+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වී තිබේ - යෝෂා මනූ
January 5, 2025 Sunday Sermon Notes
දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අප පව්කාරයෝයයි විටින් විට ප්‍රකාශ නොකර සිටිමු. දේව දරුවන් වශයෙන් අපට එකවර ස්ථාන දෙකක සිටගත නොහැක.
ඔබ යේසුස්වහන්සේගේ ලේ තුළින් ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස නැතහොත් තවමත් යක්ෂයාගේ බන්ධනයට සිරවී සිටින පවිකරුවෙක් ලෙස සිටී.
පව්කාරකමින් නිදහස ලබා ගත් කල, අපට අනිවාර්යයෙන්ම ස්ථාන මාරුවක් සිදුවන්නේය. එමනිසා යේසුස්වහන්සේගේ ලේ වලින් අප මිදීම ලබා ගත් පසු තවත් මා පව්කරුවෙක් යැයි කිසිදා කිව නොහැකිය.
ඔබ ධර්මිෂ්ඨයි කියා දෙවියන්වහන්සේ පවසනවා නම්, ඔබ ඒ ධර්මිෂ්ඨකමේ ඵල දරමින් ජීවත්වන විට යක්ෂයාට එරෙහිව ඔබට නැගී සිටිය හැකිය. ඔබ තවමත් පව්කාරයෙක් යැයි පවසමින් සිටී නම් නිසැකයෙන්ම ඔබ යක්ෂයාට පහර දීමට දොරක් විවෘත කර දෙයි.
යක්ෂයා ඔබට පහර එල්ල කරන්නේ ඔබ මුඛයෙන් පිටකරන වචන වලින්මයි. ඔබ ධර්මිෂ්ඨ දේව දරුවෙක්. එමනිසා ඔබ තුළ එම ධර්මිෂ්ඨකමේ ඵල තිබිය යුතුය. අපගේ ශරීරයේ අවයවයන් අප ධර්මිෂ්ඨ දේ කරන පිණිස ස්වාමීන්වහන්සේට භාරදෙමු. දෙවියන්වහන්සේ ආශීර්වාද කරන්නේ ධර්මිෂ්ඨයාටය.
පරණ ගිවිසුමේ අය ධර්මිෂ්ඨකම ලැබුවේ බැටළුපැටවාණන් වන යේසුස්වහන්සේගේ ලේ වලින් නොවේ. ගවයන්ගේ, බැටළුවන්ගේ ලේ පූජාවලින් සිදුවූයේ ඔවුන්ගේ පාපය වසාලීම පමණය. එහෙත් ඔවුන් පැවසුවේ ඔවුන් ධර්මිෂ්ඨයන් ලෙසය.
යේසුස්වහන්සේගේ ලේ වලින් ඔබ ධර්මිෂ්ඨයි කියා දෙවියන්වහන්සේ පවසන දේ ඔබ කිසිදා ප්‍රතික්ෂේප නොකරන්න.
දෙවියන්වහන්සේ අපට භාර දී ඇති දෙයක් ඇද්ද මේ වසර අපි විශ්වාස භාරකාරත්වයේ වසරක්ව එම වැඩෙහි නියැලී සිටිමු. මේ වසරේ දෙවියන්වහන්සේ අපව කාරණා 3ක් තුළින් ඔසවනු ඇත.
අපේ ජීවිතයේ උසස්වීම් තුන ගැන අපි විස්තරව බලමු
ඇදහිල්ලෙන් ඇදහිල්ලට
මහිමයෙන් මහිමයට
ශක්තියෙන් ශක්තියට
මේ ආත්මික උසස්වීම් තුන අපි මේ වසර පුරාම අපගේ ජීවිතයට ඉලක්ක කර ගනිමු.
අපගේ මුඛයෙන් යේසුස්වහන්සේ අපගේ ස්වාමින් කියා පවසමින් අප ගැළවීම ලබා ගත්විට අප ධර්මිෂ්ඨකම ලබා ගත්තෙමු(රෝම 10:9-10). අප මුලින්ම පැවසූ ඇදහිල්ලේ වාක්‍යය එයයි.
ධර්මිෂ්ඨකම යන්නෙහි සරලම අර්ථය - දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් තිබීමය. දෙවියන්වහන්සේ අපට ප්‍රේම කිරීමයි. දෙවියන්වහන්සේ අප දෙස බලන්නේ යේසුස්වහන්සේ තුළිනි.
රෝම 1:17 අනුව මේ උසස්වීම් අපට හිමි කර ගන්නට පුලුවන් වන්නේ දෙවියන් වහන්සේගේ අධිස්වභාවික බලය තුළින් පමණි. අපට ශුද්ධාත්මයාණන්ගේ උපකාරය නොමැතිව මෙම පොරොන්දු ඉටු කර ගැනීමට නොහැක.
කුණාටු පැමිණෙන විට කුණාටු තුළින් අප ඉදිරියට යාමට දැන ගත යුතුයි. කුණාටුවට මුහුණ දෙන ආකාරයෙන් අපගේ ශක්තිය අපට දැන ගත හැකිය. අප දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මවා ඇති නිසා යක්ෂයා අනිවාර්යයෙන්ම කුණාටු, කරදර, සහ පීඩා සියල්ලන්ටම පොදුවේ ගෙන එයි.
අපට පීඩා පැමිණීම නතර කළ නොහැත. නමුත් පීඩාවලින් ජය ගැනීමට දෙවියන්වහන්සේ අපට ශක්තිය, බලය දී ඇත. අප තුළ දේව වචනය තැන්පත්ව ඇත්නම් අපට එන්නාවු කුණාටු, පීඩා, සහ පරීක්ෂාවන්ගෙන් ජය ගත හැකිය.
ඔබට එන්නාවු කුණාටු, පීඩා, පරීක්ෂා ඔබගේ මුඛයෙන් වර්ණනා නොකරන්න. එම අභියෝගයන් ජයගත් ආකාරය වර්ණනා කරන්න. මේ ලොකයේ සිටින තුරාවට පීඩා පරීක්ෂා පැමිණෙන බව යේසුස්වහන්සේ පැවසුවේය.
යොහන් 16:33
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.
මේ වචනය දෙස බලමින් නැවත නැවත වාරයක් ප්‍රකාශ කරමින් අප මේ වචනය මෙනෙහි කරමු. යේසුස්වහන්සේ මේ දේවල් පවසන්නේ අපට සමාදානය තිබෙන පිණිසය. එයින් අර්ථවත් වන්නේ ලෝකයෙන් අපට පීඩා තිබෙන බවය. අප ලෝකයේ ජීවත්වුවත් දෙවියන්වහන්සේ අපව ලෝකයාගෙන් මුදවා ඇත.
කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.
ලෝකයේ අන්ධකාරයට අසුවී සිටි අපව පියාණන්වහන්සේ අන්ධකාර බලයෙන් මුදවා ගත්සේක. දැන් අප සිටින්නේ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ රාජ්‍යය තුළයි.
අප දැන් ලෝකයාට අයිති නැත.
සභාව යන්නෙහි ග්‍රීක වචනය - “එක්ලීසියා” ය. එහි අර්ථය ලෝකයෙන් ඔබව වෙන්කර, තෝරාගෙන දෙවියන්වහන්සේ වෙතට ඇදගත් සෙනඟක් යන්නය. යේසුස්වහන්සේ සභාවේ හිසය. අප ශරීරයේ අවයවයන්ය. යේසුස්වහන්සේ පවසන්නේ, මා ඔබව ලෝකයාගෙන් තෝරා ගෙන ඇත. පීඩා තිබෙන්නේ ලෝකයේය.
අප ලෝකයේ පැත්තට බරවූවහොත්, අප පීඩාවන්ට යටවී විනාශ විය හැකිය.
නමුත් යේසුස්වහන්සේ පවසන්නේ ධර්මිෂ්ඨයාට පීඩා පැමිණියත් උන්වහන්සේ ඒ සියල්ලෙන් අප ගළවන බවය. උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ ලෝකයෙන් ජය ගත් බැවින් අපට ධෛර්යමත්ව සිටින ලෙසය.
උසස්වීම් යන්නෙන් අදහස් කරන්නේ ආත්මිකව ඉදිරියට යෑම සහ ඉහළට යෑමය.
වසරක් වසරක් පාසා ඔබ ආත්මිකව කොතරම් ඉදිරියට ගියාදැයි දැනගන්නේ ඔබමය.
Elevate=උසස්වීම් යන වචනයේ තවත් අර්ථ කිහිපයක් බලමු:
උසස් තනතුරකට පත්වීම,
ඔබේ ප්‍රමිතිය ඉහළ නැංවීම,
ජීවිතය තවත් වැඩිදියුණු කර ගැනීම,
පහළ සිට ඉහළ ස්ථානයකට යාම
ජීවන තත්ත්වය උසස් කර ගැනීම
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වී තිබෙන බව ඔබ දැන සිටිය යුතුයි.
රෝම 1:17
කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.
ධර්මිෂ්ඨයාගේ ජීවන රටාව ඇදහිල්ලෙන් ජීවත්වීමය. ඔබ දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් ගොඩනඟා සිටීනම්, ඔබ පංච ඉන්ද්රියයන්ගෙන් ජීවත්වීම නතර කර, නොපෙනෙන තලයේ ජීවත්විය යුතුය. පෙනෙන මාංසික දේ තාවකාලිකයි, නොපෙනෙන දෙවියන්වහන්සේගේ දේ සදාකාලිකය. (2 කොරින්ති 4:18, 5:7)
ධර්මිෂ්ඨකම ලබා ගත්තා යනු, ඔබ දෙවියන්වහන්සේගේ ජීවනය සහ ගැළවීම ලබා ගැනීමය. ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ පෙනෙන දේ වලින් හැඟෙන දේ වලින් නොවේ. දෙවියන්වහන්සේගේ හඬ අසමින් ඇදහිල්ලේ තීරණ තුළින්ය.
මක්නිසාද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වී තිබේ.
හබක්කුක් 2:4
බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.
විශ්වාසවන්තකම යනු ඇදහිල්ලය. ධර්මිෂ්ඨයා තමගේ ඇදහිල්ලෙන් ජීවත්වේ.
ඇදහිල්ලෙන් ජීවත්වන ධර්මිෂ්ඨයාට උඩඟු විය නොහැකිය. ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ අවංකකමින් හා යටහත්පහත් කමෙනි. අවංක අයට දෙවියන්වහන්සේ ආශීර්වාද කරනු ඇත. උඩඟුකම දෙවියන්වහන්සේට විරුද්ධය. උඩඟු සිත ඔබගෙන් අයින් කරගත යුතුය. උඩඟුකම යනු යක්ෂයාගේ චරිත ගුණාංගයකි.
යක්ෂයාව ස්වර්ගයෙන් නෙරපා දැම්මේ උඩඟුකම නිසාය. ඔහු සිතුවේ ඔහු දෙවියන්වහන්සේ මෙන් විය යුතු බවත්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ වාඩිවී, ඔහු දෙවියන්වහන්සේ විය යුතු බවත්ය (යොසායා 14:12-15).
එබැවින් ඔබගේ ඇදහිල්ලේ ගමනට උඩඟුකමට ඇතුළ්වීමට ඉඩ නොදෙන්න.
ගලාති 3:11
ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.
පරණ ගිවිසුමේ කිසිවෙකුට මෙම නව ගිවිසුමේ ධර්මිෂ්ඨකම හිමි වූයේ නැත.
ඔවුන්ගේ පාපය වසා දැමුවා පමණි. නමුත් අප ධර්මිෂ්ඨකම ලැබුවේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන බැටළුපැටවාණන්ගේ ලේ තුළින්ය. පරණ ගිවිසුමේ අණ පරිදි ජීවත්වනවා නම්, අපට ධර්මිෂ්ඨ විය නොහැක. ව්‍යවස්ථාව නිතරම තිබෙන්නේ කොන්දේසි සහිතවය.
නව ගිවිසුම තුළ අප ජීවත්වන්නේ යේසුස්වහන්සේගේ ක්‍රියාව තුළිනි. අපට ධර්මිෂ්ඨකම ලැබුණේ යේසුස්වහන්සේ තුළිනි.
හෙබ්‍රෙව් 10:38
ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.
අප ඇදහිල්ලෙන් ඉවත්වුවහොත් අපට ජීවිතයක් නොමැත. ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීම තුළිනි. (රෝම 10:17).
ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ. (රෝම 1:17 )
මක්නිසාද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වී තිබේ.
දේව වචනය ඇසීමෙන් අපගේ ඇදහිල්ල වර්ධනයවේ.
ධර්මිෂ්ඨකම යනු දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය සම්පූර්ණ කිරීමයි. දෙවියන්වහන්සේ සමඟ ඉදිරියට යන්නට පුළුවන් වන්නේ, උන්වහන්සේගේ ප්‍රමිතිය අනුවයි. ධර්මිෂ්ඨයාට උන්වහන්සේ ඉදිරියට යා හැකිය.
පව්කාරයාට ඇති එකම යාච්ඤාව “ස්වාමීනි මා ගැළෙව්ව මැණව” කියා කීම පමණි. ධර්මිෂ්ඨයාට ඕනෑම දෙයක් ඉල්ලීමට දෙවියන්වහන්සේ අවසර දී ඇත.
රෝම 3:10
[10] ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;
රෝම 3:22-25
[22] එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත; [23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. [24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති. [25] ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.
අප යේසුස්වහන්සේ තුළින් නොමිලේ ධර්මිෂ්ඨකම ලබා ගන්නේය. අප උදෙසා මිලය ගෙව්වේ යේසුස්වහන්සේය. එමනිසා අප යේසුස්වහන්සේට අයිති සෙනඟක්ය. යේසුස්වහන්සේ නොමැතිව අප තුළ ධර්මිෂ්ඨකමවත්, ඇදහිල්ලවත් ඇති වන්නේ නැත. යේසුස්වහන්සේ අපගේ පාපයට කමාව දුන් බව අප ඇදහිල්ලෙන් විශ්වාස කරමු.
දෙවියන්වහන්සේ නියම කල ඒ යේසුසස්වහන්සේගේ පව් නසන පූජාව අපි පිළිගනිමු. දෙවියන්වහන්සේ අවසාන කාලවලදී යේසුසස්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් මනුෂ්‍යයන් ධර්මිෂ්ඨ කරනු ඇත.
2 කොරින්ති 5:21
[21] අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.
යේසුසස්වහන්සේ මත අපගේ පාපය තැබුවේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ ඒ පාපයේ මිලය ගෙවා, පූජාව සම්පූර්ණ කර අපව ධර්මිෂ්ඨ කළේය. එම ක්‍රියාවලිය යේසුස්වහන්සේ සැබවින්ම කරන ලද්දේය. එම ක්‍රියාව අප අපගේ ජීවිතයට අදාල කර ගන්නේ ඇදහිල්ලෙන් විශ්වාස කර ධර්මිෂ්ඨකම ලබා ගැනීමෙනි.
Watch the Sermon Video