+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රීතිය සදාකාලිකයි - යෝෂා මනූ
November 3, 2024 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේට සියල්ල භාරදීම ඉතාමත් යහපත්ය. එවිට අපට සැහැල්ලු ජීවිතයක් ගත කළ හැකිය.

යේසුස්වහන්සේගේ කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන් තම සෙනඟට පිළිපැදිය යුතු කරුණු කියමින් සෙනඟ පිට මහත් බර පටවන ලදි. නමුත් එම නායකයන් එලෙස ක‍්‍රියා නොකරන ලදි. (මතෙව් 23:1-4)

යේසුස්වහන්සේගේ ඔවුන්ගේ ක‍්‍රියාවන් හෙළා දකින ලදි. (මතෙව් 23:5-36)

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට ආධිපත්‍යයෙන් කථා කිරීමට බලය දුන්සේක.

මතෙව් 11:27
මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.

අපට දෙවියන්වහන්සේව අඳුනාගත හැකිවන්නේ යේසුස්වහන්සේ තුළින් පමණි. (යොහන් 14:6)

මනුෂ්‍යයන්ට පුත‍්‍රයාණන්ව එළිදරව් කරන්නේ දෙවිපියාණන්වහන්සේය.

යේසුස්වහන්සේ මේ වචන ප‍්‍රකාශ කරන කල යුදෙව් සෙනඟ ඔවුන්ට උසුලාගන්නට නොහැකි තරම් අණ පණත් තුළ හිරවී සිටියෝය.

එවැනි සෙනඟකටයි යේසුස්වහන්සේ මෙම බයිබල් පදය පැවසුවේ.

මතෙව් 11:28
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

ඵරිසිවරු සිටියේ යේසුස්වහන්සේ සමඟ තරහෙන්ය. ඔවුන් යේසුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කරන ලදි.

“මොහු වඩුවාගේ පුත‍්‍රයා නොවේද? මොහු මෙලෙස පවසන්නේ කෙලෙසද?” කියමින් ඔවුන් යේසුස්වහන්සේ ගැන බාධා වූවෝය. (මතෙව් 13:54-56)


යේසුස්වහන්සේ පැමිණියේ මනුෂ්‍යයන් ගළවා, මුදවා දෙවිපියාණන්වහන්සේ වෙතට ගෙන යන පිණිස බව උන්වහන්සේ දැන සිටියේය.
යේසුස්වහන්සේගේ සත්‍ය මාර්ගය තුළ ගමන් කරන්නාවු අපට උන්වහන්සේගේ වචනයේ බලය සහ ආධිපත්‍යය දී තිබේ.
එය උඩඟුකමක් නොවේය. අප වචනයට යටහත් පහත්වූ විට, අප කථා කරන්නේ වචනයේ ආධිපත්‍යයයි.
දේව වචනය තුළින් අප දිනපතා ශක්තිමත්වීම, යක්ෂයාට එරෙහිව කථා කිරීමම අපගේ උඩඟුකම නොවේය. එය අපගේ උරුමය හිමිකර ගැනීමයි.
මතෙව් 11:29 මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.

අද මනුෂ්‍යයන් සහනය සමාදානය සොයති. නමුත් අපට සහනය සමාදානය තිබෙන්නේ යේසුස්වහන්සේ තුළ පමණයි.

යේසුස්වහන්සේ වියගහ යන්නෙන් අදහස් කළේ උන්වහන්සේගෙන් ඉගෙන ගෙන උන්වහන්සේ පවසන ආකාරයට ක‍්‍රියා කරමින් ගමන් කරන පිණිසයි.

අප සැමදා යේසුස්වහන්සේගෙන් ඉගෙන ගන්නාවු අයය. සියල්ල දන්නවායැයි සිතීම උඩඟුකමයි.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේගෙන් ඉගෙන ගන්නා කල අපගේ මනසට, ප‍්‍රාණයට සහනය ලැබෙන බවයි.

“වියගහ” යන වචනයට ග‍්‍රීක වචනයෙන් අර්ථවත් වන්නේ ඉගෙන ගැනීමය. යේසුස්වහන්සේ පවසන්නේ මාගෙන් ඉගෙන ගන්න එය නුඹලාට පහසුයි කියාය.

දෙවියන්වහන්සේ දේව වචනය දී ඇත්තේ අප හැමෝටම ඉගෙන ගත හැකි ආකාරයටයි. එයට උගත්කමක් අවශ්‍ය වන්නේ නැත.

යේසුස්වහන්සේගේ ගෝලයන් සාමාන්‍ය මාළු කාරයන් වූවෝය. උන්වහන්සේ ඔවුන්ව දේව බලයෙන් හා ආධිපත්‍යයෙන් පුරවා මුළු ලෝකයා වෙත සුභාරංචි වචනය ගෙනයාමට ඔවුන්ව පාවිච්චි කරන ලදි. උන්වහන්සේට ඕනෑම කෙනෙක්ව පාවිච්චි කළ හැකිය.

මතෙව් 11:30
මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

මෙහි බර යන්නෙන් අදහස් වන්නේ සේවයයි. යේසුස්වහන්සේට සේවය කිරීමම බරක් නෙවේ. සමහර විට ප‍්‍රශ්න පීඩා කරදර පැමිණිය හැකි නමුත් දෙවියන්වහන්සේ අපට පොරොන්දු වී තිබෙන්නේ ජයග‍්‍රහණයයි.

ඔබට බරයි අමාරුයි නොකියා, ඔබ යේසුස්වහන්සේට ඔබ තුළින් ගමන් කිරීමට ඉඩහරින්න. යේසුස්වහන්සේ පවසන්නේ උන්වහන්සේට සේවය කිරීම සැහැල්ලු බවයි .

අප යේසුස්වහන්සේ පිළිගත් පසු අපගේ ජීවිතය නමැති වාහනය පැදවීමට යේසුස්වහන්සේට ඉඩ දී, අප පිටුපසින් වාඩිවිය යුතුය. එවිට යේසුස්වහන්සේ අපව නියම මාර්ගයේ ගෙන යනු ඇත. ඔබ උසුලා සිටින බර යේසුස්වහන්සේට භාර දී ඒ සත්‍යතාවේ වචනයෙන් ඔබට උගන්වන ලෙසට පවසන්න.

අපි දිනපතා යේසුස්වහන්සේගේ වචනය ඉගෙන ගැනීමට පුරුදුවෙමු. යක්ෂයා නිතරම සොරකම් කරන්නට එන්නේ ඔබගේ ප‍්‍රීතියයි. අප අත ගසන සියල්ලම ප‍්‍රීතියෙන් කළ යුතුය.

ප‍්‍රීතිය සදාකාලිකය.

අප තදින් අල්ලා ගත යුත්තේ තාවකාලික දේවල් නොව, සදාකාලික දේවල්ය. බොහෝ දෙනා පුරුදුවී ඇත්තේ තාවකාලික දේ සිතීමටය.

එහෙත් ලෝකයේ දේවල් පහව යන්නේය. නමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලයටම පවතී. (මතෙව් 24:35)

ඒ නිසා ප්‍රීතිවන්නට සදාකාලික කාරණා කිහිපයක් අපි බලමු.

ප‍්‍රීතිය සදාකාලික බව දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කර ඇත.

යෙසායා 35:10 ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

සියොන් යනු දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයයි. දෙවියන්වහන්සේ වැඩ වාසය කරනා ස්ථානයයි. දැන් දෙවියන්වහන්සේ වැඩ වාසය කරන්නේ අපගේ හදවත් තුළයි. උන්වහන්සේගේ මාළිගාව දැන් අපගේ ආත්මය තුළයි.

යේසුස්වහන්සේ අපගේ ශරීර මිලදී ගෙන ඇත. (1 කොරින්ති 6:19-20)

යේසුස්වහන්සේ අපව මිලේට ගෙන ඇති බැවින් අප අපටම අයිති නැත.

1 කොරින්ති 6:19-20
19 නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? 20 නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

අපගේ ජීවිතය අප යේසුස්වහන්සේට භාර කලවිට අපගේ කැමැත්ත, අරමුණු අධිෂ්ඨාන, ආශාවන් සියල්ලද උන්වහන්සේට භාර දී උන්වහන්සේගේ කැමැත්ත කිරීමට අපි තෝරා ගත්තෙමු.

දෙවියන්වහන්සේ අපගේ ශරීරය ගැන සැලකිලිමත් වනනේය. අපගේ ශරීරයට අවශ්‍ය ලෙස අපව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

දෙවියන්වහන්සේගේ වචනයේ මග පෙන්වීම අනුව ජීවත්වීමට අපි තීරණය කරමු.

දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන්නාගේ මුවෙහි නිතරම තිබිය යුත්තේ ප‍්‍රීතියයි. එය අප තෝරාගත යුතුයි. අප තුළ කෝපය ගෙන එන්නේ යක්ෂයාය. අප සතුරා හඳුනාගත යුතුයි.

අප තුළ සදාකාල ප‍්‍රීතිය තබා ගනිමු. ප‍්‍රීතිය ඔබගේ තෙහෙට්ටුව පහකරනු ඇත.

පාවුල් ප‍්‍රීතිවන්නැයි කීවේ සිරභාරයේ සිටියදීය. (පිලිප්පි 4:4)
ඔවුන් සිටි ස්ථානය ගැන තැකුවේ නැත. සිරගතව සිටියත් ඔවුන් සිටියේ ප‍්‍රීතියෙන්ය.

අපගේ ආත්මය, ප‍්‍රාණය, මනස දෙවියන්වහන්සේගේ වචනයෙන් පිරී ඇත්නම් අප විඩාවට පත්වන්නේ නැත.

යෙසායා 35:10 දෙවියන්වහන්සේගේ මිදීම ලත් අය ප්‍රීතියෙන් සියොන් වෙත හැරී එනු ඇත. ඔවුන් ප්‍රීති ගී ගයමින් ඇතුළු වී සදාකාලික ප්‍රීතියෙන් කිරුළු පළඳිනු ඇත.

කුල්මත්වූ ප්‍රීතිය තුළින් ඔවුන් තෙහෙට්ටුව, වෙහෙස මහන්සිය, විඩාවට පත්වීම, ආතතිය, (stress, depression, worry,) කනස්සලුභාවය සහ දුක ශෝකය යටපත් කරනු ඇත!

ගීතාවලිය 16:11 ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය

ප‍්‍රීතිය තිබෙන්නේ දේව අභිමුඛය තුළය. දේව අභිමුඛය තිබෙන්නේ අප තුළය. අප යන එන සැම තැන ප‍්‍රීතියෙන් ජීවත්විය යුතුය.

ජීවිතයේ කුමන තත්වයක සිටියත් ප‍්‍රීතිවෙන්ට අප විසින්ම තෝරාගත යුතුය.

යේසුස්වහන්සේ යායිරස්ගේ නිවසට යමින් සිටියදී දරුවා මැරුණාය කියා පණිවිඩය පැමිණියත් යේසුස්වහන්සේ යායිරස්ට කීවේ, “භය නොවී ඇදහිල්ලෙන්ම සිටින්න” කියාය. (මාර්ක් 5:36)

“දරුවා මැරිලා නොව, ඇය නිදන්නීය” යි යේසුස්වහන්සේ පැවසූවිට හඬමින් සිටි අය උන්වහන්ස්ට සිනාසෙන ලදි. (මාර්ක් 5:40)

මිනීසුන්ට අඬමින් සිනාසෙන්ට පුළුවන්නම් අපට දෙවියන්වහන්සේ තුළ නිතරම ප‍්‍රීතිවිය හැකිය.

යෙසායා 51:11 ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

මිදීම යනු, අපව පාපෙන් ගළවා, යේසුස්වහන්සේගේ ලේ වලින් කමාව දී අපව වහල්භාවයෙන් මුදවා නිදහස්කර උන්වහන්සේ වෙතට පැමිණිමය.

මිදීම ලද්දාවූ සෙනඟ සිටින්නේ නිතර ප‍්‍රීතියෙන්ය. ඔවුන් යක්ෂයාගේ වහල්භාවයෙන්, ජීවිතයේ ඇබ්බැහිවීම් වලින් මිදීම ලද්දන්ය.

අප ගායනා කළ යුත්තේ “මම නව මැවිල්ලක්, මම ධර්මිෂ්ඨයි, මම නිර්දෝෂයි” කියාය.

කුඩා දෙයක් පැමිණි විගසින් ප‍්‍රීතිය නැති කර නොගන්න. පාවුල්ට පැමිණි පීඩා කියවා බලන්න.

ඇදහිල්ලේ යහපත් සටන ජයග‍්‍රහණයෙන් අරඹන්න. අප සමඟ සිටින්නේ ජයග‍්‍රාහික යේසුස්වහන්සේය.

යෙසායා 51:12-13 නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ, 13 අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?

ඔබගේ ප‍්‍රීතිය උදුරා ගැනීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. කුමන තත්වයක් පැමිණියත් දෙවියන්වහන්සේ වෙතින් පලා නොගොස් උන්වහන්සේ වෙතට පැමිණිය යුතුය.

දෙවියන්වහන්සේයි අපව සනසන්නේ. සැනසිලිකරුතුමන් සිටින්නේ අප තුළයි.

යේසුස්වහන්සේගේ ඉකුත්ව යාම ගැන උන්වහන්සේ පවසන විට ගෝලයන් දුක්වූ අවස්ථාවේ උන්වහන්සේ පැවසුවේ මා නුඹලාගෙන් වෙන්ව ගිය කල වෙන සැනසිලිකරුවෙකු නුඹලා තුළට පැමිණෙන බවය. ඒ ශුද්ධාත්මයාණන්වහන්සේය. (යොහන් 16:6-8)

ඔබගේ මනසට වධදෙන සිතුවිලි ගෙන ඒමට පීඩාකාරයාට ඉඩ නොදෙන්න.

“ස්වාමීන්වහන්සේ මා නිදහස් කළා, මා මේ නිදහස තුළ ජීවත්වෙනවා. මාගේ ප‍්‍රීතිය සහ මා තුළ ඇති වචනය සොරකම් කිරීමට මම යක්ෂයාට ඉඩ නොදෙමි” යි පවසන්න.

යෙසායා 61:7 නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත්වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්තිවිඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය.

ඔබ නින්දාව, ලැජ්ජාව, අපහාසය විඳ තිබේනම්, මනුෂ්‍යයන් ඔබට සිනාසී ඇත්නම්, දෙවියන්වහන්සේ ඔබගේ විපාකය දෙගුණයක් කරනු ඇත.

අප වෙනුවෙන් අපගේ නින්දාව, ලැජ්ජාව, වේදනාව යේසුස්වහන්සේ දරාගන්නා ලදි. ආශීර්වාද දෙගුණයක් ඔබ ලබනු ඇත.

පරණ ගිවිසුමෙත් අලුත් ගිවිසුමෙත් පොරොන්දු ඔබට අයිතියි. අප දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙමින් මෙම පොරොන්දු භුක්තිවිඳිමු.


Watch the Sermon Video

Read 82 times