+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කිතුනුවකුට ජීවත් වන්නට
දිරිගැන්වීමේ වචනයක් - මනූ මැතානි

December 29, 2024 Sunday Sermon Notes


ගැළවීමේ ළිං තුළ සුවය, සමාදානය, සඵලත්වය, පාපයට කමාව මේ සියල්ල ඇතුළත්ය. අප ඇදහිල්ලෙන් හා ප‍්‍රීතියෙන් මේ සෑම ළිඳකින්ම දිය ඇද ගත යුතුය. ගැළවීම තුළ එක දෙයක් පමණක් නොව, අප මේ සියල්ලම අත්පත්කර ගත යුතුය. අපට තිබෙන එළිදරව්ව අනුව අපි මේ ළිං වලින් දිය ඇද ගනිමු.
 
අප එක එළිදරව්වකට සීමා නොවී එළිදරව්වෙන් එළිදරව්වට යා යුතුය. දෙවින්වහන්සේ තුළ ගංගාවක් මෙන් ගලා යන එළිදරව් ඇත. අප දෙවියන්වහන්සේ ගැන වැඩි වැඩියෙන් සොයන්න තවත් බොහෝ දේ තිබෙන බව අපට වැටහෙයි. දෙවියන්වහන්සේගේ දේවල් ගැන සමබර තත්වයෙන් සෑම එළිදරව්වක්ම අපට අවශ්‍යයයි.

යෙසායා 12:3
එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

දෙවියන්වහන්සේගේ අපට කාරණා එකිනෙක උගන්වයි. සමහරු සඵලත්වයට එතරම් සැලකිල්ලක් නොදක්වයි. එහෙත් අපට ජීවත්වීමට සඵලත්වය අවශ්‍යයයි. එමනිසා මේ පොළොවේ ජයග‍්‍රාහිකව ජීවත්වන ආකාරය අප දැනගත යුතුය. පොළොවේ ජයග‍්‍රාහිකව ජීවත්වීමට අවශ්‍යය ප‍්‍රඥාව දෙවියන්වහන්සේ අපට ලබා දෙයි. ප‍්‍රඥාවත් සමඟම උන්වහන්සේ අපට සඵලත්වයත් දෙනු ඇත.

සලමොන් රජතුමාගෙන් දෙවියන්වහන්සේ අවශ්‍යය කුමක්දැයි ඇසුවිට ඔහු ඉල්ලා සිටියේ ප‍්‍රඥාවයි. දෙවියන්වහන්සේ ඔහුට ප‍්‍රඥාව සමඟ සියල්ලෙහි සඵලත්වයද දෙන ලදි. (1 රාජාවලිය 3:9-13)

දෙවියන්වහන්සේට කැමති අපව දියුණුකරන්නත්, සියල්ලෙහි දැනුම ලබා දෙන්නත්, ඒ දැනුම තුළින් දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව ඇතිව අප මේ පොළොවේ ජීවත්වීමත්ය.

ඉවසිය යුතු තැන ඉවසීමටද, ප‍්‍රේමකළ යුතු නැත ප‍්‍රේම කිරීමටද, යමක් කළ යුතු යයි පවසන කාලයට එය කිරීමද දෙවියන්වහන්සේගේ කැමැත්තට අප කීකරු විය යුතුය. ඔබට පීඩා පරීක්ෂා පැමිණිය හැකිය. යක්ෂයාට අවශ්‍යය දෙවියන්වහන්සේගේ ස්වරූපයට හා සමානාත්වයට සාදා ඇති ඔබව නාස්ති කිරීමටය.

යේසුස්වහන්සේ ස්වාමීන් කියා ඔබ පිළිගත් පසු ඔබ සිටින්නේ ක‍්‍රිස්තුස්වහන්සේගේ සමානත්වයෙනි. යේසුස්වහන්සේ කුරුසියේදී යක්ෂයාගේ රාජ්‍යය විනාශ කරන ලදි. අපද යක්ෂයාගේ සියලු ක‍්‍රියා බිඳ හෙළමින් ඉදිරියට යන්නන්ය. එමනිසා යක්ෂයා කොහොමවත් අපට කැමති නැත. ලෝකයා අපට වෛර කළද අපගේ සාක්ෂිය තුළින් යම් දිනෙක ලෝකයා ගැළවීමට එයි. අප එම විශ්වාසයෙන් සිටිමු. ලෝකයා යේසුස්වහන්සේටද වෛර කරන ලදි.

ශු. යොහන් 15:18
[18] ලෝකයා නුඹලාට වෛරවෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛරවුණ බව නුඹලා දනිහුය.

අප තුළ ඇති ආලෝකය, අන්ධකාර ලෝකයේ මනුෂ්‍යයා දුටු විට ඔවුන් අපට ඊර්ෂ්‍යයා කරමින්, වෛර කර විරුද්ධ වනු ඇත. එහෙත් අප එයට කලබල විය යුතු නැත. දෙවියන්වහන්සේ අපව ලෝකයේ ආලෝකයක් කර ඇත. අප පොළොවේ ලුනු හා සමානය. අන්ධකාර ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයා අපට එකතුවීමට කැමති නැත.

අප ආලෝකයේ රාජ්‍යයේ ජීවත්වෙමින් අන්ධකාර බලවේග, බලකොටු බිද හෙළා දමමින් ඉදිරියට ගමන් කරන්නෙමුව. අප දෙවියන්වහන්සේගේ බැටළුවන්ය. උන්වහන්සේ අපව වෘකයන් අතරට යවයි. ඔබ අහිංසකව මෙන්ම ඥානවන්තවද සිටිය යුතුය. යක්ෂයා ස්ත‍්‍රිය රැවටීමට සර්පයෙක් යොදා ගන්නා ලද්දේ සර්පයා ඥානවන්ත නිසාය.

ශු. මතෙව් 10:16
[16] වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.

ඥානවන්තකම ඔබගේ දීමනාවකි. කරුණාව, අහිංසකව ජීවත්වීම ඔබගේ ඵල වන්නේය. දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ යේසුස්වහන්සේ කුරුසියේ ජයගත්තා සේ අපද අතීශයින් ජය ලබන්නටය.

රෝම 8:37
[37] නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

ඔබ දිණුම්කරුවෙකුය. ඔබගේ ආරම්භයට වඩා අවසානය හොඳබව ඔබට පෙනෙයි.

දේශනාකාරයා 7:8
[8] යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.

ඔබගේ නියම තත්වය ඔබගේ අන්තිමයයි. ඔබ දිනුම්කරුවෙකුය.

මුද්‍රික පානය ඉවරවූ නිසා කානාහි සරණ මංගල්‍යයේදී ආරම්භය ඔවුන්ට ප‍්‍රශ්නයක් වුණි. නමුත් යේසුස්වහන්සේ ඔවුන් සමඟ සිටි නිසා ඔවුන්ගේ අවසානය තිබුණාටත් වඩා උසස්විය. දෙවියන්වහන්සේ ඔබගේ අනාගතය ඉටුකර හමාර බව විශ්වාස කරන්න. ඔබගේ ජීවිතයේ අන්තිම දක්වා දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටින බව අදහන්න.

අහංකාරයට වඩා ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා අගනේය. ඉවසීමට පුරුදුවන්න. අවසානය ඉතා හොඳය. ඒ වෙලාවට ප‍්‍රශංසා කරන්න, ගීතිකා ගායනා කරන්න, දේව වචනය කථා කරන්න.

දාවිත් ඉවසීමෙන් කටයුතු කළ හෙයින් ඔහුට දෙවියන්වහන්සේගේ හඬ අසමින් ජයග‍්‍රාහිකව ජීවත්වීමට හැකිවූයේය. ඔහුට කිසිවක් අහිමි නොවී නැතිවූ සියල්ල නැවත ලැබුණි. නොයිවසිල්ලෙන් බොහෝ දේ නැතිවී යයි.

දේශනාකාරයා 7:9
[9] කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.

කෝපය හැඟීම් බරය. ආත්මයේ ඵල ඉවසිලිවන්තකමය. යේසුස්වහන්සේ මෙන් සියල්ල දෙවියන්වහන්සේට භාර කරන්න. යේසුස්වහන්සේ කිසිදා කලබලවූයේ නැත. උන්වහන්සේ ඉවසීමෙන් කටයුතු කරන ලදි.

එපීස 4:26-27
[26] කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. [27] යක්ෂයාට ඉඩ නොදෙන්න.

උඩඟුව කෝපයෙන් ක‍්‍රියා කළ විට යක්ෂයා එයින් ප‍්‍රයෝජන ගනී. යක්ෂයාට ඉඩ නොදෙන්න.

දේශනාකාරයා 7:10-11
[10] පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ. [11] ප්‍රඥාව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය.

පළමු තත්වය හොඳයි කියා පවසමින් ආපසු හැරී නොබලන්න. යේසුස්වහන්සේව නොදැක විශ්වාස කරන්නන් ආශීර්වාදලද්දන් බව විශ්වාස කරන්න.

ආර්ථීකය කොතරම් ඉහළ ගියත් ඒ ගැන වද නොවන්න. ඉශ‍්‍රායෙල් සෙනඟට කාන්තාරයේ වස්ත‍්‍රවත්, පාවහන්නත් පරණ නොවෙන්නට සැලැස්වූ දෙවියන්වහන්සේ ඔබට ඊට කොපමණ වැඩියෙන් සපයනු ඇද්ද

කාලෙබ් වයස අවුරුදු 80 වෙදිත් පැවසුවේ ඔහු ශක්තිසම්පන්න බවය. ( යොෂුවා 14:9-12)

ඔබගේ ශක්තිය සැමදා ඔබ තුළ ඇත. ඔබ දිනපතා උන්වහන්සේගේ දැනගැන්මෙන්, ප‍්‍රේමෙන්, ඇදහිල්ලෙන් වර්ධනය වන්නෙකි. අපි පසුගිය දේ අතහැර ඉදිරිය දෙස බලමු. ඉදිරි වර්ෂ ගැන භයනොවී, තැති නොගෙන සිටිමු.

දේශය සොදිසි කිරීමට ගිය ඔත්තුකරුවන් 12දෙනා ගෙන් 10 දෙනෙක් අවිශ්වාසවන්තකමේ නපුරු තොරතුරු ගෙනා අතර, දෙදෙනෙක් දෙවියන්වහන්සේ කියු ආකාරයටම තොරතුර ගෙනෙන ලදි. ඔවුන් හදවතින්ම පිළිගෙන තිබුණා දෙවියන්වහන්සේ ඔවුන්ට දේශය දී අවසන් බවට.

ඔවුන් වාර්ථාව ගෙන ආවේ පෙනීමේ හැටියට නොව, ඔවුන්ගේ හදවතේ තිබූ ආකාරයටය. යමක් දුටු පමණින් සිත වෙනස් කර නොගන්න. දේශය සෝදිසි කිරීමේ අවශ්‍යතාව තිබුණේ දෙවියන්වහන්සේට නොව මිනිසුන්ටය.

ද්වීතීය කථාව 1:21
[21] බලව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කීලෙස නැගීගොස් හිමිකරගන්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.

දෙවියන්වහන්සේට පැවසුවේ දේශය හිමිකර ගන්න කියාය.

ද්වීතීය කථාව 1:22
[22] නුඹලා සියල්ලෝද මා ළඟට අවුත්: අප උදෙසා දේශය සෝදිසිකරන පිණිසත් අප විසින් යා යුතු මාර්ගයද පැමිණිය යුතු නුවරවල්ද ගැන හැරී ඇවිත් අපට දන්වන පිණිසත් අපට පෙරටුව මනුෂ්‍යයන් යවමුයයි කීවහුය.

දේශය සෝදිසි කිරීම දෙවියන්වහන්සේගේ සැලැස්මක් නොවූයේය. එය පැවසුවේ මිනිසුන්ය. ඔවුන් වහල්කමින් පිටතට පැමිණියත් ඔවුන්ට තිබුණේ වහල්කමේ මනසක්ය. අපගේ මනස, සිතුවිලි අප වෙනස් කරගත යුතුයි. අප වහල්කමේ මනසින් පිටතට පැමිණිය යුතුය.

ද්වීතීය කථාව 1:23
[23] ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් නුඹලාගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.

දේශය සෝදිසි කිරීමේ කාරණාවට මෝසෙස්ද එකඟ වන ලදි. ඔවුන් දේශය සෝදිසි කිරීමට නොගියා නම් ඔවුන්ට පහසුවෙන්ම පොරොන්දු දේශයට ඇතුළ්වීමට තිබුණි.

යෝෂුවා 14:6
[6] එවිට යූදාගේ පුත්‍රයෝ ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙතට ආවෝය. කෙනිස්සියවූ යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේදී මා ගැනත් නුඹ ගැනත් කී කාරණය නුඹ දන්නෙහිය.

කාලෙබ් දේශය ගැන වාර්ථාව ගෙන ආවේ ඔහුගේ සිතේ කල්පනාව හැටියටය.

යෝෂුවා 14:7
[7] දේශය සෝදිසිකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවු මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල සතළිස් අවුරුද්දක් වයස්ව සිටියෙමි; මමද හැරී ඇවිත් මාගේ සිතේ කල්පනාව ලෙස ඔහුට ප්‍රවෘත්තිය කීවෙමි.

ඔබ ඇසුරු කරන සහෝදරයන් ඔබගේ සිත දියවී යන ආකාරයට කථා කරන්නේ නම් ඔවුන්ගෙන් ඈත්වන්න.

යෝෂුවා 14:8
[8] එහෙත් මා සමඟ ගිය මාගේ සහෝදරයෝ සෙනඟගේ සිත් දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගියෙමි.

වැරදි පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇති කරගෙන ඔබගේ ආත්මික ජීවිතය කඩාකප්පල් කර නොගන්න. දෙවියන්වහන්සේ ගිඩියොන්ව කැඳවූයේ තනියෙන් ජයග‍්‍රහණය ලබා දෙන්නටය. එහෙත් ඔහු දෙවියන්වහන්සේගෙන් සෙනඟක් ඉල්ලීය.

දෙවියන්වහන්සේ ඔහුට එක්වූ සෙනඟ අතරින් පළමුව භය හා තැතිගැන්ම ඇති සෙනඟ නතර කරමින් පසුව උන්වහන්සේගේ අණට අකීකරු වූ සෙනඟ ඉවත් කරන ලදි.

දේව අණට කීකරු වූ අයගෙන් ඉතිරිවූයේ 300ක් පමණි. ඒ 300 දෙනා තුළින් ඔවුන් දේව හඬට ඇහුම්කන්දී ජය ලබා ගන්නා ලදි. (විනිශ්චයකාරයා 6-7 පරිච්ඡේද)

දෙවියන්වහන්සේ කුෂ්ට රෝගීන් 4 දෙනෙක් පාවිච්චි කර ඉශ‍්‍රායෙල්වරුන්ට සතුරු හමුදාවෙන් ජය ලබා දෙන ලදි. (2 රාජාවලිය 7:3-20)

දෙවියන්වහන්සේට ඕනෑම දෙයක් කළ හැකිය.

තවත් අවස්ථාවක එලිෂා අගල් කපන්න කියා ඒවාට වතුර පිරුණු පසු ඒවා ලේ මෙන් දිස්වීමෙන් මෝවබ් හමුදාව ඒ තුළින් පරාජයට පත්වූයේය. (2 රාජාවලිය 3:11-27)

ඔබගේ ජීවිතයේ හාස්කම් කරන්නට දෙවියන්වහන්සේට මාර්ග තිබේ. ප‍්‍රශ්න කරදර පැමිණිය හැකියි, නමුුත් අපගේ දෙවියන්වහන්සේ ජීවමානය, උන්වහන්සේ ගල් පිළිමයක්වත්, මැටි රූපයක්වත් නොවේය.

අපගේ සිතින් කිසිදා සතුරා බලවත්යැයි නොකිය යුතුය. සෙනඟ දේශය සෝදිසිකර වැරදි වාර්ථාවක් ගෙනාවත් කාලෙබ් දෙවියන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණව සිටි හෙයින් ඔහුට දේශයක් දීමට මෝසෙස් පොරොන්දුවන ලදි.

යෝෂුවා 14:9
[9] මෝසෙස් ඒ දවසේ දිවුරමින්: නුඹ සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා සැබවින්ම නුඹ පය තැබූ දේශය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් පිණිස වන්නේයයි කීවේය.

කාලෙබ් මෝසෙස් ඔහුට පොරොන්දුවූ දේශය ඉල්ලන විට ඔහුට අවුරුදු 85කි.

යෝෂුවා 14:10
[10] බලව, ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ ස්වාමීන්වහන්සේ කී හැටියට මා ජීවත්කොට රක්ෂාකළසේක. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි.

කාලෙබ් පැවසුවේ, ඔහු එදා මෙන්ම අදත් ශක්තිමත්ම සිටින බවයි.

යෝෂුවා 14:11
[11] මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධකරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ.

ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන්නෙක් නම් ඔබගේ ශක්තිය අඩුවන්නේ නැත.

හිතෝපදේශ 24:10
[10] නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.

විපත්ති ඇතිවේ, නමුත් යේසුස්වහන්සේ ජයගත් ආකාරයෙන් අපටද ජය ගත හැකිය. ඔබ ක්ලාන්තව ශක්තිය අල්ප කර නොගෙන ශක්තිය වැඩිකර ගත යුතුය. දේව වචනය ගැන දැනුම තිබෙන කල ශක්තිය වැඩිවේ.

හිතෝපදේශ 24:5-6
[5] ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි. [6] මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.

හොඳ උපදෙස් දෙන්නන් ඔබ ළඟ සිටී නම්, ඔබට හොඳ රැකවරණයක් ලැබෙයි.

හිතෝපදේශ 24:7
[7] ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි.

යක්ෂයාට එරෙහිව අප වචන පාවිච්චි කළ යුතුය. එසේ නොකර සිටීම කනගාටුදායක කාරණයකි. දෙවියන්වහන්සේ කථා කරන්නේ “අදයි” කියා විශ්වාස කරන්න. ඔබ කොතැන සිටියත් දෙවියන්වහන්සේට ඔබගේ හඬ ඇසෙනවා. උන්වහන්සේට ඔබට උපකාර කළ හැකිය. එවැනි විශ්වාසයෙන් සිටින මනුෂ්‍යයන් පසුගිය කාලය ගැන කියමින් දුක්වන්නේ නැත.

හිතෝපදේශ 24:8
[8] නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.

දෙවියන්වහන්සේට කාලයක් නොමැත, උන්වහන්සේ සදහටම එකාකාරය. අපගේ විශ්වාසයත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් තබා ගත යුතුය.

ගීතාවලිය 62:5-6
[5] මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය. [6] මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.

දෙවියන්වහන්සේ අපගේ බලකොටුවත්, පර්වතයත්ය. අප නොසෙල්වී සිටිමු.

පේතෘස් යේසුස්වහන්සේව අඳුනන්නැති බව පැවසුවත්, යේසුස්වහන්සේ ඔහුව එපා කළේ නැත. උන්වහන්සේ පැවසුවේ, නුඔ ශක්තිමත්වූ පසු මගේ සහෝදරයන් ශක්තිමත් කරන්න කියාය. (ලූක් 22:32)

අලුත් ගිවිසුමේ මනුෂ්‍යයා ගැළවීමට ගෙන ඒමට දෙවියන්වහන්සේ මුලින්ම පාවිච්චි කළේ පේතෘස්වය. ඔබ වැටුනත් නැවත නැගිටින්න.

ගීතාවලිය 62:7-8
[7] මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය. [8] ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.

ඔබට හැඟුනත් නැතත් සැමවිටම දෙවියන්වහන්සේ විශ්වාස කරන්න. ඔබගේ හදවත දෙවියන්වහන්සේ වෙත වගුරන්න. එය දෙවියන්වහන්සේට කරන නමස්කාරයයි. මෝසෙස් පවා කලකිරීමට පත්වන විට දෙවියන්වහන්සේට දණනමා නමස්කාරකරන ලදි. සැමවිට දෙවියන්වහන්සේට නමස්කාර කරන්න. සතුරු හමුදාව එනවිට යෙහෝෂාපාට් රජතුමා කලෙත් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමය. දෙවියන්වහන්සේ අපගේ රක්ෂස්ථානයයි.

ගීතාවලිය 62:9
[9] සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.

පිටස්තර සියලු දේ නිශ්ඵලයි.

ගීතාවලිය 62:10
[10] බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.

පීඩා කෙරෙහි විශ්වාස නොකර දෙවියන්වහන්සේගේ සැපයීම කෙරෙහි විශ්වාස කරමු.

ගීතාවලිය 62:11
[11] දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,

ස්වාමීන්වහන්සේ එක් වරක් ප‍්‍රකාශ කරන දේ දෙවැනි පාර ඔබගේ මුඛයෙන් පවසන්න.

ගීතාවලිය 62:12
[12] ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.

යේසුස්වහන්සේ කුරුසියේ අප උදෙසා වැපුරූ දේ අප කපා ගන්නෙමුව. උන්වහන්සේ අප උදෙසා කුරුසියේදී හිංසාව, පීඩාව, තනිකම, ලැජ්ජාව දරාගන්නා ලදි. ඒ තුළින් උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ වැපුරූ දෙයින් අපට ආශීර්වාදය, සුවය, මිදීම, සඵලත්වය ලබා ගන්න කියාය. අප ජීවත්වන්නේ යේසුස්වහන්සේ අප වෙනුවෙන් වැපුරූ දේ නිසාය. ඔබ හරිදේ වපුරන්නට තෝරාගන්න.


Watch the Sermon Video

Read 56 times