+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ තීරණ ගන්නේ භියෙන්ද නැතහොත් ඇදහිල්ලෙන්ද? - මනූ මැතානි
October 13, 2024 Sunday Sermon Notes

 

 ඔබ දේව වචනයට කන් දෙමින් කොයි ස්ථානයක සිටියත්, මොන තත්ත්වයක සිටියත් ඔබට වරදින්නේ නැත.

වචනය තුළින් දේවල් වෙනස් කළ හැකිය. අපගේ ජීවිතයේ අලුත් දෙයක් සිදුකිරීමට වචනයට අප ඉඩ දිය යුතුය.

පෙනීමේ ලෝකයට වඩා අප නොපෙනෙන වචනය කෙරේ විශ්වාස කළ යුතුය.

පෙනෙන දේ තාවකාලිකය. නොපෙනෙන දේ සදහටම පවතී.

1 යොහන් 1:1
[1] පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස්වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන,

යොහන් පවසන්නේ ඔවුන් අසපු දේවල් ඔවුන් ඇස්වලිනුත් දුටු බවය.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ජීවන වාක්‍යයයි.

දෙවියන්වහන්සේගේ වාක්‍යයාණන්ට අත ගසන්නට ඔවුන්ට හැකිවුණායැයි යොහන් පවසයි.

1 යොහන් 1:2
[2] නුඹලාත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටුවාවූ ඇසුවාවූ ඒ දේ නුඹලාටත් ප්‍රකාශකරමුව.

අප යේසුස්වහන්සේව දුටුවේවත්, උන්වහන්සේට අතගැසුවේවත් නැත. නමුත් අපගේ හදවතින් අප විශ්වාස කරන්නේය. එම නිසා ඔවුන්ට වඩා වැඩි ඇදහිල්ලක් අපට ඇත.

අප ඔවුන්ට වඩා ආශීර්වාද ලැබූවන්ය.

යේසුස්වහන්සේ තෝමස්ට පැවසූ දේ අපි බලමු.

තෝමස් පැවසවේ, යේසුස්වහන්සේට අතගැසුවොත් මිස ඔහු විශ්වාස නොකරන බවයි.

ශු. යොහන් 20:27-28
[27] එකල උන්වහන්සේ තෝමස්ට කථාකොට: නුඹේ ඇඟිල්ල මෙහි දිගුකොට, මාගේ අත් බලන්න; නුඹේ අත දිගුකොට, මාගේ ඇළයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට, විශ්වාසකරන්නැයි කීසේක. [28] තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය.

යේසුස්වහන්සේ පැවසුවේ නොදැක විශ්වාස කරන්නන් ආශීර්වාදලද්දන් බවයි.

ශු. යොහන් 20:29
[29] නුඹ මා දුටු බැවින් විශ්වාසකෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝයයි යේසුස්වහන්සේ කීසේක.

ගෝලයන්ගේ විශ්වාස මදිකම ගැන යේසුස්වහන්සේ කිහිපවතාවක්ම ඔවුන්ට තරවටු කරන ලදි.

අප යේසුස්වහන්සේ නොදුටුවත්, දෙදෙනෙක් හෝ තිදෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස්වන තැන උන්වහන්සේ සිටින බව අප විශ්වාස කරමුව.

ශු. මතෙව් 18:20
[20] මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.

අපගේ මෙම ආත්මික ගමන අප ඇදහිල්ලෙන් වර්ධනය කරමිනුයි සිටින්නේ.

අපගේ ඇදහිල්ල යේසුස්වහන්සේගේ ගෝලයන්ට වඩා ඉහළින් තිබිය යුතුය.

පාවුල් යේසුස්වහන්සේට දුටුවේවත්, උන්වහන්සේ සමඟ සිටියේවත් නැත. නමුත් පාවුල් අනෙක් ගෝලයන්ට වඩා වැඩියෙන් දේවල් කරන ලදි. පාවුල්ගේ ජීවිතයේ මහත් ආශ්වර්යමත් දේ සිදුවුණි.

යේසුස්වහන්සේ ඔවුන් සමඟ සිටින තාක් උන්වහන්සේගේ ගෝලයන්ගේ ඇදහිල්ලේ වර්ධනයක් නොතිබුණි. ඔවුන් ඇදහිල්ල වර්ධනය කර ගන්නා ලද්දේ උන්වහන්සේගේ නික්මයෑමෙන් පසුවය.

ශු. යොහන් 6:62
[62] මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද?

ඇදහිල්ල වර්ධනය කර ගැනීමට බොහෝ අය බලා සිටින්නේ ලකුණක් ලැබෙන තුරුය.

ශු. යොහන් 6:63
[63] ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

ඉශ‍්‍රායෙල් සෙනඟ කොපමන හාස්කම් අත්දැක්ක නුමුත් ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය නොවුණේය. ඔවුන්ට තිබුණේ දුර්වල ඇදහිල්ලක්ය.

දෙයක් දකින්ටත් පෙර එය ලැබුණේයැයි විශ්වාස කරන බව පවසන්නේ සැබෑ ඇදහිල්ලේ මනුෂ්‍යයන්ය.

ඔබගේ ඇදහිල්ල තිබිය යුත්තේ ස්වාමීන්වහන්සේගේ බලය කෙරෙහිත් ඔබගේ විශ්වාසය තිබිය යුත්තේ උන්වහන්සේගේ වචනය කෙරෙහිත්ය.

ආත්මයාණන්වහන්සේ අපට නොපෙණුනත් උන්වහන්සේ අපට ජීවනය දෙන බව අප විශ්වාස කළ යුතුය.

මාංසය කෙරෙහිත්, ඔබගේ රෝග ලක්ෂණ ගැන විශ්වාස කිරීමෙන් කිසි ප‍්‍රයෝජනයක් නොමැත.

ඔබගේ වාතාවරණය දෙස බලමින් එය විශ්වාස කර සිටීමෙන් කිසි ප‍්‍රයෝජනයක් වන්නේ නැත.

ඔබට ඇසෙන දෙයින්, හැඟෙන දෙයින්, පෙනෙන දෙයින් කිසි ප‍්‍රයෝජනයක් නොමැත.

අද දවසේ ඔබ කිතුනුවෙක් ලෙස හැසිරෙන්නේ ආත්මික උපතක් ඔබට ලැබුණු නිසාය.

ඔබ කිතුනුවෙකු බව දන්නේ ඔබ තුළ වාසය කරන තැනන්වහන්සේ තුළිනි.

යේසුස්වහන්සේගේ හඬ ඔබට පැහැදිලිව ඇසිය හැකිය.

යේසුස්වහන්සේගේ යුදෙව්වරුන්ට පැවසුවේ, නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාසකරන්නේ නැත. යොහන් 10:26

යේසුස්වහන්සේ තුළ හරි ආකාරව ගමන් කරන්නන්ට උන්වහන්සේ පැවසුවේ,

මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. යොහන් 10:27

දෙවියන්වහන්සේ ඔබට පවසන්නේ, ඔබ යන ගමන යන්න. හැරෙන තැන, නවතින තැන උන්වහන්සේ පෙන්වන්නම් කියාය.

ඔබ බැටළුවෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ හඬ අසනු ඇත. උන්වහන්සේ සිහින් හඬින් ඔබට කථා කරයි.

එලියා යෙසෙබෙල්ගේ එක් වදනකට කලබල වී දෙවියන්වහන්සේගෙන් ඔහු මැරෙන ලෙසට ඉල්ලා සිටීය. (1 රාජාවලිය 19:1-4)

කනස්සල්ලෙන් දුකෙන් කලකිරී සිටි එලියාට දෙවියන්වහන්සේ කථා කළ සේක.

1 රාජාවලිය 19:10-11
[10] ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය. [11] උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ඒ ළඟින් ගියසේක, ස්වාමීන්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළඟෙහි නොවූසේක. හුළඟට පසු පොළෝකම්පාවක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ පොළෝකම්පාවෙහි නොවූසේක.
[12] පොළෝකම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක්විය.

දෙවියන්වහන්සේ එලියාට කථා කළේ සියුම් හඬක් තුළිනි.

සමහර විට අප දෙවියන්වහන්සේගේ හඬ නොයෙක් ලකුණු වලින් සොයයි. සුළඟක් තුළින්, ගින්නක් තුළින්, යනාදී ලෙසින්…

දෙවියන්වහන්සේ එලෙසින්ද කථා කළ අවස්ථාද ඇත.

දෙවියන්වහන්සේ මෝසෙස්ට ගින්නක් තුළින් කළේය. (නික්මයාම 3:2-6)

එහෙත් ඔබ සිටින්නේ මෝසෙස්ට වඩා උතුම් ස්ථානයකය. මන්ද මෝසෙස් සමඟ දෙවියන්වහන්සේ වාසය කළේ නැත. නමුත් ඔබ සමඟ දෙවියන්වහන්සේ වාසය කරන්නේය.

මෝසෙස්ට දෙවියන්වහන්සේ ඔහුගේ ශරීරය දේව මාළිඟාව බව කිසිදා නොපැවසුවේය. නමුත් උන්වහන්සේ අපට පවසන්නේ අප උන්වහන්සේගේ මාළිඟාව බවය.

මීට ප‍්‍රථමයෙන් එලියා ස්වර්ගයෙන් ගිණි බස්වා බොරු අනාගතවක්තෘන් විනාශ කර දමන ලදි. (1 රාජාවලිය 18:36-40)

එලියා දෙවියන්වහන්සේ තුළ බොහෝ ජ්වලිතව සිටියත් යෙසෙබෙල්ගේ එක වචනයකින් ඔහු අධෙර්යමත් වූයේය.

එක වචනයකින් ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් පෙරළන්නට පුළුවන.

1 රාජාවලිය 19:1-2
[1] එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රොපේතවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් යෙසෙබෙල්ට දැන්නුවේය. [2] එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වේලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය.

යෙසෙබෙල්ගේ ප‍්‍රකාශයකට බලවත් මනුෂ්‍යයෙක්වූ එලියා මහත් සේ භයවුණේය.

ඔබත් අසන්නාවු භයානක දේවල් වලට භයෙන් ජීවත්වන්නෙක්ද? නැත්නම් ඇදහිල්ලෙන් ජීවත්වන්නෙක්ද?

පෙනෙන දේවල්, අසන දේවල් අනුව ජීවත්නොවී ශුද්ධාත්මයාණන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමින් යන්නාවු නිවැරදි මඟ විශ්වාස කරමින් ගමන් කරමු.

අපගේ ජීවිත ගමන නිතර ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කරමු.

1 රාජාවලිය 19:3-4
[3] ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර, [4] තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය.

දෙවියන්වහන්සේ තුළින් බලවත් දේ කළාවූ මනුෂ්‍යයා පැය කිහිපයකට පසු පවසන්නේ ඔහුගේ ජීවිතයෙන් ඵලක් නැත කියාය.

ඔබ ඇදහිල්ලේ ගමන නතර කළ විට මෙයාකාරයෙන් කොඳුරන්නට පටන් ගන්නවා ඇත.

මෙවැනි නපුරු යාච්ඤා නොකරන්න. එලෙස කිරීමෙන් භයානක දේ සිදුවිය හැකිය.

එක වචනයකට දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ කළාවූ සියල්ල අමතක නොකරන්න.

දෙවියන්වහන්සේගේ බලයෙන් අහසින් ගිනි බැස්සවූ, බොරු ප්‍රොපේතවරුන් 850ක් මරාදැමූ එලියා යෙසෙබෙල්ගේ වචනය විශ්වාස කරන ලදි. යෙසෙබෙල් ඉදිරියේ මැරෙන්නට අකමැතිවූ එලියා දෙවියන්වහන්සේගෙන් තම ජීවිතය ගන්නා ලෙස අයදියි.

ඔබ යක්ෂයාගේ වචන විශ්වාස නොකරන්න.

දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේමය. උන්වහන්සේගේ බලය, හැකියාවන් වෙනස් වන්නේ නැත. උන්වහන්සේගේ ප‍්‍රේමයද කිසිදා වෙනස් නොවෙයි. උන්වහන්සේගේ අනුග‍්‍රහය වෙනස් වන්නේද ලේ බලය අඩුවන්නේද නැත.

ඔබ තුළ වාසය කරන උන්වහන්සේ ඔබව දාලායන්නේද නැත.

”මගේ ජීවිතය එපා වෙලා තියෙන්නේ, ස්වාමිනි, මාව ගන්න” මෙවැනි යාච්ඤා නොකරන්න. මෙලෙස කීමෙන් ඔබ දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව ක‍්‍රියා කරනු ඇත.

එලියා දෙවියන්වහන්සේගේ බලය නොව, යෙසෙබෙල්ගේ වචනය විශ්වාස කළේය.

එක් අවස්ථාවකදී ආහබ් රජගේ රථයටත් වඩා වේගයෙන් එලියා දිවයන ලදි.

1 රාජාවලිය 18:45-46
[45] ඉක්බිති මද වේලාවකින් අහස වලාකුල්වලින්ද සුළඟින්ද අඳුරුවුණේය, මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය. [46] ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.

ආහබ් රජගේ රථයටත් වඩා වේගයෙන් එලියා දිවගියේ දෙවියන්වහන්සේගේ හස්තය ඔහු මත තිබූ නිසාවෙනි.

ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා මත තිබු නිසා මේ කාන්තාවට කිසිවක් කළ නොහැකියයි සිතා එලියා ඇයට භයනොවී ඉන්නට තිබුණි. නමුත් එලියා එලෙසින් නොසිතුවේය.

ඔබට එලියාටත් වඩා ඇදහිල්ලක් ඇත.

යක්ෂයා ඔබට මනුෂ්‍යයා තුළින් කථා කරනු ඇත. එමනිසා යමක් ඇසූ පමණින් සියල්ල අතහැර පලා නොයන්න.

යක්ෂයාගේ හඬ පැමිණියේ යෙසෙබෙල් නම් කාන්තාව තුළිනි.

තර්ජනයට භයෙන් තීරණ නොගන්න.

ඇදිල්ලෙන්, ප‍්‍රේමෙන්, සමාදානයෙන්, දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඔබගේ තීරණ ගත යුතුය.

යක්ෂයාගේ හඬ විවිධාකාරව පැමිණේ. ඔබ වචනය කියවන විටද යක්ෂයා එය සොරකම් කිරීමට බලා සිටියි. එමනිසා වචනය තුළ දිනපතා වර්ධනය වන්න.

වචනය තුළ ශක්තිය, හැකියාව, පුළුවන්කම, බලය මෙන්ම හාස්කම් කිරීමේ හැකියාවද ඇත.

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේගේ ඉක්මයාමෙන් පසු ඉතිරිවන්නේ වචනය පමණක් බවය. උන්වහන්සේගේ වචන ආත්මිකයි, ජීවනයයි. (යොහන් 6:63)

ඔබ විශ්වාස කල යුත්තේ යෙසෙබෙල්ගේ වචන නොව, දෙවියන්වහන්සේගේ වචනය.

යෙසෙබෙල්ගේ වචන කාන්තාවක්, පුරුෂයෙක් කිසියම් හෝ කෙනෙක් තුළින් තර්ජන වචන ලෙසින් පැමිණිය හැකිය. ඒවා ඉදිරියේ ඔබ ගැස්සෙන තීරණ නොගන්න.

ප‍්‍රථම කොට ඒ වචන දෙවියන්වහන්ගෙන්දැයි කියා සෝදිසි කර බැලිය යුතුය.

1 යොහන් 4:1
[1] ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.

වැරදි තීරණ වලින් ඔබගේ ප‍්‍රීතිය නැති කර නොගන්න.

දෙවියන්වහන්සේ ළංකර තිබෙන ආශීර්වාදයෙන් දුරස්ව නොයන්න. ඔබගේ මාවත වෙනස්කර නොගන්න.

හැම ආත්මයක්ම විශ්වාස නොකරන්න. එලියා එක අනාගතවක්තෘ කෙනෙකුව සිටින කල ඔහුට විරුද්ධව බොරු අනාගතවක්තෘන් 850ක් පැමිණෙන ලදි.

සෙනඟ මුළාව ගියේ බොහෝ දෙනෙක් එක්ව කියූ වචන වලට ඇහුම්කන් දීමෙනි.

ඔබට යමක් සිදුවේ යන භයෙන් තීරණ නොගන්න.

ඔබගේ තීරණ භය නොවී ඇදහිල්ලෙන් ගත යුතුය. ඇදහිල්ලක් නොමැතිව ගන්නා තීරණ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නොවෙන්නට පුළුවන.

යේසුස්වහන්සේ බොහෝවර ගෝලයන්ට භය නොවන්නැයි තරවටු කරන ලදි.

මද ඇදහිල්ල ඇතිව නොසිටින්න. නොහැදිලිකාරකමේ වචන, තමාම බිය ගන්වන වචන තමාටම නොපවසන්න.

යෝබ් පැවසුවේ ඔහු භයවුන දේ ඔහුට සිදුවූ බවයි.

යෝබ් 3:25
[25] මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

භය යනු ඔබගේ මනසට ඇසෙන හඬවල්ය. ඔබ දුප්පත් වෙන්නට යන බව, රෝග වෙන්නට යන බව යනාදී දේ. ඔබට මෙම හඬවල් ඇසෙන විට ඔබ ඒවා විශ්වාස කරනු ඇත.

යෝබ් 3:26
[26] මට පහසුවක් නැත, මට නිශ්චලතාවක් නැත, නිවාඩුවක් නැත; එහෙත් දුක පැමිණේයයි කීවේය.

පසුව ඔබ බිය වචන කථා කරනු ඇත. මට සියල්ල නැතිවී යනු ඇත, සියල්ලන්ම මා අතහැර යයි යනාදි වශයෙන්......

ඔබ මේවාට බිය නොවී යේසුස්වහන්සේගේ නාමයෙන් නැඟිට බිය දුරුවී යන ලෙස අණ කර සිටින්න.

වචන කථා කළ යුත්තේ පළමු කොට ඔබ නිර්භීතව සිටීමටය.

භයවන අවස්ථාවන්හීදී ඇදහිල්ලේ වචනද දෙවියන්වහන්සේගේ පොරොන්දු වචනද කථා කරන්න.

සමහර පාරවල ඇත්තේ මරණීය අවසානයක්ය.

දෙවියන්වහන්සේ මෝසෙස් තුළින් මඟ පෙන්වමින් ඉශ‍්‍රායෙල් සෙනඟව මිසරයෙන් ගෙන එන ලදි.

මේ සෙනඟට කිසිදු ඇදහිල්ලේ හඬක් නොතිබුණි. ඔවුන්ට තිබුණේ භයානක හඬක්ය.

නික්මයාම 14:9
[9] මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය.

මෝසෙස් මේ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනෙමින් සිටියදී ඵාරාවෝගේ සේනාව නැවත ඔවුන් ලුහුබඳිමින් එන ලදි.

ඉශ‍්‍රායෙල්වරු හැරී ඇස් ඔසවා බැලු විට මිසර සේනාව ඔවුන් ලුහුබඳිනවා දැක අතීශයෙන් භයවෙන ලදි.

නික්මයාම 14:10
[10] ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.

ඔබ ඇස් ඔසවා බලන විට ඔබ දැකිය යුත්තේ දෙවියන්වහන්සේවය.

නමුත් ඉශ‍්‍රායෙල්වරු ඇස් ඔසවා බැලු විට ඔවුන් දුටුවේ ඵාරාවෝය.

අපගේ ඇස් නිතරම තිබෙන්නේ හැඟීමට සම්බන්ධ දේ වලටද?
ඔවුන්ට ඇසුණේ යක්ෂයාගේ හඬය.

ඔවුන්ට ඒ හඬට බිය නොවන්නට තිබුණි. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ එඬේරා හෙයින් ඔවුන්ට කිසිවක් සිදුනොවන බව අදහන්නට තිබුණි.

භය පැමිණි විට ඔවුන් වචන කථාකරන්නට පටන් ගත්හ.

නික්මයාම 14:11
[11] ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද?

බිය නිතරම කථා කරන්නේ බියට අදාල වචනය. බිය ප‍්‍රචාරය කරන්නට නොයන්න.

දෙවියන්වහන්සේ ඔබව තෝරා ඇත්තේ ඇදහිල්ලෙන් ගමන් කරන්නටය. බිය වචන වලට ඇහුම්කන් නොදෙන්න.

නික්මයාම 14:12
[12] මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය.

බිය වචන ඇසෙන විට එයට එරෙහිව මහත් ධෛර්යයෙන් කථා කරන්න.

දෙවියන්වහන්සේගේ උපකාරය නිතරම ඔබට තිබෙන බව විශ්වාස කළ යුතුය.

හෙබ්‍රෙව් 13:6
[6] මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

යක්ෂයා පවසන දේ නොව ඔබගේ සිතින් විශ්වාස කරන දේ හා ඔබ ප‍්‍රකාශ කරන දේ සිදුවන බව පවසන්න.

යක්ෂයාට ජීවනයක් නොමැත. ඔහුට දිය හැක්කේ මරණය පමණි.

බිය පැමිණි විට ඇදහිල්ල අත් නොහරින්න.

හෙබ්‍රෙව් 10:35
[35] එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.

ඔබට විපාක තිබෙන්නේ බියෙන් සිටීමෙන් නොව, මහත් ධෛර්යයෙන් සිටීමෙන්ය.

ඔබගේ නිසැකකම පහකර නොගන්න. බිය නාලිකාව ප‍්‍රතික්ෂේප කරමින් ඇදහිල්ලේ නාලිකාවට ඇහුම්කන් දෙමු.

ඔබට අවශ්‍ය වන්නේ ඉවසීමයි. ඉවසීම යන වචනයේ අර්ථය නම්, නොකඩවා ඔබ කරගෙන යන දෙය කරගෙන යාමය.

හෙබ්‍රෙව් 10:36

[36] මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.

මාර්තා මෙන් කිසිවෙකට කලබල නොවෙමු. ස්වාමීන්වහන්සේ යමක් කරන තුරු ප‍්‍රශංසාවෙන් නමස්කාරයෙන් සිටිමු.

මරියා සිටියේ නිශ්චල ස්ථානයකය. ඇය යේසුස්වහන්සේගේ පාමුල වාඩිවී වචනය අසමින් සිටින ලදි. (ලූක් 10:39)

බිය පැමිණෙන කල, දේව වචනයට ඇහුම්කන් දෙන්න.

පොරොන්දුව ඔබගේ ජීවිතයට ලැබෙන තුරු ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ.

අන් අයට දොස් නොකියමින් ඔබගේ කොටස ඔබ කරගෙන යායුතුය.

කලබල වීම ඔබගේ ජීවිතයෙන් ඉවත් කරන්න. සියලු කරදර ස්වාමීන්වහන්සේ වෙත තබන්න.

දෙවියන්වහන්සේ මඟ පෙන්වන දේට පමණක් ඉදිරිපත්වී උන්වහන්සේගේ හඬට කීකරුව ගමන් කළ යුතුවේ.

යක්ෂයා පවසන දෙයින් වියවුල ඇතිවේ.

දෙවියන්වහන්සේ වියවුල්කමේ දෙවියන්වහන්සේ නොවේය.

1 කොරින්ති 14:33
[33] මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

අප නමස්කාර කරන්නේ සමාදානයේ දෙවියන්වහන්සේටය.

ගීතාවලිය 27:1
[1] ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?

ස්වාමීන්වහන්සේ අපගේ ආලෝකයත් ගැළවීමත්ය මෙයින් අප කිසිවෙකුට භය නොවිය යුතුය.

මනුෂ්‍යයාට භයවීම මලපතක්ය.

හිතෝපදේශ 29:25
[25] මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.

බියෙන්, කැළබිල්ලෙන් ජීවත්වන්නේද? නැතහොත් ඇදහිල්ලෙන් සිටිමින් දෙවියන්වහන්සේගේ සුරක්ෂිකභාවයෙහි සිටින්නේද යන්න අපගේ තීරණයක්ය.

ගීතාවලිය 27:1
[1] ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?

අපට ගැළවීම දුන්නේ, ආලෝකය දුන්නේ ස්වාමීන්වහන්සේය. අප කිසිවෙකුට භය නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ගමන් කරමු.

ගීතාවලිය 27:2
[2] නපුරුකම්කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංසය කන පිණිස මට විරුද්ධව ආ කල පැකිල වැටුණෝය.

ඔබ නිර්භීතව සිටින කල ඔබට විරුද්ධව පැමිණි කෙනාම පැකිල වැටෙනු ඇත.

නික්මයාම 14:12
[12] මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය.

ඔබ කලකිරීමට පත්වූ විට, බියට පත්වූ විට පවසන්නේ යක්ෂයාගේ වහල්ව සිටීම හොඳ බවය.

ඉශ‍්‍රායෙල් සෙනඟ මෝසෙස්ට පැවසුවේ මෙවැනි වදන්ය.

ඇදහිල්ලෙන් සිටි මෝසෙස් ඔවුන්ට පැවසුවේ බිය නොවන ලෙසය.

නික්මයාම 14:13
[13] මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.

ඔවුන්ගේ සතුරන් නැවත ඔවුන් නොදකින්න යන බවත්, ස්වාමීන්වහන්සේ සෙනඟ උදෙසා සටන් කරන බවත්, සමාදානයෙන් සිටින ලෙසත් මෝසෙස් සෙනඟට පවසයි.

නික්මයාම 14:14
[14] ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව (සමාදානයෙන්) සිටිය යුතුයයි සෙනඟට කීවේය.

මෝසෙස් සෙනඟට ඇදහිල්ලේ වචන කථා කර, ස්වාමීන්වහන්සේ වෙතට ගොස් උන්වහන්සේට මොරගසයි.

සමහර විට අප අන් අයට ඇදහිල්ලේ වචන කථා කරත්, අප තුළ බිය තබා ගෙන සිටී.

නික්මයාම 14:15-16
[15] ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ කුමක්හෙයින් මට මොරගසන්නෙහිද? ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්ට කියන්න. [16] නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.

දෙවියන්වහන්සේ බිය යන දේ නැති කරන ලදි.

දෙවියන්වහන්සේ මෝසෙස්ට තරවටු කොට පැවසුවේ ඔහුට යමක් කරන ලෙසයි. එනම් සෙනඟ ඇදහිල්ලෙන් ඉදිරියට යන්නැයි පැවසීමය.

ඔවුන්ගේ පසුපසින් සතුරු හමුදාවය. ඉදිරියෙන් රතු මුහුදය. ඉදිරියේ ඇත්තේ මරණීය අවසානයක්ය. නමුත් දෙවියන්වහන්සේ පැවසුවේ ඉදිරියට යන්න කියාය.

දෙවියන්වහන්සේ පැවසුවේ ආධිපත්‍යය පාවිච්චි කරන්න කියාය. මුහුද දෙබෑවීමට කථා කරන ලෙසය.

ඔබගේ රෝගය ගැන නොව, රෝගයට කථා කළ යුතුය. ප‍්‍රශ්නය ගැන නොව ප‍්‍රශ්නයට කථා කළ යුතුය.

ඔබගේ බාධාවට කථා කරමින් පවසන්න; යේසුස්වහන්සේගේ නාමයෙන් මටත් මගේ මුලු පවුලටත් යන පිණිස පාර කපා දෙන ලෙසට එවිට ඔබට කිසිදා කිසි අනතුරක් වන්නේ නැත.

ඔබගේ පාර කපා ගත යුත්තේ ඔබගේ වචන වලින්මය.

බිය නිසා වැරදි තීරණ ගෙන ඇත්නම් එයින් පසුතැවිලිව දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් ඉදිරියට ගමන් කළ යුතුවේ.

දෙවියන්වහන්සේගේ හඬ හා ඵාරාවෝගේ හඬ අතර විශාල වෙනසක් ඇත.

ඵාරාවෝගේ බිය හඬ තුළින් ඔබව විනාශ කරයි. නමුත් දෙවියන්වහන්සේගේ හඬ අසා ඔබ ඉදිරියට ගමන් කළහොත් දෙවියන්වහන්සේ ඔබට පොරොන්දු උරුමකර ගැනීමට පාර කපා දෙනු ඇත.

බියෙන් නැඟිට ඇදහිල්ලෙන් ඉදිරියට යමු.


Watch the Sermon Video

Read 82 times