+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ඔබගේ මාංශයේ තෘෂ්ණාවෙන් අනුව නොව ආත්මයෙන් ගමන් කරන්න - මනූ මැතානි
November 24, 2024 Sunday Sermon Notes
ඔබ ශෝක නොවී නිතරම ප්‍රීතියෙන් සිටින්න.
පාවුල් තුමා පවසන්නේ නිතරම ප්‍රීතිවන්න කියාය. නැවත නැවත ප්‍රීතිවන්න කියාය.
මෙය පවසන විට පාවුල් සිටියේ සිරගෙදරය. ඔහු සිරගෙදර සිටියේත් ප්රීතිමත්වය.
ඔහු සිරගෙදර ප්‍රීතිමත්ව සිටින අතර ඔහු සභාවට ලිපියකින් ලියා යවන්නේ ඔබත් ප්‍රීතිවන්න කියාය.
[පිලිප්පි 3:1]
ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.
ප්රීතිනොවී සිටීම අනතුරුදායකය. අපගේ ප්‍රවේසමට, ආරක්ෂාවට, සුවයට, සැපයීමට, මිදීමට, ජීවිතයට පැමිණෙන්නාවු අනතුරුදායක දේවලින් මිදීමට එය අවශ්‍යයි.
ඔබ කරදර පත්වයට පත්වන අවස්ථාවෙදිත්, දුකට පත්වන අස්ථාවෙදිත් ප්‍රීතිවන්න. මන්ද ඔබගේ ගැළවීමේ මාර්ගය ප්‍රීතියයි.
ස්තූතිවන්ත හදවතකින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරමින්, ගෞරව කරන්න.
සිදවූ දෙයට වඩා ඔබගේ ගැළවීමේ ප්‍රීතිය යහපත් බව පවසන්න.
[පිලිප්පි 4:4]
ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.
ප්‍රීතිවෙන්න, ප්රීතිවෙන්යැයි නැවතත් පවසන්නේ අපගේ යහපත උදෙසාය.
දාවිත් රජ බෙත්ෂෙබා සම්බන්ධ කළාවූ පාපය ගැන නාතාන් අනාගතවක්තෘ පැමිණ කියූ අවස්ථාවේ දාවිත් රජ පසුතැවිලිවෙන ලදි. (2 සාමුවෙල් 12)
දාවිත් රජුගේ පසුතැවිලිවීමේ යාච්ඤාව ගීතාවලිය 51 සඳහන්ව ඇත.
අප එය නව ගිවිසුමට අනුව පරිවර්තනය කලවිට අප මනස පවිත්‍ර කර ගන්නේ ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අපගේ මනස වෙනස් කර ගැනීමෙනි.
අපගේ සිත පවිත්රකරගත හැක්කේ ස්වාමීන්වහන්සේගේ වචනයෙන් හා අපගේ සිත වෙනස්කර ගැනීමෙනි. එවිට අපගේ ගමන ස්ථීරව යා හැකිය.
ගීතාවලිය 51:11
[11] ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.
නව ගිවිසුමට අනුව ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින්නේ අප සමඟය. කවදාවත් අපව දාලා යන්නේ නැත.
දාවිත් රජතුමාගේ අභ්‍යන්තරයේ ශුද්ධාත්මයාණන්වහන්සේ වාසය කළේ නැත. නමුත් නිතර ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය දාවිත් රජතුමාට තිබුණි.
ඔහු යුද්ධයට යන අවස්ථාවලිදී යායුතු තැන, කළ යුතු දේ ගැන ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය, මඟ පෙන්වීම ඔහුට ලැබුණි. එය පිටස්තරයෙන්ය. අභ්‍යන්තරයෙන් නොවේය.
නව ගිවිසුමට පැමිණිකල ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරමින් අපගේ ආත්මය සමඟ එක්වී සිටියි. අප ජීවතුන් අතර සිටින තුරු කවදාවත් කොහෙත්ම කිසිසේත්ම උන්වහන්සේ අපව දාලා යන්නේ නැත.
ගීතාවලිය 51:12
[12] ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව.
ගැළවීම තුළ අනිවාර්යයෙන්ම ප්‍රීතිය ඇත. එය අපට ඇති උතුම්ම ප්‍රීතියයි. ගැළවීමේ ප්‍රීතිය කොතරම්ද කියා අප තේරුම් ගෙන ජීවත්වන්නේ නම් අපට නිතරම එම ප්‍රීතිය සැමරිය හැකිය.
අප මනුෂ්‍යය පුත්‍රයන් ලෙස උපත ලැබුවත් යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැවත නැඟිටීම තුළින් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ලෙස නැවත උපත ලැබීය.
යමෙක් යේසුස්වහන්සේව පිළිගත් කල දෙවියන්වහන්සේ ඔහුව පිළිගන්නේ උන්වහන්සේගේ පුත්‍රයෙක් ලෙසයි.
ශු. යොහන් 1:12
[12] නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.
යේසුස්වහන්සේ මේ පොළොවට ප්රකාශවූයේ එක දරුවෙකු ලෙසය. නමුත් යේසුස්වහන්සේගේ ජීවිත පූජාව තුළින් බොහෝ සංඛ්‍යත ගණන් ගැළවීම ලැබ දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස පෙනී සිටියි.
දෙවියන්වහන්සේට දරුවන් අවශ්‍ය නිසයි උන්වහන්සේගේ සමානත්වයට හා ස්වරූපයට උන්වහන්සේ අපව මවන ලද්දේ.
අප දෙවියන්වහන්සේ මිලදී ගත්, උන්වහන්සේගේ වචනයයෙන් උපත ලත් දරුවෝය.
අපට දෙවියන්වහන්සේගේ කරුණාවේ සිංහාසනය වෙත ළඟාවිය හැක්කේ යේසුස්වහන්සේගේ නාමයෙන්ය.
අප දැන් දෙවියන්වහන්සේට වටිනා පුද්ගලයෙක්ය. අපට යක්ෂයා සමඟ කිසිදු ගණුදෙනුවක් දැන් නොමැත.
යේසුස්වහන්සේව පිළිගත් දවසේ උන්වහන්සේ යක්ෂයාගේ සියලු දංවැල්, බළකොටු බිඳදමා යක්ෂයාගෙන් අපව උදුරාගන්නා ලදි.
දෙවියන්වහන්සේ ඔබට ලබා දුන් ඒ ගැළවීම ගැන ඔබ ප්‍රීතිවන්න. ඔබ මොන තත්වයෙන් සිටියත් ප්‍රීතිවන්න. යක්ෂයාට ඔබගේ ප්‍රීතිය නැති කිරීමට ඉඩ නොදෙන්න.
යොහන්ට කොපමණ පීඩා පැමිණෙව්වත් ඔහුගේ ප්‍රීතිය නැති කිරීමට කිසිවෙකුට නුපුළුවන්විය. අවසානයේ ඔහුව පත්මොස් දූපතට දැමූ පසු එහිදී ඔහු එළිදරව් පොත ලියනු ලැබුවේ එහිදීය.
අප කල යුත්තේ ප්‍රීතියෙන් දෙවියන්වහන්සේගේ රාජ්යගැන මනුෂ්‍යයන්ට ප්‍රකාශ කිරීමය. මන්ද එක් ආත්මයක්වත් විනාශවීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේය.
දෙවියන්වහන්සේ අපාය සෑදුවේ මනුෂ්‍යයන්ට නොවේය. අපාය සෑදුවේ යක්ෂයාටය.
යක්ෂයා සමඟ සම්බන්ධකම් පවත්වන්නන් අපායේ හා ස්වර්ගයේ වෙනසවත් අදුනන්නේ නැත.
අප ඒ අයට එය කියාදිය යුතුය. එතුළින් කවදාහෝ ඔහුන් ගැළවීම ලබා ස්වර්ගයට එනු ඇත. එය අපගේ ජීවිතයේ ඇති විශාලම වගකීමය.
මනුෂ්‍යයන්ට සුභාරංචිය කියන්නට ඔබගේ ජීවිතයේ සාක්ෂිය වැදගත්ය.
ඔබගේ ජීවිතයේ සිදුවූ දේ .....අන්ධකාරයෙන් ආලෝකයට පැමිණීම, යක්ෂයාගේ රාජ්‍යයෙන් මිදී දෙවියන්වහන්සේගේ දරුවෙකුවීම, අන්ධකාර බළවේගයන්ගෙන් නිදහස්ව දෙවිපියාණන්වහන්සේ සමඟ ඇති සම්බන්ධය. දෙවියන්වහන්සේ ඔබ තුළ වාසය කිරීම යන ඔබ තුළ ඇති ඇදහිල්ල, ඔබ විශ්වාස කරන දේ නොබියව ප්‍රකාශ කරන්න.
ඔබගේ ගැළවීම සුළු නොකර ඒ ගැළවීමේ ප්‍රීතිය ගැන ස්තුති කරන්න.
ගැළවීම ලබා ගත් පසු දෙවියන්වහන්සේ අප තුළ වගුරා ඇති උන්වහන්සේගේ ආත්මය යනු දෙවියන්වහන්සේම අප තුළ වාසය කිරීමය.
ගලාති 5:16
[16] නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.
ආත්මයෙන් හැසිරෙනවා යනු දෙවියන්වහන්සේ හැසිරෙන සේ අපත් හැසිරීමය. ආත්මයෙන් ගමන් කිරීමය.
ආත්මික උපතක් ලබා ඇති අපට තිබෙන්නේ ආත්මයාණන්වහන්සේට කීකරුව ගමන් කිරීමය. එවිට මාංසයේ තෘෂ්ණා අප සම්පූර්ණ කරන්නේ නැත.
ආත්මයෙන් ගමන් කරනවානම් ඔබ පළමුකොට දැනගත යුතුයි ආත්මික උපතක් ඔබ තුළ තිබෙන නිසා දෙවිපියාණන්වහන්සේ, යේසුස්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කරන බව.
මේ එකම තැනැන්වහන්සේය. ක්‍රියාකාරීත්වය තුන් ආකාරයකටය.
ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරමින් අපට දිනපතා මඟ පෙන්වයි. කථා කරයි. අපට උන්වහන්සේගේ හඬ අසන්නට පුළුවන.
ඔබගේ සිත කලබල මොහොතක, කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව සිටින විට, ඔබ මොහොතක් යාච්ඤාවෙන් නිහඬව සිටියහොත් ඔබට කළ යුතු දේ ශුද්ධාත්මයාණන්වහන්සේ පවසයි. උන්වහන්සේ ඔබගේ ප්රඥාවයි.
ඔබට හැකි සෑම අවස්ථාවකදීම ඔබ අන්භාෂායෙන් යාච්ඤා කරන්න. එසේ කිරීමෙන් ඔබට මේ ලෝකයේ ජයග්රාහිකව ජීවත්වීමට පුළුවන.
ඔබගේ ආත්මය ශුද්ධාත්මයාණන්වහන්සේට සම්බන්ධ නිසා එය කාටත් නොතේරුනත් විය යුතුදේ එයාකාරයෙන්ම සිදුවේ.
පළමුව ඔබ ආත්මික මනුෂ්‍යයෙක් බව වටහාගන්න.
ඔබ ආත්මයෙන් ගමන් කිරීමට තීරණය කළහොත් මාංසයේ දේ මැඩපැවැත්වීමට, පාගාදැමීමට, එපා කිරීමට ඔබට පහසුවේ.
නමුත් ඔබ කලබලයෙන් සිටින විට ඒ කලබලය තුළින් යක්ෂයා පැමිණ ඔබව වරදට පත් කරමින් ඔබට පහර ගසමින් පාපයට ඔබව ඇතුළ් කරයි.
ඔබ සිතයි මෙය නොකර සිටින්නනේ මා උත්සහා කළේ මා නොකළ යුතු දේ කලානේ මගේ හෘද සාක්ෂිය එය පවසයි කියා.
ඔබගේ හෘද සාක්ෂියෙන් ඔබට කථා කර ඔබගේ හෘද සාක්ෂියෙන් ඔබට ජය දීමට ශුද්ධාත්මයාණන්වහන්සේට පුළුවන.
ඔබගේ හෘද සාක්ෂියට ඔබ ඇහුම්කන් දුන්නහොත් වැටුනු තත්වයෙන් නැඟිටීමට ඔබට පුළුවන් කමත් ලැබෙනු ඇත.
1 තිමෝති 1:18-19
[18] මාගේ පුත්‍රවූ තිමෝතියස්නි, නුඹ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙමි. [19] එනම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිට, ඒ වාක්‍යවලින් යහපත් යුද්ධය කරන ලෙසය. සමහරු ඒ හෘදයසාක්ෂිය අත්හැරදමා, ඇදහිල්ල නමැති නැව බිඳගත්තෝය.
ගැළවීම ලබා ගත් පසු ඔබට තිබෙන්නේ යහපත් හෘද සාක්ෂියක්ය. ඔබගේ ඇදහිල්ලත්, හෘද සක්ෂියත් පාවිච්චි කරමින් යහපත් යුද්ධයක් කරන ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට පවසයි.
අප සිටින්නේ යුධ භූමියේය. යුද්ධය ඇත්තේ අපගේ මනසේය.
කිතුණුවෙකු ගැළවීම ලබා අවුරුදු ගණනාවක් ගියත් පරාජිතව සිටින්නේ යහපත් යුද්ධයක යුධ නොකරන නිසාය.
අප සිටින ලෝකයේ මිනිසුන් විවිධාකාරය. කිතුණුවන් අතරද අඬදබර කරගන්නාවුන් ඇත.
පාවුල්තුමා ඔවුන්ට කථා කරන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ බිළිඳුන් කියාය.
1 කොරින්ති 3:1
[1] සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් නුඹලාට කථාකරන්ට නොහැකිව, මාංසිකයන්ටත් ක්‍රිස්තුස්වහන්සේ තුළ බිලිඳුන්ටත් මෙන් කථාකෙළෙමි.
අප වචනය ඇසීමෙන් ඇදහිල්ල, සමාදානය, ප්‍රීතිය යන මේ තුනම ලැබෙනු ඇත.
යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ පවසන්නාවූ වචන වලින් අපට සමාදානය තිබෙන බවය. (යොහන් 16:33)
යෙරෙමියා පොතේ පවසන්නේ උන්වහන්සේගේ වචනය තුළින් ප්‍රීතිය ඇතිවූ බවය.
යෙරෙමියා 15:16
[16] ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.
රෝම පොතේ පවසන්නේ වචනය ඇසීමෙන් ඇදහිල්ල ඇතිවන බවය.
රෝම 10:17
[17] මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.
මේවා අපගේ ආත්මික භාවයට වැදගත්ය.
ඔබ නිතර වරදට පත්වන, පැකිලීමට පත්වන කෙනෙක්නම් ඉන් පෙනෙන්නේ ඔබ තවමත් ළදරුභාවයේ සිටින බවය.
පැකිලීමට පත්වීමෙන් වැළකීමට ඇති එකම දෙය දෙවියන්වහන්සේගේ වචනයයි.
ගීතාවලිය 119:165
[165] ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.
දෙවියන්වහන්සේගේ වචනයේ පර්වතය මත ඔබගේ ජීවිතය ගොඩනඟා සිටින විට ලෝකයේ කුමන දේ සිදුවුවත් ඔබ තුළ සමාදානය තිබේ. කිසිදු කාරණාවකින් ඔබ පැකිලීමට පත්නොවෙයි.
ඔබව වින්දනයට පත්කරන සභාවකට නොව, වචනය තුළින් ඔබගේ ආත්මික මනුෂ්‍යයා වර්ධනය වන සභාවකට එකතුවන්න.
වචනය තුළින් දෙවියන්වහන්සේ ඔබට තරවටු කරයි, අවවාද දෙයි නමුත් කිසිදා දෙවියන්වහන්සේ ඔබව වරදට පත් නොකරයි. දෝශාරෝපනයට පත් නොකරයි, එපා නොකරයි, කොන් නොකරයි. උන්වහන්සේ කිසිසේත් ඔබව අමතක නොකරයි.
අප කොහේ සිටියත් දෙවියන්වහන්සේ දන්නා සේක. (ගීතාවලිය 139:7-9)
අප ජල මැදින් ගියත්, ගිණි මැදින් ගියත් දෙවියන්වහන්සේ අප සමඟය.
මව්කුසට එන්ටත් පෙරම දෙවියන්වහන්සේ ඔබව තෝරා තිබීම පුදුම දෙයකි.
අපගේ නිදහස් කැමැත්ත පාවිච්චි කරන තුරු ඔබව ගළවන්නට ස්වාමීන්වහන්සේ බලා සිටියි.
අපගේ මුඛයෙන් යේසුස්වහන්සේ ස්වාමීන් කියා අප ප්රකාශකල මොහොතෙයි යේසුස්වහන්සේට අපව ගැළවීමට හැකිවුනේ.
ඒ තාක් ස්වාමීන්වහන්සේ සිටියේ අපගේ හදවත නැමැති දොරටුවට තට්ටු කරමිනි.
දෙවියන්වහන්සේගේ වචනය ඉතා වැඳගත්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ කිසිදා දේව වචනයට පටහැනි දෙයක් පවසන්නේ නැත. උන්වහන්සේ කථා කරන්නේ ලියා තිබෙන වචනය තුළිනි.
දෙවියන්වහ්සේට කවදාවත් ඔබව අමතක වන්නේ නැත.
ළදරු මෝසෙස්ව නයිල් ගගේදී දෙවියන්වහන්සේ ආරක්ෂා කරන ලදි. ඵාරාවෝගේ නිවසේ හැදී වැඩුනු මෝසෙස් වැඩිවියට පත්වන විට තම සෙනඟ ගැන හොඳ හැටි දැන සිටියහ. (නික්මයාම 2:3-10)
ඔහු මිසරයෙක් මරා ඵාරාවෝට බයේ පලා ගොස් අවුරුදු 40 මිදියන් දේශයේ විසුවත් දෙවියන්වහන්සේට ඔහුව අමතක නොවුණි. (නික්මයාම 2:11-22)
මෝසෙස්ට අවුරුදු 80දී දෙවියන්වහන්සේ ඔහුට හඬගසන ලදි. උන්වහන්සේ පැවසුවේ මනුෂ්‍යයන් ගළවන්නට උන්වහන්සේ ඔහුව කැඳවන බවයි. (නික්මයාම 3:1-10)
මෝසෙස් දෙවියන්වහන්සේට නිදහසට කරුණු කියමින් ඔහු කථාවට අදක්ෂයයි පැවසීය. දෙවියන්වහන්සේ ඔහුගේ උපකාරයට ඔහු වෙනුවෙන් කථා කිරීමට ඔහුගේ සහෝදරවූ ආරොන් දෙන බව පැවසීය. (නික්මයාම 4:10-17)
මෝසෙස් ඵාරාවෝ ඉදිරියට ගොස් කවුරු එව්වයි කියම්දැයි ඇසුවිට දෙවියන්වහන්සේ පැවසුවේ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ එව් බව පවසන ලෙසයි. (නික්මයාම 3:13-17)
මෝසෙස් ඵාරාවෝ ඉදිරියට ගොස් බලවත් විශාල හාස්කම් කරමින් සෙනඟව පිටතට ගෙනෙන ලදි.
නිදහසට කරුණු කියනවාට වඩා දෙවියන්වහන්සේට කීකරුව ගමන් කිරීම අගනේය.
ඔබ ගැළවීම ලබා වසර ගණනාවක් කිතුනුවෙක් ලෙස සිටියත් ජීවිතය තුළ වර්ධනයක් නොමැත්තේ ............
පළමු කාරණය - ඔබට ආත්මික උපතක් තිබෙන බව වටහා නොගැනීමය.
දෙවැන්න - ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කරන බව විශ්වාස නොකිරීමය.
තුන්වැන්න - මනුෂ්‍යයා ජීවත්වන්නේ රොටී වලින් පමණක් නොවෙයි. ආත්මික මනුෂ්‍යයා ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන් බව වටහා නොගැනීමයි.
අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන්ය. වචනය අපගේ ජීවිතේ මුල්කර ගත යුතුය.
ශු. මතෙව් 4:4
[4] උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.
දේව වචනය සාමාන්‍ය පොතක් නොවේය.
දේව වචනයේ ලියා තිබෙන දේ වල ලකුණු අපට දැකිය හැකිය.
යේසුස්වහන්සේ මනුෂ්‍යයන් ගළවන බව ලියවිල්ලෙහි සඳහන්ව ඇත. එලෙසම අප ගැළවීම ලබා ඇත.
යේසුස්වහන්සේ අප සුවකරන බව ලියවිල්ලෙහි සඳහන්ව ඇත. එලෙසම අප සුවය ලබා ඇත.
දෙවියන්වහන්සේ තුළ සමාදානය ඇති බව ලියවිල්ලෙහි සඳහන්ව ඇත. එලෙසම අප තුළ පුදුමාකාර සමාදානයක් ඇත.
වෙනත් පොත් තිබුණත් ඒවා වල ලියා ඇති දේවල් ඉෂ්ටවන්නේ නැත.
දේව වචනයෙහි ලියා තිබෙන දේ ඉෂ්ට කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.
දේව වචනය බීජයක් හා සමානය. එය අපගේ හදවතට දමාගෙන එය මෙනෙහිකරමින් එය විශ්වාස කරමින් එය ප්‍රකාශ කරන කල එය අපගේ ජීවිතයට ප්‍රතිඵල ගෙන එයි.
යක්ෂයා පැමිණෙන්නේ ඔබගේ හදවතෙහි ඇති වචනයේ බීජය සොරකම්කරන්නටය.
ඔබ දෙවියන්වහන්සේගේ සමාදානය තුළ ජීවත්වන කෙනෙක්නම් ඔබ තුළ ඇති මහත් සමාදානය නිසා කවදාවත් ඔබ පැකිලීමට පත්වන්නේ නැත.
මනුෂ්‍යයන් තුළින් විශේෂයෙන් සමීපතයන් තුළින් පැකිලීමට පත්වන කාරණා යක්ෂයා පැමිණෙව්වත් එයට වඩා දෙවියන්වහන්සේගේ වචනය උතුම් කොට සලකමු. මන්ද ඔබව නිදහස් කිරීමට ඒ බීජය තුළ බලය ඇත.
මාංසයෙන් ගමන් කිරීම පුරුද්දක් කර නොගන්න.
සමහරුන් නිදහසට කරුණු ලෙස බයිබල් පද උපුටා පෙන්වයි.
රෝම 7:14
[14] මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.
අප පාපයට විකිනී නැත. මන්ද යේසුස්වහන්සේ උන්වහන්සේගේ අනර්ඝ ලෙයින් අපව මිලදී ගෙන ඇත.
අප සිටින්නේ පාපයට යටත්ව නොව දේව අනුග්‍රහයට යටත්වය.
එයින් අදහස්වන්නේ අපව පාලනය කිරීමට පාපයට අධිපතිකම් කළ නොහැකි බවය.
රෝම 6:14
[14] කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
අප මව්කුස පටන්ම පාපිෂ්ඨ ස්වභාවයෙන් ඉපද ලැබුවත්, දැන් අපගේ ස්වභාවය වෙනස්ය. දැන් අප ධර්මිෂ්ඨය.
ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වීමට ස්වාමීන්වහන්සේ අප මිළදී ගන්නා ලදි.
රෝම 7:15
[15] මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.
මේ ඔබගේ පරණ මනුෂ්‍යයාගේ ගතිගුණය.
දැන් ඔබ කරන දේ දැන ගැනීමට ඔබට යහපත් හෘද සාක්ෂියක් ඇත.
ඔබට ව්‍යවස්ථාව යටතේ පරණ විදියට ජීවත්වීමටත් පුළුවන. නැතිනම් අනුග්‍රහය යටතේ දෙවියන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට පුළුවන.
ඔබට වටින දෙයක් විනාශකර හෝ නපුරු පුරුදු වලින් නිදහස් වීම වටී.
යේසුස්වහන්සේ පැවසුවේ නුඹේ ඇසක් බාධා කරේ නම් එය උගුලා අහකට දමන්න කියාය. (මතෙව් 5:29-30)
ඔබට බාදා වන වටිනා දෙයට වඩා දෙවියන්වහන්සේට කීකරුව ගමන් කිරීම වටී.
රෝම 7:16
[16] ඉඳින් මම අකැමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි.
ව්‍යයවස්ථාව යහපත් බව දනිමි. නමුත් මට වැරදි දේ සිදුවෙයි වැනි ප්‍රකාශ නොකියා. ඔබ වෙනස්වන්න.
ඔබට වෙනස්වන්නට පුළුවන. දෙවියන්වහන්සේගේ වචනයට ලගාවී සිටින ආත්මික මනුෂ්‍යයෙක් ලෙස ඔබ ස්ථීරවන්න.
අප හා එක්ව සිටින ශුද්ධාත්මයාණන්වහන්සේ පාපිෂ්ඨ ක්‍රියා අනුමත කරන්නේ නැත. අප උන්වහන්සේ අනුව ගමන් කරමු. ඔබගේ නපුරු පුරුදු වලින් ජය ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේ උපකාර කරනු ඇත.
නපුරු දේට ඇබ්බැහි නොවන්න.
රෝම 7:17
[17] එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.
පාපයේ අධිපතියා යක්ෂයාය.
යේසුස්වහන්සේ යක්ෂයාගේ බලය සම්පූර්ණයෙන්ම බිඳ දමන ලදි.
1 යොහන් 3:8
[8] පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.
පව්කරන කෙනා අයිති යක්ෂයාටය. ඔබ යක්ෂයාට වහලෙක්ව සිටීනම් එයින් මිදී ගැළවීම ලබාගන්න.
යක්ෂයා ආරම්භයේ සිටම කළේ පාපයයි. මුලින්ම ඒවව රවටන ලදි.
යේසුස්වහන්සේ පැමිණියේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමට. යක්ෂයාගේ ක්‍රියා නම් පාපයයි.
යේසුස්වහන්සේ කුරුස ගසේදී යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන ලදි.
ඔබගේ ඇබ්බැහිවීම්, නරක සිතුවිලි සියල්ල යේසුස්වහන්සේ කුරුසගසේදී විනාශ කරන ලදි.
ඔබට තිබෙන්නේ දෙවියන්වහන්සේට එකඟ වෙමින් ගමන් කරන්න. එවිට ඒ සත්‍ය ඔබව නිදහස් කරයි.
ඔබ තුළ දැන් පාපයක් නැත. පාපයේ හැඟීම යේසුස්වහන්සේ විනාශ කර දමන ලදි.
රෝම 13:14
[14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.
ඔබ යේසුස්වහන්සේ පිළිගන්න. එවිට මාංසයට කිසි පංගාඩමක් නොමැත. ඔබ යේසුස්වහන්සේ මෙන් ජීවත්වන්න.
රෝම 6:6-9
[6] මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස, අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද බව දනිමුව.
දැන් අප පාපයට සේවය කරන්නෙ නැත. පාපය අප තුළ අධිපතිකම් කරන්නේ නැත.
[7] මක්නිසාද මැරුණාවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි. [8] තවද මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ ක්‍රිස්තුස්වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින්, [9] අපි උන්වහන්සේ සමඟ මැරුනෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුයයි විශ්වාසකරමුව.
අපගේ සියලු පාප උදෙසා යේසුස්වහන්සේ එක් වරක් මැරුණු සේක. නැවත නැවත උන්වහන්සේට මැරෙන්නට අවශ්‍ය නැත.
රෝම 6:10-13
[10] මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක. [11] එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න. [12] එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා. [13] නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.
පරණ මනුෂ්‍යයත් සමඟ දැන් අපට කිසිදු සම්බන්ධකමක් නැත. දැන් අප අලුත් මනුෂ්‍යයන්ය.
පරණ දේ සියල්ල පහව ගොස් ඇත. සියල්ල අලුත්ව තිබේ (2කොරින්ති 5:17)
දැන් පාපය ඔබ තුළ රජ කරන්නේ නැත.
අපගේ අවයව ධර්මිෂ්ඨකමේ ආයුධ කරගනිමු.
හැගීමට භාරනොවී මාංසයට ඉඩනොදී ආත්මයෙන් ගමන් කරමු.
Watch the Sermon Video