+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි ජීවන වචන කථා කරමු- යෝෂා මනූ
November 10, 2024 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිටීම ඉතාම යහපත්ය.
එතුළින් අපට එකිනෙකා හා සහභාගීකම් පැවැත්විය හැකිය. ඒ අයගේ සාක්ෂි තුළින් ඔබට ශක්තිමත් විය හැක.

ගීතාවලිය 23:6 සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

ස්වාමීන්වහන්සේගේ වචනය ශක්තිමත්ය, බලවත්ය.

දෙවියන්වහන්සේ කථාකරන කල අපගේ ආත්මික කන් විවර කරමින් එයට ඇහුම්කරන් දෙමු.

ගීතාවලිය 34:11- 13

දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹට උගන්වන්නෙමි. 12 ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද? 13 නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.

අප යහපත් ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙමුනම් අපගේ දිවෙන් හොඳ වචන, යහපත් වචන කථාකිරීමට පුරුදු වෙමු.

හිතෝපදේශ 18:21 මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

මරණයත් ජීවනයත් ඇත්තේ අපගේ මුඛයේය. එහෙයින් අප ජීවන වචන කථා කරමින්, මරණීය වචන ඉවතලමු.

අප ජීවන වචන කථාකරන කල අප තුළින් එය තවෙකෙකුට ආශීර්වාදයක්වේ.

යේසුස්වහන්සේ කථාකලේ ජීවනයේ වචනය.

යොහන් 6:63 ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය.

හෙබ්‍රෙව් 4:12 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය. අප දේශනයක් අසන විට අපගේ සිත විවෘත කරමින් අපට එයින් කථා කරන ලෙස ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු.

අපගේ සිත තුළ වැරදි සිතුවිලි ඇත්නම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුළින් ඒවා අප තුළින් වෙන්කරයි.

අපට හරි වැරැද්ද දැන ගත හැක්කේ දේව වචනය තුළින්ය.

යේසුස්වහන්සේ වැඩවාසය කරන්නේ අපගේ ආත්මය තුළය.

අධෛර්යමත්කම, භයාදුකම, නොඇදහිලිවන්තකම, සැක සහිත සිතුවිලි පැමිණෙන්නේ අපගේ මනසටය.

දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ මනස යොමුකරමින් අපගේ මනස පවිත‍්‍රව තබා ගනිමු.

ආත්මික වචනයත්, මාංසාකර වචනත් වෙන්කරන තරමට දෙවියන්වහන්සේගේ වචනය බලවත්ය.

වචනය මෙනෙහිකරන කල එය කැඩපතක් මෙන් අපගේ අභ්‍යන්තරය පිලිබිඹු කරයි. (යාකොබ් 1:23)

මම ධර්මිෂ්ඨයි, නිර්දෝශයි, මා නව මැවිල්ලක්මි, මා දේව දරුවෙක්, මා ආලෝකයේ ගමන් කරමි, මට සමාදානය තිබේ යනාදි ලෙසින් අප දේව වචනය අප කථා කරන කල එය අපගේ ජීවිතයට ආශීර්වාදයක්වේ.

එමෙන්ම යක්ෂයා ඔබට පරාජිත, අධෛර්යමත් සිතුවිලි ගෙනෙන විට යේසුස්වහන්සේගේ නාමයෙන් මගේ දෙවියන්වහන්සේ යහපත්, උන්වහන්සේ විශ්වාසවන්තයි, උන්වහන්සේ පොරොන්දු ඉටුකරන තැනැන්වහන්සේ යන වචනය ප‍්‍රකාශකරමින් අප යක්ෂයාගේ සිතුවිලි පරාජය කරමු.

අප දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලාගත යුතුය.
මන්ද යක්ෂයා පැමිණෙන්නේ අපගේ හදවත තුළ ඇත්තාවු දෙවියන්වහන්සේ පොරොන්දු වචන උදුරාදමන්නටය.

යක්ෂයාට ඉඩ නොදී යේසුස්වහන්සේගේ නාමයෙන් පලායාමට අණකල යුතුය.

හෙබ්‍රෙව් 10:23 අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

අප දෙවියන්වහන්සේ ඉදිරියේ යටහත් පහත් වන කල උන්වහන්සේ අපව ඔසවනු ඇත.

1 පේත්‍රැස් 5:6 එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;

දෙවියන්වහන්සේ නියමිත වෙලාවට අපව ඔසවනු ඇත. අප පලමුකොට දේව වචයෙන් අපට කථාකරන කල එය විශ්වාස කර එයට කීකරුවිය යුතුය. වචනය තුළ පැවතිය යුතුය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය ඉෂ්ට කරන පිණිස පිබිද සිටියි.

යෙරෙමියා 1:12 එවිට ස්වාමීන්වහන්සේ: නුඹට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමියි මට කීසේක.

අපගේ හැම කරදරයක්ම දෙවියන්වහන්සේට භාරදී අප උන්වහන්සේට ස්තුති දෙමු.

දෙවියන්වහන්සේට පොරොන්දු ඉෂ්ට කරන්නට විශ්වාසව සිටියි.

1 පේත්‍රැස් 5:7-8
7 උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. 8 සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

මේ දේ ඔබට කවදාවත් කල නොහැකිය, එය ඔබට කිසිදා නොලැබෙනු ඇත. යනාදී සැක සහිත සිතුවිලි ගෙන එමින් යක්ෂයා ඔබ තුළ ඇති වචනය සොරකම් කරන්නට තැත් කරයි.

අප විරුද්ධකාරයාට එරෙහිව සිහිඇතිව අවදිව ඉදිමු.

වචන කථාකිරීමට දෙවියන්වහන්සේ අපට බලය ආධිපත්‍ය දී ඇත.

ලූක් 10:17-20
17 ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනී, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය. 18 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි. 19 බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. 20 එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.

දෙවියන්වහන්සේ දී තිබෙන බලය අප තුළ ක‍්‍රියාත්මකවේ. දෙවියන්වහන්සේගේ වචනය තුළින් යක්ෂයාට කථාකරන කල අනිවාර්යයෙන්ම යක්ෂයා දණ නමනු ඇත.

ඔබ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න.

යක්ෂයන් දුරු කරන නිසාවත්, රෝගීන් සුවවෙන නිසාවත් නොව, ඔබගේ නාම ජීවන පොතේ ලියා තිබෙන නිසා ඔබ ප‍්‍රීතිමත් විය යුතුය.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන ජීවන වචන රැගෙන අප ඉදිරියට යමු. අප පසුබට නොවී අප එල්ල කරන දේ ඉෂ්ටවුනා යන අධිෂ්ඨානයෙන් ඉදිරියට ගමන් කරමු.


Watch the Sermon Video

Read 65 times