+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටින්න - යෝෂා මනූ
November 17, 2024 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ යෙහෝවා යයිරා. උන්වහන්සේ අප හඬගසන හැම අවස්ථාවේදීම අපට පිළිතුරු දෙනු ඇත.

යෙහෝවා යයිරා යනු ස්වාමීන්වහන්සේ මාගේ සැපයුම්කරුයි. (උත්පත්ති 22:14)

මේ නම සඳහන්වන්නේ ඊසාක්ව පූජාකරනු ලැබීමෙදි.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පවසනවා ඔහු ප‍්‍රේමකරන්නාවූ ඔහුගේ එකම පුත‍්‍රයා දෙවියන්වහන්සේට පූජා කරන ලෙසට (උත්පත්ති 22:1-2)

ආබ‍්‍රහම් තම පුත‍්‍රයත් සමඟ පූජා කරන්නට කන්දට යන විට දරුවා අසනවා පියාණනි අපට දරත්, ගින්දරත් තිබේ එහෙත් දවන පූජාවය බැටළුපැටවා කොයිද කියා. (උත්පත්ති 22:7)

දවන පූජාවට බැටළු පැටවා ස්වාමීන්වහන්සේම සපයා ගන්නවා අතැයි ආබ‍්‍රහම් පැවසීය. (උත්පත්ති 22:8)

ආබ‍්‍රහම් දෙවියන්වහන්සේ සමඟ අභ්‍යන්තර සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන කන්ද නගින්නට ඇති.

මේ දරුවා ආබ‍්‍රහම්ට අවුරුදු 100 දී ලැබුනාවූ පොරොන්දුවේ දරුවා. ආබ‍්‍රහම් විශ්වාස කරා පූජාවක් ලෙස දරුවාව මැරුවත් මළවුන් පවා උන්වහන්සේට නැඟිටුවිය හැකිබව. (හෙබ්‍රෙව් 11:17-19)

ආබ‍්‍රහම් පූජාසනයක් සාදා දරුවා පූජාසනය පිට තබා බැඳ තම පුත‍්‍රයා මරන පිණිස පිහිය අතට ගත්විට ස්වාමීන්වහන්සේගේ දූතයා එය වැලැක්විය. (උත්පත්ති 22:11)

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පවසනවා නුඹේ පුත‍්‍රයාට වඩා නුඹ මට ප‍්‍රේමය දක්වන බවත්, නුඹේ හදවතේ තිබෙන ඇදහිල්ලත් මම දුටිමියි කියා.

ඒ අසල අකුලක පැටලී සිටි බැටළු පැටවෙකු දුටු ආබ‍්‍රහම් බැටළු පැටවා ගෙන තම පුත‍්‍රයා වෙනුවට දවන පූජාවක් ලෙස ඔප්පු කරන ලදි. (උත්පත්ති 22:13)

ඔහු ඒ ස්ථානයට යෙහෝවා යයිරේ යන නාමය තබන ලදි. (උත්පත්ති 22:14)

ආබ‍්‍රහම්ටත් අපට මෙන්ම සිතුවිලි පැමිණෙන්නට ඇති. නමුත් ඔහු තීරණය කරා ඔහුගේ පුත‍්‍රයාටත් වඩා ඔහු දෙවියන්වහන්සේට ප‍්‍රේම කරන බවට. ආබ‍්‍රහම් ඇදහිල්ලේ පියා ලෙස හදුන්වන්නේ ඒ නිසාය.

ආබ‍්‍රහම් කිසිවක් නොදුටුවත් ඔහු විශ්වාස කලා දෙවියන්වහන්සේ ඔහුට අවුරුදු 100 දිත්, සාරාට අවුරුදු 90 දිත් දුන් දරුවා ඊසාක්. ඊසාක් යන නමෙහි අර්ථය සිනහව. දෙවියන්වහන්සේ දුන් ඒ සිනහව උන්වහන්සේ නැති නොකරන බව. එතරම් මහත් ඇදහිල්ලක් ආබ‍්‍රහම් තුළ තිබුණි.

රෝම 4:17
17(නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.

මළවුන් ජීවත්කරන්නට පුළුවන් යන මහත් ඇදහිල්ලක් ආබ‍්‍රහම්ට තිබුණි.

කන්ද නගින අවස්ථාවේ ආබ‍්‍රහම් සේවකයන්ට කීවේ නුඹලා මෙහි නතරවෙන්න. මාත් ළමයාත් දෙවියන්වහන්සේට නමස්කාර කර නැවත එන්නෙමි කියාය. (උත්පත්ති 22:5)

සමහරවිට සේවකයන් ඔවුන් සමඟ ගියා නම් සේවකයන් ඔහු කරන්නට යන දෙය වලක්වන්නට තිබුණි. ආබ‍්‍රහම් ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කරන ලදි.

ඔහුගේ ප‍්‍රකාශය අපි නැවත එනවා. දරුවා පූජා කලත් දෙවියන්වහන්සේට මළවුන් පවා නැගිටවිය හැකි යන විශ්වාසය ඔහු තුළ තිබුණි.

ඔහු විශ්වාසය තැබුවේ නැතිදේ ඇතිදේ මෙන් සඳහන් කරන්නාවු දෙවියන්වහන්සේ කෙරෙහිය.

අපගේ ජීවිතයේද අප විශ්වාස කරන දේ තවමත් අපට නොපෙනෙන්නට පුළුවන. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ නැතිදේ ඇතිදේ මෙන් සඳහන් කරන ලෙසය. එයයි ඇදහිල්ල. එය අපට නොපෙනේ. පෙනෙන දෙයක් ගැන කථා කිරීමට අපට ඇදහිල්ලක් අවශ්‍ය නොවේ.

ඇදහිල්ල යනු නොපෙනෙන තලයේ ක‍්‍රියාකරන දෙවියන්වහන්සේගේ උතුම් බලයයි.

මේ බලයට අප සම්භන්ධ වන්නේ අපගේ වචන වලින් හා ක‍්‍රියා වලින්ය.

ආබ‍්‍රහම් සියල්ලන්ගේ පියා වූයේ ඔහුගේ මහත් ඇදහිල්ල නිසාය.

රෝම 4:18
නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය.

ආබ‍්‍රහම්ට බලාපොරොත්තුවෙන්ට විශ්වාස කරන්ට කිසි කරුණක් නොතිබුනත් ඔහු දෙවියන්වහන්සේ විශ්වාස කරන ලදි.

අපද කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව සිටියත් දෙවියන්වහන්සේගේ වචනය සත්‍ය බව විශ්වාස කරමු.

රෝම 4:19
ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී,

ආබ‍්‍රහම් ඇදහිල්ලෙන් ශක්තිමත් වන ලදි. ඇදහිල්ලෙන් ශක්තිමත් වන්නේ ඇදහිල්ලේ වචන කථා කිරීමෙනි.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ පෙනීමේ ගමනකට නොව ඇදහිල්ලේ ගමනකටය.

පෙනෙන දේ තාවකාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය.

නොපෙනෙන තලයේ ලැබුනු නැති දේ ලැබෙන්ට ප‍්‍රථමයෙන් ප‍්‍රකාශ කිරීමයි ඇදහිල්ලය.

බයිබලයේ අලුත් ගිවිසුම ලියා ඇත්තේ ශුද්ධවන්තයන්ටය. ගැළවීම ලැබුවාවු අප ජීවත්ව සිිටින ශුද්ධවන්තයන්ය.

දෙවියන්වහන්සේ අපට පවසන්නේ ඇදහිල්ලෙන් දුර්වල නොවී ඉන්න කියාය.

ඇදහිල්ලෙන් ශක්තිමත්වන එකම ක‍්‍රමය පොරොන්දු ප‍්‍රකාශකරමින් දිනපතා දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කිරීමය. අබ‍්‍රහම් තුළ තිබූ ඇදහිල්ලේ චරිත ගුණාංගය එයයි.

අබ‍්‍රහම් හා සාරා වයස්ගතව සිටියත් ඔහු ඒ ගැන චංචල නොවී දෙවියන්වහන්සේට අපගේ ශරීර අලුත් කරහැකි යන විශ්වාසයෙන් සිටීය.

අපද ඇදහිල්ලෙන් දුර්වල නොවීමට, චංචල නොවීමට තීරණය කර ගනිමු.

අබ‍්‍රහම් ඔවුන්ගේ දුර්වලකම් කල්පනා කිරීමට ගියේ නැත.

අප සිතිය යුත්තේ මගේ දෙවියන්වහන්සේට සියල්ල කලහැකි බවය. මා හට කල නොහැකි දේ දෙවියන්වහන්සේට කල හැකි බවය.

ඔබගේ වචන ඉතා වැඳගත්ය. ඔබගේ සිතුවිලි වලට සැකය, නොඇදහිල්කාර සිතුවිලි, මනුෂයන්ගේ අදහස් ඇතුල්වීය හැකිය. අප ඒවාට ඉඩ නොදිය යුතුය.

රෝම 4:20-21
20එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්, 21පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.

දෙවියන්වහන්සේට බැහැයි කියන දේ ආබ‍්‍රහම්ගේ සිතේ නොතිබුනි.

අපගේ හදවතේ තැන්පත්ව තිබිය යුත්තේද එයයි. අප දෙවියන්වහන්සේ විශ්වාස කරමින් උන්වහන්සේට ගෞරව නමස්කාර කල යුතුය.

දකින්ට පෙර අප ඇදහිල්ලෙන් ස්තුති දී, ගෞරවය පුද කරමු. ඇදහිල්ලේ නිසැකකම අප තුළ ඇතිකර ගනිමු. අදහන දේ, විශ්වාස කර දේ මතම රැදී සිටිමු.

දෙවියන්වහන්සේ අපගේ සැපයුම්කරුය.

ආබ‍්‍රහම්ගේ ඇදහිල්ල, විශ්වාසය දකිමින් දෙවියන්වහන්සේ ඔහුට ආශීර්වාද කරන ලදි.

ඔබද දෙවියන්වහන්සේ පොරොන්දුවූ දේ කෙරෙහි විශ්වාසය තබමින් අත්නෑර සිටින්න.

මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය නොතබන්න.

යෙරමියා 17:5-7
5ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය. 6ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත. 7ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.

මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තබන්නා ශාපලද්දෙක් වේ. අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු.

දෙවියන්වහන්සේ කවදාවත් පොරොන්දු කඩකරන්නේ නැත. උන්වහන්සේ පොරොන්දු ඉෂ්ටකරන්නාවු තැනැන්වහන්සේය.


Watch the Sermon Video

Read 53 times