+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ කරන සියල්ල ගැන ප්‍රීතිවන්න - යෝෂා මනූ
October 27, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ තුළ අපි එක ශරීරයක්, එක පවුලක් බවට පත් වී සිටිමු. එමනිසා අපට තිබෙන්නේ එකිනෙක්කෙනාව ශක්තිමත් කිරීමය.

අපගේ ජීවිතය දෙවියන්වහන්සේට භාරදුන් දවස පටන් උන්වහන්සේ අපව ඇදහිල්ලෙන් පෝෂණය කරමින් සිටියි.

සියල්ලට වැඩියෙන් අපගේ සිත ආරක්ෂා කරගත යුතු බව බයිබලය පවසයි. (හිතෝපදේශ 4:23)

අප ගැළවීම ලැබූ විට දෙවියන්වහන්සේ අපට නව ආරම්භයක් දෙයි. එදා පටන් අපගේ මනස, ප‍්‍රාණය දිනපතා අප අලුත් කර ගත යුතුය.

ආත්මයාණන්වහන්සේ තුළ යේසුස්වහන්සේ වැඩවාසය කරයි. නමුත් අපගේ මනස අප දිනපතා දේව වචනයෙන් අලුත් කර ගෙන, උන්වහන්සේගේ සිතුවිලි අප ඇතුල් කර ගත යුතුය. එය ඉතාම වැදගත් වන්නේය.

අප නව මැවිල්ලක් වුවත් අපගේ මනස, සිතුවිලි අදහස් ආරක්ෂා කර නොගතහොත්, වෙනස් නොකරහොත් යක්ෂයාගේ ප‍්‍රහාරයන්ට ලක්ව ලෝකයේ දේ නැවත කරමින් අප පරාජිතයන් බවට පත්වේ.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප යහපත් ජීවිතයක් ගත කිරීම පමණක් නොව, ජයග‍්‍රාහී ජීවිතයක්ද ගත කිරීමය.

අපි ජයග‍්‍රාහික ලෙස ජීවත්වීමට පුරුදු වෙමු.

හිතෝපදේශ 4:23
සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

මෙය අප කළ යුතු දෙයකි. සිත යනු මනසය. අපගේ ආත්මය තුළ පියාණන්, පුත‍්‍රයාණන්, ශුද්ධාත්මයාණන් යන මුළු දේවත්වයම වාසය කරයි. නමුත් මනස අප අලුත් කර ගත යුතුය.

අප මේ ලෝකයේ ආකාරයට සමාන නොවී අපගේ මනස අප අලුත් කර ගත යුතුය. (රෝම 12:1-2)

දෙවියන්වහන්සේ ඔබව ලෝකයාගෙන් තෝරා ගෙන ඇත.

“එක්ලීසියා” යන ග‍්‍රීක භාෂාවේ වචනයෙන් අර්ථවත් වන්නේ සභාවයි.
එනම් දෙවියන්වහන්සේ ලෝකයාගෙන් තෝරාගත් සෙනඟ බවයි.

එමනිසා අප ලෝකයා මෙන් විය යුතු නැත. අප යේසුස්වහන්සේ මෙන් අපගේ ජීවිත ගත කළ යුතුය.

දෙවියන්වහන්සේ අපට අපගේ මනස ආරක්ෂා කරගන්නා ලෙස පවසන්නේ එයින් ජීවනය නික්මෙන නිසාය.

මරණයත් ජීවනයත් තිබෙන්නේ ඔබගේ දිවෙහිය. (හිතෝපදේශ 18:21)

අප ජීවනයේ වචන කථා කළ යුතුය.

අශුද්ධ වචන, ලෝකාකාර වචන අපි අපගේ ව්‍යවාහාරයෙන් ඉවත් කරමු.

ජීවන වචන කථා කරන්නට ගත් කල, අපගේ අලුත් ජීවිතය භුක්තිවිඳින්නට හැකිය. එය ඔබගේ ජීවිතයට රසවත් වනු ඇත.

එසේ රසවත් වීමට නම් අප ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දීමෙන් උන්වහන්සේගේ වචනය සමඟ කාලය ගත කළ යුතුය.

හිතෝපදේශ 18:20
මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න.

බයිබල් පද තිබිය යුත්තේ ඔබගේ සිත තුළය. එවිට සෑම අවස්ථාවකදීම ඔබ වචනය සමඟ ජීවත්වනු ඇත.

හිතෝපදේශ 18:21-22
21 ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න. 22 මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.

දෙවියන්වහන්සේගේ වචනය අපගේ මුළු ශරීරයටම සුවය ගෙන දේ. අද පවා දෙවියන්වහන්සේ අපව සුව කරන තැනැන්වහන්සේය.

ප‍්‍රීතිය ඉතාම යහපත් දෙයකි. මනුෂ්‍යයා මුලින්ම දකින්නේ ඔබගේ මුහුණේ ප‍්‍රීතියයි. ඔබගේ අභ්‍යන්තරයේ ප‍්‍රීතිය තිබේනම්, මනුෂ්‍යයා ඔබගේ මුහුණේ සිනහව දකිනු ඇත. මුළු වෙලාවෙම ඔබ සිනහවෙන්, ප‍්‍රීතියෙන් ඉන්න කල යක්ෂයාට ඔබට ප‍්‍රහාර එල්ල කිරීමට නොහැකිය.

ඔබ බියට පත් නොවී, ඔබ තුළ ඇති දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය ඔබව ආරක්ෂා කරගෙන ඔබගේ ගමන ගෙනයයි. දෙවියන්වහන්සේ අපට දී තිබෙන ප‍්‍රීතිය නිසා උන්වහන්සේට අපි ස්තූති කරමු. අපි අතගසන සියල්ලට ප‍්‍රීතිමත්වෙමු. අපි කරන සියල්ල නොකොඳුරමින්, මැසිවිලි නොකියා ප‍්‍රීතියෙන් කරමු.

ඔබ කරන හැමදෙයක්ම ප‍්‍රීතියෙන් කරන කල, නිසැකවම ආශීර්වාද ලබනු ඇත.

ද්වීතීය කථාව 12:7
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.

ඔබගේ නිවස තුළ ප‍්‍රීතිය රැක ගත් කල, ඔබට පිටතට වෙස් මුහුණක් පෙන්විය යුතු නැත.

ද්වීතීය කථාව 12:18
නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ දාසයාද නුඹේ දාසීද නුඹේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

ස්වාමීන්වහන්සේ ඉදිරියේ ඔබ කරන දේ තුළ ඔබ ප‍්‍රීතිවන්න.

දෙවියන්වහන්සේ ඔබට දී ඇති ඔබගේ පවුල, දූ දරුවන්, යාළු හිත මිත‍්‍රයන් උදෙසා උන්වහන්සේට ප‍්‍රීතියෙන් ස්තූතිවන්ත වන්න.

ඔබ නිවස ඇතුළට යන විට ස්තූති කළ යුතුය. දෙවියන්වහන්සේ ඔබට දී ඇති නිවස නිසා ස්තූතිවන්ත වන්න.

දෙවියන්වහන්සේට සමහරුන්ට වැඩියමක් දීමට නොහැකි වන්නේ ඔවුන් තුළ ඇති කොඳුරන ස්භාවය නිසාය.

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශයට ගෙන යාමට මිසරයෙන් ගෙන ආවත් අවුරුදු 40ක් යන තුරුත් ඔවුන්ගේ ජීවිත වෙනස් නොවුනි.

ඔවුන්ට නියමිත වේලාවට දෙයක් නොලැබූ විට ඔවුන් කොඳුරන්නට පටන් ගන්නා ලදි. එපමණක් නොව, ඔවුන් මෝසෙස්ට විරුද්ධවත්, දෙවියන්වහන්සේට විරුද්ධවත් කථා කරන ලදි.

ඔවුන් එක්වරක් දෙවරක් නොව වසර 40ක් පුරා මෙලෙස කරන ලදි.

දේව වචනය අප මුළු වේලාවේම කියවන්නේ නැත, මෙනෙහිකරන්නේ නැත. නමුත් අප ඉගෙන ගත් දේ ක‍්‍රියාවට දමන්නේ ඉතිරි වේලාවේදීය.

ඔබ නිවසේ සිටියත්, පිටතට ගියත් ප‍්‍රීතියෙන් සිටිය යුතුය. ප‍්‍රීතිය උදුරා ගැනීමට සතුරෙක් සිටී. ඒ යක්ෂයාය. ඔහු ඔබගේ ප‍්‍රීතිය උදුරා ගැනීමට ඔබ නොසිතන දේ සිදු කරයි.

ඔබගේ නිවසේ යම් භාන්ඩ අක‍්‍රිය වීමෙන්, දරුවන්ගේ යම් ක‍්‍රියාවන් තුළින් හෝ ඔබ බලාපොරොත්තුවූ දෙයක් නොලැබීමෙන් වැනි දේ වලින් ඔබට කෝපය ඇතිවීමට පුළුවන. මෙවැනි අවස්ථාවලදී යක්ෂයා අපගේ ප‍්‍රීතිය සොරකම් කිරීමට තැත් කරයි. ඔබගේ ප‍්‍රීතිය සොරකම් කිරීමට යක්ෂයා ගෙන එන්නේ ඔබට විරුද්ධ වන වාතාවරණයන්ය. නමුත් ඔබ සියල්ලටම ස්වාමීන්වහන්සේ තුළ ප‍්‍රීතිවන්නට පටන් ගත් කල, උන්වහන්සේ ඔබට ශක්තිය දෙනු ඇත.

ද්වීතීය කථාව 30:9
[9] එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වල සියලු වැඩවල (වැඩකටයුතු) ඵලයද නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලය ද යහපත පිණිස (බහුල ව සඵලවත් කරන සේක.) නුඹට වැඩිකර (වර්ධනය) දෙනසේක. උන්වහන්සේ ඔබේ පියවරුන් ගැන ප්‍රීති ප්‍රමෝද වූවාක් මෙන් ම ඔබට සෙත සලසන පිණිස ඔබ ගැන ද නැවත ප්‍රීති ප්‍රමෝද වන සේක.

ඔබ කරන සෑම කටයුත්තක්ම නිසියාකාරව දෙවියන්වහන්සේට මෙන් කරන කල දෙවියන්වහන්සේ ඔබ ගැන ප‍්‍රීතිවන්නේය. ඔබ කරන සෑම දෙයකදීම දෙවියන්වහන්සේ මුල් කරගෙන ප‍්‍රීතියෙන් ඒ සියලු කටයුතු සිදු කිරීමට සිතට ගන්න. සෑම මොහොතකදීම අප දෙවියන්වහන්සේගේ වචනය මුල් කර ගනිමු.

ද්වීතීය කථාව 28:12
[12] ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය.

සෑම මෙහොතකම ප‍්‍රීතියෙන් කාලය ගත කරන විට ඔබ දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලබනු ඇත.

සෙකරියා 4:10
[10] මක්නිසාද කුඩා දේවල දවස (පටන්ගැන්ම/ආරම්භය) හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය (මුල් ගල ඇති බව) තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.

අප සියල්ල ආරම්භ කරන්නේ කුඩාවටය. එහෙත් එහි වර්ධනයක් නොමැතිවූ කල හෝ එය ප‍්‍රමාදවූ කල, අප අධෛර්යමත් නොවිය යුතුයි. මන්ද කුඩාවට ආරම්භවූ ඕනෑම දෙයකට වර්ධනය දීමට පුළුවන් වන්නේ දෙවියන්වහන්සේට පමණි.

එය ඉටුවන තුරු ඔබ නොකොඳුරා ප‍්‍රීතියෙන් සිටින්න. ඔබ කොඳුරන්නට ගතහොත් යක්ෂයා පැමිණ ඔබගේ ප‍්‍රීතිය සොරකම් කරනු ඇත.

යක්ෂයාට අවශ්‍ය වන්නේ ඔබගේ ජීවිතය ඉදිරියටත්, පසුපසටත් යන්ට නොදී එක්තැන් කිරීමටය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප ඉදිරියට යාමය. වර්ධනයවීමය, සඵලවීමය, දියුණුවීමය.

යමක් ප‍්‍රමාදවූවා කියා ඔබ කලනොකිරෙන්න. කලකිරීම ඔබව අධෛර්යමත්භාවයට පත් කරයි. එවිට ඔබ කිසි එල්ලයක් නොමැතිව ජීවත් වන්නේය.

ඔබට කුඩාවට දෙයක් ආරම්භ කළ හැකිය. නමුත් වර්ධනය දෙන්නේ ස්වාමීන්වහන්සේය. ඔබ කුඩාවට කරන දේ සුළු නොකරන්න.

මනුෂ්‍යයන් කියන දේට නොපැකිලෙන්න. ඔබගේ ජීවිතයේ ඉලක්ක කළ යුත්තේ මනුෂ්‍යයන් නොව, ඔබයි.

ඔබව ධෛර්යමත් කරන්න කිසිවෙක් නැති වූවත් ඔබ ඔබවම ධෛර්යමත් කර ගන්න. දාවිත් රජුගේ සෑම දෙයක්ම පැහැර ගෙන ඔහු අධෛර්යයව සිටි මොහොතේ ඔහුගේ සෙනඟ පවා ඔහුට විරුධව නැඟිටින ලදි. නමුත් දාවිත් ස්වාමීන්වහන්සේ තුළින් ශක්තිය උපදවාගන්නා ලදි. (1 සාමුවෙල් 30:1-6)

දාවිත් ස්වාමීන්වහන්සේගෙන් ශක්තිය ලබා සතුරන් ලුහුබැඳගොස් ඔහු සතු සියල්ල නැවත සතුරාගෙන් ලබා ගන්නා ලදි. (1 සාමුවෙල් 30:7-8, 18-19)

ඔබගේ ජීවිතයේ සතුරා සොරකම් කළාවූ දේ ගැන අධෛර්යමත් නොවන්න. කලනොකිරෙන්න.

ඔබගේ දෑතින් කරන දේට ස්වාමීන්වහන්සේ ආශීර්වාද කළ නිසා නැවත නැවත වාරයක් ප‍්‍රීතියෙන් එය ගොඩනඟන්න.

යෙසායා 66:13-14
[13] මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත. [14] නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.

දෙවියන්වහන්සේ ඔබ සනසන විට ඔබ තෘප්තිමත් වනු ඇත. ප‍්‍රීතිමත් වනු ඇත.

ඔබගේ ජීවිතයේ යම් සිත්වේදනාවක්, පැකිලීමට ලක්වෙන කාරණයක් තිබේනම් දෙවියන්වහන්සේ ඔබව සනසනු ඇත. ඔබ එම තත්වයෙන් එළියට එන්නට තීරණයක් ගන්න.

ඔබගේ ප‍්‍රීතිය කිසිවෙකුට උදුරාගන්නට ඉඩ නොදෙන්න.

 

Watch the Sermon Video

Read 111 times