+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පරීක්ෂාවන් පරාජය කරන පිණිස දේව වචනය දැන ගන්න - මනූ මැතානි
October 27, 2024 Sunday Sermon Notes

 

 දෙවියන්වහන්සේගේ වචනය කවදාවත් කාරණාව ඉෂ්ට නොකර ආපසු හැරී නොඑයි.

දෙවියන්වහන්සේගේ වචනය ක‍්‍රියාවට දමන්න, ඔබ විශ්වාස කරන්නේ නම් ආශීර්වාදය තිබෙන්නේ එම ක‍්‍රියාව තුළය.

වචනය තේරුම් ගෙන පමණක් මදිය, එය ක‍්‍රියාවට නැංවිය යුතුය. (යාකොබ් 1:25)

දෙවියන්වහන්සේගේ මාර්ග මනුෂ්‍යයාගේ මාර්ග නොවේ. දෙවියන්වහන්සේගේ සිතුවිලි මනුෂ්‍යයාගේ සිතුවිලි නොවේය. උන්වහන්සේගේ මාර්ග, සිතුවිලි, සැලසුම් අපට වඩා වෙනස්ය.

යාකොබ් 1:25
නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමමෙහිදී ආශීර්වාද ලබන්නේය.

ආශීර්වාදය ලබන්නේ දේව වචනය ක‍්‍රියාවට නැංවීමෙනි. වචනය අසන්නන් පමණක් වීමෙන් රැවටිලිකාරකමට අසුවේ.

යාකොබ් 1:22
[22] නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

දෙවියන්වහන්සේ ඔබට යමක් කරන්නයි කියන්නේ නම්, ඔබ එය නොකර සිටීනම් ඔබ රැවටී සිටින්නෙහිය.

ස්වාමීන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපගේ මිදුම්කරුන්, අපගේ මඟපෙන්වන්නාය, අපට උපදෙස් දෙන්නාවු, ප‍්‍රේමකරන්නාවු තැනැන්වහන්සේය. අපව මව්කුස පටන් වෙන්කර අපව පත්කර තිබෙන තැනැන්වහන්සේය.

අප මව් කුසට එන්නටත් පෙර උන්වහන්සේ මේ පොළොවේ අත්තිවාරම් දමන්නටත් පෙර, උන්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපව තෝරා ගත්සේක.

ඔබ ගැළවීම ලැබුවේ අහම්බයෙන් නොවේ. ඔබ සුභාරංචි වචනයට ප‍්‍රතිචාර දක්වන ආකාරය උන්වහන්සේ දැන සිටින ලදි.

ඔබගේ ගැළවීම අහම්බයෙන් යැයි කිසිදා නොසිතන්න. ඒ ගැන කිසිදා කලකිරීමට පත් නොවන්න. මන්ද උන්වහන්සේ ඔබව තෝරාගෙන ඇත. එමනිසා ඔබගේ ගැළවීම කිසිදා සුළු නොකරන්න.

එපීස 1:3-4
[3] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස, [4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපව තෝරා ගනු ලැබුවේ අපව මැවීමටත් පෙරය. ඔබ පාවෙන කිතුනු ජීවිතයක් ගත නොකර, ඔබගේ කැඳවීම, තෝරාගැනීම තේරුම් ගන්න.

එපීස 1:5-6
[5] උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා,
[6] තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.

දෙවියන්වහන්සේ ඔබව පෙර නියම කර, ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ගැළවීම ලබන බව දැන සිටියේය.

තවත් කෙනෙක්ව ගළවන්නට, නිදහස් කරන්නට, සුභාරංචියේ ප‍්‍රීතිය විදහා පෙන්වීමට පෙර දෙවියන්වහන්සේගේ වචනය කියවමින්, මෙනෙහිකරමින් ඔබව ගොඩනගා ගනිමින් ඔබගේ ගැළවීම ගැන ඔබ ස්ථීර විය යුතුය.

ඔබගේ ගැළවීම ගැන ඔබට විශ්වාසයක් තිබේද? මරණයෙන් පසු කෙනෙක් ස්වර්ගයට හෝ අපායට යන්නේය.

යේසුස්වහන්සේව ඔබගේ ස්වාමීන් ලෙස පිළිගත් නිසා ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට පොරොන්දු වී තිබෙන්නේ සදාකාල ජීවනයයි.

ඔබ මේ පොළොවෙන් ඉවත්ව යන කල ඔබ සදාකාල නිරයේ හෝ සදාකාල ස්වර්ගයේ සිටිනු ඇත. දෙවියන්වහන්සේගේ පොරොන්දුව අපට සදාකාල ජීවනයයි.

පාපයේ කුලිය මරණයයි. යේසුස්වහන්සේ පිළිගත් පසු, වචනය කියවීමෙන් අපගේ ආශාවන්, අදහස් වෙනස්වන්නට පටන් ගන්නේය.

උතුම්ම වටිනා දේ උන්වහන්සේගේ අනර්ඝ ලේ බව අප තේරුම් ගත යුතුයි.

රන් රිදී වලටත් වඩා යේසුස්වහන්සේගේ ලේ අනර්ඝය. උන්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේ අපව මිලදී ගෙන ඇත. කෙනෙකුට තමාගේ ධනයෙන් තව කෙනෙක්ව ගැළවීමට ගෙන ආ නොහැකිය.

ගැළවීම අනර්ඝය. දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් මිස ඔබගේ දේවල් වලින් ගැළවීම ලැබිය නොහැකිය.

ගීතාවලිය 49:8
[8] ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ.

කිසිවෙකුට කෙනෙකු උදෙසා මිදීමේ මිලයක් ගෙවිය නොහැකිය. මිදීමේ මිලය ගෙව්වාවූ එකම තැනැන්වහන්සේ යේසුස්වහන්සේය.

ගීතාවලිය 49:9
[9] ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.

ආත්ම මිදීම අගනා දෙයක් බැවින් අපට ඒ මිදීම ගෙන දුන්නේ යේසුස්වහන්සේගේ ලේ වලින් පමණයි.

1 පේතෘස් 1:17
[17] තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤාකරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න.

දෙවියන්වහන්සේ තරාතිරම් බලන්නාවු දෙවිකෙනෙක් නොවේය. උන්වහන්සේ අපව ගැළවූයේ කිසිම තරාතිරමක් නොබලාය.

ඔබ මේ පොළොවේ ජීවත්වන කාලය තුළ දෙවියන්වහන්සේට ගරුබියෙන්, භක්තිවන්තකමෙන් ජීවත්වන්න.

දෙවියන්වහන්සේට උසස්තම ගෞරවය, මහිමය දෙමින් උන්වහන්සේගේ වචනය පිළිගනිමින් උන්වහන්සේගේ වචනය අනුව ගමන් කරමු.

1 පේතෘස් 1:18-19

[18] මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව, [19] කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.

අප ගැළවීම ලැබුවේ අපගේ හොඳ නරක අනුව නොවේය. හොඳ, නරක යහපත හා නපුරය සියල්ලන්ම කරනු ලබයි. ඒදන් උයනේදී ගස් දෙකක් තිබුණි. ජීවන වෘක්ෂය හා යහපත හා නපුර දැනගැනීමේ ගස.

ඒව තෝරා ගත්තේ යහපත හා නපුර දැනගැනීමේ ගසය. ඇය එම ගස තෝරාගෙන කෑ හෙයින් මුළු මිනීස් සංහතියටම ශාපය ඇතිවුණි.

අදත් අප ඉදිරියේ මෙම ගස් දෙක තිබේ. මනුෂ්‍යයන් පවසන්නේ ඔවුන් හොඳ නරක කරන බවය. යහපත හා නපුර දැනගැනීමේ ගස අප සම්පූර්ණයෙන්ම එපා කොට ජීවන වෘක්ෂයෙන් ඵල කන්නේ නම් අපට හිමිවන්නේ සදාකාල ජීවනයයි.

අපට සදාකාල ජීවනය ලැබෙනුයේ යේසුස්වහන්සේ පිළිගැනීමෙනි.

එදින පටන් අපට යේසුස්වහන්සේගේ වචන තෝරාගෙන, මෙනෙහි කර, ඒවා වටහාගෙන මේ යහපත් ගමන ගමන් කරන්නට පුළුවන.

සමහර විට යේසුස්වහන්සේව පිළිගෙනත් උන්වහන්සේගේ දේවල් තේරුම් ගන්නට කාලයක් යයි. එයට හේතුවද ප‍්‍රමාදය තිබෙන්නේ අප තුළය. අප දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි නොකර වෙනත් දේ කෙරෙහි සිත යොමු කර, ඒවාට මුල් තැන දී සිටීමය.

යේසුස්වහන්සේ පිළිගත් පසු අප උන්වහන්සේගේ අමිශ‍්‍රවූ වචනයෙන් (අවංක වචනයෙන්) පෝෂණය ලබා ගත යුතුය.

1 පේතෘස් 2:1-3
[1] එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා, [2] ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, [3] ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.

යේසුස්වහන්සේ පිළිගත් පසු අප යම් දේ පහකළ යුතුයි, එපා කළ යුතුයි. ද්වේශ කළ යුතුයි. ඒවා සමඟ සම්බන්ධ නොවී සිටිය යුතුයි.

අපට ස්වභාවයන් දෙකක් නැත. යේසුස්වහන්සේ පිළිගත් පසු ඔබ බැටළුවෙක්ය. දෙවියන්වහන්සේ ඔබගේ එඬේරාය. ඔබ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයෙක්ය.

යේසුස්වහන්සේගේ අනර්ඝ පූජාව තුළින් උන්වහන්සේ අපව ගළවා, මුදවා, උන්වහන්සේගේ ලේ වලින් අපව සම්පූර්ණයෙන්ම සෝදා අලුත් මැවිල්ලක් කර ඇත.

ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් අලුත්වී ඇත. නමුත් ඔබගේ මනස ඔබ අලුත් කර ගැනීම වැදගත්. මනස අලුත් නොවුවහොත් නව මැවිල්ල ජීවත්වන්නේ පරණ මනුෂ්‍යයා ලෙසය.

ඔබ ස්වර්ගයට එන්නටත් පෙර මේ පොළොවේ ඔබට ස්වර්ගික ජීවිතයක් ගත කළ හැකි බව දෙවියන්වහන්සේ පවසයි.

පොළොවේ ඔබට ආශීර්වාද ගමනක් ගමන් කළ හැකිය. දේව කැමැත්ත එයයි.

දෙවියන්වහන්සේගේ වචනය තුළින් වර්ධනය වෙන්නට නම් පළමුකොට අප වචනය දැනගන්නට අව්‍යයයි.

වියවුල්තාවයෙන් ජීවත් නොවී, දේව සමාදානයෙන් ජීවත්වන්න. දෙවියන්වහන්සේ වියවුල්තාවයේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය.

අපගේ පරණ දේ වලින් ඈත්ව වචනයෙන් වර්ධනයවූවන් සමඟ මිත‍්‍රත්වය ගොඩනඟාගැනීම අගනේය. වර්ධනය වෙන්නට ඔබ තුළ ආශාවක් තිබිය යුතුය.

වර්ධනය වීම කල් නොදමන්න.

දේශකයන් දෙස බලමින් නොව, ඔබගේ වර්ධනය තනිව නිවසේ සිටම ආරම්භ කරන්න.

ඔබ නැවත ඉපදී සිටින්නේ දෙවියන්වහන්සේගේ වචනයේ බීජයෙන්ය. ඒ ජීවනයට වැඩෙන්නට ඉඩදෙමින් ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න.
ඔබ වර්ධනයවූ පසු ඔබට බියෙන් තොරව ජීවත්විය හැකිය.

වර්ධනයවූ අය කිසිදා යක්ෂයාගේ බොරුකාර දේ වලට අසුවන්නේ නැත.

ඔබට ලෙඩක් හැදුන නිසා භය නොවන්න. ඒ රෝගයට ඔබගේ ශරීරයෙන් දුරුවන්න කියා ඔබ අණ කරන්න.

සත්‍යය නම් සාතන් ඔබගේ මනසට කියන දේ නොව, දෙවියන්වහන්සේ පවසන දෙයයි.

යේසුස්වහන්සේ කුඩා අවධියේ පටන් දෙවියන්වහන්සේගේ වචනයෙන් වර්ධනය වෙමින් සිටියේය. (ලුක් 2:40,52)

යේසුස්වහන්සේ දේව පුත‍්‍රයා ලෙසින් මෙළොවට පැමිණියත් උන්වහන්සේටත් මනස අලුත් කර ගැනීමට තිබුණි.

වයස අවුරුදු 12 වන විට යේසුස්වහන්සේ දේව මාළිගාවේ ප‍්‍රඥාවන්තයන් සමඟ කථා කරමින් සිටින විට ඔවුන් යේසුස්වහන්සේගේ ප‍්‍රඥාව ගැන පුදුමවුණි. (ලුක් 2:47)

ද්වීතීය කථාව 7:15
[15] ස්වාමීන්වහන්සේ සියලු (ලෙඩ) රෝග නුඹ කෙරෙන් පහකොට, නුඹ දන්නාවූ මිසරයේ අරිෂ්ට (භයානක) රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා, නුඹට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.

දෙවියන්වහන්සේගේ පොරොන්දුව එම කිසිදු රෝගයක් හට නොගන්නා බවය. එම වචනය සත්‍යයක්. එය විශ්වාස කිරීමට ඔබ ආත්මිකව වර්ධනයවී සිටිය යුතුය.

පවතින වාතාවරණයන් හෝ මාධ්‍ය තුළින් පවසන දේ නොව, ඔබ හරි දේ විශ්වාස කරමින් පවතින්න.

දෙවියන්වහන්සේ අප තුළින් සියලු රෝග ඉවත් කරන බවට උන්වහන්සේගේ වචනයේ සඳහන් වී තිබේ. අපි එය විශ්වාස කරමු.

මිසරයේ මනුෂ්‍යයන් යනු ලෝකයේ මනුෂ්‍යයන්ය. යේසුස්වහන්සේව එපා කරමින් ඔවුන්ගේ හොඳ ක‍්‍රියාවලින් ජීවත්වන බව පවසන මනුෂ්‍යයන්ය. ඔවුන් බයිබලය විශ්වාස නොකරයි.

බයිබලය යනු දෙවියන්වහන්සේගේ වචනයයි. උන්වහන්සේ සියල්ල එහි සටහන් කර ඇත. නරක දේ වුවද සඳහන්ව ඇත. මන්ද අප නරක දේ කළහොත් අපටද එලෙස සිදුවන බව දැන ගැනීමටය.

ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ශුද්ධ මනුෂ්‍යයන් තුළින් ලියිවිලි ලබා දී ඇති මෙය ශුද්ධ බයිබලයයි.

අපගේ පහසුව සඳහා පරිච්ඡේද හා පද වෙන්කර දී ඇත්තේ අපගේ වර්ධනය උදෙසාය.

දෙවියන්වහන්සෙ පවසන්නේ ලෝකයා පිට පැමිණෙන රෝග උන්වහන්සේ අප පිටට නොතබන බවය.

ඔබගේ නෙත් යොමු කළ යුත්තේ රෝග ලක්ෂණ දෙස නොව, දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහිය. එම වචන විශ්වාස කළහොත් ඔබ සුවයෙන් ජීවත් වන්නේය. ඔබ දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඔබට රෝගය පිළිගෙන ජීවත්විය හැකිය.

දෙවියන්වහන්සේගේ වචනය උතුම්ය. ඔබට පරීක්ෂා රෝග පැමිණිය හැකි නමුත් එයින් ජයගන්න. ජයගත් පසු ජයග‍්‍රහණය දුන් දෙවියන්වහන්සේට ස්තූතිය, ගෞරවය, මහිමය පුදකරන්න.

ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටිමින් ඔබ පමණක් නොව, ඔබ තුළින් අන් අයටද ආශීර්වාදයක් වන පිණිස ජීවත්වීමට තිරණය කරන්න.

ඔබ ජීවත්විය යුත්තේ “මම” කියන පුද්ගලයා උදෙසා නොව, ඔබ තුළින් ජීවනය උල්පතක් සේ අන් අයගේ ජීවිත වලටද ගලා යන අයුරිනි.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කරන හෙයින් ඔබ තුළින් අන් අයගේ ජීවිත වලට ගලා යන්නට උන්වහන්සේ බලා සිටියි.

වචනය විශ්වාස කරන්න, ඔබගේ රෝග සුවවූ බව විශ්වාස කරන්න. දෙවියන්වහන්සේගේ වචනය සත්‍ය බව පවසන්න.

උන්වහන්සේ පවසා ඇති පරිදි ඔබට කිසිදු රෝගයක් හට නොගන්නා බව විශ්වාසයෙන් සිටින්න.

දෙවියන්වහන්සේ අපගේ පළිහයි, මහත් විපාකයයි. අප භය විය යුතු නැත.

භයින් ජීවත්වීමට උන්වහන්සේ අපට භයාදුකමේ ආත්මයක් දී නොමැත.

යේසුස්වහන්සේ අපගේ ජීවිතයෙන් භය සම්පූර්ණයෙන්ම නැතිකර අපට අදහිල්ල ලබා දී ඇත. භිය වෙනුවට උන්වහන්සේ අපට බලය, ප‍්‍රීතිය, ප‍්‍රේමය, සමාදානය හා සුවදායි මනසක් දී තිබේ.

යේසුස්වහන්සේගේ කුරුස පූජාව මගින් උන්වහන්සේ මරණීය බලය ඇතිව සිටි යක්ෂයාගේ මරණයේ බලය විනාශ කරන ලදි

හෙබ්‍රෙව් 2:14-15
[14] එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, [15] ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

අප සියලු දෙනා සිටියේ මරණයට භයේ වහලුන් ලෙසය. නමුත් යේසුස්වහන්සේ අපව නිදහස් කරන ලදි.

යේසුස්වහන්සේ පිළිගත් දවසේ අපද උන්වහන්සේ සමඟ කුරුසියේ මැරී, වතුර බවිතීස්මයෙන් අපගේ පරණ මනුෂ්‍යයා වළලා දමන ලදි.

ක‍්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැවත නැඟිටුනු ආකාරයටම අපගේද අලුත් මනුෂ්‍යයා මළවුන්ගෙන් නැඟිටින ලදි. ක‍්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටුවූ එම ආත්මය දැන් අප තුළ වාසය කරයි.

රෝම 8:11
[11] තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපව අවදි කරමින් ගෝලයන් මෙන් ඇහුම්කන් දීමට අපගේ සිත යොමු කර ඇත. අප ඇහුම්කන් දෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේටය. මරණීය ශරීරයට, රෝග ලක්ෂණ වලට අපට ඇහුම්කන් දෙන්නට ඉඩ නොතැබිය යුතුයි.

ශරීරය කැමති වන්නේ අකාලයේ මිය යාමටය. නමුත් දෙවියන්වහන්සේ අපට පොරොන්දු වී ඇත්තේ දීර්ඝායුෂව ජීවත් වන පිණිසයි.

ගීතාවලිය 91:16
[16] දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

යේසුස්වහන්සේ නාමය නිසා, උන්වහන්සේ උදෙසා අප ජීවත්විය යුතුය.

වඩුවෙක් ලෙස මේ පොළොවේ ජීවත්වීම යේසුස්වහන්සේගේ නියම සේවය නොවීය. උන්වහන්සේගේ නියම සේවය ආරම්භවූයේ වයස අවුරුදු 30 දීය.

යේසුස්වහන්සේ වඩුවෙක් මෙන් විශ්වාසවන්තව සිටිමින් නියම කාලය එනතුරු තමාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් බලාගෙන සිටිසේක. මේ තුළින් උන්වහන්සේ විශාල සේවයකට වගකීමක් ඇතුව ජීවත් වන්නේ කෙසේදැයි පුරුදු පුහුණු වූයේය.

වසය අවුරුදු 30 දී යේසුස්වහන්සේ වතුර බවිතීස්මය ලබා ශුද්ධාත්මයෙන් පූර්ණවී බලවත් දේ කිරීමට පටන් ගන්නා ලදි.

සිතුවිලි යේසුස්වහන්සේව පරාජයට පත් කිරීමට තැත් කරත් උන්වහන්සේ නිතරම පැවසුවේ මාව මරා දැමුවත් මම නැවත තුන්වෙන්දා නැඟිටිනවා ඇත කියා විශ්වාසයක් තිබුණි.

අපගේ හැඟීම් අනුව ක‍්‍රියා නොකර අප උන්වහන්සේව අනුගමනය කළ යුතුයි.

හැගීම්වලට අනුව ජීවත්වන කල, අප ගත කරන්නේ පාවෙන ජීවිතයක්ය.

දෙවියන්වහන්සේගේ වචනය නිතරම මා ශක්තිමත් කරන බව තේරුම් ගත යුතුය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට උගන්වන වචනය අනුව ගමන් කරන්න.

යේසුස්වහන්සේ පැවසුවේ, මනුෂ්‍යයා ජීවත්වන්නේ රොටී වලින් පමණක් නොව, දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනයෙන් බවය.

එයින් අදහස් කරන්නේ අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයකින් බවය.

බයිබලය නොකියවා, යාච්ඤා නොකර, දෙවියන්වහන්සේ සමඟ කාලය ගත නොකර හාස්කම් පසුපස පමණක් හබා යාමෙන් ඵලක් නොමැත.

දෙවියන්වහන්සේ පවසන්නේ වචනය තුළ ජීවත්වන්න කියාය.

ශු. මතෙව් 4:4
[4] උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

දේව වචනය අසා, බයිබලය කියවා, එය මෙනෙහි කරන කල ඔබ තුළ ප‍්‍රීතියක් හටගනී.

යෙරෙමියා 15:16
[16] ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

සදාකාල ප‍්‍රීතිය ඔබට ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගේ වචනය මෙනෙහි කිරීමෙන්ය.

වචනය සම්බවීමට නම් ඔබ වචනය සොයා බැලිය යුතුය. කියවිය යුතුය. ඒ සමඟ තනිව කාලය ගත කළ යුතුයි.

දුරකථනයට, මාධ්‍යයට හැම වේලේම සිත යොමු කිරීමෙන් ඔබට ප‍්‍රීතිය නොලැබෙයි.

ඔබගේ දුරකථනය, ඔබගේ යහළුවන් කූඩැල්ලන් මෙන් ජීවනය ඔබගෙන් උරා ගන්නට තැත් කරයි.

ඔබගේ ජීවිතයේ කූඩැල්ලන් කව්ද? ඔබගේ ජීවිතයට ආශීර්වාදක් වන්නාවූ තැනැත්තන් කව්ද කියා දැනගෙන, ඔබගේ ජීවිතය උරාගන්නා අයගෙන් ඔබ වෙන්වන්න.

ආත්මික පුද්ගලයන් හා සමඟ ඇසුරුකිරීමෙන් ඒ අය ඔබගේ ජීවිතයට ආත්මික ආයෝජනයක් කරනු ඇත.

ඔබගේ ජීවිතයේ එකිනෙකා පිට පටවා නිදහසට කරුණු කියු කාලය නවතා, සත්‍ය වචනය තුළින් ඔබ උදෙසා ඔබ නැඟී සිටින්න. මේ සත්‍ය වචනය උදෙසා දෙවියන්වහන්සේ ශුද්ධ මනුෂ්‍යයන් පාවිච්චි කරන ලදි.

2 පේතෘස් 1:20-21
[20] අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය. [21] මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් (ශුද්ධ) මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.

ඔවුන් දෙවියන්වහන්සේ උදෙසා වෙන්ව ජීවිතයක් ගත කළ මනුෂ්‍යයන්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන්ට වචනය දුන්විට ඔවුන් ඒවා ලියන ලදි.

පාවුල් බොහෝ අවස්ථාවලදී ඔහුගේ ලිපි ලිව්වේ සිර ගෙවල් වලදීය.

නව ගිවිසුමෙන් තුනෙන් කොටස් දෙකක්ම ලියනු ලැබුවේ පාවුල් විසින්ය.

පාවුල් කිතුනු සභාවට විරුද්ධව පීඩා ගෙනඑමින් ස්තේපන්ගේ මරණය හමුවේ ඔහු මිනීමරුවෙකු ලෙස සිටියත් දෙවියන්වහන්සේ ඔහුට සමාව දෙන ලදි. (ක‍්‍රියා 7:58-8:1-3)

බයිබලයේ පළමු පොත් 5 ලියු මෝසෙස්ද මිනීමරුවෙකි. (නික්මයාම 2:12)

නමුත් දෙවියන්වහන්සේ බයිබලයේ පළමු පොත් 5 ලියන්නට මෝසෙස්ව පාවිච්චි කළේය. එවැනි පුද්ගලයන්ව පාවිච්චි කළ දෙවියන්වහන්සේට කිසිදා මිනී නොමරා නැති ඔබගේ ජීවිතයේ කොයිතරම් දේ කළ හැකිද?

නව ගිවිසුම තුළ පාවුල්ට ලැබුණේ එළිදරව්වක් පමණි. ඔහුට ඒ තුළ ජීවත්වීමට නොහැකිවුනි. ඔහු එය ලිව්වා පමණය. ඉතාමත් වටිනා ඒ එළිදරව් හිමිව තිබෙන්නේ අපටය.

2 තිමෝති 3:16-17
[16-17] දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් වන අප සම්පූර්ණකමට පත්ව, සියලු යහපත් ක‍්‍රියාවලට සූදාම්ව සිටීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි. ඔබ සම්පූර්ණව සූදානම්ව සිටින්නේ යහපත් ක‍්‍රියා කරන්නටය.

ඔබ ප‍්‍රයෝජනවත් ජීවිතයක් ගත කරන පිණිස දෙවියන්වහන්සේ වචනය තුළින් උන්වහන්සේ තරවටුවෙන්, ගුරුකම්දීමෙන්, හික්මවීමෙන් අපව ධර්මිෂ්ඨකම කරා ගෙන එයි.

ඔබට අසනීප ගෙන ඒමට, ඔබව තැලීමට පොඩිකිරීමට දෙවියන්වහන්සේ යක්ෂයාව පාවිච්චි කරන්නේ නැත.

සියලු යහපත් ක‍්‍රියාවන් සඳහා දෙවියන්වහන්සේ ඔබව සූදානම් කරන්නේ උන්වහන්සේගේ වචනය තුළිනි.

ස්වාමීන්වහන්සේ අපව හරිගස්වයි. අප හැමෝටම හරිගැස්වීම් අවශ්‍යය. වෙලාවකට අප හැමෝටම තරවටු අවශ්‍යය වන අවස්ථා ඇත.

ඔබ කම්මැලි වන අවස්ථාවල දෙවියන්වහන්සේ පවසන්නේ අවදිවන්න ශක්තිමත්ව සිටින්න, මනුෂ්‍යයන්ට ආදර්ශයක්වන්න, සුවයෙන්න් ජීවත්වන්න, සඵලවෙන්න, දියුණුවෙන්න කියාය.

අප අත ගසන සියල්ලම දියුණුවීමට නම්, අප දෙවියන්වහන්සේගේ වචනය දිවා රාත‍්‍රී මෙනෙහි කළ යුතුය. ඒ තුළින් අපගේ ජීවිතය හරිලෙස ගෙන යා හැකිය.

අද කිතුනු භක්තිකයන් බොහෝ සේ අසරණව අධෛර්යමත්ව සිටියි. එයට මූලික හේතුව ගැළවීම ලැබූ පසු අපගේ මාවත, ජීවිත රටාව වෙනස් නොකිරීමයි.

යේසුස්වහන්සේ පිළිගත් කිතුනු ජීවිතය ගෙනයන්නේ කෙසේද කියා උන්වහන්සේ අපට දී තිබෙන ජීවන පොතෙන් අප ඉගෙන ගත යුතුය.

පරණ ගිවිසුමේ විත්ති අපට පෙන්වා තිබෙන්නේ ඒවා ආදර්ශයක් කොට ගන්නටත් ඒවා අප විසින් නොකළ යුතු බවටත්ය.

1 කොරින්ති 10:5
[5] එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.

මිසරයෙන් ගැළවීම ලබාගෙන පැමිණි සෙනඟගෙන් වැඩි දෙනෙක් දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රසන්නවූ ජීවිත ගත නොකරන ලදි. ඒ හේතුකොටගන ඔවුන් කාන්තාරයේ විනාශ වූවෝය.

දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කරන්නේ අපගේ ඇදහිල්ලෙන්ය. අපගේ ඇදහිල්ල වර්ධනය කරගන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන්ය.

මිසරයෙන් පිටතට ආ පරම්පරාව අතරෙන් දෙවියන්වහන්සේට තෝරා ගන්නට හැකිවූයේ ඇදහිල්ලෙන් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් පමණයි. ඔවුන් දෙදෙනා නම් යෝෂුවා හා කාලෙබ්ය. (ගණන් කථාව 14:6-8)

දෙවියන්වහන්සේ පොරොන්දු දේශයට ගෙන ආවේ අවුරුදු 20 ටත් අඩු අලුත් පරම්පරාවක්ය. (ගණන් කථාව 14:22-30)

කාලයක් ගතවූ පසු ඔවුන්ගෙන් පසුව ආ පරමිපරාව කාමමිත්‍යාචාරයට හා රූපවන්දනාවට යොමුවන ලදි. (විනිශ්චයකාරයා 2:15)

දෙවියන්වහන්සේ කාලයෙන් කාලයට නායකයෙක් එසෙව් විට, ඒ මනුෂ්‍යයන් නැවත උන්වහන්සේ වෙතට හොඳ අතට හැරුණෝය. නමුත් ඔහු මිය ගියපසු නැවත පරණ තත්වයටම ඔවුන් හැරී ගියෝය. (විනිශ්චයකාරයා 2:19)

ඔවුන්ගේ ජීවිතය ගැන ඔවුන්ට වගකීමක් තිබෙන බව ඔවුන් කවදාවත් සිතුවේ නැත. ඒ නිසා දෙවියන්වහන්සේට කාලයෙන් කාලයට නායකයන් ඔසවන්නට සිදුවුණි. එක් අවස්ථාවකදී දෙවියන්වහන්සේ කාන්තාවක් පවා නායකත්වයට ඔසවන ලදි. (විනිශ්චයකාරයා 4:1-14)

දෙවියන්වහන්සේ මේ සියලු කාරණා අප වෙනුවෙන් ලියා ඇත්තේ අපට ප‍්‍රයෝජනයක් වන පිණිසයි.

රජවරුන් පවා එලෙසය. සමහරු යහපත් ජීවිතද සමහරු නපුරු ජීවිතද ගත කරන ලදි.

අප දැන් සිටින්නේ පොළොවේ රජවරුන් ලෙසය. ඔවුන්ගේ ජීවිත අප උදාහරණ ලෙස ගත යුතුය.

දාවිත් දෙවියන්වහන්සේගේ සිතට එකඟවන රජකෙනෙක් ලෙස පත්වුවත්, ඔහුත් වරද්දගන්නා ලදි. එයට හේතුව ඔහු ගැළවීම ලබා නොතිබුනි. එහෙත් ඔහුට හැකි අයුරින් ඔහු හදවතින් දෙවියන්වහන්සේට සේවය කළේය.

අප නව ගිවිසුම තුළ සියල්ලන්ටම වඩා උතුම්ය. ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ලේ තුළින් අප පවිත‍්‍රවී නව මැවිල්ලක් වී සිටින්නේය.

1 කොරින්ති 10:6-12
[6] ඉඳින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය. [7] සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න. [8] ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය. [9] අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය. [10] නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය. [11] ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය. [12] එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.

ශුද්ධ බයිබලයේ අශුද්ධ මනුෂ්‍යයන් කළාවූ දේවල් සටහනක් ලෙසයි තිබෙන්නේ ඒවා අප නොකර සිටින පිණිසයි.

දෙවියන්වහන්සේ සියල්ලක් විවෘතව ලියා තිබෙන්නේ අපගේ ප‍්‍රයෝජනය සඳහාය.

අප හරි ආකාරව තේරුම් ගෙන දෙවියන්වහන්සේගේ කීකරු දරුවන් මෙන් ගමන් කළහොත් ඒ අයට මුහුන දෙන්ට සිදුවූ දේවලට අපට මුහුන දෙන්ට අවශ්‍ය නැත.

අපට පරීක්ෂා කරදර ප‍්‍රශ්න එන්ට පුළුවන. එහෙත් ස්වාමීන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ විශ්වාසවන්තය.

අප කොඳුරන එක නැවැත්විය යුතුය. කෙඳීරීම තුළින් විනාශකයාගෙන් ඔබ විනාශ වීමට පුළුවන. කෙඳීරීම යක්ෂයාව ඇවිස්සීමකි. නමුත් ප‍්‍රශංසාවෙන් දෙවියන්වහන්සේ අප මධ්‍යයට පැමිණෙනු ඇත.

කොඳුරන කල, යක්ෂයා සමග සර්පයන් හා ගෝනුස්සන් පැමිණිය හැකිය. (ගණන් කථාව 21:5-6)

නව ගිවිසුමට අනුව කෙඳීරීමෙන්, මිමිනීමෙන්, එකිනෙකාගේ වැරදි සෙවීමෙන් ඔබ ඉබේම විනාශකාරි යක්ෂයාට භාරවේ. ඔවුන් විනාශවන්නේ දෙවියන්වහන්සේගෙන් නොව, විනාශකාරි විනාශකයාගෙන්ය.

අප දෙවියන්වහන්සේට ප‍්‍ර‍්‍රශංසා කරන කල, උන්වහන්සේ අප මධ්‍යයේ සිටිනු ඇත.

ගීතාවලිය 22:3
[3] නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

දෙවියන්වහන්සේට වැඩ සිටින්නේ ප‍්‍රශංසා මධ්‍යයේය. අපගේ ප‍්‍රශංසාවෙන් උන්වහන්සේට සිංහාසනයක් ගොඩ නැගෙනු ඇත. උන්වහන්සේ ඒ මත හිඳ එකිනෙකාට ආශීර්වාද කරනු ඇත.

දෝෂාරෝපණයෙන් මිදී ඔබ ඔබටම සමාව දීමට ඉගෙන ගන්න.

ඔබ වැරදි කළ නිසා ප‍්‍රතිඵල අත්දැක්කා. නමුත් දැන් ඔබ ඉන් මිදී දෙවියන්වහන්සේ ඔබට සමාව දුන්නාට ස්තුති කරමින් ඔබගේ මාර්ගය වෙනස් කරගත යුතුය.

කොඳුරන එක නවත්වා දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන්න අරඹන්න.

අපි දෙවියන්වහන්සේගේ වචනය මුඛයේ තබාගෙන, ඒ වචනය නිතරම නොකඩව කථා කරමින් හරි මාර්ගයේ ගමන් කිරීම තෝරා ගනිමු.

අප දෙවියන්වහන්සේට ප‍්‍රශංසා නමස්කාර කරමින් සේවය කළහොත්, උන්වහන්සේගේ වචනයට උසස්තම ගෞරවය දෙමින් ජීවත්ව සිටියහොත් දෙවියන්වහන්සේගේ අප බොන වතුරටත්, කන කෑමටත් ආශීර්වාද කර සියලු රෝග අපගෙන් ඉවත් කරනු ඇත.

නික්මයාම 23:25
නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.

අප දෙවියන්වහන්සේගේ වචනය විශවාස කරමින් ඇදහිල්ලෙන් සියල්ල කරමු.

දෙවියන්වහන්සේගේ අපව ඔසවා තබා ඇත. අප ශාපලද්දන් නොව ආශීර්වාද ලද්දන්ය. යේසුස්වහන්සේව ගැළවුම්කරු ලෙස පිළිගෙන ඔබට ආශීර්වාද ලද්දෙක් විය හැකිය.

එළිදරව් 3:10
[10] මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.

දෙවියන්වහන්සේගේ වචනය සත්‍යය බව අප විශ්වාස කරමින් මේ වන තුරු ගමන් කළෙමු. ඒ නිසා දෙවියන්වහන්සේ අපව ආරක්ෂා කරනු ඇත. එය අපට ලැබී ඇති විශේෂ ආශීර්වාදයකි.

අප දෙවියන්වහන්සේගේ වචනය ලියා තිබෙන ආකාරයටම පිළිගෙන එය අපගේ හදවතට එළිදරව්වේ වාක්‍යයක් වීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ ගින්නට ඉඩ දිය යුතුය. ඒ තුළින් පරීක්ෂා පැය එන්නටත් පෙර දෙවියන්වහන්සේ ඔබව ඉන් ආරක්ෂා කර ඇති බව ඔබට විශ්වාස කළ හැකිය.

ඇදහිල්ල යනු නොදකිනා දෙයක් විශ්වාස කිරීමය. ඔබගේ නාමය ජීවන පොතේ ලියා ඇති බව ඔබ නොදැක්ක නමුත් එය විශ්වාස කිරීම ඇදහිල්ලවේ.

යේසුස්වහන්සේ අප මුදවා නිදහස් කර ඇති බව අපි විශ්වාස කරමු.

දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් සරලය. යේසුස්වහන්සේගෙත් පාවුල්ගෙත් ඉගැන්වීම් සරලය. ඒවා ගැඹුරු නැත.

උන්වහන්සේ කථා කරන්නේ බැටළුවන්ටය. බැටළුවන් අහිංසකය. අප දෙවියන්වහන්සේගේ බැටළුවන්ය. උන්වහන්සේ අපට ඉතා සරලව පැහැදිලිව ශුද්ධාත්මයාණන් තුළින් උගන්වයි.

අපි ඒ වචනය විශ්වාස කර ගමන් කරමු.

පොරොන්දුව දුන් තැනැන්වහ්සේ විශ්වාසවන්තය. ඒ නිසා අප උන්වහන්සේගේ පොරොන්දු තදින් අල්ලා ගනිමු.

ඔබගේ ප‍්‍රකාශනය කාලෙන් කාලෙට වෙනස්වීමට ඉඩ නොදෙන්න. ඔබ වැටී ගියහොත් ඒ තත්ත්වයේම නොසිට නැඟී සිටින්න.

හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීමම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

දෙවියන්වහන්සේ විශ්වාසවන්තය. වැනි වැනි ජීවත්වන්නෙක් නොවන්න.

ස්වාමීන්වහන්සේ මාගේ සඵලත්වයයි, සුවයයි, මිදුම්කරුයි, උන්වහන්සේ මා ඔසවන තැනැන්වහන්සේයි කියා පවසන්න.

අප දෙවියන්වහන්සේගේ දේව මාළිගාවයි.


Watch the Sermon Video

Read 78 times