+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ගැළවීමේ ළිං වලින් ප්‍රීතියෙන් දිය ඇදගන්න - යෝෂා මනූ
December 29, 2024 Sunday Sermon Notes


ඔබ ගැළවීමේ ළිං වලින් ප්‍රීතියෙන් දිය ඇදගන්න

ස්වාමීන්වහන්සේ අපට පවසන්නේ, අවසානය දක්වා නොකැළඹී ධෛර්යමත්ව, ශක්තිමත්ව සිටින්න කියාය. අපි ක්ලාන්ත නොවී දෙවියන්වහන්සේ දුන් වගකීමෙහි නොකඩව පවතිමු.

දෙවියන්වහන්සේගේ වචනයෙන් අපට කරුණාව හා සඵලත්වය ලැබේ. දෙවියන්වහන්සේගේ දී ඇති දර්ශනය තුළ අපි ගමන් කරමු. මන්ද දර්ශනයක් නොමැති කල සෙනඟ හිතුවක්කාරවෙති. (හිතෝපදේශ 29:18)

හිතුවක්කාර අය තමන් කැමති දේ කරයි. එය ඔවුන්ගේ උඩඟුකමයි. හිතුවක්කාර අයට කිසිදා දේව ආශීර්වාදය නොලැබේ.

දෙවියන්වහන්සේගේ වචනය රක්ෂා කරන්නා කවදාවත් හිතුවක්කාර නොවෙයි. දේව වචනය අනුව ජීවත්වන්නා ගතකරන්නේ යටහත්පහත් ජීවිතයක්ය. ඔහු දේව වචනයට කන නමයි. දේව වචනයට ඇස් යොමුකරයි. වචනයෙන් පිටතට නොයයි. අපට ජීවනය දෙන්නේ දේව වචනයයි. අපගේ සවි ශක්තිය අලුත් වන්නේ වචනය කියවීමෙනි. වචනයෙන් පිට කිසිවක් අපට නොලැබේ.

දේව වචනය අපට නිතිපතා මොහොතක් මොහොතක් පාසා උපකාර කරයි.

දෙවියන්වහන්සේගේ තරවටු අප යටහත්ව පිළිගත යුතුය. ජීවන වචන අප හදවතෙහි සඟවා ගනිමු.

යෙසායා අනාගතවක්තෘ හට බයිබලයේ අලුත් ගිවිසුම ගැන එළිදරව් රාශීයක් ලැබුණි. යෙසායා 40 පරිච්ජේදයෙන් පසු යේසුස්වහන්සේ පිළිබඳ බොහෝ එළිදරව් ඇත.

අපි ගැළවීමේ ළිං වලින් ප්‍රීතියෙන් දිය ඇදගනිමු. ප‍්‍රීතිය අපට ලැබී ඇති රහසකි. ප‍්‍රීතියෙන් ජීවත්වන විට අපට හොඳ සුවයෙන් ජීවත්විය හැකිය. දෙව් ප‍්‍රීතිය අපගේ ශක්තියයි.

යෙසායා 12:2
[2] බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.

අපව සනසන්නේ දෙවියන්වහන්සේය. පරණ ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ යම් කාර්යක් සඳහා පැමිණ එය සිදුකර පසු නික්ම යන ලදි. නව ගිවිසුම තුළ යේසුස්වහන්සේගේ කුරුසපත්වීමෙන් පසු ශුද්ධාත්මය වගුරුවන තුරු ගෝලයන්ට යෙරුසලමෙන් පිටතට නොයන ලෙස පැවසීය. පෙන්තකොස්ත දින ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් වෙතට පැමිණෙන ලදි.

යොහන් 14-16 දක්වා පරිච්ඡේදවල යේසුස්වහන්සේ සැනසිලිකරුවාණන් ගැන ගෝලයන්ට පවසන ලදි. උන්වහන්සේ වෙනුවට වෙනත් සැනසිලිකරුවෙක් එවන බව උන්වහන්සේ පැවසීය. ඒ ශුද්ධාත්මයාණන්වහන්සේය. අපගේ නොදැනුවත්කමේදී, කරදරයේදී, දුකේදී, විඩාවට පත්ව සිටියදී අපව සනසන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. සැනසීම ලැබූ කෙනා පවසන්නේ දෙවියන්වහන්සේ මාගේ ගැළවීම කියාය.

හෙබ්‍රෙව් භාෂාවෙන් ගැළවීම යන්නෙන් අර්ථවත් වන්නේ, යෝෂුවා, එනම්: ස්වාමීන්වහන්සේ මාගේ ගැළවුම්කරු, මාගේ මිදුම්කරු, මාගේ සඵලත්වය, මාගේ ජයග්‍රහණය, මාගේ සුවය, මාගේ සමෘද්ධිය, මාගේ සෞඛ්‍යය, මාගේ උපකාරය, මාගේ සුරක්ෂිතභාවය සහ සම්පූර්ණත්වයයි.

අපගේ ගැළවීම අප විශ්වාස කළ යුතුය. කිසිවෙකුට එය අහක් කළ නොහැක.

ගැළවීම තුළ පැවැත්මක් තබා ගැනීමට ඔබ පොරොන්දු ප‍්‍රකාශ කළ යුතුය.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අප ලැබූ දේවල් නිතරම ප‍්‍රකාශ කළ යුතුයි. අපව කලබල කිරීමට, ඇදහිල්ලෙන් ඉවත් කිරීමට නොයෙක් කරදර, ප‍්‍රශ්න, ගැටළු පැමිණිය හැකිය. නමුත් අපි කිසිවකට භිය නොවී සිටිමු. මන්ද දෙවියන්වහන්සේ අප සමඟය.

යෙසායා 41:10
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.

දෙවියන්වහන්සේ අප සමඟ සිටිනවානම් අප කිසිවෙකට භිය විය යුතු නැත.

යක්ෂයා තැත් කරන්නේ අපව තෘෂ්ණාවට ඇද, නැවත පරණ ජීවිතයට යොමු කරන්නටය. නමුත් අප මේ කිසිවකට භය නොවී තැති නොගැනීමට තෝරාගත යුතුයි. ඔබගේ කරදර පීඩා මැදදී ස්වාමීන්වහන්සේ ඔබව උසුලාගෙන යනු ඇත.

“විශ්වාස කරමි” යන්නෙන් අදහස් වන්නේ: නිසැකව, නිර්භීතව, එඩිතරව, බලාපොරොත්තුවක් ඇතුව ජීවත්වීමයි. භයක් පැමිණෙන විට ඔබගේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි තබන්න.

ගීතාවලිය 56:3-4
[3] මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.
[4] මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?

ඔබගේ මනසට පැමිණෙන සිතුවිලි නවතාලිය හැක්කේ ඔබගේ ප‍්‍රකාශය තුළිනි.

යක්ෂයා ගිණිහෙලි මෙන් සිතුවිලි එවන කල, ඔබ නිර්භීතව, එඩිතරව “ස්වාමීනි මම ඔබවහන්සේ කෙරෙහී විශ්වාස කරනවා” කියා ප‍්‍රකාශ කරන්න.

“මාගේ දෙවියන්වහන්සේ මගේ සමාදානයයි, උන්වහන්සේ මා ඉහළින්ම තබනවා කියා අපගේ ප‍්‍රකාශය තදින්ම අල්ලා ගත යුතුය. අප දෙවියන්වහන්සේ තුළ සිටිමින් උන්වහන්සේගේ වචනය වර්ණනා කරමු. වර්ණනා කරනවා යනු: දෙවියන්වහන්සේව විශාල කිරීමය. ප‍්‍රශ්නය විශාල නොකර, දෙවියන්වහන්සේව විශාල කරමු. අපගේ වචන වලින් දෙවියන්වහන්සේට ගෞරවය මහිමය දෙමු.

මනුෂ්‍යයාගේ වචන අපට වැඩක් නොමැත. අපි දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු. සෙනඟ දාවිත්ට ගල් ගසන්නට පැමිණෙන විට ඔහු දේව අභිමුඛයට ගොස් තමාවම ශක්තිමත් කර ගන්නා ලදි. ඉන් පසුව ඔහු කළ යුතු දේ පිළිබඳ ස්වාමීන්වහන්සේගෙන් විමසීය. දෙවියන්වහන්සේ ඔහුට පැවසුවේ, ලුහුබැඳ නැතිවූ සියල්ල නැවත අත්පත් කරගන්නා ලෙසය. අප දේව අභිමුඛයට ගිය විට දෙවියන්වහන්සේ අපට සැලැස්මක් දෙනු ඇත.

හිතෝපදේශ 29:25
[25] මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.

ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා සුරක්ෂිතව කිසිවකට නොසැලි හිදියි. දෙවියන්වහන්සේ පිළියෙල කර ඇති කිරි හා පැණියෙන් උතුරා යන දේශය පිළිබඳ පවසා මෝසෙස් සෙනඟට කීවේ, “භය නොවන්න දෙවියන්වහන්සේ ඔබව මෙම දේශයට ගෙන යන බවය.”

මෝසෙස් ඵාරාවෝ ඉදිරියේ බොහෝ හාස්කම් කරමින් මේ සෙනඟව පිටතට ගෙන ආවත්, රතු මුහුද ඉදිරියේ සෙනඟ කලබල වූවෝය. මෝසෙස්ටද කළ යුතු දේ නොතේරුණ නමුත් පසුව ඔහු දෙවියන්වහන්සේට කන්නලව් කළේය.

දෙවියන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ, සැරයැටිය පාවිච්චි කර රතු මුහුද දෙබෑ වීමට අණ කරන ලෙසය. මෝසෙස් පැවසූ ලෙසම රතු මුහුද දෙබෑවන ලදි. ඔවුන් මුහුදෙන් එතෙර වෙන තුරුම දෙවියන්වහන්සේ ඔවුන්ව සුරක්ෂිතව ගෙන යන ලදි. මෝසෙස් නැවත රතු මුහුද එක් කළ විට ඔවුන් ලුහුබැඳ පැමිණි ඵාරාවෝගේ සේනාව ගිලී මිය ගියෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ උන්වහන්සේ ඔවුන් උදෙසා සටන් කරන බවත් ඔවුන්ට නිශ්ශබ්දව සිටින ලෙසත්ය.

නික්මයාම 14:14
ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.

මුහුද දෙබෑ කළේ දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ අපගේ ගැළවීමයි, සවියයි, ගීතිකාවයි.

යෙසායා 12:3
[3] එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

අපි ගැළවීම ලැබුවේ අපේ යහපත් ක්‍රියා තුළින් නොවේ. මම මගේ ගැළවීම නොවේ. මගේ යහපත් චේතනා, මගේ යහපත් සිතුවිලි මාව ගළවන්නේ නැහැ. දෙවියන්වහන්සේ මාගේ ගැළවීමයි.

තීතස් 3:5
[5] අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.

අපගේ ගැළවුම්කරු, මිදුම්කරු දෙවියන්වහන්සේය.

එපීස 2:8
[8] මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.

දෙවියන්වහන්සේ අපට සියලුම ආත්මික ආශීර්වාද වලින් ආශීර්වාද කර ඇත. ගැළවීමේ උල්පත එයයි.

එපීස 1:4
ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

සියල්ල ආරම්භ වන්නේ ආත්මික ලෙසය. ගැළවුම්කරු ඔබ තුළයි, සුවකරන්නාවු වෛද්‍යයරයා ඔබ තුළයි. ජයග‍්‍රාහකයාද, සමාදානයේ දෙවියන්වහන්සේද, එඬේරාද ඔබ තුළයි.

ඔබ තුළ ඇති මේ ගැළවීමේ ළිං වලින් ඔබ එළියට දිය ඇද ගන්නේ ඔබගේ දිවෙන්ය. ඔබ පාවිච්චි කරන බාල්දිය ඔබගේ දිවයි. එයින් ඔබ දිය ඇද ගත යුතුය. මගේ දෙවියන්වහන්සේ මගේ ගැළවීමයි, පර්වතයයි, මගේ සැනසිලිකරුයි. මා තුළ සිටින තැනැන්වහන්සේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා බලවන්තයි. බැටළුපැටවාණන්ගේ ලේ වලින් මම ජයගත්තාවු කෙනෙක්, ස්තූතියි ස්වමීනි, මම ඇදහිල්ලෙන් මේ ලෝකය ජයගන්නවා. මෙවැනි ක‍්‍රිස්තුස්වහන්සේ තුළ මා කව්දැයි කියන පද අරගෙන අප අප ගැනම ප‍්‍රකාශ කරමු. එවිට ඔබට ශුද්ධාත්මයාණන් තුළ ප‍්‍රීතිය දැන ගත හැකිය.

ශුද්ධාත්මයාණන් වහන්සේ සිටින්නේද, දෙවියන්වහන්සේගේ රාජ්‍යය තිබෙන්නේද ඔබගේ සිත තුළයි.

රෝම 14:17
[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

මේ සියල්ල ඔබ තුළ ඇති ළිං වලින් ඔබ දිය ඇදගත යුතුය. ඔබ ධර්මිෂ්ඨයි, නිර්දෝෂයි, යේසුස්වහන්සේ ඔබගේ සමාදානයයි යන ප‍්‍රකාශය තදින් අල්ලා ගන්න.

යොහන් 7:37-38
[37] මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. [38] මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.

යේසුස්වහන්සේ සමාරියේ ස්ත‍්‍රියට පැවසුවේ, උන්වහන්සේ දෙන වතුරෙන් බොන්නාට කිසිදා පිපාසා නොවන බවයි.

යොහන් 4:10-14
[10] යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. [11] ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? [12] ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය. [13] යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය. [14] නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.

දිය උල්පත නැතහොත් ඒ ළිඳ තිබෙන්නේ ඔබ තුළයි. ඒ ළිඳෙන් අපි ප‍්‍රීතියෙන් දිය ඇද ගනිමු. ගැළවීමේ ළිං වලින් අප පොරොන්දු අත්පත් කර ගනිමු.


Watch the Sermon Video

Read 50 times