+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සාතන් දුරු කරනවාට වඩා ස්වර්ගයෙහි ඔබගේ නාමය ලියා තිබෙන නිසා ප්‍රීතිවන්න - මනූ මැතානි
November 10, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ අපට සතුටුවන්න, ප‍්‍රීතිවන්න කියා පවසා ඇත.

යක්ෂයන් දුරු කිරීම මහත් දෙයක් නොව, අද සමහර අය යක්ෂයන් දුරුකිරීම ප‍්‍රදර්ශනයක් කරගෙන ඇත.

අප ප‍්‍රීතිවිය යුත්තේ අපගේ නාමය ජීවන පොතේ ලියා ඇති නිසාවෙනි.(ලූක් 10:20)

ඔබ යේසුස්වහන්සේ පිළිගත් කෙනෙක් නිසා යක්ෂයාන් යේසුස්වහන්සේට භයෙන් සිටින්නේ. ඔබ ඒ ගැන පුදුමවිය යුතු නැහැ.

නමුත් ඔබගේ ගැළවීම, මිදීම ගැන, යේසුස්වහන්සේගේ කුරුසපත්වීම ගැන උන්වහන්සේට ගෞරවය, මහිමය දිය යුතුය.

යක්ෂයන් දුරු කිරීම හොඳයි නමුත් ඒවා මහත් කොට සැලකිය යුතු නැත. උතුම්ම දේ අපගේ නම ස්වර්ගයේ ලියා තිබීමයි.

නිතරම අපගේ ප‍්‍රීතිය තිබිය යුත්තේ අපගේ ගැළවීම තුළය.

ඔබ සැබවින්ම ගැළවීම ලබා තිබේද, යේසුස්වහන්සේ ස්වාමීන් බව ඔබ පවසා තිබේද මෙවැනි දේ ගැනයි ඔබ අවදානය දිය යුත්තේ.

යක්ෂයන් නටවන තැන්වලට ගොස් ඔබගේ ජීවිතයට යක්ෂයන් එකතු කර නොගන්න.

දිනපතා ඔබට විරුද්ධව සිටින සතුරාට විරුද්ධව නැඟී සිටින්න.

ඔබ යක්ෂයන්ව දුරුකරන්න. යක්ෂයන්ට ඔබව දුරුකිරීමට ඉඩ නොදෙන්න.

ඔබ කොතනට ගියත් යක්ෂයා ඔබට කරන සතුරුකම් නවතින්නේ නැත. ඔබ කොතරම් හොඳ දේ කරත් යක්ෂයා කවදාවත් ඔබට අනුකම්පාවක් දක්වන්නේ නැත.

ඔබ ඔබගේ ආධිපත්‍ය දැන සිටින්න. ඔබ යේසුස්වහන්සේගේ නාමය දරනවා පමණක් නොව, උන්වහන්සේගේ නාමයේ බලයෙන් ඔබට යක්ෂයන් දුරුකල හැකිය. රෝගීන් සුවකල හැකිය. ඔබට පැමිණෙන නපුරු සිතුවිලි වලින් ඔබට මිදිය හැකිය.

ඔබගේ ඇදහිල්ලේ පළිහ තුළින් ඔබට විරුද්ධ එන සියල්ල ඉවත හෙලිය හැකිය. එමනිසා යක්ෂයන් දුරුකිරීම සාමාන්‍ය දෙයක් ලෙස සලකන්න.

ශු. ලූක් 10:19
[19] බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.

ඔබ දිනපතා යක්ෂයන් ගෝනුස්සන් පාගමින් ගමන් කරන්න. මන්ද යේසුස්වහන්සේගේ බලය ඔබ තුළ තිබේ. යක්ෂයන් දුරුකිරීම අසීරු දෙයක් නොවේය. ඒ සඳහා විශේෂ බලයක් ඇති කෙනෙක් ළඟට යායුතු නැත. ඔබ ඇදහිලිවන්තයෙක්නම් ඔබට යක්ෂයන් දුරුකල හැකිය. ඒවා ඇදහිලිවන්තයන්ගේ ලකුණුය.

ශු. මාර්ක් 16:17
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

ඔබ ජයග‍්‍රාහිකව ජීවත්වීමට ශුද්ධාත්ම බලය නිතරම ඔබවටා ඇත.

දිනපතා ඔබගේ ජයග‍්‍රහණය අද්දැකිය යුතුය.

යක්ෂයන් දුරුකිරීම, අන්භාෂාවෙන් කථාකිරීම ඇදහිලිවන්තයන්ගේ ගුණාංගයකි.

ඔබට යාච්ඤා කිරීමට වචන නොමැතිනම් ඔබ අන්භාෂාවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබ යාච්ඤා කරන්නේ දෙවියන්වහනසේගේ කැමැත්තයි.

ඔබගේ ගැළවීමේ උතුම්කම නොසලකා නොසිටින්න. (හෙබ්‍රෙව් 12:25)

දෙවියන්වහන්සේ ඔබට ප‍්‍රේමකරමින් යේසුස්වහන්සේ හා සමානව ඔබව මවා ඇත.

යේසුස්වහන්සේ තුළ කිසි පාපයක් තිබුණේ නැත. උන්වහන්සේ කුරුසියේදී මරණයට පත්වූයේ පියාණන්වහන්සේ උන්වහන්සේගෙන් පිටතට ගියායින් පසුවය.

යේසුස්වහන්සේ කුරුසියට යන තෙක්ම පියාණන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටින ලදි. ඒ තාක් යේසුස්වහන්සේ සෑම ප‍්‍රකාශයක්ම කලේ “මාගේ පියාණන්වහන්සේ මාගේ පියාණන්වහන්සේ” කියාය. එහෙත් කුරුසියේදී යේසුස්වහන්සේ පැවසුවේ “මාගේ දෙවියනී මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද” කියාය.

යේසුස්වහන්සේ කුරුසියේ පූජාවුනේ සියයට සීයයක්ම මනුෂ්‍යයෙක් ආකාරයටය.

ශු. මතෙව් 27:46
[46] නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි.

කුරුසියේදී මැරුණේ දෙවියන්වහන්සේ නොව උන්වහන්සේගේ මනුෂ්‍යය පුත‍්‍රයාවූ යේසුස්වහන්සේය.

දෙවියන්වහන්සේ තුළ මරණයක් නැත. උන්වහන්සේව මරන්නට කිසිවෙකුට නුපුළුවන. උන්වහන්සේ ජීවනයයි.

කුරුසියේදී පරම්පරා ගණනාවක පාපය, ශාපය, විනාශය යේසුස්වහන්සේ පිට තිබුණි.

දෙවියන්වහන්සේ ආදම්ට මේ පොළොවේ ස්වර්ගික ජීවිතයක් ගත කරන්නට අවස්ථාව දී තිබුණි. උන්වහන්සේ පැවසුවේ හොඳ නරක දැනගැනීමේ ගසෙන් කන්ට එපා කියා පමණි.

ඔවුන් යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑ හෙයින් මරණයට පත්වුණි.

යේසුස්වහන්සේට කුරුසියේදී මරණ දෙකක් තිබුණි.
පළවෙනි මරණය පියාණන්වහන්සේ යේසුස්වහන්සේව අත්හැරීමය. එනම් ආත්මික මරණයයි.

දෙවැනි මරණය ශාරිරික මරණයයි.

උතුම්ම මරණය පළමු මරණයයි

දෙවියන්වහන්සේ ආදම්ට පැවසුවේ එය කෑ දවසේම මියයන බවයි. නමුත් කාපූ සැනින් ඔවුන් මිය ගියේ නැත. එහෙත් දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් හීනවී යන ලදි. (උත්පත්ති 3:7-11)

දෙවියන්වහන්සේ හා සමඟ තිබූ ඒකන්වය බිඳ වැටුණි.

අපට ජීවනය ලබා දීමට යේසුස්වහන්සේ කුරුසියෙදි අත් වින්දේ එම මරණයයි. එම නිසා අනේ දෙවියනී ඔබ මා අත්හරියේ මන්ද කියා කවදාවත් අපට අසන්ට අවශ්‍යය නැත.

නව ගිවිසුම තුළ ගැළවීම ඇත. යේසුස්වහන්සේ කළ එක ක‍්‍රියාවක් තුළින් උන්වහන්සේට අප තුළ ක‍්‍රියාකරන්නට හැකිවුණි.

හෙබ්‍රෙව් 13:5
[5] නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

දෙවියන්වහන්සේ කිසිකලෙක කුමන හේතුවක් නිසාවත් අපව දාලායන්නේ නැත. එහෙත් අප වැරදි කළහොත් සිදුවන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දීමය.

එපීස 4:29-30
[29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න. [30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

බොහෝවිට අපගේ ජීවිතයේ වැරදි සිදුවන්නේ වචන වලින්ය.
අනවශ්‍යය නිශ්ප‍්‍රයෝජන කථා අපි කථා නොකර සිටිමු.

එකිනෙකා ධෛර්යමත්වන වචන අපි කථා කරමු. මන්ද අපි එකිනෙකා ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අවයවයෝය.

1 කොරින්ති 12:19-25
[19] ඒ සියල්ල එකම අවයවයක් වීනම් ශරීරය කොයිද? [20] නුමුත් දැන් බොහෝ අවයවයන් ඇති නුමුත් එක ශරීරයක්ය. [21] නුඹ මට ඕනෑ නැතැයි අතට කියන්ට ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන. [22] එසේය, ශරීරයේ වඩා ඕනෑකරන්නේ වඩා දුර්වලව පෙනෙන අවයවයෝය. [23] ශරීරයේ වඩා නම්බු රහිතයයි අප සිතන කොටස්වලට වඩා නම්බු දෙමුව; මෙසේ අපගේ අශෝභනවූ කොටස්වලට වඩා ශෝභනකම ලැබේ. [24] නුමුත් අපගේ ශෝභනවූ කොටස්වලට එසේ ඕනෑ නැත. නුමුත් ශරීරයෙහි කිසි භේදයක් නොව අවයව එකිනෙක ගැන එකාකාර සලකන පිණිස, [25] දෙවියන්වහන්සේ අඩුකම් ඇති කොටසට වඩා නම්බු දී, ශරීරය සංයෝජනය කළසේක.

උන්වහන්සේගේ ශරීරයේ කුඩා අවයවයක වුවද උන්වහන්සේට වටිනාකමක් ඇත.

අප මුරණ්ඩුකමින් සිටීනම් ස්වාමීන්වහන්සේට අප තුළ කිසිවක් කල නොහැකිය.

ඔබ තුළ ක‍්‍රිස්තුස්වහන්සේ ගැන තිබූ උනන්දුව ඒ පළමු ප‍්‍රේමය ඉවත්වගොස් ඇත්නම් නැවත හැරී උන්වහන්සේ වෙත පැමිණෙන්න.

අපගේ ක‍්‍රියාවලින් ගැළවීම ලැබුවේ නැත. අපේ ක‍්‍රියාවලින් ගැළවීම රක්ෂාකිරීමටද නොහැකිය.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ ලේ වලින් අපව මිලදී ගෙන ඇත. උන්වහන්සේ කිසිදා නැවත අපව යක්ෂයාට විකුණන්නේ නැත.

ඔබේ අවසරය නොමැතිව දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ කිසිවක් කරන්නේ නැත.

පිලෙමොන් 1:14
[14] නුමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.

දෙවියන්වහන්සේ සෑම කෙනෙකුටම තලෙන්ත හැකියාවන් දී ඇත.

ඔබ ඇදහිල්ලෙන් පියවර ගන්නා විට දෙවියන්වහන්සේ ඔබට අවශ්‍ය දේවල් සපයා දෙනු ඇත.

අප දෙවියන්වහන්සේට සේවය කල යුත්තේ කොන්දේසි රහිතවය.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් කල යුතු දේ කුරුසියේදී කර හමාරය. උන්වහන්සේ අපව බලයෙන් පුරවා ඇත. ප‍්‍රේමයෙන් පුරවා ඇත. දැන් අපට තිබෙන්නේ උන්වහන්සේට කීකරුවී ගමන් කරන්නටය.

1 කොරින්ති 6:19
[19] නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?

අපගේ ශරීරය ශුද්ධාත්යාණන්වහන්සේගේ මාළිගාවයි.

යේසුස්වහන්සේ කුරුසියේදී සියල්ල අවසන්යැයි පැවසු අවස්ථාවේ යෙරුසලම් දේව මාළිගාවේ අතිශුද්ධ ස්ථානය වෙන්කරන තිරය ඉරී දෙකඩවන ලදි. (ලූක් 23:45)

ඉන් අනතුරුමව මනුෂ්‍යයා ජීවත්විය යුත්තේ ව්‍යවස්ව අනුව නොව අනුග‍්‍රහය යටතේය.

දැන් අපට දෙවියන්වහන්සේ සොයා යෙරුසලමට යාමට අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ වාසය කරන්නේ අපගේ සිත තුළය.

ඔබ දෙවියන්වහන්සේගේ මාළිගාව බැවින් යන එන සෑම තැන්හී ඔබගේ මනසින් හා ආත්මයෙන් දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා ජීවත්වන්න.

1 කොරින්ති 6:20
[20] නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

දෙවියන්වහන්සේට ගෞරවය දී ජීවත්වන්න. යන යන සෑම තැන්හී ශුද්ධාත්මයාණන්වහන්සේට කීකරුව ගමන් කරන්න.

දෙවියන්වහන්සේට බලහත්කාරයෙන් අපගේ ජීවිතයට ඇතුල්වන්නේ නැත. යේසුස්වහන්සේ පැමිණ දොරටුවට තට්ටු කරයි.

එළිදරව් 3:20
[20] මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.

දෙවියන්වහන්සේ බලාපොරොත්තුවන්නේ ඔබගේ කීකරුකම හා විශ්වාසවන්තකමයි.

ඔබගේ වයස කාලය ගැන නොසිතන්න. ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඔබට සියල්ල කල හැකි බව පවසන්න.

පිලිප්පි 4:13
[13] මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

දෙවියන්වහන්සේ අපට බලය දී ඇත. උන්වහන්සේ පළවෙනියා හා අන්තිමයාය. උන්වහන්සේ හැර අන් දෙවිකෙනෙකු නැත.

එපීස 1:3-4
[3] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස, [4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

ලෝකය මැවීමටත් පෙර දෙවියන්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපව තොරා තිබුණි. ඔබ සුභාරංචියට ප‍්‍රතිචාර දක්වන ආකාරය උන්වහන්සේ දැනසිටියා.

ස්වාමීන්වහන්සේ සියලු ආශීර්වාදවලින් අපට ආශීර්වාද කර ඇත. අපට තිබෙන්නේ විහ්වාස කිරීම පමණි.

අප පෙනීමෙන් නොව ඇදහිල්ලේ ගමන් කරන්නේ

2 කොරින්ති 5:7
[7] (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

පෙනෙන දේ තාවකාලිකයි. නොපෙනෙන දේ සදාකාලිකය.

2 කොරින්ති 4:18
[18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

නොපෙනෙන දේ විශ්වාස කිරීමට පුරුදුවෙමු.

ඔබගේ නාමය ජීවන පොතේ ලියා ඇත. එය විශ්වාස කරන්න.

අපව ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ මුද්‍රාකර ඇත.

එපීස 1:13-14
[13] උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස, [14] අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.

ඔබගේ ගැළවීම ස්ථීරයි. ගැළවීම රැකීමට ඔබට කිසිවක් කලයුතු නැත. නමුත් ඔබ ගැළවීම තුළ සිටගන්න.

ඔබ යේසුස්වහන්සේව ස්වාමින් කියා ප‍්‍රකාශකල දවසේ දෙවියන්වහන්සේ අපව අන්ධකාර බලයෙන් ගළවා උන්වහන්සේගේ රාජ්‍යයට ගෙන එන ලදි.

කොලොස්සි 1:13
[13] පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

යක්ෂයා බය යේසුස්වහන්සේගේ ලේ වලට පමණි.

සභාව යේසුස්වහන්සේ පිහිටුවා තිබෙන්නේ උන්වහන්සේගේ ලේ වලිනි.

යේසුස්වහන්සේ ලේ ගෙවීමක් කල හෙයින් යක්ෂයාගෙන් ඔබව උදුරාගැනීමට උන්වහන්සේට හැකිවුණි. දැන් ඔබ යක්ෂයාගේ වහලෙක් නොවේය.

ක්‍රියා 20:28
[28] දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.

දෙවියන්වහන්සේ ඔබට දීර්ඝායුෂ දී ඇත්තේ පොළොවේ ආශීර්වාදමත් ජීවිතයක් ගත කිරීමටය. ඒ සඳහා අප සභාව තුළින් පෝෂණය විය යුතුය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.

බොහෝ මනුෂ්‍යයන් අවිශ්වාසයෙන් ජීවත්වන්නේ සත්‍ය නොදන්නා නිසාය.

රෝම 8:29
[29] මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.

දෙවියන්වහන්සේ අප ගැන පූර්වයෙන් නියම කර තිබුණේ යේසුස්වහන්සේට සමානවය.

රෝම 8:30-33
[30] පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක. [31] එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද? [32] තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? [33] දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?

යේසුස්වහන්සේ බීජයයි. උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක. අප උන්වහන්සේ විශ්වාස කළහොත් අපගේ පරණ මනුෂ්‍යයා මරා දමා නැවත අප නැඟිටින්නේ උන්වහන්සේගේ සමානත්වයෙනි.

දෙවියන්වහන්සේ පෙර නියම කල අය උන්වහන්සේ කැඳවාගත්හ. කැඳවාගත් අය උන්වහන්සේ ධර්මිෂ්ඨකරන ලදි.

සිතුවිලි හැඟීම් විශ්වාස නොකර, පරණ පව් ගැන කථා නොකර නව ජීවනය ගැන කථා කරමු.

ඔබ පරණ දංවැල් කඩාදමන්න. පරණ දේ පහව ගොස් ඇත. ඔබ දැන් අලුත් මැවිල්ලකි.

රෝම 1:1-3
[1] යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්වූ, ප්‍රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවාවූ, [2] දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාගතවක්තෘවරුන් ලවා ශුද්ධ ලියවිලිවල පූර්වයෙහි පොරොන්දුකෙරෙවු උන්වහන්සේගේ ශුභාරංචියට වෙන්කරනු ලැබුවාවූ පාවුල්, [3] දෙවියන්වහන්සේට ප්‍රියවූ, ශුද්ධවන්තයන්ව සිටින්ට කැඳවනු ලැබුවාවූ, රෝමයෙහි සිටින සියල්ලන්ට ලියා එවන වගනම්:

ඔබගේ අලුත් තැනැත්තා ගැන වඩ වඩා සිතන්න. ඔබ ධර්මිෂ්ඨයි, ඔබ ශුද්ධවන්තයෙක් කියා පවසන්න.

එපීස 1:1
[1] දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල්, එපීසයෙහි සිටින ශුද්ධවන්තයන්ව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වග නම්:

දෙවියන්වහන්සේ කථා කරන්නේ ශුද්ධවන්තයන්ටයි. ධර්මිෂ්ඨයන්ටයි.

දෙවියන්වහන්සේ පව්කාරයන්ට කථා කරන්නේ නැත.

පව්කාරයන්ට කථා කරන්නේ එක් අවස්ථාවක පමණි. එනම් යේසුස්වහන්සේ පිලිගෙන ගැළවීම ලබාගන්නා ලෙසයි.

ගැළවීම ලබාගත් පසු ඔහු ශුද්ධවන්තයෙක් බවට පත්වේ. ඒ අයට ධර්මිෂ්ඨකමේ වචනය ඉගැන්විය යුතුය.

රෝම 3:23-24
[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. [24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.

අප සියල්ලෝම පව්කාරයෝව සිටියත්, ක‍්‍රිස්තුස්වහන්සේගේ මිදීම තුළින් අප සියල්ලෝම නොමිලේ ධර්මිෂ්ඨ කරනු ලැබ ඇත.

ලෝකයා ඔබ දෙස කෙලෙස බැලුවත් දෙවියන්වහන්සේ ඔබ දෙස බලන්නේ ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අලුත් කරනු ලැබුවෙකු සේය.

ක‍්‍රිස්තුස්වහන්සේ හිසයි. අප උන්වහන්සේගේ ශරීරයයි. පුද්ගලයන් දෙදෙනෙක් නොව, උන්වහන්සේ අපගේ මනාලයා අප උන්වහන්සේගේ මනාලියයි.

අප ක‍්‍රිස්තුස්වහන්සේ තුළ එක්වී සිටින්නේ. උන්වහන්සේ තුළ අප එක ආත්මයක්.

1 කොරින්ති 6:17
[17] නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

දෙවියන්වහන්සේ අපව ක‍්‍රිස්තුස්වහන්සේ හා සමාන කර ඇත.

බයිබලය සරලය. තේරුම් ගැනීම පහසුය. අප එය කියවන්න කියවන්න අපට එළිදරව්වීම් ලැබෙයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට දවස්පතා උගන්වනු ලබයි. අවශ්‍යවන්නේ අභ්‍යන්තර එළිදරව්වකි.

1 යොහන් 4:17
[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

අප දැන් ක‍්‍රිස්තුස්වහන්සේ හා සමානව සිටින නිසා විනිශ්චය දවස ගැන අප නිසැකත්වයක් තිබේ.

අප දැන් ආදම් තුළ නොව ක‍්‍රිස්තුස්වහන්සේ තුළයි සිටින්නේ. ආදම්ගේ පව්කාර ස්වභාවය දැන් අප තුළ නැත.

රෝම 8:31-32
[31] එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද? [32] තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?

අප උදෙසා තම පුත‍්‍රයා දුන් දෙවියන්වහන්සේට මොනවද අපට දීමට නොහැකි.

රෝම 8:34-35
[34] මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය. [35] ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?

අප වෙනුවෙන් ක‍්‍රිස්තුස්වහන්සේ මැරුණු හෙයින් කිසිවෙකුට අපව වරදට පත් කල නොහැක.

අපගේ ගැළවීමේ කෙලවර දක්වා යේසුස්වහන්සේ අප වෙනුවෙන් මැදිහත්කම් කරනු ලබයි.

හෙබ්‍රෙව් 7:25
[25] එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.

අප ක‍්‍රිස්තුස්වහන්සේ තුළ නව මැවිල්ලක්ය.

2 කොරින්ති 5:17
[17] එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

යේසුස්වහන්සේ කුරුසියේ ජය ගන්නා ලදි. උන්වහන්සේ අපටද පවසන්නේ අප අතීශයෙන් ජයගන්නා කෙනෙක් බවයි.

රෝම 8:37
[37] නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අප විශාල දේවල් කෙරෙහී සිත යොමුකල යුතුය.

1 යොහන් 5:4
[4] මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබ දෙවියන්වහන්සේගෙන් ඉපද සිටීනම් ඔබ ලෝකයෙන් ජයගන්නා කෙනෙකි.

එළිදරව් 3:5
[5] ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.

ජයගන්නාවු තැනැත්තාට දෙවියන්වහන්සේ සුදු වස්ත‍්‍රයක් දෙයි. එනම් ශුද්ධකමයි. දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ ධර්මිෂ්ඨනමෙන් සරසා ඇත.

කිසිසේත් දෙවියන්වහන්සේ අපගේ නාමය ජීවන පොතෙන් මකා දමන්නේ නැත.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සෑදුවේ උන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයටයි. (උත්පත්ති 1:26)

ඒ මනුෂ්‍යයාට උන්වහන්සේ බලය, ආධිපත්‍යය සියල්ල දෙන ලදි.

නමුත් මනුෂ්‍යයා සියල්ල වරද්ද ගන්නාලදි. (උත්පත්ති 3)

යේසුස්වහන්සේ කුරුසියේදී පාපිෂ්ඨ ස්වභාවයට පැමිණෙන ලදි. උන්වහන්සේගේ ශරීරයට බොහෝ වධ හින්සා කරමින් ශරීරය තුවාල කරමින් ඉරා දමන ලදි.

යේසුස්වහන්සේ, මෙසියස්වහන්සේ උන්වහන්සේගේ ඊම ගැන බයිබලයේ පරණ ගිවිසුමේ 322 වතාවක් සදහන්ව ඇත.

පළමු ප‍්‍රකාශය උත්පත්ති 3:15 සදහන්ව ඇත.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් හුවමාරුවක් කරමින් උන්වහන්සේගේ අලංකාරභාවය අප උදෙසා දෙන ලදි.

දැන් අප සිටින්නේ ක‍්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයෙන්ය.

ඔබට ජීවිතය දකින්ට ඕනෙ නම් ගීතාවලිය 34:12, 1පේතෘස් 3:10 පවසන්නේ ඔබ හරි වචන කථා කල යුතුය. ජීවන වචන කථා කිරීමට පුරුදුවිය යුතුය. එයින් ඔබට යහපත් දින දකින්නට පුළුවන්කම ලැබෙයි.


Watch the Sermon Video

Read 52 times