+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සහනය ලැබෙන්නේ යේසුස්වහන්සේගෙන් පමණි - යෝෂා මනූ
February 2, 2025 Sunday Sermon Notes


දෙවියන්වහන්සේව වර්ණනා කරන්නාවු අපගේ තොල් වලින් අප අපව පහත් කර ගත යුතු නැත. දෙවියන්වහන්සෙ අපව උසස් කර ඇත. එබැවින් මම පව්කාරයි, මම නොවටිනා වැනි බයිබල් පද ගෙන අප යාච්ඤා කල යුතු නැත.

දෙවියන්වහන්සේව අපව මේ පොළොවේ රජ පූජකයන් කර ඇත. අපට මේ පොළොවේ රජකම් කිරීමට දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ ස්වභාවය දී ඇත.

රජකම් කරනවා යනු මනුෂ්‍යයන්ට අවශ්‍ය දේ ලබා දීමය. දෙවියන්වහන්සේ අපට ලබා දී ඇති ධර්මිෂ්ඨකමින් අප රජකම් කල යුතුය.

ධර්මිෂ්ඨකම යනු දෙවියන්වහන්සේ සමඟ ඇති සම්භන්ධකමයි.

යේසුස්වහන්සේ අපගේ රජුය. එහෙත් උන්වහන්සේ තුළ ඇත්තේ මෘදු යටහත් පහත් කමය. අප අපගේ රජ තුමාගේ චරිත ගුණාංග අප තුළින් විදහා දැක්විය යුතුය.

අපගේ රජුන්ගේ රජවූ යේසුස්වහන්සේ සියල්ලන්ටම සහනය ලබා දීමට උන්වහන්සේ වෙතට එන්නැයි ආරාධනා කරයි.

ශු. මතෙව් 11:28-30
[28] වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. [29] මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. [30] මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

අපගේ රජුතුමාණන් යටහත් පහත් මෘදු හදවතක් තිබෙන්නාවු කෙනෙකි.

උන්වහන්සේ යටතේ අප මේ පොළොවේ රජකම් කරන්නාවු අයයි.

සියල්ල උරුම කරගත් යේසුස්වහන්සේ දෙවිපියාණන්ගේ දකුණු අත පැත්තේ වාඩිවී සිටිනා අපගේ ස්වාමීන්ය.

අපද අපගේ ජීවිතයේ සෑම දෙයක්ම යේසුස්වහන්සේගේ නාමයෙන් අප ඉදිරියේ දණ ගැස්විය යුතුය.

ඔබගේ ජීවිතයේ ප‍්‍රශ්න, කරදර කම්කටළු, ලෙඩ රෝග වලට ඔබ යටත්ව සිටියහොත් ඔබ රාජකීය පූජකයෙක් කියා පෙන්නුම් නොකරයි.

පිටාතරින් නොව අප යටහත් විය යුත්තේ සිතින්ය.

යේසුස්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ වියගහා ගන්න, උන්වහන්සේගෙන් ඉගෙන ගන්න, උන්වහන්සේ සිතින් මෘදුව සිටින්නාක් මෙන් අපටද සිතින් මෘදුව සිටින්න කියාය. අපට උන්වහන්සේ සමඟ ගමන් කරන්න කියාය.
එවිට අපගේ ප‍්‍රාණයට සහනය ලැබෙයි.

උන්වහන්සේට කරන සේවය පහසුය.

දෙවියන්වහන්සේ කවදාවත් අප පිටට බරක් තබන්නේ නැත.

හෙබ්‍රෙව් 12:1-3
[1] එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. [2] උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක. [3] ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනාකර බලන්න.

දෙවියන්වහන්සේගේ වචනයේ පවසන්නේ අපගේ සියලු බරද පහසුවෙන් අප හසුකරන්නාවු පාපද අහක දමන්න කියාය.

අප ගැළවීම ලැබූ දින දෙවියන්වහන්සේ අපගේ පව්කාර ස්වභාවය පහකර දමන ලදි.

අපව පහසුවෙන් හසුකරන පාපය දන්නේ අපය. සමහර විට එය කනස්සලු භාවයක් වෙන්නටද පුළුවන. නිතර නිතර සෑම දෙයටම කනස්සලු වීමද පාපයකි.

යේසුස්වහන්සේ පැවසුවේ කිසිවක් ගැන කනස්සලු නොවන්න කියාය. (මතෙව් 6:25-34)

උන්වහන්සේ මාර්තාට පැවසුවේ ඇය බොහෝ දේ ගැන නලංගුවන බවය. (ලූක් 10:41)

අපගේ ජීවිතයේ මෙවැනි නලංගුවන කාරණා අප අහක්කල යුතුය.

අප බැලිය යුත්තේ ඇදහිල්ලේ කර්තෘ වන යේසුස්වහන්සේ දෙසය. උන්වහන්සේ ගමන් කරන්නේ අප ඉදිරියෙන්ය. උන්වහන්සේගේ වචනය දෙස බලමින් අප ගමන් කළ යුතුය.

අප ඉදිරියේ ඇති ගමන අප ඉවසිල්ලෙන් ගමන් කල යුතුය. අපට ඒ සඳහා දෙවියන්වහන්සේගේ වචනය හා උපකාරය අවශ්‍යය.

යේසුස්වහන්සේ ස්වාමි කෙනෙක්, රජ කෙනෙක් ලෙස දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පස වාඩිවීමට උන්වහන්සේට උසස්තම නාමය ලැබුනේ දෙවියන්වහන්සේ උන්වහන්සේට භාරදුන් ක‍්‍රියාව සම්පූර්ණ කරනවා යන අධිෂ්ඨානය උන්වහන්සේ තුළ තිබූ නිසාය.

යේසුස්වහන්සේ තම දිවීම දිවීමට උන්වහන්සේ ඉදිරියේ එල්ලය කොට තබා ගන්නා ලද්දේ ප‍්‍රීතියයි.

යේසුස්වහන්සේට තමන් විදින්ට යන දේහි අසීරුකම දැනුනි. නමුත් උන්වහන්සේ පැවසුවේ පියාණනී ඔබගේ කැමැත්ත වේවායි කියාය. (මතෙව් 26:39)

මතු දවසේදී ගැළවීම තුළින් අප ලබන්නාවු ප‍්‍රීතිය දැන සිටි යේසුස්වහන්සේ උන්වහන්සේ විදින්ට යන ලැජ්ජාව, දුක, ශෝකය, වේදනාව පසෙක දමා කුරුසිය දරා ගන්නා ලදි.

කුරුසියේදී යේසුස්වහන්සේ මුලු මිනිස් සංහතියේම පාපය උසුලන ලදි. අප වෙනුවෙන් උන්වහන්සේ පාපය වන ලදි.

ඔබගේ ජීවිතයේ ඉවත් කලයුතු දේ අතහැර දමා සිතින් ක්ලාන්ත නොවී, වෙහෙස නොවී ඔබගේ වෙහෙස, ක්ලාන්තවීම , සියලු බර ස්වාමීන්වහන්සේ පිට තබන්න.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් සියල්ල දරාගත් හෙයින් අපද උන්වහන්සේ දෙස බලමින් මේ දේවල් තුළින් ගමන් කරමින් ජයග‍්‍රාහිකව ජීවත්වෙමු. උන්වහන්සේගේ කැමැත්ත ඔබ සමාදානයෙන් ජීවත්වීමයි.


Watch the Sermon Video

Read 72 times