+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රීතියේ සම්පූර්ණකම ඔබ තුළයි - යෝෂා මනූ
December 15, 2024 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ ඉතා යහපත්ය. අප ජීවත්වන්නේ උන්වහන්සේගේ වචන වලිනි. දෙවියන්වහන්සේ කථා කළාවූ වචන අපගේ මුඛයට, හදවතට ඇතුල්කරගෙන අපි කථා කරමු.

ප‍්‍රීතිය අපට දෙවියන්වහන්සේ දී ඇති උතුම් වස්තුවකි.

ප‍්‍රීතියේ සම්පූර්ණත්වය තිබෙන්නේ දේව අභිමුඛයේය.

දේව අභිමුඛය තිබෙන්නේ අපගේ හදවත තුළය. එසේනම් දේව අභිමුඛයේ ප‍්‍රීතියේ පූර්ණකම තිබෙන්නේ අපගේ හදවත තුළය.

දෙවියන්වහන්සේ නිතරම සිටින්නේ ප‍්‍රීතියෙන්ය. උන්වහන්සේ තුළ ශෝකයක් නොමැත. උන්වහන්සේගේ දරුවන් වශයෙන් අපි ප‍්‍රීතියෙන් ජීවත්වෙමු.

ගීතාවලිය 16:11
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

සදාකාල ප‍්‍රීතිය, සදාකාල සැපත ඇත්තේ දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහිය.

අපි ගැළවීම ලබන කල අප උන්වහන්සේගේ ජීවන මාර්ගය ගමන ආරම්භ කරන්නෙමු. යේසුස්වහන්සේ සත්‍යයද මාර්ගයද, ජීවනයද වනසේක.

දේව අභිමුඛය නිතරම අපගේ හදවත තුළ තබා ගන්නේ ප‍්‍රීතියෙන්ය.
දේව වචනය තුළ අප නිතර පවතින විට උන්වහන්සේ අපට කථා කරයි.
ප‍්‍රීතිය ආරක්ෂා කළ හැක්කේ දේව වචනය තුළ පැවතීමෙනි. ඒ සඳහා අප බයිබලය කියවිය යුතුය.

දේව හඬ සහ උන්වහන්සේගේ සිතුවිලි අදහස් ඇත්තේ බයිබලය තුළය.

දේව වචනයේ එක පදයකින් අපට සතුරාගේ ක‍්‍රියා විනාශ කළ හැකිය. දේව වචනය එතරම් බලවත්ය. ඒ නාමයේ බලවත්කම ඔබ දැනගත යුතුය.

ස්වර්ගයෙහිද, පොළොවෙහිද, පොළොව යටද, පාතාලයෙහිද, සියලු දෙනා යේසුස් යන නාමයට දණ නැමිය යුතුය.

එම නාමයෙහි බලය දැනගෙන අප එහි ආධිපත්‍යය ක‍්‍රියාවට නංවමු.

අප අඳුරේ නොසිට ආලෝකයට කථා කරමු.

දෙවියන්වහන්සේද අඳුරෙන් ආලෝකයට කථා කළ සේක. (උත්පත්ති 1:1-5)

බොහෝ අය දෙවියන්වහන්සේට දොස් නඟමින් චෝදනා එල්ල කරති. එහෙත් දෙවියන්වහන්සේ තුළ දුක, ශෝකය, කලකිරීම නැත. දෙවියන්වහන්සේ සියල්ල දන්නා සේක.

උත්පත්ති 3:15 පදයෙන් දෙවියන්වහන්සේ අනාවැකියක් දෙන ලදි.

උත්පත්ති 3:15
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.

එනම් ස්ත‍්‍රියගේ බීජයක් තුළින් සාතන්ගේ හිස පොඩිකරන බවය.

දෙවියන්වහන්සේ දැන සිටියා මරියා තුළින් ඉපදෙන දේව පුත‍්‍රයා තුළින් සතුරාගේ බලය මැඩපවත්වන බව.

දෙවියන්වහන්සේ සියල්ලෙහි අවසානය දන්නා සේක. කිසිවක් උන්වහන්සේට පුදුමයක් නොවේය.

උත්පත්ති 1:1-2
1 පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. 2 පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.

දෙවියන්වහන්සේ මැවූ ලෝකය අලංකාරව තිබුණි. උන්වහන්සේගේ අග‍්‍ර දේවදූතයන් උන්වහන්සේ සමඟ සිටින ලදි.

ඒ අතරින් ලුසිෆර් නම් අග‍්‍ර දූතයා දෙවියන්වහන්සේට විරුද්ධවී උන්වහන්සේ ඔහුව ස්වර්ගයෙන් පොළොවට නෙරපා දමන ලදි. (යෙසායා 14:12-17)

ඒ වකවානුවේ පොළොව පාළුව හිස්ව තිබුණි.

ජල මතුයෙහි තිබූ දෙවියන්වහන්සේගේ ආත්මය අලුත් ලොවක් මවන ලදි.

දෙවියන්වහන්සේට ඕනෑම දෙයක් සිදුකළ හැකිය. උන්වහන්සේ එතරම් ප‍්‍රඥාවන්තය.

අන්ධකාරයෙන් තිබූ ලෝකයට දෙවියන්වහන්සේ එළිය වේවායි කියන ලදි.

උත්පත්ති 1:3
දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.

ඔබගේ හදවත තුළ අන්ධකාරය නැමැති ශෝකය, දුක, වේදනාව, යම් තත්වයන් තිබේනම් ඔබ ඒවාට කථා කරන්න, ඒවා වචන වලින් වෙනස් කළ හැකිය.

උන්වහන්සේගේ වචන තුළින් අපගේ මනස පවිත‍්‍ර කරනු ඇත.

යේසුස්වහන්සේ අපට උන්වහන්සේ තුළ පැවැත්වීමේ රහස කියා දෙන ලදි.

යොහන් 15:3
මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.
දෙවියන්වහන්සේගේ වචනය තුළින් ඕනම දෙයක් වෙනස් කළ හැකිය.

ඔබ මේ වචනයේ පැවත දිනපතා එය මෙනෙහි කරන කල ඔබගේ මනස පවිත‍්‍ර වනු ඇත.

අපගේ ශරීර කූඩුවේ ප‍්‍රාණය කියන්නාවු ස්ථානයේ අපගේ මනස, සිතුවිලි, හැඟීම්, කැමැත්ත යන මේ සියල්ලම ඇත. ඒ සියල්ලක්ම පවිත‍්‍ර කළ හැක්කේ දෙවියන්වහන්සේගේ වචනයෙනි.

1 පේතෘස් 24 යේසුස්වහන්සේගේ තුවාල වලින් මා සුවයි කියන කල ඔබ සුවපත්වෙනු ඇත.

පිලිප්පි 4:19 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ සම්පතේ ප‍්‍රකාරයට මගේ සියලු හිඟකම් සම්පූර්ණකරන සේකැයි පවසන විට ඔබගේ හදවතේ දිළිඳුකම පහවී වනු ඇත.

යොහන් 15:4-5
4 මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.5මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

ඔබගේ ජීවිතයේ ඵල දරන්නට අවශ්‍ය නම් ඔබ වචනය තුළ පැවතිය යුතුය.

වචනය නොමැතිව අපට කිසිවක් කළ නොහැකිය.

යොහන් 15:6
යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.

යොහන් 15:10
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.

අපි මෙම වචනය තුළ පවතින විට දෙවියන්වහන්සේගේ දිව්‍යමය ප‍්‍රේමයෙහි පවතින්නෙමු.

යොහන් 15:11
මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.

ප‍්‍රීතිය පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ වචනය තුළිනි.

යෙසායා 12:2-3
2 බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමීවූ යෙහෝවඃවහන්සේමගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය. 3 එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

අපගේ මුඛයෙන් ස්වාමීන්වහන්සේ මාගේ ගැළවීමයි, ගැළවුම්කරුයි කියා අප පැවසිය යුතුය.

එය අපගේ ගීතිකාව කර ගත යුතුය. අපගේ මුඛයෙන් නිතරම අප එය පැවසිය යුතුය.

දිය උල්පත තිබෙන්නේ අපගේ ඇතුලතය. අප තුළ වාසය කරන දෙවිපියාණන්වහන්සේ, පුත‍්‍රයාණන්වහන්සේ, ආත්මයාණන්වහන්සේ තුළින් අප දිය එළියට ඇද ගන්නේ අපගේ දිවෙන්ය.

අපගේ දිව පෑනක් වැනිය. අප එයින් අපගේ මනසේ ලියා ගත යුතුය.

දේව වචනයෙන් අපගේ මනස පුරවා ගත් කල එය ආත්මික මනසක් වේ. නැත්නම් එය මාංසාකාර මනසක්වේ.

දේව වචනය අපගේ මනසේ තැන්පත් කර ගත් විට භය පැමිණෙන කල දෙවියන්වහන්සේ මාගේ සවි ශක්තියයි, උන්වහන්සේ මාගේ ගීතිකාවයි, මාගේ ගැළවුම්කරුයි මා භය නොවන්නෙමි කියා පැවසිය හැකිය.

භය යන වචනය ඉංග‍්‍රීසියෙන් අර්ථවත්වන්නේ - බොරුව ඇත්තක් මෙන් පෙන්නුම් කිරීමය.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ වචනය සත්‍යය කියාය.

ඔබ ඔබගේ හදවතට: “මා භය වන්නේ නෑ, මා කැළඹෙන්නේ නෑ ස්වාමීන්වහන්සේ මා සමඟයි” කියා පවසන්න. එවිට ඔබගේ හදවතේ උල්පතෙන් ඔබගේ දිව දිය ඇදගනු ඇත.

යෙසායා 55:1-2
එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න. 2කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිදීවා.

දෙවියන්වහන්සේ පවසන්නේ අපගේ මනස ශක්තිමත් කරගන්න කියාය.

දෙවියන්වහන්සේ වචනය ධාන්‍ය ආහාර වේලක් මෙනි.

නෙහෙමියා 8:10
10 එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.

අපගේ ශක්තිය ස්වාමීන්වහන්සේගේ ප‍්‍රීතියයි.

ඔබ ප‍්‍රීතිවන විට ඔබ ඔබවම ශක්තිමත් කරනු ලබයි. ඔබගේ මනස ඔබගේ ශරීරය දෙකම සුවයෙන් තබයි.

රෝම 14:2
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑම බීම නොවේ. ධර්මිෂ්ඨකම, සමාදානය හා ශුද්ධාත්මයාණන් තුළ ප‍්‍රීතියයි.

අපගේ ප‍්‍රීතිය කිසිවෙකුට අපගේ හදවතින් උගුලා දැමිය නොහැකිය.

යොහන් 1:16
කුමක්හෙයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව.

උන්වහන්සේගේ පූර්ණකම නම් ප‍්‍රීතියයි

යේසුස්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ තබා ගත්තේ ප‍්‍රීතියයි.

හෙබ්‍රෙව් 12:2
උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.

උන්වහන්සේ ප‍්‍රීතියෙන් බැලුවේ අපගේ ජයග‍්‍රහණය දෙසය.

රෝම 15:13
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.

පාවුල් පවසන්නේ සියල්ල ප‍්‍රීතියෙන් කරන කල ඒ සමාදානය අප අනුව එන බවයි.

1 තෙසලෝනික 1:6

නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.

වචනය ඇසූ කල ප‍්‍රීතිය පැමිණේ. අප එයට අපගේ හද තුළ ඵල දරන්ට ඉඩ දෙන විට එයින් අස්වැන්න ලැබෙයි.

අප ඵල දරන්නට ඉඩ නොදුනහොත් සතුරා එය සොරකම් කරනු ඇත. ප‍්‍රීතිය ඇත්තේ දේව වචනය තුළය.

යෙරෙමියා 15:16
ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

වචනයෙන් අපගේ සිතට නිතර සතුටක් ප‍්‍රීතියක් ගෙන දෙයි.

ඔබගේ හදවත තුළ දෙවියන්වහන්සේගේ වචනය රක්ෂා කර ගන්න. එයින් ඔබ ජීවත්වනු ඇත.

1 තෙසලෝනික 1:6
නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.

කුමන පීඩාවක් පැමිණියත් ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප‍්‍රීතියෙන් අපට ජය ගත හැකිය.

ඔබ තුළ ඇති දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය නැතිකර නොගන්න.

ඔබගේ හදවත මෙන් ප‍්‍රීතිය ආරක්ෂ කර ගන්න. දේව වචනයත්, ප‍්‍රීතියත් ඇත්තේ එකට බැඳී පවතී.


Watch the Sermon Video

Read 73 times