+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි දෙවියන්වහන්සේගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය - යෝෂා මනූ
December 1, 2024 Sunday Sermon Notes


දරුවන් කුඩා කල සිටම දේව වචනය ඉගෙනගත් කළ ඔවුන් තරුණවියට, වැඩිවියට පැමිණි පසුවත් එම වචනය තුළ පැවතෙනු ඇත.

වචනය දරුවන්ට උගන්වන පිණිස දෙවියන්වහන්සේ අප සමඟ ගිවිසුමක් ඇති කර ඇත.

යෙසායා 59:21
තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ ගිවිසුමේ කොන්දේසි දක්වා ඇත.

පළමුදේ උන්වහන්සේගේ ආත්මය අප තුළ තබා ඇත.
අප ගැළවීම ලබන විට යේසුස්වහන්සේ අපගේ ස්වාමීන් කියා පවසන්නේ ශුද්ධාත්මයාණන් තුළිනි.

යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන තුරු සාක්ෂි නොදරන ලෙසය. (ක‍්‍රියා 1:8)

ආත්මයාණන් නොමැතිව වචනය පැවසීමෙන් කිසිවෙකුට එය ප‍්‍රයෝජනවත්වන්නේ නැත. ආත්මයාණන්වහන්සේ නොමැතිව කිසිවක් කල නොහැකිය.

දෙවැන්න උන්වහන්සේගේ වචනය අප තුළ තබා ඇත.
දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ වචනය අපට රෑ දහවල් මෙනෙහි කරන ලෙසය. (යෝෂුවා 1:8)

මෙනෙහි කරනවා යනු දේව වචනය නැවත නැවත ප‍්‍රකාශ කිරීමය.
දෙවියන්වහන්සේගේ වචන, පොරොන්දු අපගේ මුඛයෙන් අප නැවත නැවත ප‍්‍රකාශකල යුතුය.

දේව වචනය කථා කිරීම ජීවිත රටාවක් කරගෙන ඔබ ඔබටම කථා කරන්න. එය ඔබට යහපත්ය.

එසේ නොමැතිව ඔබ මේ ලෝකයේ දේවල්, ඔබ තුළ ඇති බය, කනස්සල්ල මෙනෙහි කිරීමට ගතහොත් ඔබගේ මුඛයෙන් පිටවන්නේ කෙදිරීම, මිමිනීම, මැසිවිලිකීම, දෙවියන්වහන්සේට විරුද්ධව කථා කිරීම, එකිනෙකාට විරුද්ධව කෙදිරීම, එකිනෙකාගේ වැරදි සෙවීම යනාදී දේය.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ වචනය අපගේ දරුවන් තුළිනුත්, දරුවන්ගේ දරුවන් තුළිනුත් ප‍්‍රකාශවෙන්ට ඕනෑ බවය. එනම් පරම්පරාවෙන් පරම්පරාවට.

දෙවියන්වහන්සේගේ වචනය සදාකාලිකය. එය කිසිදා පහනොවෙයි.

දෙවියන්වහන්සේගේ වචනය තිබිය යුතු ස්ථානය ඔබගේ මුඛයයි.

දේව වචනය මඟින් අපගේ ආත්මික නෙත් විවර කිරීම ගැන දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙමු.

අපි කරන සියල්ලේදී අපි නිතරම ප්‍රීතිවෙමු

බයිබලය පවසන්නේ අපි දෙවියන්වහන්සේගේ මුලු ප‍්‍රීතිය උපදවන උත්තමයන් බවය.

දෙවියන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට පැවසුවේ නිතරම කරන සියල්ලේදී ප්‍රීතිවන්න කියාය. දෙවියන්වහන්සේට නමස්කාර කරත්, පූජා කරත්, අස්වැන්න ගෙනාවත් කරන කොයි දෙයක් නමුත් ප‍්‍රීතියෙන් කරන ලෙසය.

ද්වීතීය කථාව 12:12
නුඹලාද නුඹලාගේ පුත්‍රයෝද දූවරුද වැඩකාරයෝද වැඩකාරියෝද නුඹලාගේ දොරටු ඇතුළත සිටින්නාවූ, නුඹලා සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබුවාවූ ලෙවීයයාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

දෙවියන්වහන්සේ පවසන්නේ පුත‍්‍රයා, දුව, වැඩකරුන් ඇතුලු නිවසේ සිටින සියල්ලන්ටම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප‍්‍රීතිවන ලෙසය.

ආබ‍්‍රහම්ගේ පුතා - ඊසාක් (උත්පත්ති 21:1-7)
ඊසාක්ගේ පුතා - යාකොබ් (උත්පත්ති 25:24-26)
යාකොබ්ට පුතුන් - 12 (උත්පත්ති 35:23-26)

යාකොබ්ගේ පුතුන් අතරින් යෝසෙප්ට පුතුන් දෙදෙනෙකි. මනස්සේ හා ඒඵ‍්‍රායිම් (උත්පත්ති 41:50-52)

යාකොබ්ගේ පුතුන් අතිරන් ලෙවී පූජක පන්තිය සඳහා වෙන් කෙරුණි. (ගණන් කථාව 3:5-39)

යාකොබ්ගේ ඉතිරි පුතුන් 10 හා යෝසෙප්ගේ පුතුන් දෙදෙනා ගෝත‍්‍ර 12ට අයත්වුණි. (ගණන් කථාව 1:1-54)

ලෙවි වරුන් සිටියේ දෙවියන්වහන්සේට නමස්කාර කරන ගෝත‍්‍රයක් හැටියටය. ගීතිකා කණ්ඩායමේ සිටියේ ලෙවිවරුන්ය. දේව මාළිගාවේ සේවය කලේ ලෙවිවරුන්ය. දෙවියන්වහන්සේ මේ හැමෝටම පවසන්නේ උන්වහන්සේ ඉදිරියේ ප‍්‍රීතිවන ලෙසය.

දෙවියන්වහන්සේ අපවද රාජකීය පූජකයන් කර ඇත. උන්වහන්සේ සියල්ලන්ටම පවසන්නේ ප‍්‍රීතිවන ලෙසය.

ද්වීතීය කථාව 16:11
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබගේ නිවසේ අය පමණක් නොව, ඔබගේ නිවසට පිටතින් පැමිණෙන ආගන්තුකයින්ද ප‍්‍රීතිවිය යුතු බවය.

ද්වීතීය කථාව 27:7
ශාන්ති පූජාවල්ද ඔප්පුකර, එහිදී කමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

ඔබ පූජා ඔප්පු කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියට එන විටත්, කනවිටත්, බොනවිටත් සැමවිටම ප‍්‍රීතියෙන් එය කල යුතුය.

ලෙවී කථාව 23:40
[40] පළමුවෙනි දින ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගංනළා ගස්ද රැගෙන සත් දවසක් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවෙන්න.

දෙවියන්වහන්සේ ඔබට දෙන්නාවු ඵලදාව ගැනත් ප‍්‍රීතිවන්න.

සියලු යහපත්දේ දෙන්නේ දෙවියන්වහන්සේය.

ඔබගේ රැකියාවට ලැබෙන වේතනය ගැන දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වන්න. ඔබට රැකියාව කිරීමට හොද මානසිකත්වයක් ලැබීම ගැන ස්තූතිවන්ත වන්න.

නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

ද්වීතීය කථාව 12:18
නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ දාසයාද නුඹේ දාසීද නුඹේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

පවුල් පිටින් ප‍්‍රීතිමත්ව එකමුතුව ඔබ අරඹන්නාවූ සියල්ලක්ම ස්වාමීන්වහන්සේ තුළ සඵලවන බව, සාර්ථක වන බව, ඔබට දේව ආශීර්වාදය ලැබෙන බව අදහමින් එය ඉටු කරන්න.

ද්වීතීය කථාව 12:7
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.

දෙවියන්වහන්සේ සියල්ල කලේයයි අදහමින් ප‍්‍රීතිවන්න.

අප සියල්ල ප‍්‍රීතියෙන් නොකලහොත් එය අපට විශාල විනාශයක් බවට පත්වෙනු ඇත.

කීකරුකමේ ආශීර්වාද ද්විතිය කථාව 28:1-14 දක්වා සඳහන්ව ඇත. කීකරුවුනොත් එම ආශීර්වාද ලැබෙනු ඇත.

අද අපට යේසුස්වහන්සේ තුළින් මේ සියලු ආශීර්වාද හිමිව ඇත.

ද්වීතීය කථාව 28:1
තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් සියලු ශාප දරාගෙන සියලු ව්‍යවස්ථා ඉෂ්ට කරන ලදි. අප වෙනුවෙන් සියල්ල දරා ගත් උන්වහන්සේ අපට පවසන්නේ උන්වහන්සේගේ හඬ අසන්න කියාය.

ගලාති 3:13
ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.

අප මෙම ආශීර්වාද සියල්ල භුක්තිවිදින්නේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළින්ය.

ද්වීතීය කථාව 28:47
සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා, 48 ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.

තියෙන දෙයින් සතුටුව ඔබ දෙවියන්වහන්සේට සේවය කරන්න.

ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රීතියෙන් සියල්ල නොකලහොත් ඔබ විසින්ම ඔබට ශාපයක්වීමට යක්ෂයාට දොරටු විවර කරයි.

දෙවියන්වහන්සේ කවදාවත් මනුෂ්‍යයන්ට විපත්ති එවන්නේ නැත. එය මනුෂ්‍යයා විසින්ම තමන් පිටට දමා ගනියි.

මනුෂ්‍යයන් එය වටහා ගන්නේ නැත. දෙවියන්වහන්සේ අයහපත කරන්නාවු දෙවිකෙනෙක් නොවේය.

යේසුස්වහන්සේගේ යහපත් බව අපට නව ගිවිසුමේදී පැහැදිලිව දැකිය හැකිය.

කිසිදා උන්වහන්සේ ඔබගේ ජීවිතයට අයහපත කරන්නේ නැත.

අයහපත් දේට දොරටු විවරවන්නේ ඔබ ප‍්‍රීතියෙන් හා සිත් සන්තොසින් සේවය නොකිරීමෙනි.

ගීතාවලිය 16 පවසන්නෙත් ප‍්‍රීතිය පිළිබඳවය.

ප‍්‍රීතිය තිබෙන්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහිය.

දෙවියන්වහන්සේගේ අභිමුඛය තිබෙන්නේ අප තුළය.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සිටින නිසා අපිද සිටින්නේ උසස් ස්ථානවලය.

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

ඒ ස්ථානයේ ඇත්තේ සදාකාලයටම සැපතය.

ගීතාවලිය දෙවියන්වහන්සේගේ යහපත් දේ ලියා ඇති ඉතා අගනා ලියවිල්ලකි.

දාවිත්ගේ මෙම යාච්ඤාව අප මේ අකාරයෙන් නොපවසමින් එය නව ගිවිසුමට අනුව පැවසිය යුතුය. එනම් අයදීමක් ලෙස නොව ස්තුතිදීමක් ලෙසින්ය.

ගීතාවලිය 16:1-11
1 දෙවියන්වහන්ස, මා ආරක්ෂාකළ මැනව. මක්නිසාද ඔබ සරණ කොටගනිමි.

දෙවියන්වහන්සේ මාගේ රැකවරණයයි, සරණයි, මාගේ ආරක්ෂයකයාණන් නිසා ස්තූති ස්වාමිනි කියා කියමිනි.

දෙවියන්වහන්සේගේ නාමය අපගේ බලවත් කුළුනයි. (හිතෝපදේශ 28:1)

ඒ නාමය දෙසට ගොස් අපට සැඟවීමට හැකිය. ඒ නාමය අපගේ රක්ෂස්ථානයයි

2 ඔබ මාගේ ස්වාමීන්වහන්සේය, ඔබ හැර යහපතක් මට නැතැයි ස්වාමීන්ට කීමි.

දෙවියන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේය. මා හට සියලු යහපත් දේ තිබෙන්නේ උන්වහන්සේගෙන් පමණි.

3 පොළොවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය.

ශුද්ධවන්තයන් යනු දෙවියන්වහන්සේට ප‍්‍රේමකරන ආශීර්වාදලත් භාග්‍යවන්ත සෙනඟක්ය. ඔවුන්ට ශුද්ධකමින් ජීවත්වීමට දෙවියන්වහන්සේ ඔවුන්ව ලෝකයාගෙන් වෙන්කර ඇත.

මේ දේශයේ අප දෙවියන්වහන්සේගේ තේජස විදහා දක්වන සෙනගක්ය.

උත්තමයන් යනු දෙවියන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ අභිප‍්‍රායන් අරමුණු ඉටු කරන්නාවු සෙනඟක්ය.

දෙවියන්වහන්සේගේ අරමුණ නම් උන්වහන්සේ අපව කැඳවා ඇත්තේ මනුෂ්‍යයාට සුභාරංචිය කීමටය.

ගැළවීම ලැබූ අපගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේ කලාවු දේවල් අන් අයට ප‍්‍රකාශ කරන්නාවූ උත්තමයන්ය අපි.

අප එය කල යුත්තේ අපගේ මුලු හදවතින්ම අපගේ කැමැත්තෙන්ය.

අපට දෙවියන්වහන්සේ තුළ ඇති පූර්ණකම, සම්පූර්ණ සමාදානය, අප භුක්තිවිදින ආශීර්වාද, අප ලැබූ ගැළවීම අපගේ කැමැත්තෙන්ම මනුෂ්‍යයන්ට ප‍්‍රකාශකරන්නාවු උත්තමයන්ය අපි.

4 ස්වාමීන් අත්හැර අන් දෙවිකෙනෙකු පිළිගන්නන්ගේ දුක් බෝවන්නේය. ඔවුන් ලෙයින් කරන පාන පූජා මම පූජා නොකරන්නෙමි, ඔවුන්ගේ නම් මාගේ කටින් නොකියන්නෙමි.

දෙවියන්වහන්සේ පිළිකුල් කරන්නාවු දේ නොකර අප උන්වහන්සේට වෙන්වූ, උන්වහන්සේට ගෞරවය දෙන්නාවු භාජනයක් වෙමු.

5 මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක.

අපගේ උරුමය, අපගේ ශක්තිය, අපගේ සියල්ලෙන් සියල්ල දෙවියන්වහන්මය.

දෙවියන්වහන්සේ සියල්ල අපට දී ඇත්තේ දීමනා ලෙසය.

සියලු යහපත් දීමනා පැමිණෙන්නේ දෙවිපියාණන්වහන්සේගෙනි. (යාකොබ් 1:17)

මේ සියල්ල දෙවියන්වහන්සේ අපට දී ඇත්තේ අප තෘප්තිමත්ව, සතුටින් ජීවත්වන පිණිසය.

6 මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය; එසේය, මට ප්‍රියකරු උරුමයක් ඇත.

අප දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කරන්නේ ඇදහිල්ලෙන්ය. (හේබ්‍රෙව් 11:6 )

7මට දැනමිතිකම් දුන්නාවූ ස්වාමීන්ට ස්තුති ප්‍රශංසාකරන්නෙමි; එසේය, රාත්‍රි භාගයෙහිදී මාගේ සිතිවිලිවලින් මට ගුරුකම් ලැබේ.

අප දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කරන්නේ ඇදහිල්ලෙන්ය. (හේබ්‍රෙව් 11:6 )

අප දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි කරන කල උන්වහන්සේගේ සිතුවිලි අප තුළට පැමිණෙයි.

මේ වචන ප‍්‍රකාශ කරමින් ස්තුතිදෙමින් අප ජීවත්වෙමු.

නොකොදුරමින් දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහිකරමින් ප‍්‍රීතියෙන් අප කාලය ගත කරමු.

අප මේ පොළොවේ සිටින ප‍්‍රීතිය උපදවන උත්තමයන්ය.


Watch the Sermon Video

Read 82 times