+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සඵලත්වයේ පණිවිඩය - මනූ මැතානි
February 9, 2025 Sunday Sermon Notes

 

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්ය. අපගේ හදවතේ තැන්පත් කර ඇති වචන අප දිනපතා පාවිච්චි කිරීමෙන් අපගේ ඇදහිල්ල වර්ධනය කර ගන්නවා සේම අපගේ ප‍්‍රකාශයෙන් ඇදහිල්ල ක‍්‍රියාශීලිව, වරදට පත් නොවී අපගේ ජීවිත ගමන ගෙන යා හැකිය.

අප ධෛර්යමත් වන්නේත්, ශක්තිමත් වන්නේත් ඇදහිල්ල තුළිනි. වැටෙන තැන්හීදී අපගේ උපකාරය ඇදහිල්ලයි.

අප ජයගන්නෙත්, ජීවිතේ ගොඩනගාගන්නෙත්, ඇදහිල්ල තුළිනි.

බාධා පැමිණෙන කල්හීත් දෙවියන්වහන්සේ තුළ රඳා පැවතීමෙන් අපට බාධා අභිබවා යා හැකිය.

ලියවිල්ලේ ප‍්‍රකාරයට අපය සඵලවීමට දෙවියන්වහන්සේගේ පොරොන්දු ඇත.

ද්වීතීය කථාව 29:9
එබැවින් නුඹලා කරන සියල්ලෙහි නුඹලා සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න.

අපට ගිවිසුමක් ඇත. ගිවිසුමේ වාක්‍යය අප රක්ෂා කල යුතුය. එවිට අප සියල්ලෙහි සඵලවේ.

අපගේ සඵලත්වය තිබෙන්නේ දේව වචනයේය. දේව වචනයේ තිබෙන දේ අප අදාල කරගෙන, එය රක්ෂාකරමින් සිටින කළ අප දියුණුවට පත්වේ.

ඔබ අත ගසන සියල්ල සඵලවන බව විශ්වාස කරන්න.

සෑම ආශීර්වාදයක්ම ලැබෙනුයේ ආත්මික තලයෙන්ය. ආත්මිකව වර්ධනය වන්නාට බෞතික සඵලත්වයද හිමිය. ඒවා භුක්තිවිදීමට දෙවියන්වහන්සේ අපට නියම කර ඇත.

අසාර්ථකභාවයට ජය ගන්නට ඉඩ නොදී අපට ජයදීමට දේව වචනයට ඉඩ දෙමු.

ගිවිසුමේ වාක්‍යය දෙවියන්වහන්සේ ස්ථීර කර තිබේ.

යාකොබ් 1:17
සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.

අපගේ දුර්වලකම්, අපගේ දුක, වේදනාව, දිළිදුකම, රෝග, අපගේ ශෝකය දෙවියන්වහන්සේ දරාගත් සේක.

උන්වහන්සේ ධනවත්ය. උන්වහන්සේගේ ධනය, ප‍්‍රීතිය, සමාදානය, සඵලත්වය අපත් සමග බෙදාගෙන ඇත.

දෙවියන්වහන්සේගේ ගිවිසුමේදී හුවමාරුවක් සිදුවේ. එහි වාසි පැත්ත හිමිව ඇත්තේ අපටය. එය දවියන්වහන්සේගේ නියමයයි.

යේසුස්වහන්සේගේ කුරුස පත්වීම තුළින් උන්වහන්සේ අපව මුදාගත් සේක.

යේසුස්වහන්සේගේ නාමයෙන් බයිබලයේ උත්පත්ති පොතේ සිට එළිදරව් දක්වාම ඇති සියලු පොරොන්දු අප හිමිකර ගනිමු.

අපගේ මිදුම්කරු ප‍්‍රයෝජන ලබා ගන්නට අපට උගන්වයි.

යෙසායා 48:17
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

මේ ගිලෙන ලෝකය තුළ දෙවියන්වහන්සේ ස්වර්ගයෙන් අපව ගිවිසුමකට බැඳ ඇත. අප ගිලෙන්නේ නැත.

මනුෂ්‍යයා කුමක් කලත් එය අපට වැරදක් වන්නේ නැත.

යෙසායා 45:24
ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ වෙතට එන්නෝය, උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.

අපට විරුද්ධව ඊර්ෂ්‍යාවන්නන් ගෙන් අපට කිසිවක් වන්නේනැත. ලැජ්ජාවට පත්වන්නේ ඔවුන්ය.

ගිවිසුම් වාක්‍යය විශ්වාස කරන හෙයින්, ඒ අනුව ගමන් කරන හෙයින්, එය රක්ෂා කරන හෙයින් ඔබ ගෞරවයට පත්වනු ඇත.

දෙවියන්වහන්සේ ක‍්‍රම ක‍්‍රමයෙන් ඔබව ඉහලට ගෙන යනු ඇත.

ඔබව සුළු කරාවූ, ලැජ්ජාවට පත්කරාවූ අයම ලැජ්ජාවට පත්වනු ඇත.

ඔබගේ ජීවිතයට ඒ අයට බාධාවක් ඇති කිරීමට ඔබ ඉඩ නොදෙන්න.

බාධා ඇතිවන්නේ ඔබගේ සිතුවිලි වලිනි.

ඔබ පවසන්න මා ධර්මිෂ්ඨයි, මා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා උන්වහන්සේ මා මහිමයට පත් කරනවා. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගෞරවය සඳහා මා ජීවත්වනවා කියා.

යෝවෙල් 2:25
[25] මා විසින් නුඹලා අතරට එවුවාවූ (ඔබගේ අකීකරුකම තුළින් ඔබ ඉඩ හැරියාවූ) මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.

දෙවියන්වහන්සේ අපගේ ජීවිත නාස්ති කරන්නේ නැත.

අපගේ නොසැලකිලිමත් කම නිසා, මුරණ්ඩු, අකීකරුකම නිසා අපගේ ජීවිතේ දේවල් නාස්ති කිරීමට යක්ෂ ආත්ම වලට පුළුවන්කම ඇත.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදය නොමැතිව ඔබ උපයන දේ සඵල වන්නේ නැත.

දෙවියන්වහන්සේ පවසන්නේ අපගේ ජීවිතේ අසාර්ථක වු අවුරුදු උන්වහන්සේ නැවත පිහිටුවන බවය.

ව්‍යවස්ථාවේ වචන රක්ෂා කරමින් දියුණුවීමට උන්වහන්සේ නැවත අවස්ථාවක් දෙන බවය.

නැතිවූ දේවල් ගැන පවසමින් දුක්නොවී නොසිට අපගේ නැතිවූ අවුරුදු ස්වාමීන්වහන්සේ නැවත පිහිටුවන හෙයින් ඔබ උන්වහන්සේට ස්තූතිවන්ත වන්න.

දෙවියන්වහනසේට කිසිදු අඩුවක් නැත. උන්වහන්සේට සියල්ලන්ටම ආශීර්වාද ලබා දිය හැකිය.

දෙවියන්වහන්සේට ඇදහිල්ලෙන් ලගාවෙන්නාටයි උන්වහන්සේ විපාක ලබා දෙන්නේ.

හෙබ්‍රෙව් 11:6
[6] නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

අපගේ ප‍්‍රකාශ වලින් පළමුව අපගේ මනස දියුනුවේ.

3 යොහන් 1:2
ප්‍රේමවන්තය, නුඹේ ආත්මය සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

යේසුස්වහන්සේට කිසිදු හිඟ තාවයක් තිබුනේ නැත. අපද උන්වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේ ගමන් කල ආකාරයෙන් ගමන් කල යුතුය.

යේසුස්වහන්සේට සිටින්නට ස්ථානයක් තිබුණි.

ශු. යොහන් 1:37-39
[37] ඒ ගෝලයන් දෙදෙනා ඔහුගේ කීම අසා යේසුස්වහන්සේ පස්සේ ගියෝය. [38] යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථය.) [39] ඇවිත් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ ඔව්හු ගොස් උන්වහන්සේ සිටින ස්ථානය දැක, එදින උන්වහන්සේ සමඟ නැවතුණෝය. ඒ වේලාව දසවෙනි පැය පමණ විය.

යේසුස්වහන්සේ සිටින ස්ථානය බැලීමට ගියාවූ අය උන්වහන්සේගේ නිවසේ නවාතැන්ද ගන්නා ලදි.

ශු. ලූක් 9:57-58
[57] ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මනුෂ්‍යයෙක්: ඔබවහන්සේ යන කොතැනට නුමුත් මමත් ඔබ අනුව එන්නෙමියි කීවේය. [58] යේසුස්වහන්සේද: සිවලුන්ට බෙනත් ආකාශයේ පක්ෂීන්ට කූඩුත් තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.

මෙයින් පෙන්නුම් කරන්නේ යේසුස්වහන්සේගේ ඉවැන්ජලිස්ත සේවය පිළිබදවය.

අප කිසිවක් නොමැතිව දිළිදුව ජීවත්වීම දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නැත.

ගීතාවලිය 35:27
මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.

ස්වාමීන්වහන්සේට ප‍්‍රසන්න වෙන කාරණාව නම් උන්වහන්සේගේ දරුවන් සඵලවී, දියුණුවී සුවෙන් සිටීමය.

අප දීමනා දසයෙන් කොටස නොදීම ආශීර්වාදයේ මාර්ගය අවහිර කිරීමකි.

යෙරෙමියා 33:9
මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.

දෙවියන්වහන්සේ අපට දෙන්නාවු මුළු සඵලත්වය දැක ලෝකයා පුදුම විය යුතුය.

දිළිදුකමේ දවස් ඔබගේ ජීවිතයෙන් අවසන් බව පවසන්න.

ඊසාක්ගේ සඵලත්වයට මනුෂ්‍ය්‍යන් ඊර්ෂ්‍යයා කරන ලදි. (උත්පත්ති 26:13-14)

පසුව ඔවුන් ඊසාක්ගේ සඵලත්වය ගැන භය වන ලදි. (උත්පත්ති 26:28-29)

දෙවියන්වහන්සේ සියලු දෙනාටම එක හා සමානව ආශීර්වාද කරනු ඇත.

දෙවියන්වහන්සේට ඔබට ආශීර්වාද කිරීමට විවිධාකාර මාර්ග ඇත. එක දෙයක් කෙරෙහී පමණක් සිත යොමු නොකරන්න.

ගීතාවලිය 37:25
මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.

දෙවියන්වහන්සේගේ වචනයට උන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ පැවසුදේ ඉටු කරන බව විශ්වාස කරමු.

ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙයි. එයට දුක අයත් නැත.

හිතෝපදේශ 10:22
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

ඔබ සිටින තත්වය ගැන දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වන්න. දෙවියන්වහන්සේ අපට සම්පත ලබාගැනීමට හැකියාව දී ඇත. එය අපගේ ශක්තියෙන් නොවේය.

ද්වීතීය කථාව 8:17-18
[17] මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න. [18] නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.

මේවා දෙවියන්වහන්සේගේ පොරොන්දුය. යේසුස්වහන්සේ තුළින් අපට මේ සියල්ල අයත්ය.

2 කොරින්ති 1:20
මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

අප දෙවියන්වහන්සේ ඉදිරියේ ක‍්‍රියාවක් නැතිවම ධර්මිෂ්ඨය. අපි ආශීර්වාද ලද්දන්ය.

රෝම 4:6-7
[6] එලෙසම දෙවියන්වහන්සේ යමෙකුට ධර්මිෂ්ඨකම ක්‍රියා නැතුව ගණන් තබනසේක්ද, ඔහුගේ ආශිර්වාදලත්කම දාවිත් දක්වමින්: [7] තමුන්ගේ අයුතුකම්වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය.

ඔබ ආශීර්වාදලද්දෙක් බව පවසන්න.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ තේජසේ සම්පතේ ප‍්‍රකාරයට අපට උතුරායන්නට ආශීර්වාද කරයි.

අපට මුළු ලියවිල්ලම වැදගත්ය.

ක්‍රියා 20:27
මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය (කැමැත්ත) නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.

ලියවිල්ලෙහි සියලු පොරොන්දු අපට ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් ලබාගත හැකිය.

2 කොරින්ති 1:20
මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

අපිට මෙම පොරොන්දු ගැන විශ්වාසයක් තිබිය යුතුය.

පොළොව තිබෙන තුරු වැපිරීම හා කපා ගැනීම තවම ඇත. ඔබට අස්වැන්නක් ලබා ගත හැකිය.

උත්පත්ති 8:22
[22] පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.

දෙවියන්වහන්සේ අපට බීජ ලබා දෙයි.

2 කොරින්ති 9:10-11
[10] ඉතින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයාදෙන්නාවූ තැනන්වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී, වැඩිකොට, නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනයකරනසේක. [11] මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය.

අස්වැන්න කවදාවත් නවතින්නේ නැත. ඔබ සියල්ලෙන් පූර්ණය. ඒ ගැන දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙමු.

2 කොරින්ති 8:9
මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.

ස්වාමීන්වහන්සේ අප වෙනුවෙන් දිළිදුකමට පත්ව අප උදෙසා සියල්ල දරාගෙන අපට උන්වහන්සේගේ පොහොසත්කම ලබා දෙන ලදි.

මෙම සත්‍යතාවේ වචනය විශ්වාස කරමින් අපගේ ඇදහිල්ල ක‍්‍රියාවට නංවමු.

වචනය තේරුම් ගෙන වචනය විශ්වාස කර ප‍්‍රකාශ කරමින් වචනය වැපිරීමෙන් ඔබට අස්වැන්න නෙළාගත හැකිය.

ඔබ වැපිරීම සදහා බීජ වෙන්කර ගන්න. එහි අස්වැන්න ඔබ ලබනු ඇත.

දේශනාකාරයා 11:4-5
[4] හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය. [5] සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භිණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් නුඹ නොදන්නෙහිය.

හැගීම් මට්ටමෙන් ජීවත්වෙන්නා වපුරන්නේවත්, කපාගන්නේවත් නැත.

යක්ෂයා ලෝකයේ බංකොලොත් භාවය පෙන්වමින් ඔබගේ වැපිරීම වලක්වයි. එහෙත් දෙවියන්වහන්සේ ගේ ප‍්‍රඥාවෙන් වැපිරීම තුළින් අස්වැන්න ලැබෙයි.

නිතර වැපිරීමේ මනසින් ජීවත්වන්න. එවිට අස්වැන්න ගැන භියවිය යුතු නැත.

දේශනාකාරයා 11:6
[6] උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.

අප වැපුරූ කුමන බීජයෙන්ද කියා නොදැන අස්වැන්න අප පසුපස එනු ඇත.

අප පළමුකොට දෙවියන්වහන්සේගේ දේ සොයන කල අපට සියල්ල අස්වැන්න ලෙස ලැබෙනු ඇත. (මතෙව් 6:33)

පුළුවන් හැම අවස්ථාවෙම සිතින් නියම කරගත් ආකාරයට වපුරමු.

දෙවියන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට උන්වහන්සේගේ සේවයට අප වපුරමු.


Watch the Sermon Video

Read 50 times