+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මනුෂ්‍යයන් ගැළවීම ලබන උසස්ම නාමය යේසුස් - යෝෂා මනූ
January 19, 2025 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේගේ නාමය උතුම්ය, උසස්ය, බලවත්ය. අප විශ්වාසය තබන්නේ ඒ නාමය කෙරෙහිය. යේසුස්වහන්සේගේ නාමය හැරෙන්ට මනුෂ්‍යයෙකුට ගැළවීම ලබන්ට වෙන කිසි නාමයක් නැත. අද දින ඔබ යේසුස්වහන්සේගේ නාමය ගැන ඇසුවා නම් ගැළවීම ලබාගන්ට සුදුසුම කාලයයි.

ක්‍රියා 4:12 වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

මේවා සැබවින්ම අනර්ඝ වචන ගැළවීම ලැබෙනුයේ යේසුස්වහන්සේගේ නාමයෙන් පමණි. දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුට පවසන්නේ තමාට ගැළවීම ලබන්නට ඇති එකම නාමය යේසුස්වහන්සේය.

ක‍්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

සදාකාල ගැළවීම ලබා ගැනීමට යේසුස්වහන්සේගේ නාමය හැර ස්වර්ගයෙන් යට වෙන නාමයක් නැත. වෙන කිසිවෙක් තුළ ගැළවීම නැත. බොහෝ නාම තිබුණ නමුත් ඔබගේ සදාකාල ඉරණම වෙනස් කරන්නට අවශ්‍ය නම්, නැතිනම් සදාකාල ගැළවීම ලබාගන්නට අවශ්‍ය නම් ස්වර්ගය යට තිබෙන එකම නාමය නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

යේසුස්වහන්සෙ අවුරුදු තිස්තුනහාමාරක් පොළොවේ ජීවත්වෙමින් අවුරුදු තුනහමාරක බලවත් සේවයක් මනුෂ්‍යයා වෙනුවෙන් කරන ලදි. යේසුස්වහන්සේ උන්වහන්සේගේ උතුම්ම පූජාව කරමින් කුරුසපත්වන වූයේය.

කුරුසියෙදී උන්වහන්සේ අපගේ පාපය, ශාපය උසුලාගෙන අප උදෙසා උන්වහන්සේගේ ලේ වගුරුවන ලදි. දින තුනකට පසු උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණේය.

පිලිප්පි 2:5-7
5 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. 6 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, 7 එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.

මනුෂ්‍යයා උදෙසා සේවය කිරීමට යේසුස්වහන්සේ දාසයෙකුගේ ස්වරූපය ගත්සේක.

පිලිප්පි 2:8
මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.

පියාණන්වහන්සේට අවශ්‍ය දේ කීරීමට යේසුස්වහන්සේ බැටළුවෙකු සේ මරණය දක්වා කීකරුව සිටියහ. යේසුස්වහන්සේගේ කුරුසපත්වීමට පෙර, උන්වහන්සේව විනාශ කිරීමට යක්ෂයා උත්සාහ කලත් එය නොහැකි වුණේය.

තමන් මෙළොවට පැමිණි කාර්යය නිසි අයුරින් ඉටුකරනවා යන අධිෂ්ඨානය යේසුස්වහන්සේ තුළ තිබුණේය. යේසුස්වහන්සේ මොළොවට පැමිණ, කල ක‍්‍රියාව නිසා දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට සියලු නාම වලට වඩා උසස්ම නාමය යේසුස්වහන්සේට දෙන ලදි.

පිලිප්පි 2:9
එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.

දෙවියන්වහන්සේ එසේ කළේ යේසුස්වහන්සේ සියලු රාජ්‍යය වල නායකත්වය දරණ පිණිසය.

පිලිප්පි 2:10-11
එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, 11යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

හදවතින්ම දෙවියන්වහන්සේව පිළිගෙන ඇති ගණන් කල නොහැකි සෙනඟක් උන්වහන්සේට සිටියි. දෙවියන්වහන්සේට ගෞරවය ගෙන ඒම සඳහා ඔවුන් යේසුස්වහන්සේ මාගේ ස්වාමින්, මාගේ ගැළවුම්කරු කියා දිව් වලින් පවසයි.

අද අප ජීවත්වන්නේ දෙවි පියාණන්වහන්සේ දුන් ඒ නාමය නිසයි. අප යක්ෂයන් එළවන්නෙත්, සුවය ලබන්නෙත්, ජයග‍්‍රහාහී ජීවිත ගත කරන්නෙත් ඒ නාමය නිසයි. අපට සමාදානය ගෙන දුන්නේ ඒ නාමයයි. අපගේ ජීවිත සම්පූර්ණ පරිවර්ථනය වුයේ ඒ නාමයෙනි. ඒ නාමය ඉතා උතුම්ය. ඒ නාමය කිසිදා සුළු නොකරන්න. ඒ නාමයෙන් භය නොවී අත තබා යාච්ඤා කරමු.

දේව වචනයට කීකරු වෙන්නාගේ ජීවිතය තුළ අනිවාර්යයෙන්ම ඒ නාමයේ බලය ක‍්‍රියාත්මක වනු ඇත.


Watch the Sermon Video

Read 28 times