලදි.

ඔහුට නැතිවී ගිය සෑම දෙයක්ම නැවත ස්වාමීන්වහන්සේ තුළින් ලැබෙන බව ඔහු විශ්වාස කරන ලදි.

දෙවියන්වහන්සේ කෙරෙහි ඔහු ප‍්‍රීතිමත්විය.

හබක්කුක් 3:19
19 ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක.

යෝබ්ට සියල්ල නැතිවී ගියත් දෙවියන්වහන්සේ ඔහුට අවසානයේදී නැවත දෙගුණයකින් ආශීර්වාද කරන ලදි. (යෝබ් 42:10)

හබක්කුක් යෝබ්ව ආදර්ශයට ගත්තා විය හැකිය.

දෙවියන්වහන්සේ අපටද පවසන්නේ ප‍්‍රීතියෙන්, සන්තෝෂයෙන් ජීවත්වන්න කියාය.

පරීක්ෂා පීඩා කාලයේදී ඔබ කනගාටුවන්නට, දුක්මුසු වන්නට පටන් ගතහොත් ඔබ අනිවාර්යෙන්ම එහි ගිලෙනු ඇත.

යෙරෙමියා පොතේ යුදෙව් සෙනඟට පවසන්නාවු දෙයින් අපටද ආදර්ශයක් කොට ගත හැකිය.

යෙරෙමියා 33:10-11
10 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුව තිබේයයි නුඹලා කියන මේ ස්ථානය වන මනු‍ෂ්‍යයෙක්වත් වැසියෙක්වත් මෘගයෙක්වත් නැතුව නාස්තිවී තිබෙන යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත්, 11 නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත.

අද අප යේසුස්වහන්සේගේ මනාලියයි. උන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවතින හෙයින් අප උන්වහන්සේට ස්තූති කළ යුතුය.

අප ස්තූති කරන්නට පටන් ගත් කල අපට හිතන්නට බැරි දේ, වෙනස් කළ නොහැකි දේ, මනසින් වටහා ගැනීමට නොහැකි පුදුමාකාර දේ දෙවියන්වහන්සේට වෙනස් කළ හැකිය.

දෙවියන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවතී.

ප‍්‍රීතියේ හා සන්තෝෂයේ හඬකින් දෙවියන්වන්සේට ප‍්‍රශංසා කිරීමට පටන් ගනිමු.

ඔබගේ නටබුන් තැන්, වනාන්තරය, කාන්තාරය වෙනස් කිරීමට ස්වාමීන්වහන්සේට පුළුවන. ඒ සදහා ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද ඔබ තුළ තිබිය යුතුය.

නැවත නැඟිටීමට, ප්‍රීතිමත්ක හඬකින් ස්වාමීන්වහන්සේට නමස්කාර කිරිමට ඔබ තීරණයක් කරගත යුතුය.


Watch the Sermon Video

Read 95 times